"ඔවු කපන්න බලන්න" දොස්තරවරියගේ හඩ සෞම්‍ය වූ අතර, ඈ වයසින් බාල වෛද්‍යවරයාට යමක් ඉගැන්වීමට අදහස් කරන බව පැහැදිලිය.
"හොදමයි," ඔහු කීවේය. "ඔයා උදවු කරනවද?"
"නැතුව" යැයි ඈ කියමින් සිනාසුන අතර, එම සිනාව සමග 'සිස්' 'සිස්' ශබ්ධයක්ද පැමිනියේය. ඒ ඈ කතුරකින් හිස් වාතය කපන හඩ විය.
දැන් මගේ හිස තුල භීතිය සහිත කලබලයක් හටගත්තේ, කූඩුවක් තුල සිරවුනු කුරැල්ලන් සේය. මා මරණපරීක්ෂණ කරන අයුරැ දැක තිබුනු අතර, මොවුන් කිරීමට යන්නේ කුමක්දැයි මා දැනි සිටියෙමි. කතුරැ ඉතා දිගු සහ තියුනු ය. කතුරෙහි යටි තලය බඩ තුලට ලිස්සා යන්නේ බටර් මෙනි. ඉන්පසු එය සෞර ප්රතානයෙහි ඇති ස්නායු ගොන්න කපාගෙන ගොස්, ඊට ඉහලින් ඇති මස් ගොබ කරා යයි. ඉන්පසු උරෝස්ථිය වෙත. දැන්, උරස් ඇටය කතුරෙන් කපන විට 'චරස්' ගා විශාල ශබ්ධයක් නැගෙන අතර, එවිට ඉල ඇට කූඩුව දෙකට පැලී යයි. ඉන්පසු මස් කපන පිහි වලට සමාන එම කතුරැ, චරස් චරස් ගාමීන් අශ්ටීන් දෙකට කපමින්, මස් ඉරා දමමින් ගොස්, පෙනහළු ගලවා දමයි. අනතුරැව ඒවා යන්නේ ශ්වාසනාලය වෙතය. අවසානයේදී හවර්ඩ් රජු, කිසිවෙකු කෑමට නොගන්නා රාත්‍රී ආහාරයක් බවට පත් වෙයි.
ඔවුන්ට මෙය කල නොහැකිය, මට සිතුනි. ඔවුන්ට මා කපා දැමිය නොහැකිය... මට සියල්ල හැගෙයි සහ දැනෙයි!
එහෙත් ඔවුන් සිදුකිරීමට යන්නේ එයමය. මා කිසියම් චලනයක් සිදුකල යුතුය. නැතහොත් ඔවුන් සැබැවින්ම එය කිරීමට දැන් සූදානම්ය. කතුරෙන් සිදුකරන පලවෙනි ඇනීමේදී රැධිරය විදීමට පටන්ගතහොත්, කිසියම් දෙයක් වැරදී ඇති බව ඔවුන් වටහා ගනු ඇත. එහෙත් එවිට කෝච්චිය ගොස් අවසානය. පලමු චරස් ශබ්ධය සිදුවෙනු ඇති අතර, මගේ ඉල ඇට කූඩුව, මගේ අත මත වැතිර ගනු ඇත.
මගේ හදවත ෆ්ලොරෙසන්ට් ආලෝකය යට වේගයෙන් ගැහෙයි.
මා මගේ පපුවට මගේ සියළු ශක්තිය එක්තැන් කලෙමි. එසේ කර මම තල්ලුවක් දුනිමි... කිසිවක් සිදුවිය.
ශබ්ධයක්!
මම ශබ්ධයක් පිට කලෙමි!
එහෙත් එය මගේ කට තුලය. නමුත් මට එය මගේ නාසය තුලින් ද දැනෙන්නට විය -- පහත් 'හම්' ශබ්ධයක්.
නැවතත් සියළු ශක්තිය එකතුකොට එයම යලිත් සිදු කලෙමි. මෙවර ශබ්ධය මදකින් ඉහල ගියේය. එය මගේ නාසය තුලින් සිගරට් දුමක් මෙන් පිටවිය. මෙහිදී මා බොහෝ කලකට පෙර නැරඹූ ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගේ චිත්‍රපටයක් මට සිහිවිනි. එහි, ජෝශප් කොටන් නැමැත්තා වාහන අනතුරකට ලක් වී පක්ෂඝාතයට ලක් වන අතර, ඔහු තමා තවමත් ජීවත් වන බව අනෙකුන්ට දන්වන්නේ එකම එක කදුළු බිදුවක් හෙලීමෙනි.
මා සිදුකල මදුරැවෙකුගේ වැනි සියුම් හඩ, මා තවමත් ජීවත් වන බව සහ, මා මගේ මැටි පිලිරැවක් බදු සිරැර තුල රිංගා සිටින භූතාත්මයක් නොවන බව මට පසක් කලේය.
මම නැවතත් සියළු ශක්තිය එකතු කලෙමි. මට මගේ හුස්ම වැටෙන හැගීම නැවතත් දැනුනු අතර, මා එය නාසයෙන් පිට කලෙමි. මා එය සිදු කලේ, ගිම්හානයේදී මා වැඩ කල 'ලෙන්' නැමති ඉදිකිරීම් සමාගමේදී මා වැඩ කලාටත් වඩා උත්සාහයෙනි. ජීවිතයේ කවරදාටත් වඩා මා කල උත්සාහයන්ටද වඩා උත්සාහයෙනි. මන්දයත් මා දැන් නිරත වන්නේ ජීවිතයත් මරණයත් අතර සටනකය. ඔවුන්ට මගේ හුස්ම වැටෙනු ඇසිය යුතුය. දෙවියනි, ඇසිය යුතුය!