මහකනදරාව ගල් පාලම
සිසිර නිශාන්ත මානගේ ලියයි
අනුරාධපුරයේ මිහින්තලේ අසල පිහිටි මහකනදරා වැව් බැම්ම පසුකර ගමන් කිරීමෙන් පුරාණ ගල්පාලම පිහිටි ප්‍රදේශයට පැමිණිය හැකිය. අද එය වන වැදී පැවතුණ ද එකල කාර්යබහුල මාවතක අත්‍යවශ්‍ය අංගයක්ව තිබුණකි. පාලම අවට භූමිය මානා, ඉලුක් වැනි තණවලින් පිරී ඇත. අතරින් පතර විශාල ගසක් දැකගත හැකි ය.
මෑත අතීතයේ මුලින් ම මෙම ගල් පාලම ගැන සටහන් කර ඇත්තේ 1907 දී ඉංග්‍රීසි ජාතික වාර්මාර්ග ඉංජිනේරුවරයෙකු වූ හෙන්රි පාකර් ය. ඒ. එම්. හෝකාට් Ceylon journal of Science සඟරාවේ 1928 පෙබරවාරි කලාපයට මේ ගල්පාලම පිළිබඳව ඡායාරූප සහිත ලිපියක් සපයා ඇත. එකල පාලම අවට වටපිටාව හොඳින් එළිපෙහෙලි කර තිබූ අයුරු එම ඡායාරූපවලින් පෙනේ. ඊට පසු මෙම සියවසේ මුලදී ආර්. එල්. බ්‍රෝහියර් මේ පිළිබඳව මෙසේ සඳහන් කරයි: “පුරාණ කම්කරුවාගේ දක්ෂකම සිහිපත් කරවන මේ වනතුරු දැනගෙන තිබෙන ලංකාවේ ඉතාම හොඳ නිදර්ශනයක් ලෙස ගිනිය හැකි පුරාණ කළුගල් පාලමක් සංගිලිකන්දරාවේ දිය දොරටුවට යාර 300කට පහතින් පිහිටා තිබේ” (ශ්‍රී ලංකාවේ පුරාතන වාරිමාර්ග)
හොඳින් ආරක්ෂා වී ඇති මෙම පාලමෙහි එක් පැත්තක් කඩා වැටී ඇත. දැනට ශේෂ වී ඇති පාලම දිගින් අඩි 80ක් පමණ ද පළලින් අඩි 8ක් පමණ ද වේ. කණු 42 ක් මත හරස් බාල්ක යොදා ඒ හරහා ගල් පුවරු ඇතිරීමෙන් එය නිමා කර ඇත. මතුපිට ඇතිරූ ගල් පුවරු අඩි 5 සිට අඩි 8 දක්වා දිගකින් ද අඩි 1.5ක් පමණ පළලින් ද යුක්ත වෙයි. මේ පුවරුවක ඝනකම අඟල් 8ක් වේ. මෙම ගල් පුවරු එක සමාන නොවූව ද ඒවා මනා සේ එකිනෙකට වද්දා ඇති අයුරු අද පවා නිරීක්ෂණය කළ හැකි ය. පාලම ඉදිකර ඇත්තේ පුරාණ කානඔය හරහා ය. එහෙත් අද එතැන ඔයක් නැත. මහසෙන් රජු (ක්‍රි.ව.275-301) විසින් කනදරා වැව ඉදිකිරීමෙන් පසු ඔයෙහි ජලය වැවට එක් විය. එහෙත් වර්ෂා සමයට අද ද මෙම පාලම යටින් ජල කඳක් ගලායයි. මෙය අනුරාධපුරයේ සිට සෑගිරිය (මිහින්තලය) හරහා ගෝකණ්න (ත්‍රීකුණාමලය) වෙතට වැටී තිබූ පුරාණ මාර්ගයේ ඉදිවූවක් ලෙසට සැලකිය හැකි යයි මහාචාර්ය සිරිවීර පවසයි. (ශ්‍රී ලාංකේය ඉතිහාස තරංග)
යාන්ඔයේ සහ රත්මලේ ප්‍රදේශයට තවත් මෙවැනි පාලම්වල නෂ්ටාවශේෂ තිබෙන බව වාර්තා වේ. මල්වතුඔය හරහා පුරාණ යාපනය මාර්ගයේ ඉදිකළ තවත් ගල් පාලමක නටබුන් අනුරාධපුරයේ දී අපට දැකගත හැකි ය. එම පාලම මෙතරම් විශාල නොවේ. මැදවච්චිය අසල තුලාවෙල්ලි ගමේ ද විනාශ වී ගිය ගල් පාලමක නටබුන් හමුවේ. එය පුරාණ අනුරාධපුර – මහාතිත්ථ (මන්නාරම) මාර්ගයේ පිහිටා තිබුණකි.
කනදරාව පාලම සඳහා අවශ්‍ය ගල් පුවරු කපාගත් ස්ථානය ලෙස සැලකිය හැකි පර්වතයක් කනදරා වැව් ඉවුරේ වන වදුලෙහි තිබේ. ගල් පුවරු කපා ඉවත් කරගත් ස්ථාන එහි පැහැදිලි ව දැකගත හැකි ය.
අනුරාධපුර යුගයේ ස්වර්ණමය අවදිය වන ක්‍රි.ව. 9-10 සියවස් වන විට මහාමාර්ග සහ පාලම් ඉදිකිරීමේ විශිෂ්ට තාක්ෂණයේ මහිමය මෙවැනි නෂ්ටාවශේෂවලින් පැහැදිලි වේ. 9 වන ශතවර්ෂයට අයත් මිහින්තලේ ටැම් ලිපියක “මංග් මහවර්” යනුවෙන් එන සඳහන රජයේ මාර්ග ඉදිකිරීමේ සේවය හැඳින්වීමට යොදන ලද්දක් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පවසයි. වංශකතාවේ ගල්පුවරු කැපීම සඳහා යොදන ලද වචනය “සිලා කොට්ටක” විය. ගල්පුවරු කැපීම “කොට්ටෙති” විය. මෙවැනි ශක්තිමත් පාලම් මෙන්ම විශාල ගොඩනැඟිලි සහ ප්‍රතිමා තැනීමටත් ඒ සමයේ සිලා කොට්ටක වෘත්තිය විශාල වශයෙන් ව්‍යාප්තව තිබුණ බව කිව යුතු නොවේ. විසුද්ධි මාර්ග සන්නයෙහි සඳහන් පරිදි පාලම් 3 වර්ගයක් තිබී ඇත. එනම්, දණ්ඩක සේතු හෙවත් ඒදණ්ඩ, හතරපස් දෙනකුට එකට ගමන් කළ හැකි ජංඝ සේතු සහ කරත්ත එගොඩ කළ හැකි සකත සේතු වශයෙනි. අශ්ව කරත්තයකට පහසුවෙන් යා හැකි මෙම පාලමෙන් අශ්වයන්, ගොං කරත්ත මෙන්ම අලිඇතුන් ද එගොඩ කරන්නට ඇත.

Super