මහන්සි නොවී ඉක්මනින් ධනවත් වෙන්න එහෙම ආසාවක් තියෙනවද?

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    කට්ට කාල හොයා ගන්න තුට්ටු දෙකට තට්ටු වෙන්න දෙන්න එපා.
    මහන්සි නොවී ඉක්මනින් ධනවත් වෙන්න එහෙම ආසාවක් තියෙනවද?
    ඔබට හදිසියේම ඔබ හොඳින් දන්නා කෙනෙක් කතා කරයි.

    +“වැඩක් සෙට් වුණා. විස්තර පස්සෙ කියන්නම්, අහවල් දවසේ උදේම අහවල් තැනට එන්න.“
    - “මොකක්ද වැඩේ?“

    +“පොඩි බිස්නස් එකක්, මහන්සි නොවී ගෙදර ඉඳන්ම මාසෙට 60, 000ක් 70, 000ක් ‍හොයාගන්න පුලුවන් වැඩක්....“.
    (මේ කතා කරන කෙනා ඔබ කොයි තරම් හොඳින් හඳුනන කෙනෙක් වුණත් මේ එන්න කියන්නෙ මොන අහවල් දෙයක් කරන්නද කියලා එදාට ගියොත් මිසක් දැනගන්න නම් ලැබෙන්නෙ නැහැ)

    * * *
    එහෙමත් නැත්නම්,ඔබ හඳුනන කෙනෙක් හදිසියේම ගෙදරට ඒවි. ඇවිත් වෙන වෙන වල්පල් කතාකරමින් ඉඳලා හෙමින්සැරේ ට්‍රැක් මාරු කරලා කියයි,

    + “පොඩි බිස්නස් එකක් කරන්න අදහසක් තියෙනවා, සෙට්වෙලා කරමුද?“
    - “මොනවගේ බිස්නස් එකක්ද?“

    +“ගෙදර ඉඳන් පාට් ටයිම් කරන්න පුලුවන් වැඩක්, බය වෙන්න එපා, මේක සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල වැඩක්. මෙහෙම කිව්වම මොනවගේ දෙයක් කියලද හිතෙන්නෙ?“
    - “හිතාගන්න බැහැනෙ!“

    +“මුලින් ඔයා අපෙන් භාණ්ඩයක් මිලදීගන්න ඕනි. අපි ළඟ පැකේජස් කීපයක්ම තියෙනවා“
    (මේ ඔක්කොම අදාළ භාණ්ඩයේ සැබෑ වටිනාකම වගේ කීපගුණයකින් වැඩි අස්ප ගණන් ඒවා).
    “ඔයා ගන්න පැකේජ් එක අනුව ඔයාට මේ මේ ප්‍රතිලාභ ලැබෙනවා. ඉන්පස්සෙ කරන්න තියෙන්නෙ ඔයා අඳුනන කීපදෙනෙක්ට මේ භාණ්ඩ හඳුන්වාදෙන එකයි. ඔයාට පහළින් එකතුවෙන ඕනම කෙනෙක් භාණ්ඩයක් ගත්තම ඔයාට ප්‍රතිලාභයක් ලැබෙනවා. කිසිම මහන්සියක් නැතිව ගෙදර ඉඳන් හොඳ ගාණක් හම්බකරගන්න පුලුවන්“
    - “අපෝ, පිරමිඩ් නේද?“

    +“නෑ. පිරමිඩ් නෙවෙයි. මේ ක්‍රමයට අපි කියන්නෙ නෙට්වර්ක් මාකටිං/ඩිරෙක්ට් සේල්ස් කියලා. මේ තියෙන්නෙ අපේ ලියාපදිංචි සහතිකය. පිරමිඩ් නම් මෙච්චර අවුරුදු ගාණක් මේක කරගෙන එන්න බැහැනෙ. අපි කරන්නෙ අතරමැදියො නැතිව කෙළින්ම පාරිභෝගිකයා ළඟටම භාණ්ඩය ගෙනත් දෙන එක.“
    (ඇත්තටම මේකෙ පාරිභෝගිකයෙක් කියලා අවසන් පරිභෝජකයෙක් නැහැ. ඉන්නෙ අලෙවි කරුවෙකුගෙන් භාණ්ඩය අරන් තවත් අලෙවිකරුවන් කීපදෙනෙකුට විකුණනඅලෙවිකරුවන් පිරිසක් විතරයි).
    “එතකොට අනෙක් සමාගම් මාකටිං වලට බෙදාහැරීම් වලට දරන සම්පූර්ණ වියදමම ඉතිරියි. ඒ ඉතිරිවෙන මුදල බෙදෙන්නේ අපේ නෙට්වර්ක් එකේ ඉන්න අය අතරේ. ඔයාගෙ නෙට්වර්ක් එක පුළුල් වෙන තරමට ලැබෙන ප්‍රතිලාභයත් වැඩිවෙනවා.“
    (පාරිභෝගිකයෙක් භාණ්ඩයක් මිලදීගන්නෙ අවශ්‍යතා වුවමනා සපුරාගන්න. එහෙම මිලදීගන්නෙත් තමන් ගෙවන මුදලට සරිලන වටිනාකමක් ලැබෙන භාණ්ඩ විතරයි. නමුත් මේ භාණ්ඩය ගන්න මිනිහට ඇති අවශ්‍යතාවයකුත් නැහැ, ගෙවන මුදලට කිසිම වටිනාකමකුත් නැහැ! මේ ධුරාවලියේ ඉහළට මුදල් ප්‍රවාහයක් ගලාගෙන ගියාට පහළට වටිනාකමක් ගලාගෙන නොයන නිසා මේක ඔය කියන විදියෙ එකක් නෙවෙයි)

    ඉන්පස්සෙ ඔබේ දුක සහ මුදල් තණ්හාව ප්‍රයෝජනයට අරගෙන ඔබේ මාසික ආදයම් වියදම් සිදුවන ආකාරයත්, කවදාවත් ඉතිරියක් සිදු නොවන ආකාරයත්, ඉතා ඉක්මනින් ඔබේ හීන හැබෑ කරගන්නා ආකාරයත් කියලා අන්තිමට මාසෙකට ලක්ෂ 70-80ක ආදායමක් එන හැටි ඇස් පනාපිට රූප සටහන් ඇඳලා ඔප්පු කරලා පෙන්නයි!
    “කිසිම බලකිරීමක් නැහැ, කැමතිනම් දවසක් ඇතුළත මට කියන්න...ආයෙ ඉතින් හිතන්න දෙයක් නෑ. ආවොත් ගොඩම තමයි. හරිගියෙ නැත්නම් මම පාඩුව අතින් ඔයාට ගෙවනවා. ඕනිනම් කොළයක අත්සන් කරලා දෙන්නම්!“

    (වැඩේ ඇනිලා අර කටින් දුන්න Money Back Guarantee එක ගැන අහන්න ගියාම කවදාවත් ඉටු කරන්න බැරි කොන්දේසි ගොඩකට ඔබ එකඟවෙලා ඉන්න බව දැනගන්න ලැබේවි. මොකද එදාට ඒ මනුස්සයාත් අනාගෙන ඒ මනුස්සයාටguarantee එක දුන්න මනුස්සයත් අනාගෙනනෙ ඉන්නෙ. ඉතින් කොහෙන්ද සල්ලි? )

    ඔය උඩ කිව්ව අවස්ථා දෙකට ඔබ මුහුණ දීලත් ඇති. එහෙමත් නැත්නම් ළඟදිම දවසක මුහුණදෙන්න සිද්ධවේවි.
    දැනටමත් ඔබ හොඳින් දන්නා හඳුනන, විශ්වාස කරන කවුරු හරි මෙහෙම කිව්වද? කළාද?
    එහෙමනම් ටිකක් පරිස්සම් වුණොත් හොඳයි!. මොකද ඒ කතා කරන්නේ නීති විරෝධී පිරමිඩ යෝජනා ක්‍රමයකට (එහෙමත් නැත්නම් Multilevel/Network Marketing / Direct salesබව පෙන්වමින් එන වහෙන් ඔරෝ පිරමීඩ යෝජනා ක්‍රමයකට) ඔබව සම්බන්ධ කරගැනීම සඳහා වෙන්න පුලුවන්.
    ඉතින් යාලුකම/නෑදෑකමයි, සල්ලියි නැති කරගෙන මිනිස්සුන්ගෙන් බැණුම් අහලා ඒ මදිවට හිරේ විලංගුවෙත් වැටෙන්න කලින් මේ ත්ර‌ේඩ් එක සම්පූර්ණෙන් කියවන්න.

    දිගු කාලීන වේදනා ජනිත කරමින්, මූල්‍ය විනාශයන්ට අමතරව පුද්ගලික හා සමාජ ව්‍යසනයන්ට හේතු වෙමින් වඩ වඩාත් ප‍්‍රබල අයුරෙන් පැතිරෙන නිසාත්,වටහාගැනීමට අපහසු, කලාතුරකින් අධ්‍යයනය කෙරෙන සහ විවිධ නම්වලින් හැඳින්වෙන මේවා තවදුරටත් විනාශකාරීවිය හැකි බැවිනුත්” ඇමෙරිකා එක්සත් ජනපදයේ පිරමිඩ් ඇලර්ට් (Pyramid Alert) සංවිධානය විසින් පිරමිඩ යෝජනා ක‍්‍රම මූල්‍ය සුනාමියක් ලෙස හඳුන්වලා තියෙනවා.සරලවම කිව්වොත්, යම් යෝජනා ක්‍රමයකට (Scheme) තමන් යටතේ තවත් අය බඳවාගැනීමට හිමිකම ලබාගැනීම සඳහා ගෙවීමක් සිදුකර ඒ සඳහා ආදායමක් ලබාගන්නා ක්‍රමයක් පිරමීඩ යෝජනා ක්‍රමයක් කියලා හඳුන්වන්න පුලුවන්.

    ඒ කියන්නේ, මුලින්ම ඔබ ගෙවීමක් කළ යුතුයි. එහෙමත් නැත්නම් ඒක නිකංම නිකං ගෙවීමක් බව නොදැනෙන්න අධික මිලක් (Price) ගෙවා ඒ මිලට වඩා අඩු වටිනාකමක්(value) ඇති භාණ්ඩයක් මිලදී ගත යුතුයි. සමහරවිට ඒ භාණ්ඩයෙන් ඔබට කිසිම ප්‍රයෝජනයක් නැති වෙන්න පුලුවන්. ඒත් මේ බිස්නස් එකට ඇතුළ් වෙලා තවත් අය ඔබ යටතේ බඳවාගෙන මුදල් උපයන්න නම් ඒක ගන්නම වෙනවා. නැවත ඔබ විසින් බඳවාගන්නා අයත් මේ විදියටම මේ මූලික දායකත්වය ගෙවන්න ඕනි. එතකොට ඒ අය ගෙවන මුදලින් කොටසක් ඔබට ලැබෙනවා. සාමාන්‍යයෙන් මේ පිරමීඩාකාර යෝජනා ක්‍රමයක ලක්ෂණයක් තමයි ඒ විදියට පහළ මට්ට්ම් වලට යනකොට සම්බන්ධවෙන පිරිස වේගයෙන් වැඩි වෙන එක. ඒ කියන්නේ ඔබ තුන් දෙනෙක් බඳවාගන්නවා. ඒ තුන්දෙනා තව තුන්දෙනා බැගින් නවයක් බඳවාගන්නවා. ඊළඟට ඒ නවදෙනා..... හරියට ගුණෝත්තර ශ්‍රේඪියක් වගේ. එහෙම ගත්තම මේකේ ආකෘතිය පිරමීඩයක් නිසා තමයි පිරමීඩ නමින් හඳුන්වන්නෙ. මේකෙ තියෙන අවුල තමයි කවදාහරි මේ පිරමීඩයේ පහළ ඉන්න අයට ප්‍රතිලාභ තියා තමන් යෙදූ මුදලත් අහිමි වීමට ඇති අවදානම. ඒ නිසා මේවා “සැලසුම් සහගත පාරිභෝගික වංචා“ කියලා හඳුන්වනවා.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඔව්!
    පිරමීඩ යෝජනා ක්‍රම ලංකාවෙ තහනම්!

    1988 අංක 30 දරණ බැංකු පණතට අනුව - සහභාගිවන්නන් උපයන ප‍්‍රතිලාභසහභාගිවන්නන් සංඛ්‍යාව වැඩිවීම මත හා යෝජනා ක‍්‍රමයට සහභාගිවන්නන් විසින් ගෙවා ඇති දායක මුදල් වැඩිවීම මත, ප‍්‍රධාන වශයෙන් තීරණය වන්නා වු යෝජනා ක‍්‍රමයක් කිසිම තැනැත්තෙකු විසින් කෙලින් ම (directly) හෝ අන් ආකාරයකින් (indirectly) ආරම්භ කිරීම (initiating), අර්පණය කිරීම (offering), ප‍්‍රවර්ධනය කිරීම (promoting), ප‍්‍රචාරය කිරීම (advertising), පැවැත්වීම (conducting), මුදල් සැපයීම(financing), කළමනාකරණය කිරීම (managing) හෝ විධාන කිරීම (directing) නොකළ යුතුයි.
    ලංකාවෙ නීතිය අනුව මේවා තමයි දඬුවම්.

    1. එක්කෝ බරපතල වැඩ ඇතිව/නැතිව උපරිමය අවුරුදු 3ක් වන සිර දඬුවමක්
    2. එහෙමත් නැත්නම් උපරිමය රුපියල් මිලියනයක් වන දඩයක්
    3. එහෙමත් නැත්නම් ඒ දෙකම
    ඒත් ඔබ තවත් කෙනෙක් අමාරුවේ දැම්මේ ඒ පුද්ගලයාට අලාභයක් වන බව දැන දැනම නම්,
    1. බරපතල වැඩ ඇතිව අවමය අවුරුදු 3කුත් උපරිමය අවුරුදු 5ක් වන සිර දඬුවමක්
    2. ඒ මදිවට රුපියල් මිලියන දෙකක් හෝ ඔබ යටතේ බඳවාගත් අය යෙදූ මුදල් මෙන් දෙගුණයක් යන දෙකෙන් වැඩි අගයට සමාන දඩයක්

    ඒ වගේම බැංකු පනතේ එන ඉහත විධි විධාන කඩ කිරීම 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත හා 2006 අංක 6 දරණ මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේත් නීති විරෝධී වැඩක් බව සඳහන් වෙනවා. ඒ කියන්නෙ පිරමිඩ යෝජනා ක‍්‍රමයකින් උපයාගන්නා මුදල්, විශුද්ධිකරණය සඳහා හෝ ත‍්‍රස්තවාදී කටයුතු සඳහා යොදාගන්නා (බවට තීරණය කළ) වෙලාවට රජයට ඒ මුදල් පවරාගැනීමේ සම්පූර්ණ අයිතිය තියෙනවා.

    පහුගිය කාලයේ සිදුවුණු නීති රීති සංශෝධනත් එක්ක මේ පිරමීඩ යෝජනා ක්‍රම පිරමීඩ නොවන ඒවා බව කියමින් තමයි ක්‍රියාත්මක වෙන්නෙ. Multi-level / Network marketing කියලා තමයි ඒ අය කියන්නෙ. හැබැයි ඉතින් පිරමීඩ තහනම් නිසාමේවට සම්බන්ධ නොවී ඉන්න එක තමයි ඇඟට ගුණ. මේ පහළ තියෙන ලක්ෂණ ඔබට පිරමීඩ ජාවාරම් හඳුනාගන්න උපකාරී වෙයි.
    1. මහන්සි නොවී ලොකු මුදලක් හම්බකරගන්න පුලුවන් කියලා කවුරුහරි කියනවානම්, අන්න== පිරමීඩයක්.
    2. අධික මිලකට ඒ ගෙවන මිලට වඩා අඩු වටිනාකමක් තියෙන භාණ්ඩයක් ගන්න කියනවානම්, ඔබ ඒ භාණ්ඩ විකුණන්න හොයාගන්න පිරිස අනුව කොමිස් මුදලක් ගෙවනවා කියනවානම්....පිරමීඩයක්.
    3. ඔබට පහළින් එකතු වෙන පිරිස දෙගුණ තෙගුණ වී යන ආකාරයටම ඔබේආදයමත් දෙගුණ තෙගුණ වී යන බව කියනවානම්.....ඔව්....පිරමීඩයක්.
    4. පාරිභෝගිකයෙකුට භාණ්ඩ විකුණනවා වෙනුවට, සාමාජිකයින් බඳවාගැනීමටභාණ්ඩ අලෙවි කරනවානම්....පිරමීඩයක්.
    5. අදාල යෝජනා ක්‍රමයේ ඉන්න අය භාණ්ඩය විකුණලා ආදයම ලබන බවට පැහැදිලි සාක්ෂි නැත්නම්, ඒ ක්‍රමයට වැඩකිරීමෙන් හදිසියේම තමන් ධනවතෙක් වුණා කියලා කවුරුහරි කියනවානම්...බොහෝවිට පිරමීඩයක්.
    6. ෆේස්බුක් එකේ, ඊමේල් වලින් ප්‍රසිද්ධ පුද්ගලයො මෙහෙම කිව්වා අරෙහෙමකිව්වා කියලා ඔබව පිරමීඩ ක්‍රම වලට පොළඹවාගන්නා දේ එවන අයගෙන් පරිස්සම් වෙන්න. ඒ ප්‍රසිද්ධ පුද්ගලයෝ කතාකරන්නෙ වෙන මාතෘකාවක් ගැන.මේ අය කරන්නේ ඒ කියමන් ඔවුන් කරන ව්‍යාපාරය ගැන වර්ණනා කරනආකාරයට විකෘති කරලා ඔබව රවට්ටන එක.
    7. ඒ වගේම ඔබව කවුරුන්හෝ මේ ලිපිය මුල කිව්වා වගේ සම්මන්ත්‍රණයකට එක්කගෙන ගියොත්, එතැනදී කිසිම ගිවිසුමකට අත්සන් කරන්න එපා. මොකදඒ වෙලාවෙදි ඔබ තීරණයක් ගැනීමට තරම් සිද්ධ වෙන දේ ගැන දැනුමක් නැතිව ඉන්නවා වෙන්න පුලුවන්.

    Multi-level marketing (MLM) එහෙමත් නැත්නම් Network Marketing වලදී ස්වාධීන අලෙවිකරුවන් විසින් පාරිභෝගිකයාට භාණ්ඩ අලෙවි කිරීමක් සිදුවෙනවා. MLM වලදි ලැබෙන ආදායම තීරණය වෙන්නෙ අදාල සමාගමෙන් අලෙවිකරුවාට ලබාදෙන භාණ්ඩ විකිණීමට ඇති හැකියාව/දක්ෂතාවය සහ කැපවීම මතයි. ඒ වගේම මේ MLMසමාගම් එහි ස්වාධීන අලෙවිකරුවන්ට තවත් අලෙවිකරුවන් බඳවාගනිමින්, ඒ අයට පාරිභෝගිකයින්ට විකිණීමට භාණ්ඩ ලබාදෙමින් ඔවුන්ගේම විකුණුම් ජාලයක් ගොඩනගාගැනීමටත්, එම විකුණුම් මත පදනම්ව යම් ප්‍රතිශතයක ආදායමක් ලබාගැනීමටත් අවස්ථාව ලබාදෙනවා. මේ ව්‍යාපාර ව්‍යුහය නීති විරෝධී නොවන, ලෝකයේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන එකක්. හැබැයි කවුරුහරි නෙට්වර්ක් මාකටින් කියාගෙන ඇවිත් මේ පහළ තියෙන දේවල් වගේ ඒවා කියනවානම්, පරිස්සම් වෙන එක හොඳයි.

    1. මහන්සි නොවී, වැඩි වෙලාවක් කැප නොකර විශාල ආදායමක් ලබාගතහැකි බව කියනවානම්.
    2. මුලින්ම වැඩේ පටන්ගන්න නම් ලොකු ගාණක් ගෙවලා (ඒවා විකුණුනේ නැත්නම් ආපහු ගන්න බවට කිසිම ලිඛිත වගකීමක් නැතිව) භාණ්ඩ මිලදීගන්න කියනවානම්
    3. ආරම්භක මුදල් අත්පිට මුදලින් (Cash) හෝ මනි ඕඩර් එකකින් ගෙවන්න කියනවානම්.
    පිරමීඩ යෝජනා ක්‍රම වලදි මූලික අවධානය යොමුකරවන්නෙ තවත් කෙනෙකුට ඔහු/ඇය යටතේ තවත් පුද්ගලයින් බඳවාගන්න අයිතිය ලබාදීලා ඉක්මන් ලාභයක් ලබාගැනීම පිළිබඳවයි. පිරමීඩ වලදි භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කරනවාට වඩා වැඩි තැනක් ලබාදෙන්නෙ සාමාජිකයින් බඳවාගැනීම කෙරෙහියි. භාණ්ඩයට ඇති වෙළඳපල ගැන කිසිම සඳහනක් කරන්නෙ නැහැ
    (හොඳට විකිණෙන භාණ්ඩයක්ද නැද්ද කියල සඳහනක් කරන්නෙ නැහැ. පිරිස බඳවාගැනීම තමයි අරමුණ). ඇත්තටම මේවයෙදි වෙන්නෙ පිරමිඩ් සාමාජිකයින් විසින් තමන් අධි මිලට භාණ්ඩයක් මිලදීගෙන වැඩේට ඇතුළ් වෙන්න දරපු මූලික වියදම උපයාගන්න තවත් අය මේකට බඳවාගන්න උත්සහ කරන එකයි).

    මේ අය බොහෝවිට කියන දේවල් තමයි,
    1. කිසිදු මහන්සියකින තොරව මිලියන ගණන් මුදල් උපයන්න පුලුවන් බව.
    2. පැහැදිලි සාක්ෂි නැතිව සමාගම එක්ක වැඩ කරලා ජීවිතය ජයගත් අය පිළිබඳව තොරතෝංචියක් නැතිව විස්තර කරන එක
    3. මූලික ගෙවීම ඉතා ඉහළ අගයක් ගැනීම සහ අලෙවිකරුවෙක් වීමට අයිතිය ගැනීමට තවත් සැඟවුණු ගෙවීම් කරන්නට තිබීම.
    4. ආදයම් උපයන්නෙ භාණ්ඩ විකිණීමේ අයිතිය තවත් කෙනෙකුට විකුණලා මිසක් භාණ්ඩයක් විකිණීමෙන් නොවීම

    ***ප්ධාන වශයෙන් පිරමීඩ යෝජනා ක්‍රම (Pyramid Schemes) දෙකක් තියෙනවා.


    (01) ශූන්‍ය පිරමීඩ යෝජනා ක්‍රමය (Naked Pyramid Scheme)
    මේ ක්‍රමයෙදි මොකුත් මිලදී ගන්න අවශ්‍ය නැහැ. මුදල් යෙදවීම විතරයි.

    උදාහරණයක් (මම නෙවෙයි මහ බැංකුවෙන්ම දුන් උදාහරණයක්) කියන්නම් හොඳටතේරුම්ගන්න.
    1. යම් පුද්ගලයෙක් තවත් 10 දෙනෙක් සම්බන්ධ කරගෙන ඒ 10 දෙනාගෙන් රුපියල් 100 බැගින් අය කරගෙන වැඩේ පටන්ගන්නවා.
    2. ඊළඟට ඒ අලුතින් ආව 10 දෙනා එක් කෙනෙක් 10 බැගින් තව 100 දෙනෙක් ගේනවා. මොකද එහෙම කළොත් විතරයි තමන්ට ආදායමක් එන්නේ. ඒ විදියට ගේන 100 දෙනාගෙනුත් ඒ ඒ අයව බඳවාගත් පුද්ගලයා රුපියල් 100 බැගින් වන මූලික අයකිරීමක් කරනවා. මේ ආරම්භක මුදල් වැඩේ පටන්ගත්තු කෙනාට/සමාගමටයි ලැබෙන්නේ.
    3. ඔය අතරේ, යම් කාලයකදී වැඩේ පටන්ගත්ත මනුස්සයා හෙමින් සැරේ අයින් වෙනවා. එතකොට දෙවෙනියට හිටිය 10 දෙනා උඩම මට්ටමට එනවා.
    4. ඉන්පස්සේ මේ උඩම දහදෙනා ඉවත් නොවී ඉන්න තාක් කල්, පහළින් බැඳෙන අය මේ 10 දෙනාට ගෙවීම කරන්න ඕනි. ඒ 10දෙනා ඉවත්වෙන දවසක ඊට පහළින් ඉන්න 100දෙනා පළමු මට්ටමට එනවා. ඔය විදියට වැඩේ කෙරීගෙන යනවා.
    5. අපි හිතමුකෝ වැඩේ පටන්ගත්ත කෙනා ඉවත්වෙන්නේ මේ 7 වැනි මට්ටමේඉන්න මිලියනයත් බඳවාගත්තට පස්සෙ කියලා. ඒ කියන්නේ ඒ මනුස්සයා මාරු වෙන්නෙ රුපියල් 111,111,000ක් එකතු කරගෙන.
    6. අනිත් කාරණය තමයි මේ උදාහරණයේ විදියට ගත්තොත් මේක මිලියනයේ මට්ටමින් එහාට ගෙනියනවානම් තව මිනිස්සු මිලියන 10ක් හොයාගන්න ඕන. ලංකාවෙ ඉන්නෙත් මිලියන 20කට අඩු ජනහනයක්. ඉතින් ඕකෙන් බාගයක් මේ වැඩේට අල්ලගන්න පුලුවන්ද? බැහැනේ. අන්න ඒවගේ තැනකදී මේ පිරමීඩය බිඳවැටෙනවා. නිකං නෙවෙයි, පහළ මට්ටම් වල ඉන්න මිනිස්සුන්ට තමන් යෙදවූ මුදලවත් හොයාගන්න බැරි තත්ත්වයට අසරණ කරමින්.
    ------ Post added on Jan 18, 2021 at 9:48 PM
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    (02). නිෂ්පාදනයක් මත පදනම්වූ පිරමීඩ යෝජනා ක්‍රමය (Product-based Pyramid Scheme)

    මේ ක්‍රමයෙදි අධික මිලක් නියම වුණ භාණ්ඩයක් මිලදී ගන්න ඕනි. ඒක එක්කෝ සූර්යකෝෂ කට්ටලයක් (සෝලා පැනල් එකක්), එහෙමත් නැත්නම් වතුර ෆිල්ටර් එකක්, ඔරලෝසුවක්........වගේ දෙයක් වෙන්න පුලුවන්.මේක ගත්තම තමයි ඔබට ඔබ යටතේ තවත් අය බඳවාගන්නත්, බඩු විකුණන්නත් අයිතිය ලැබෙන්නෙ. මේවා බහු ස්ථර (multi-level) හෝ ජාල අලෙවිකරණ (network marketing) විදයට තමයි මොවුන් හඳුන්වාදෙන්නෙ. ඇත්තටම මේ භාණ්ඩය නිකං නමට තියෙන එකක් විතරයි. ඒක අර නිකංම සල්ලි ගෙවලා පිරමිඩ් එකකට ඇතුළ් වෙන බව නොදැනෙන්න කරන බොරුවක්.
    මේක Direct sales හෝ Network marketing නෙවෙයි. මොකද මේවයෙ කොතැනවත් ඇත්තම පාරිභෝගිකයො නැහැ. ඉන්නෙ අලෙවිකරුවො විතරයි. අලෙවි කරුවෙක් භාණ්ඩය අරගෙන තවත් අලෙවිකරුවන් පිරිසකට භාණ්ඩ විකුණන්න අයිතිය ලබාගන්න එකයි කෙරෙන්නෙ. ඒ විදියට සාමාජිකයින් බඳවාගැනීමේ අයිතිය ලබාගත්තට පස්සෙ ඔබ තවත් දන්නා හඳුනන අය ඔබ යටතේ පිරමීඩ යෝජනා ක්‍රමය තුළට ගෙන ආ යුතුයි. ඔබට ප්‍රතිලාභ හිමිවන්නේ ඔබ යටතේ ගොඩනැගෙන ජාලයේ ප්‍රමාණය මතයි. නමුත් Multi-level හෝ Network Marketing වලදී භාණ්ඩ විකුණන්නේ ඒවා සැබැවින්ම අවශ්‍ය පාරිභෝගිකයින්ට මිස සාමාජිකයින් බඳවාගැනීමේ අරමුණින් නෙවෙයි.

    ඒ කියන්නෙ මොන නමින් ආවත්, කොච්චර නෑ කිව්වත් මේක පිරමිඩ්ම තමයි.

    මේ මහබැංකුව මේ සඳහා ලබාදෙන උදාහරණයයි.
    1. පිරමීඩ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන සමාගම රු. 50, 000+ වගේ අධි මිලකට භාණ්ඩයක් විකුණනවා. මේවා මිලදීගන්න අය තවත් ගැනුම්කරුවන් බඳවාගෙන කොමිස් මුදලක් ලබන්න සුදුසුකම් ලබාගන්නවා.
    2. කොහොම වුණත් රුපියල් 10,000ක කොමිස් මුදලක් ලැබෙන්නෙ ඔබට පහළින් 10 දෙනෙක් එකතු වෙන අවස්ථාවක බව මොවුන් කියනවා කියලා හිතමුකො. පස්සෙ ඒ විදියට එකතු වෙන අයටත් රුපියල් 10,000 කොමිස් මුදල ගන්න 10 දෙනා ගණනේ බඳවාගන්න වෙනවා. මේ විදියට පහළින් සාමාජිකයො 10ක් බඳවාගන්න හැම අවස්ථාවකදිම ඉහළින්ම ඉන්න - පහළින් 10දෙනෙකු සිටීමේ සුදුසුකම සපුරන - අයට කොමිස් මුදල ලැබෙනවා.
    3. උදාහරණයේ තියෙන විදියට හැම මට්ටමකදිම පිරිස දෙගුණ වෙමින් යනවා කියලා හිතුවොත්, ඔතන ඉන්න 63 දෙනාට රුපියල් 50,000/- ගණනේ භාණ්ඩය විකුණලා සමාගම රුපියල් 3,150,000ක ආදායමක් ලබාගන්නවා.
    4. මේ හැම පුද්ගලයින් 10ක් බඳවාගන්නකොටම, ආරම්භක ප්‍රවර්ධකයාට 7 සැරයකුත්, පළමු මට්ටමේ දෙදෙනාට 3වතාව බැගින් 6 සැරයකුත්, දෙවැනි මට්ටමේ හතරදෙනාට 1 වතාව බැගින් 4 සැරයකුත් (17 වතාවක්) කොමිස් ගෙවා තිබෙනවා. ඒ කියන්නෙ 17 දෙනාට 10,000 බැගින් රුපියල් 170,000ක් විතරයි. ඉතිරි මුලු මුදලට සමාගමටයි අයිති වෙන්නෙ.
    5. ප්‍රතිශත විදියට ගත්තොත් මුළු විකුණුම් වලින් 5.4%ක මුදලක් මුලු සාමාජික සංඛ්‍යාවෙන් 11%ක පිරිසක් අතරේ පමණක් බෙදී ගිහින් තියෙනවා. තේරෙනවද ඔතන සහභාගි වෙලා ඉන්න පිරිසෙන් කොච්චර සුළු ප්‍රමාණයකටද කොමිස් ලැබෙන්නෙ කියලා. පහළ ඉන්න අයට ලැබෙන්නෙම නැහැ.
    6. අන්තිමට කොහොමත් මේක බිඳවැටෙන නිසා ඉතිරිවෙන්නෙ අර කිසි වැඩකට නැතිව අධි මිලක් ගෙවලා ගත්ත භාණ්ඩය විතරයි. ඒක තියාගෙන මොනව කරන්නද?!

    මේ පිරමීඩ ක්‍රම තුළට සෙනග අද්දවාගන්න ක්‍රම හැටියට මේ ත්රෙඩ පටන්ගන්නකොට කීව ක්‍රම දෙක වඩාත් සුලභව අහන්න දකින්න ලැබෙනවා.

    ඔබ ඔවුන්ගේ යෝජනාවට එකඟවුණොත්, ඊළඟට ඔබට සම්මන්ත්‍රණ මාලාවකට සහභාගි වෙන්න ලැබෙනවා. බොහෝවිට ඔබව සම්බන්ධ කරගත්ත පුද්ගලයා අතින් වියදම් කරලා වාහනයක ඔබව සම්මන්ත්‍රණයට එක්කගෙන යන්නත් ඉදිරිපත් වේවි. මේ සම්මත්‍රණ වලදී එම පිරමීඩ ක්‍රමයෙන් ජීවිතය ජයගත් අය ඇවිත් හරි හරියට කතා කරාවි. මිලදීගත් යාන වාහන, ගේ දොර ඉඩකඩම් පෙන්වාවි. අනුන්ගේ දුක මුදල් බවට පත්කරගන්නා ආකාරය කියාදීලා ඔලුගෙඩි සෝදා/බ්‍රේන් වොෂ් කරලා එළියට එවාවි. ඊටපස්සෙ ඉතින් අම්මා මුත්තා කිව්වත් මේකෙ බරපතළකම නම් පේන්නෙ නැහැ. මේකට ගොදුරු වුණ අයට මේගැන කොච්චර තේරුම් කරලා කිව්වත් නොතේරෙන්නෙ ඒ නිසයි.

    ශ්‍රී ලංකා මහබැංකුව මේගැන විස්තර කරන්නෙ මෙහෙමයි.

    දැනුම අඩු සහ මූල්‍ය දුෂ්කරතාවයෙන් පෙළෙන පුද්ගලයන් ඉලක්ක කරමින්, මුදල්වලට ඔවුන්ගේ ඇති අධික තණ්හාව හා පහසුවෙන් රවටා පොළඹවා ගත හැකිබව දඩමීමා කරගනිමින් පිරමිඩ ක්‍රම ජනප්‍රිය කරවීමට සංවිධායකවරු ක්‍රියා කරති. වැඩි වෙහෙසකින් තොරව ඉක්මනින් ධනවත් වීමට හැකිය යන විශ්වාසය ඇති කර වංචනිකව ඔවුන් රවටනු ලබයි.සාමාජිකයන් කුඩා සංඛ්‍යාවක් යෝජනා ක්‍රමය තුළට බඳවාගැනීම හැරුනු කොට වෙනත් කිසිවක් සිදුනොකොට විශාල මුදල් ප‍්‍රමාණයක් උපයා ගත හැකි බව කියමින් සහභාගිවන්නන් පොළඹවා ගනු ලබයි.ඇතැම් අවස්ථාවල සහභාගිවන්නන් මුදල් සොයාගන්නා තෙක් ඔවුන් වෙනුවෙන් ප්‍රවර්ධකයෝම මුදලින් දායක වෙති. තම යෝජනා ක‍්‍රමයට සම්භාවනීය, කීර්තිමත් පිළිගැනීමක් ඇතිබව මහජනයාට ඒත්තුගන්වනුවස් ප‍්‍රවර්ධකයෝ ලෝ පතළ පුද්ගලයන් සහ සංවිධානවල නම් යොදාගනිති. යෝජනා ක්‍රමය වෙත ජනතාව ඇදගැනීම සඳහා ප්‍රවර්ධකයෝ/සහභාගි වන්නෝ අභිප්‍රේරණ සමුළු පවත්වති. ඇතැම් විට යෝජනා ක‍්‍රමය තුළින් ඇතැමුන් තනාගත් යස ඉසුරු පෙන්වීමට සුඛෝපභෝගී යාන වාහන සහ / හෝ සුවිසල් මන්දිර සමග ගත් ඔවුන්ගේ ඡායාරූප සම්මන්ත‍්‍රණ වලදී ප‍්‍රදර්ශනය කරමින් ඉක්මනින් ධනවත්වීමට ආශා කරන පුද්ගලයින් මේ යෝජනා ක‍්‍රම තුළට අද්දවා ගැනීමට කටයතු කරති.

    පිරමීඩ යෝජනා ක්‍රම බිඳවැටෙන්න හේතුවක් තමයි කවදාහෝ මේ බඳවාගන්න පිරිස අවසන් වීම. ඒ කියන්නෙ, මුලින්ම සම්බන්ධ වෙන කෙනා කොමිස් මුදල ගන්න තව 10 දෙනෙක් හොයාගෙන එනවා. ඒ දහ දෙනා දහය බැගින් තව 100 දෙනෙක් හොයාගෙන එනවා. ඒ සිය දෙනා කොමිස් මුදල ගන්න 10 බැගින් තව 1,000ක් දෙනා.......ඔය විදියට හොයාගෙන හොයාගෙන ගිහින් කවදාහරි මේක නවතිනවා. එතකොට අන්තිම මට්ටම් වල ඉන්න අයට හුළං තමයි. ඇයි ඉතින් ජනගහනය මිලියන 20ක් වෙන රටක ඔහොම කොහෙන් මිනිස්සු බඳවාගන්නද? කවදාහරි ඉවර වෙනවා. ඒ ඉවර වෙන්නෙ පහළ මට්ටමේ සිය දහස් ගණනක් සෙනග අතරමං කරමින්. 10 ගුණය බැගින් වර්ධනය වෙන වේගය අනුව මේ අතරමං වෙන සහ ගෙවූ මුදලවත් උපයාගන්න බැරිව පාඩු ලබන සෙනග ප්‍රමාණය සහභාගිවෙන මුලු පිරිසෙන් 90%ක් 99%ක් වෙනවා..
     
    Last edited:

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    එක් කෙනෙක්ගෙන් උදුරාගන්න මුදල් තවත් කෙනෙකුට දෙන එක මිස අලුතින් ආදායම් උත්පාදනයක් මේවයෙ සිදු වෙන්නෙ නැහැ. ඒ කියන්නෙ කෙනෙක් අහිමි කරගන්න මුදලින් කොටසක් තමයි තවත් කෙනෙකුට ලැබෙන්නෙ. අලුතින් සාමාජිකයො එන එක නැවතුණ දවසක මුදලුත් නැතිවෙනවා. අලුතෙන් බඳවාගන්නකොට ගෙවන මුදල විතරයිනෙ තියෙන එකම ලැබීම. ඉතින් අලුත් අය අඩුවෙනකොට, නැති වෙනකොට කොහෙන්ද සල්ලි?

    එක හේතුවක් තමයි වරද්දාගත්තු මිනිස්සු ලැජ්ජාවට සද්ද නැතිව ඉන්න එක. වැඩි තණ්හාවට ගිහින් තිබුණ සල්ලිත් නැතිකරගත්තා කියලා කාටහරි කියන්න පුලුවන්ද ලැජ්ජා නැතුව. ඉතින් මේ අය සද්දනැතිව තමන්ටම බැනගෙන පැත්තකට වෙලා ඉන්නවා. ඒ නිසා මිනිස්සු දැනුවත්වීම අඩු නිසා සමාගම දිගටම කෙරීගෙන යනවා.
    අනිත් එක තමයි 10දෙනෙක් හොයාගන්න බැරිව හෝ වෙනත් හේතුවක් නිසා පාඩු ලබන කෙනෙක් ඉවත්ව යනකොට ඒ ඉඩ අලුත් කෙනෙක්ගෙන් පිරෙන එක.
    ඒ වගේම මේ සමාගම් රජයේ නිලධාරීන්ට සහ දේශපාලකයින්ට මදි නොකියන්න හොඳට සලකනවා. ඉතින් මේවාට වැට බැඳෙන්න තියෙන ඉඩකඩ අඩු වෙලා යනවා.

    පිරමීඩ සමාගම් එහි සාමාජිකයින්ට ලැබෙන සාමාන්‍ය ප්‍රතිලාභ ගැන හෙළි කරන්නෙ නැහැ. ඒ වෙනුවට කරන්නෙ ඉහළම ඉන්න හොඳින් මුදල් උපයන කීපදෙනෙක් විතරක් අල්ලගෙන ඒ අයව ඉස්මතු කරලා පෙන්වන අය. ඔය සම්මන්ත්‍රණ වලට එහෙම ඇවිත් කතා කරන්නෙ ඔය සුලු පිරිසෙන් කීපදෙනෙක් තමයි. ඒ නිසා ඒ අය දකින අලුත් සාමාජිකයො හිතන්නෙ සම්බන්ධවෙන හැමෝටම වසර කීපයකින් අර පිරිස ඉන්න ආර්ථික මට්ටමට යන්න පුලුවන් කියලයි. ඒ අයට තේරෙන්නෙ නැහැ තමන් ඉන්නෙ ගොඩ ඒමක් නැති පිරමීඩයෙ පතුළෙ බව. ඉතින් අලුතින් කට්ටිය එනවා. සමාගම කෙරීගෙන යනවා.
    පිරමීඩ යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කරන අය මේකෙ අගක් මුලක් හොයාගන්න බැරි වෙන විදියට නීති රීති, ක්‍රමවේද පටළවනවා. ඉතින් සාමාන්‍ය මනුස්සයෙකුට සල්ලිම මිසක් සිද්ධ වෙන්නෙ මොකක්ද කියල පේන්නෙ නැහැ.
    1. කලින් කිව්වා වගේ කවදාහෝ මේ පිරමීඩ යෝජනාක්‍රමය බිඳ වැටෙනකොට සහභාගීවෙන අයගෙන් 90% - 99% ප්‍රමාණයකට මූල්‍යමය වශයෙන් පාඩු සිද්ධ වෙනවා.
    2. බොහෝවිට කෙනෙක් මේ සඳහා තමන් යටතේ බඳවාගන්නෙ තමන්ගෙම යාලුවෙක්, නෑයෙක් නිසා මේ විදියට ඒ කියූ ආකාරයේ ප්‍රතිලාභයක් නැති වෙද්දී ඒ සම්බන්ධතා පළුදු වෙලා යන්න පුලුවන්. මොකද ඔබ බොරුකාරයෙක්, වංචා කාරයෙක් බව ඒ අයට හිතෙන නිසා. දික්කසාද, දිවිනසාගැනීම් වලටත් මේ ජාවාරම හේතු වෙන්න පුලුවන්.
    3. ගොඩක් වෙලාවට මේවට අහුවෙන්නෙ දැනටමත් ආර්ථික මට්ටම පහළ වැටුණු අය. ඒ අය මේවාට මුදල් හොයාගන්නෙ කණකර උකස් කරලා. එහෙම නැත්නම් ණය අරගෙන. ඉතින් පිරමීඩ බිඳවැටීමකදි ඒ සියල්ලත් අහිමි වීමෙන් කබලෙන් ලිපට වැටීමක් තමයි සිද්ධ වෙන්නෙ.

    සාමාන්‍ය බුද්ධියක් තියෙන හැමෝටම මොකක් හෝ හැකියාවක් තියෙනවා. ඔබ කරන රැකියාවෙන් ලැබෙන ආදායම මදිනම් ඔබට තියෙන හැකියාවන් පාවිච්චි කරලා සාධාරණ නීත්‍යානුකූල ක්‍රම වලින් මුදල් හම්බකරන්න. එහෙම නැත්නම් ඔබඅපේක්ෂාකරන වටිනාකම ලැබෙන රැකියාවක් ගැන සොයාබලන්න. තමන්ගේ ව්‍යාපාරයක් කරන්න. කම්මැලි කමට නිකං ඉඳන් මුදල් හම්බකරන්න ගිහින් මේ වගේ ජාවාරම් වලට අහුවෙලා අමාරුවෙ වැටෙන්න එපා.

    තමන්ගේ ආර්ථික අපහසුතාවයන් වෙනත් කෙනෙකුට වාසියට හරවගෙන ඔබව රවට්ටාගන්න ඉඩ තියන්න එපා. මොකද අසාධාරණ ක්‍රමවලින් මිනිස්සු රවට්ටලාහම්බකරන මුදල් කවදාවත් යාදෙන්නෙ නැහැ. ටික කාලයක් වැඩේ නැගලා යනවා කියල හිතෙයි. හැබැයි අන්තිමේදි මේවායින් ඔබට වැඩකුත් නෑ, රටට වැඩකුත් නෑ!
    තණ්හාව සීමාකරගන්න. වැඩි තණ්හාව විනාශයට මුලනේ. මුදල් ගොඩක් ලැබෙනවා කිව්ව පමණින් කවුරුවත් කියන කියන දේවල් කරන්න යන්න එපා.මොළය පාවිච්චි කරන්න. ඔබට මේ වගේ ජාවාරමකින් රැවටීමට ලක් වුණානම් ලැජ්ජා නොවී කියන්න. ඒකෙන් තව කීපදෙනෙකුගේ ජීවිත වැරදෙන එක වළක්වාගන්න පුලුවන් වුණොත් ඒක පිනක්.
    ඔබේ අත්දැකීම් සහ අදහස් පහළින් කමෙන්ට් කරන්න.

    තොරතුරු මූලාශ්‍ර :
    ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් නිකුත් කෙරුණු "පිරමීඩ සහ ජාල අලෙවිකරණ වැඩසටහන් මගින් ඇතිකරන අන්තරායකර බලපෑම්" අත් පත්‍රිකාව
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මගේ යාලුවෙක් මාව සෙට් කරන්න හැදුවා ඔය වගේ ලොන්ත ටෝක් ටිකක් දීලා Globel Liff Styl එකට.. කෙල්ලෙක් අනික.. හොදට brain wash වෙලා ඇවිල්ලා සුපිරි ටෝකක් දුන්නේ.. පව් නිසා ඒකිට කියල කියල තේරුම් කරවලා ඒකිව ඒකෙන් ගලවගත්තා.. ‍ මුලදි නම් කොච්චර කිවුවත් පිලිගත්තෙම නෑ.. ඒ තරමට මුරුංගා අත්තේ හිටියෙ..

    ඔය තියෙන්නෙත් මේ දවස් වල යන teledrama එකක තියෙන ඔය වගේ සීන් එකක් :lol:

     
    Last edited:

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Thanks machan man me seen eka gana danagena hitiyata wisthra gdk danagatte dan.

    මන් දන්න යාලුවෙක් ඉන්නව අවුරුදු ගානක් තිස්සේ ආශ්‍රයක් නෑ එත් මේ ලඟදි කෝල් කරලා විස්තර අහල පස්සේ හෙමීට මේ සීන් එකට එනව. උන් කරන්නේ Best Life කියල එකක්. මූ උන්ගේ ගැන video එවනවා මුන්ගේ ලොක්කො පාවිච්චි කරන වාහන ගැන කියනව. මන් බැරිම තැන මුන්ගේ ගාව නැති බඩුවක් තියේද කියල ඇහුව ගන්න මු කියනව ඒක ගන්න එපාලු වතුර පිල්ටර් එකක් ගන්නලු වතුර විකුණලා දියුණු වෙන්න පුළුවන්ලු මාත් ගොනා වගේ අහගෙන හිටිය. මූ තවම daily කෝල් කරනවා අයේ ගෙදර ඇවිත් හම්බෙලා කතාකරන්න ඕනි කියල. බඩුවක් ගන්න බෑ කියුවම ගානක් invest කරලා join වෙන්නලු ඉතුරු ටික එයාල බලාගන්නම් ලු අලුත් members ල බඳවා ගන්න එක තව මෙයාල කියන අනිත් දේ තම අවට ගියාට නෙවේ අපි ඔයාව තෝරාගත්තේ ලොකු Research එකක් කරලා කියල ඕක හැමෝටම කියනව මූ තව කියනව මගේ පෙර පිනකටලු මාව සිලෙක්ට් වුනේ අම්මෝ මට පට්ට අතල් මාත් අහගෙන හිටිය මුල් දවසේ බයික් එකෙන් ආවේ පස්සේ දවසේ කාර් එකකින් එනව ලොල් . මුන් brain wash කරන විදිහට සාමාන්යෙන් මනුස්සයෙක් ඇඳෙනවා.

    මන් දන්න තව කෙනෙක් ඕක කරා මෙයාලගේ තියනව Function ඒවාට ලොක්කෝ එන්නේ කොටි ගණන් වල වාහන වෙලා පවු ඉතින් මිනිස්සු රැවටෙනවා. අන්තිමේදී ඒ කරපු කෙනත් ලොස්ට් වුන උඩ ඉන්න උන් අයින් වුන නිසා.

    සම්නයෙන් තේරුමක් තියන කෙනෙක් ඕවට අහුවෙන්නේ නෑ කරන අයත් එහෙම වැඩි දැනුමක් නෑ සල්ලි හොයන්න ලොකු ඕනි කමක් තියන අය සමහරක් විට තියන දේවල් විකුණලා මේවට බැඳිච්ච අය වෙන්න පුළුවන්.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,976
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    ත්‍රෙඩ් එක දැම්මෙ පිරමිඩ් ජාවාරම් ගැන දැනුවත් කරන්න
    අපේ එවුන්ට ප්‍රශ්නේ තියෙන්නෙ ඌ එක ළඟ පෝස්ට් දෙක තුන දැම්මෙ කොහොමද කියල දැනගන්න
    සිරාවට කොහොමද බන් එහෙම දැම්මෙ? 😅 😅 😅 😅
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මගේ යාලුවෙක් මාව සෙට් කරන්න හැදුවා ඔය වගේ ලොන්ත ටෝක් ටිකක් දීලා Globel Liff Styl එකට.. කෙල්ලෙක් අනික.. හොදට brain wash වෙලා ඇවිල්ලා සුපිරි ටෝකක් දුන්නේ.. පව් නිසා ඒකිට කියල කියල තේරුම් කරවලා ඒකිව ඒකෙන් ගලවගත්තා.. ‍ මුලදි නම් කොච්චර කිවුවත් පිලිගත්තෙම නෑ.. ඒ තරමට මුරුංගා අත්තේ හිටියෙ..

    ඔය තියෙන්නෙත් මේ දවස් වල යන teledrama එකක තියෙන ඔය වගේ සීන් එකක් :lol:
    මේ වගේ සීන් එකක් මටත් උනා. අපිත් එක්ක කලින් වැඩකරපු ලේඩි කෙනෙක් මවත් සෙට් කරන්න හැදුව Qnet එවුන්ගෙ පිරමිඩ් කේස් එකට. බොරුවක් කියල කොච්චර පැහැදිලි කරත් ගෑනි පිළිගත්තෙ නෑ. උන්ගෙ සූම් මීටින් එකක් මම මුල ඉඳල රෙකොර්ඩ් කරා. මූනවල් පේන නිසා යූටියුබ් දාන්න බෑ. අන්දනව කියන්නෙ සුපිරි ඇන්දිල්ලක් අන්දනව.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ත්‍රෙඩ් එක දැම්මෙ පිරමිඩ් ජාවාරම් ගැන දැනුවත් කරන්න
    අපේ එවුන්ට ප්‍රශ්නේ තියෙන්නෙ ඌ එක ළඟ පෝස්ට් දෙක තුන දැම්මෙ කොහොමද කියල දැනගන්න
    සිරාවට කොහොමද බන් එහෙම දැම්මෙ? 😅 😅 😅 😅
    කොහොමද බන් එකලග පෝස්ට් දැම්මෙ?
    Post 4k danna puluwan d dan back2back 😳👀
    පෝස්ට් එකක් දාලා 25s කට පස්සෙ තව එකක් දාන්න පුලුවන්නෙ බං