කට්ට කාල හොයා ගන්න තුට්ටු දෙකට තට්ටු වෙන්න දෙන්න එපා.
මහන්සි නොවී ඉක්මනින් ධනවත් වෙන්න එහෙම ආසාවක් තියෙනවද?
ඔබට හදිසියේම ඔබ හොඳින් දන්නා කෙනෙක් කතා කරයි.
+“වැඩක් සෙට් වුණා. විස්තර පස්සෙ කියන්නම්, අහවල් දවසේ උදේම අහවල් තැනට එන්න.“
- “මොකක්ද වැඩේ?“
+“පොඩි බිස්නස් එකක්, මහන්සි නොවී ගෙදර ඉඳන්ම මාසෙට 60, 000ක් 70, 000ක් හොයාගන්න පුලුවන් වැඩක්....“.
(මේ කතා කරන කෙනා ඔබ කොයි තරම් හොඳින් හඳුනන කෙනෙක් වුණත් මේ එන්න කියන්නෙ මොන අහවල් දෙයක් කරන්නද කියලා එදාට ගියොත් මිසක් දැනගන්න නම් ලැබෙන්නෙ නැහැ)
* * *
එහෙමත් නැත්නම්,ඔබ හඳුනන කෙනෙක් හදිසියේම ගෙදරට ඒවි. ඇවිත් වෙන වෙන වල්පල් කතාකරමින් ඉඳලා හෙමින්සැරේ ට්‍රැක් මාරු කරලා කියයි,
+ “පොඩි බිස්නස් එකක් කරන්න අදහසක් තියෙනවා, සෙට්වෙලා කරමුද?“
- “මොනවගේ බිස්නස් එකක්ද?“
+“ගෙදර ඉඳන් පාට් ටයිම් කරන්න පුලුවන් වැඩක්, බය වෙන්න එපා, මේක සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල වැඩක්. මෙහෙම කිව්වම මොනවගේ දෙයක් කියලද හිතෙන්නෙ?“
- “හිතාගන්න බැහැනෙ!“
+“මුලින් ඔයා අපෙන් භාණ්ඩයක් මිලදීගන්න ඕනි. අපි ළඟ පැකේජස් කීපයක්ම තියෙනවා“
(මේ ඔක්කොම අදාළ භාණ්ඩයේ සැබෑ වටිනාකම වගේ කීපගුණයකින් වැඩි අස්ප ගණන් ඒවා).
“ඔයා ගන්න පැකේජ් එක අනුව ඔයාට මේ මේ ප්‍රතිලාභ ලැබෙනවා. ඉන්පස්සෙ කරන්න තියෙන්නෙ ඔයා අඳුනන කීපදෙනෙක්ට මේ භාණ්ඩ හඳුන්වාදෙන එකයි. ඔයාට පහළින් එකතුවෙන ඕනම කෙනෙක් භාණ්ඩයක් ගත්තම ඔයාට ප්‍රතිලාභයක් ලැබෙනවා. කිසිම මහන්සියක් නැතිව ගෙදර ඉඳන් හොඳ ගාණක් හම්බකරගන්න පුලුවන්“
- “අපෝ, පිරමිඩ් නේද?“
+“නෑ. පිරමිඩ් නෙවෙයි. මේ ක්‍රමයට අපි කියන්නෙ නෙට්වර්ක් මාකටිං/ඩිරෙක්ට් සේල්ස් කියලා. මේ තියෙන්නෙ අපේ ලියාපදිංචි සහතිකය. පිරමිඩ් නම් මෙච්චර අවුරුදු ගාණක් මේක කරගෙන එන්න බැහැනෙ. අපි කරන්නෙ අතරමැදියො නැතිව කෙළින්ම පාරිභෝගිකයා ළඟටම භාණ්ඩය ගෙනත් දෙන එක.“
(ඇත්තටම මේකෙ පාරිභෝගිකයෙක් කියලා අවසන් පරිභෝජකයෙක් නැහැ. ඉන්නෙ අලෙවි කරුවෙකුගෙන් භාණ්ඩය අරන් තවත් අලෙවිකරුවන් කීපදෙනෙකුට විකුණනඅලෙවිකරුවන් පිරිසක් විතරයි).
“එතකොට අනෙක් සමාගම් මාකටිං වලට බෙදාහැරීම් වලට දරන සම්පූර්ණ වියදමම ඉතිරියි. ඒ ඉතිරිවෙන මුදල බෙදෙන්නේ අපේ නෙට්වර්ක් එකේ ඉන්න අය අතරේ. ඔයාගෙ නෙට්වර්ක් එක පුළුල් වෙන තරමට ලැබෙන ප්‍රතිලාභයත් වැඩිවෙනවා.“
(පාරිභෝගිකයෙක් භාණ්ඩයක් මිලදීගන්නෙ අවශ්‍යතා වුවමනා සපුරාගන්න. එහෙම මිලදීගන්නෙත් තමන් ගෙවන මුදලට සරිලන වටිනාකමක් ලැබෙන භාණ්ඩ විතරයි. නමුත් මේ භාණ්ඩය ගන්න මිනිහට ඇති අවශ්‍යතාවයකුත් නැහැ, ගෙවන මුදලට කිසිම වටිනාකමකුත් නැහැ! මේ ධුරාවලියේ ඉහළට මුදල් ප්‍රවාහයක් ගලාගෙන ගියාට පහළට වටිනාකමක් ගලාගෙන නොයන නිසා මේක ඔය කියන විදියෙ එකක් නෙවෙයි)
ඉන්පස්සෙ ඔබේ දුක සහ මුදල් තණ්හාව ප්‍රයෝජනයට අරගෙන ඔබේ මාසික ආදයම් වියදම් සිදුවන ආකාරයත්, කවදාවත් ඉතිරියක් සිදු නොවන ආකාරයත්, ඉතා ඉක්මනින් ඔබේ හීන හැබෑ කරගන්නා ආකාරයත් කියලා අන්තිමට මාසෙකට ලක්ෂ 70-80ක ආදායමක් එන හැටි ඇස් පනාපිට රූප සටහන් ඇඳලා ඔප්පු කරලා පෙන්නයි!
“කිසිම බලකිරීමක් නැහැ, කැමතිනම් දවසක් ඇතුළත මට කියන්න...ආයෙ ඉතින් හිතන්න දෙයක් නෑ. ආවොත් ගොඩම තමයි. හරිගියෙ නැත්නම් මම පාඩුව අතින් ඔයාට ගෙවනවා. ඕනිනම් කොළයක අත්සන් කරලා දෙන්නම්!“
(වැඩේ ඇනිලා අර කටින් දුන්න Money Back Guarantee එක ගැන අහන්න ගියාම කවදාවත් ඉටු කරන්න බැරි කොන්දේසි ගොඩකට ඔබ එකඟවෙලා ඉන්න බව දැනගන්න ලැබේවි. මොකද එදාට ඒ මනුස්සයාත් අනාගෙන ඒ මනුස්සයාටguarantee එක දුන්න මනුස්සයත් අනාගෙනනෙ ඉන්නෙ. ඉතින් කොහෙන්ද සල්ලි? )
ඔය උඩ කිව්ව අවස්ථා දෙකට ඔබ මුහුණ දීලත් ඇති. එහෙමත් නැත්නම් ළඟදිම දවසක මුහුණදෙන්න සිද්ධවේවි.
දැනටමත් ඔබ හොඳින් දන්නා හඳුනන, විශ්වාස කරන කවුරු හරි මෙහෙම කිව්වද? කළාද?
එහෙමනම් ටිකක් පරිස්සම් වුණොත් හොඳයි!. මොකද ඒ කතා කරන්නේ නීති විරෝධී පිරමිඩ යෝජනා ක්‍රමයකට (එහෙමත් නැත්නම් Multilevel/Network Marketing / Direct salesබව පෙන්වමින් එන වහෙන් ඔරෝ පිරමීඩ යෝජනා ක්‍රමයකට) ඔබව සම්බන්ධ කරගැනීම සඳහා වෙන්න පුලුවන්.
ඉතින් යාලුකම/නෑදෑකමයි, සල්ලියි නැති කරගෙන මිනිස්සුන්ගෙන් බැණුම් අහලා ඒ මදිවට හිරේ විලංගුවෙත් වැටෙන්න කලින් මේ ත්රේඩ් එක සම්පූර්ණෙන් කියවන්න.
දිගු කාලීන වේදනා ජනිත කරමින්, මූල්‍ය විනාශයන්ට අමතරව පුද්ගලික හා සමාජ ව්‍යසනයන්ට හේතු වෙමින් වඩ වඩාත් ප‍්‍රබල අයුරෙන් පැතිරෙන නිසාත්,වටහාගැනීමට අපහසු, කලාතුරකින් අධ්‍යයනය කෙරෙන සහ විවිධ නම්වලින් හැඳින්වෙන මේවා තවදුරටත් විනාශකාරීවිය හැකි බැවිනුත්” ඇමෙරිකා එක්සත් ජනපදයේ පිරමිඩ් ඇලර්ට් (Pyramid Alert) සංවිධානය විසින් පිරමිඩ යෝජනා ක‍්‍රම මූල්‍ය සුනාමියක් ලෙස හඳුන්වලා තියෙනවා.සරලවම කිව්වොත්, යම් යෝජනා ක්‍රමයකට (Scheme) තමන් යටතේ තවත් අය බඳවාගැනීමට හිමිකම ලබාගැනීම සඳහා ගෙවීමක් සිදුකර ඒ සඳහා ආදායමක් ලබාගන්නා ක්‍රමයක් පිරමීඩ යෝජනා ක්‍රමයක් කියලා හඳුන්වන්න පුලුවන්.
ඒ කියන්නේ, මුලින්ම ඔබ ගෙවීමක් කළ යුතුයි. එහෙමත් නැත්නම් ඒක නිකංම නිකං ගෙවීමක් බව නොදැනෙන්න අධික මිලක් (Price) ගෙවා ඒ මිලට වඩා අඩු වටිනාකමක්(value) ඇති භාණ්ඩයක් මිලදී ගත යුතුයි. සමහරවිට ඒ භාණ්ඩයෙන් ඔබට කිසිම ප්‍රයෝජනයක් නැති වෙන්න පුලුවන්. ඒත් මේ බිස්නස් එකට ඇතුළ් වෙලා තවත් අය ඔබ යටතේ බඳවාගෙන මුදල් උපයන්න නම් ඒක ගන්නම වෙනවා. නැවත ඔබ විසින් බඳවාගන්නා අයත් මේ විදියටම මේ මූලික දායකත්වය ගෙවන්න ඕනි. එතකොට ඒ අය ගෙවන මුදලින් කොටසක් ඔබට ලැබෙනවා. සාමාන්‍යයෙන් මේ පිරමීඩාකාර යෝජනා ක්‍රමයක ලක්ෂණයක් තමයි ඒ විදියට පහළ මට්ට්ම් වලට යනකොට සම්බන්ධවෙන පිරිස වේගයෙන් වැඩි වෙන එක. ඒ කියන්නේ ඔබ තුන් දෙනෙක් බඳවාගන්නවා. ඒ තුන්දෙනා තව තුන්දෙනා බැගින් නවයක් බඳවාගන්නවා. ඊළඟට ඒ නවදෙනා..... හරියට ගුණෝත්තර ශ්‍රේඪියක් වගේ. එහෙම ගත්තම මේකේ ආකෘතිය පිරමීඩයක් නිසා තමයි පිරමීඩ නමින් හඳුන්වන්නෙ. මේකෙ තියෙන අවුල තමයි කවදාහරි මේ පිරමීඩයේ පහළ ඉන්න අයට ප්‍රතිලාභ තියා තමන් යෙදූ මුදලත් අහිමි වීමට ඇති අවදානම. ඒ නිසා මේවා “සැලසුම් සහගත පාරිභෝගික වංචා“ කියලා හඳුන්වනවා.