මරණයට පත් වීමෙන් මිදිය හැක්කේ කාට ද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරණයට පත් වීමෙන් මිදිය හැක්කේ කාට ද?

    මහලු වීමෙන්, ලෙඩ වීමෙන්, මරණයට පත් වීමෙන් මිදිය හැක්කේ කාට ද?

    buddha--.jpg

    අංගුත්තර නිකායේ ‘ඨාන’ සූත්‍රයේදී බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළා මේ ලෝකේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඉන්නවාද, ඒ වගේම යම් ගිහියෙක් හෝ පැවිද්දෙක් ඉන්නවාද; ආන්න ඒ හැම දෙනාටම නිතර සිහිකරන්න සුදුසු කාරණා කිහිපයක් ගැන.

    ‘ජරා ධම්මෝම්හි ජරං අනතීතෝති’ මම ජරාවට දිරීමට පත් වන ස්වභාවය ඇත්තෙක් වෙමි; ජරාව නොඉක්මවූ කෙනෙක් වෙමි, ‘ව්‍යාධිධම්මෝම්හි ව්‍යාධිං අනතීතෝති’ මම ලෙඩ වෙන ස්වභාවය ඇත්තෙක් වෙමි; ලෙඩ වීමේ ස්වභාවය නොයික්මවූ කෙනෙක් වෙමි, ‘මරණධම්මෝම්හි මරණං අනතීතෝති’ මම මැරෙන ස්වභාවය ඇත්තෙක් වෙමි; මරණය නොයික්මවූ කෙනෙක් වෙමි යන මෙම කාරණා තුන නිතර ප්‍රත්‍යවේක්ෂා කරන්න කීවා. තමනුත් එම ස්වභාවයන්ගෙන් අත්මිදී නැත්තෙකු බව නිතර නුවණින් කල්පනා කරන්න කීවා. එහෙම නුවණින් කල්පනා කළාම අත්වන ප්‍රතිඵල ගැනත් අංගුත්තර නිකායේ එක සූත්‍රයකදී බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළා.

    “මහණෙනි, ගිහි කල මම ගොඩාක් සැප වින්දා. මගේ පියාගේ නිවෙසේ මා වෙනුවෙන් පොකුණු කිහිපයක් තිබුණා. ඒවායේ හෙළ පියුම්, රත් පියුම් පිපී තිබුණා. එකල මම පාවිච්චි කළේ සියුම් සඳුන් පමණයි පෙරෙවුවේ; කසී සළු විතරයි. මහණෙනි, මට ඍතු තුනට මාලිගා තුනක් තිබුණා; දාස කම්කරුවන්ගෙන් උපස්ථාන ලැබුණා. නමුත් මහණෙනි. මට එකල මේ වගේ සිතක් පහළ වුණා: අශ්‍රැතවත් පෘථග්ජනයා ජරාවෙන් පීඩා විඳිනවා. ඔවුන් ජරාව ඉක්මවලා නෑ. මම ද ජරාව ස්වභාව කොට ඇත්තෙමි. මම ද ජරාව ඉක්මවා නැත්තෙමි. ඒ නිසා ජරාවට පත් අනෙකකු දැක ලජ්ජිත වන්නෙම් නම් පිළිකුල් උපදවන්නේ නම් එය මට නිසි නොවන්නේ ම ය. මහණෙනි, මෙසේ නුවණින් සලකා බලන්නා වූ ඒ මාගේ යොවුන් විය නිමිති කොට යම් යෞවන මදයෙක් වී ද එය සර්වප්‍රකාරයෙන් ප්‍රහීණ විය.


    “අශ්‍රැතවත් පෘථග්ජනයා ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේය. මමද ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙමි. ඒ නිසා ව්‍යාධියට පත් අනෙකකු දැක පීඩිත වන්නේ නම් පිළිකුල් උපදවන්නේ නම් එය මට තරම් නොවන්නේමය. මහණෙනි, මෙසේ නුවණින් සලකා බලන්නා වූ ඒ මාගේ ආරෝග්‍යය හේතු කොටගෙන යම් ආරෝග්‍ය මදයෙක් වී නම් එය සර්වප්‍රකාරයෙන් ප්‍රහීණ විය.


    “අශ්‍රැතවත් පෘථග්ජනයා මරණය ස්වභාව කොට ඇත්තේ ය. මම ද මරණය ස්වභාව කොට ඇත්තෙමි. එහෙයින් මළා වූ අනෙකකු දැක පීඩිත වන්නේ නම් පිළිකුල් උපදවන්නේ නම් එය මට තරම් නෙවන්නේය. මහණෙනි, මෙසේ නුවණින් සලකන්නා වූ ඒ මාගේ ජීවිතය නිමිතිකොට ගෙන යම් ජීවිත මදයෙක් වී නම් එය සර්වප්‍රකාරයෙන් ප්‍රහීණ විය.

    “මහණෙනි, යෞවන මදයෙන් මත් වන අශ්‍රැතවත් පෘථග්ජනයා කයින්, වචනයෙන්, සිතින් දුසිරිත් කරගෙන මරණින් මතු අපායගාමී වෙනවා. නමුත් යම් කෙනෙක් නිතර සිහි කරනවා නම් ජරාව පිළිබඳව, තමා තරුණවම ඉන්නෑ, මහලුවියට පත්වෙනවාය කියලා, එයා නුවණින් නිතර කල්පනා කරනවා නම් අර යෞවන මදය තුනී වෙනවා. නැත්නම් සම්පූර්ණයෙන්ම ඒක නැතිවෙලා යනවා.
    එයා අකුසල් කරගන්නෙත් නැහැ. ඒ වගේම ආරෝග්‍ය මදය නිසාත් ඇතැමෙක් සිතින්, කයින්, වචනයෙන් අකුසල් කරගන්නවා. අපායගාමී වෙනවා. නමුත් කෙනෙකුට පුළුවන් නම් අනේ මම හැමදාම නිරෝගිවම ඉන්නේ නෑ, මමත් ලෙඩ වෙන කෙනෙක්ය කියලා නිතර නුවණින් කල්පනා කරන්න. අර ආරෝග්‍ය මදය තුනී වෙනවා; නැත්නම් ඒක සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා. ඒ වගේම සත්ත්වයා තුළ ඇතිවෙනවා ජීවිත මදය කියලා එකකුත්. ඒ කියන්නේ තමා ජීවත් වෙනවාය කියන අදහස තුළින් ඇතිවන මාන්නය. ඒ මාන්නය නිසාත් කෙනෙක් අකුසල් රැස් කරගෙන අපායගාමී වෙන්න පුළුවන්. නමුත් යමෙක් නිතර තමා මරණයට පත් වෙන කෙනෙක් බව මෙනෙහි කරනවා නම් අර ජීවිත මදය තුනීවෙලා යනවා; නැත්නම් ඒක සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා.

    “ඒ නිසා අපද නිරන්තරයෙන්ම පුරුදු පුහුණු වෙන්න ඕන ජරා, ව්‍යාධි, මරණ දිහා නුවණින් බලන්න. ‘මේවා මට විතරක් උරුම වූ ධර්මතා නොවෙයි. කාටත් උරුම වූ ධර්මතා කිහිපයක් මේවා. ඒ නිසා ඒවා ඉදිරියේ මම දුක්වෙන්න වැලපෙන්න හොඳ නෑ. එහෙම දුක් වුණාම වැලපුණාම වෙන්නේ මගේ කය දුර්වල වෙන එක විතරයි. මගේ වැඩ අතපසු වෙන එක විතරයි...’ ආදි වශයෙන් නුවණින් කල්පනා කිරීමෙන් අර ජරා, ව්‍යාධි, මරණාදිය ඉදිරියේදී එල්ල වන ශෝකය නමැති විෂ ඊතලය ගලවාදැමිය හැකි යැ” යි බුදු රජාණන් වහන්සේ වදාළා.

    ඒ නිසා ජරා, ව්‍යාධි, මරණ දිහා නුවණින් කල්පනා කළාම අපට ඒවා ඉදිරියේ සැනසීමෙන් ඉන්න පුළුවන්. මුලින් කිව්වා වගේ එතකොට මදයක් මාන්නයක් හිතට එන්නේ නෑ. අකුසලයෙන් ඈත් වෙලා කුසලයෙහි යෙදෙන්න ඒක ලොකු පිටිවහලක් වෙනවා. ඒ විතරක් නොවෙයි, මේ නුවණින් කල්පනා කිරීම ජරා මරණ ජය ගෙන සසරින් නිදහස් වීම පිණිස ද ලොකු තල්ලුවක් ලබා දෙන්නක් බව සිතිය යුතුයි. එහෙම නැතුව ජරා, ව්‍යාධි, මරණ දිහා නුවණින් බැලුවට හරියන්නේ නැහැ. ‘අනේ මම වයසට පත්වෙන්න එපා, මම ලෙඩ වන්න එපා, මම මැරෙන්න එපා, කියලා හිතුවට කවදාවත් කෙනෙකුට ඒවායින් ගැලවී ඉන්න ලැබෙන්නේ නැහැ.

    “මහණෙනි, මේ ලෝකේ කිසිම ශ්‍රමණයකුට, බ්‍රාහ්මණයකුට, දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට ආදි කිසිම කෙනකුට බෑ මේ ජරා, ව්‍යාධි, මරණ, කියන ස්වභාවයන් වෙනස් කරන්න. ඒවා කිසි කෙනෙකුට ඉක්මවන්න බැරි ධර්මතා” යනුවෙනුයි බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙනුයේ.


    අංගුත්තර නිකායේ තවත් සූත්‍රයකදී උන් වහන්සේ මේ විදියට දේශනා කරනවා: “තීණිමානි භික්ඛවේ අමතා පුත්තිකානි භයානී” මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා කියනවා අමතාපුත්‍රක භය තුනක් තියනවාය කියලා. අමතාපුත්‍රක භය කියලා කියන්නේ මවට තමන්ගේ පුතා රැකගන්නත් බැරි, පුතාට තම මෑණියන් රැකගන්නත් බැරි අනතුරු තුනක්. ඉන් පළමුවැන්න තමයි මහා ගින්නක් හටගැනීම. එවැනි මහා ගින්නක් හටගත්තාම ‘මාතාපි පුත්තං නප්පටිලභති’ මවට තමන්ගේ පුතා අහිමි වෙන්න පුළුවන්, ‘පුත්තොපි මාතරං නප්පටිලභති’ පුතාට තමන්ගේ මව අහිමි වෙන්න පුළුවන්ය කියලා ධර්මය නොදන්නා සාමාන්‍ය ලෝකයා කියනවා.


    දෙවන අමතාපුත්‍රක භය මෙහෙමයි විස්තර වෙන්නේ: “මහණෙනි, යම් කලෙක මහා ගංවතුරක් හටගන්නවා. මේ මහා ගංවතුර ගම් නියම්ගම් සිසාරා ගලා යනවා. ඒකට හසුවීම නිසා මවට තම පුතා බේරාගන්න බැරි වෙනවා. පුතාට තම මෑණියන් බේරාගන්න බැරි වෙනවාය කියලා සාමාන්‍ය ලෝකයා කියනවා.”

    “තුන්වෙනි අමතාපුත්‍රක භය තමයි සොරු කණ්ඩායමක් ගම් නියංගම් කොල්ල කනකොට මිනිස්සු හිස් ලූලූ අත දිව යනවා. අන්ත එවැනි අවස්ථාවක මවට තම පුතා බේරා ගන්න බැහැ, පුතාට තම මව බේරාගන්න බැහැ කියලා අශ්‍රැතවත් පෘථග්ජනයා කියනවා. නමුත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා කියන මේ අමතාපුත්‍රක භය තුන මම අනුමත කරන්නේ නැහැ. මහණෙනි, ඇතැම් විට ඔය කියන මහා ගින්නක දී විශාල ජලගැල්මක දී ඒ වගේම සොර මුලක් කඩාවැදීමක දී මවට තමන්ගේ පුතා බේරාගන්න හැකියාව ලැබෙන්න පුළුවන්. පුතාට තමන්ගේ මව බේරාගන්න හැකියාව ලැබෙන්න පුළුවන්. ඒ නිසා මහණෙනි, මම කියනවා ඒ කාරණා තුන අමතාපුත්‍රක භය තුනක් නොවෙයි, සමතාපුත්‍රක භය තුනක්ය කියලා. ඒ කියන්නේ මවට තමන්ගේ පුතා ලැබෙන්න පුළුවන්, පුතාට තමන්ගේ මව ලැබෙන්න පුළුවන් භය තුනක්ය කියලා.

    “එහෙත් මහණෙනි, මේ ලෝකේ තියෙනවා සැබෑවටම මවට තම පුතා බේරාගන්නත් බැරි, පුතාට තම මෑණියන් බේරාගන්නත් බැරි අමතාපුත්‍රක භය තුනක්. මහණෙනි, මොනවද ඒ භය තුන? ‘ජරා භයං, ව්‍යාධි භයං, මරණ භයං’ ජරා, ව්‍යාධි, මරණ යන භය තුනයි මහණෙනි. අම්මා කෙනකුට බැහැ තමන්ගේ පුතා ජරාවට පත්වෙන කොට ඒ දිහා බලලා ‘අනේ පුතේ, උඹ වයසට යන්න එපා, ඒ වෙනුවට මම වයසට යන්නම්’ කියලා පුතාගේ දිරීම අම්මා වෙතට පවරාගන්න. ඒ වගේම අම්මා මහලුවියට පත්වෙන කොට ඒ දිහා බලලා පුතාට බැහැ ‘අම්මේ, අම්මා වයසට පත්වෙන්න එපා, ඒ වෙනුවට මම වයසට යන්නම්’ කියලා අම්මගේ දිරීම තමා වෙතට පවරාගන්න. පුතාට ලෙඩ වෙන කොට අම්මට බැහැ ‘පුතා ලෙඩ වෙන්න එපා, ඒ වෙනුවට මම ලෙඩ වෙන්නම්’ කියලා පුතාගේ ලෙඩ තමා වෙත පවරාගන්න. අම්මව ලෙඩ වෙන කොට පුතාට බැහැ ‘අම්මා ලෙඩ වෙන්න එපා, ඒ වෙනුවට මම ලෙඩ වෙන්නම්’ කියලා අම්මාගේ ලෙඩෙ තමා වෙත පවරාගන්න. අම්මට බැහැ පුතාව මැරෙන කොට ‘පුතේ, උඹ මැරෙන්න එපා, ඒ වෙනුවට මම මැරෙන්නම්’ කියලා පුතාගේ මරණය තමා වෙත පවරා ගන්න. අම්මව මැරෙන කොට පුතාට බැහැ ‘අම්මේ, අම්මා මැරෙන්න එපා. ඒ වෙනුවට මම මැරෙන්නම්’ කියලා අම්මගේ මරණය තමා වෙත පවරාගන්න. ඒ නිසා මහණෙනි, ධර්මය නොදත් අශ්‍රැතවත් පෘථග්ජනයා කියූ ජලගැලීම්, ගිනි ආදි අනතුරු නොව, සැබෑම අමතාපුත්‍රක භය නම් මේ ජරා, ව්‍යාධි, මරණ යන කාරණා තුනයි” කියලා බුදු රජාණන් වහන්සේ වදාළා.

    ඊළඟට බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා: “මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා පැවසු එම සමතාපුත්‍රක වූ තුන් බියත් මා වදාළ අමතාපුත්‍රක වූ තුන් බියත් ප්‍රහාණය කිරීම සඳහා, ඉක්මවීම සඳහා යමෙක් උත්සාහ කරනවාද? ඒ සඳහා මාර්ගයක් තියෙනවා” ය කියලා, ප්‍රතිපත්තියක් තියනවාය කියලා. “මහණෙනි, ඒ වෙන කිසිවක් නොව ‘සම්මා දිට්ඨිය’ ආදි වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය යැ” යි උන් වහන්සේ වදාළා. මේ අරී අටැඟි මග තුළ යමෙක් හික්මෙන්නේද, ගමන් කරන්නේද, ඔහු ජරා, ව්‍යාධි, මරණාදි අමතාපුත්‍රක භයවලින් පමණක් නොව, සියලු දුක්වලින් නිදහස් වී උතුම් නිවනින් සැනසීම ලබන්නේය.”

    එහෙයින් අපද උතුම් අරී අටැඟි මගේ හැසිර, ජරා ව්‍යාධි මරණාදියෙන් මිදීමට උත්සාහවත් විය යුතුයි. ද


    රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය රාජසිංහගම තිලකධම්ම හිමි
     
    • Like
    Reactions: uzi101