මහා සුතසෝම ජාතකය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    අප මහා බෝසතාණන් වහන්සේ එක් කලෙක කුරු රට ඉඳිපත් නුවර සුතසෝම නම් රජ කෙනෙක් ලෙස බොහොම දැහැමින් රට පාලනය කළා.


    මිනිසුන්ගේ මස් ආහාරයට ගන්නට පුරුදු වූ බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් ද ඒ කාලයේ සිටියා. නගරයේ ජීවත්වීමට නොහැකි ව ඔහු කැලෑ වැදුණා.

    හුගේ නම පෝරිසාද.
    මිනිසුන් මරා කමින් ජීවත් වූ කාලයේ දී ඔහුගේ පාදයේ විශාල තුවාලයක් මතුවුණා. මේ තුවාලය සුව කර දෙන්නේ නම් දඹදිව රජවරු මරා බිලි පූජා කරන්නෙමි යි ඔහු රුක් දෙවියෙකුට බාර වුණා.
    කාලයක් යද්දී තුවාලය සුව වුණා. ඔහු සිතුවේ රුක් දෙවියා විසින් තුවාලය සුව කරනු ලැබූ බවයි.
    ඉතින් මේ පෝරිසාද බාරය ඔප්පු කිරීමට රජවරු පැහැරගෙන ගොස් බැඳ තබනවා. දිනක් සුතසෝම රජු ද අල්ලා ගැනීමට පිටත් වුණා.
    එදා සුතසෝම රජු උයනට යන වෙලාවේ එතුමාට තමා අවවාද අනුශාසනා ලබා ගන්නා බමුණෙක් හමුවුණා. තමා ඉක්මණින් දිය නාගෙන අවවාද අසන්නට එන බව පවසා පොකුණට ගොස් දිය නෑවා.
    පොකුණ ළඟ සැඟ වී සිටි පෝරිසාද රජතුමා දිය නා ගොඩට එනවිටම අල්ලා ඔසවාගෙන දුවන්නට වුණා. රජතුමාගේ කෙස් වැටියේ තිබුණ වතුර බිංදු සෝරිසාදගේ පිටට වැටෙනවා. පෝරිසාද සිතුවේ රජු අඬනවා කියායි.
    ”සුතසෝම ඔබ මර බියෙන් අඬනවාද” පෝරිසාද ඇසුවා
    ” පෝරිසාද, මම අඬන්නේ නැහැ. නමුත් ගාථා සතර පදයක් ගැන අසා ගැනීමට එන බවට මම බමුණෙකුට පොරොන්දු වුණා. ඒ පොරොන්දුව කඩවීම ගැන මම දුක් වෙනවා.
    ඔබ මට සුළු වෙලාවක් දෙනවානම් ඒ බණ පදය අසාගෙන නැවත නුඹ ළඟටම මම එමි” යි රජතුමා කීවා.
    රජතුමා එන බවට ම පොරොන්දු වූ නිසා, පෝරිසාද රජුට යෑමට අවසර දුන්නා. බමුණා ළඟට ගිය රජතුමා බණ අසා තුටුපඬුරක් දී නැවත පෝරිසාද වෙත ඇවිත් ඒ පොරොන්දුව ද ඉටු කළා.
    ඒ වනවිට පෝරිසාද බිලි පූජාවට ගිනි දල්වමිනුයි සිටියේ. “ඔබ ඉගෙනගත් කථා සතර පද මොනවාදැයි” ඔහු රජතුමාගෙන් ඇසුවා. රජතුමා ඒ බණ පද කියා දුන්නා.
    එය අසා පෝරිසාද පැහැදුණා. සුතසෝම රජතුමා සහ බැඳ සිටි සියලු රජවරුන් මුදා හැරියා. සුතසෝම රජුගේ සත්‍යාවාදී වීමේ බලයෙන් හැමෝටම නිදහස ලැබුණා.
    මෙය අප මහා බෝසතාණන් වහන්සේ සත්‍ය පාරමිතාව පිරූ ආකාරය කියවෙන එක් කථාවක් පමණයි.
    මෙයින් අපට ලැබෙන පණිවුඩය නම් විවරණ ලැබූ පසු බෝධි සත්ත්වයන් වහන්සේ නමක් බොරු කියන්නේ නැති බවයි.
    ඒ උන්වහන්සේ සත්‍ය සොයමින් ගමන් කරන නිසයි.