මහ බැංකුව බංකොලොත්ද?
ලංකාව මුහුණ දෙමින් ඉන්න ආර්ථික අර්බුදය ගැන හැමදාමත් උස් හඬින් කතා කළේ ඒ අවස්ථාව වන විට විපක්ෂයේ සිටි දේශපාලන පක්ෂ විසිනුයි. බලයේ සිටි පක්ෂයේ දේශපාලනඥයින් විසින් බොහෝ විට කළේ මොනවා හෝ සංඛ්‍යාලේඛණ ටිකක් පෙන්වමින් රටේ ආර්ථිකය ගැන ශුභවාදී චිත්‍රයක් පින්තාරු කරන එකයි. එයින් අදහස් කළේ විපක්ෂ දේශපාලනඥයින් විසින් නිවැරදි සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කළ බව නෙමෙයි. ඒ අය විසින් බොහෝ විට කළේ පවතිනවාටත් වඩා අශුභවාදී චිත්‍රයක් පින්තාරු කරන එකයි.
ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ දේශපාලනඥයින් විසින් මාරුවෙන් මාරුවට සිදු කළ එකිනෙකට ප්‍රතිවිරුද්ධ මෙවැනි පැහැදිලි කිරීම් නිසා ආර්ථික දර්ශක ගැන ලොකු අවබෝධයක් නැති සාමාන්‍ය ජනතාව බොහෝ විට අන්දමන්ද වෙලයි හිටියේ. හැමදාම විපක්ෂයේ ඉන්න පක්ෂ වල දේශපාලනඥයින් කොහොමටත් පවතින තත්ත්වය ගැන ශුභවාදීව නොබලන අශුභවාදීන් වූ නිසා ඒ අය කියන දේවල් දිහා ගොඩක් අය බැලුවේත් සැකයෙන්. ඔය අතර කලාතුරකින් රටේ ආර්ථිකය ගැන නිවැරදි විශ්ලේෂණ කරන විෂය ප්‍රවීණයන්ද හිටියත්, විෂය ප්‍රවීණයන් බොහෝ දෙනෙකුද කවර හෝ දේශපාලන පක්ෂයකට කඩේ යන්නන් වූ නිසා එසේ නොවූ අයෙකු කියන දෙයකට වුනත් වැඩි දෙනෙක් ඇහුම්කන් දුන්නේ නැහැ.
මේ සෙල්ලම දැන් කෙළවරකට ඇවිත්. මේ වෙද්දී රටේ ආර්ථික අර්බුදය ගැන කතා කරන්නේ විපක්ෂ දේශපාලනඥයින් විසින් පමණක් නෙමෙයි. පවතින ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයින් විසිනුත් තරඟයට වගේ ආර්ථික අර්බුදය ගැන මිනිස්සු දැනුවත් කරනවා.
මේ ගැන දැන් ඕනෑවට වඩා කතා කරන එකේ තේරුමක් නැහැ. කතා කරන එකේ තේරුමක් තිබුණු කාලයේ අප මේ ගැන ඕනෑ තරම් කතා කර තිබෙනවා. දිනපතා ව්‍යායාම කරන්න උපදෙස් දිය යුත්තේ හෘදයාබාධයක් හැදෙන්න කලින්. හෘදයාබාධයක් හැදුනු අයෙකුට විවේකයෙන් ඉන්න උපදෙස් දෙනවා මිසක් ලොකුවට ව්‍යායාම කරන්න උපදෙස් දෙන්න බැහැ. එක පැත්තකින් බැලුවහම මේ වියුණුව වෙනුවෙන් අප විසින් වැය කර ඇති කාලය ගැනත් තියෙන්නේ කණගාටුවක්. ඒ කාලය වඩා ඵලදායී කටයුත්තකට යෙදෙවුවානම් සමහර විට ලෝකයේ කොහේ හෝ ජිවත්වන වැඩි දෙනෙකුට යහපතක් විය හැකිව තිබුණා. කොහොම වුනත් අප ලියන දේ දිගින් දිගටම උනන්දුවෙන් කියවන යම් පිරිසක් ඉන්න නිසා වියුණුව මැරෙන්න දෙන්න අදහසක් නැහැ.
මේ දවස් වල ජනප්‍රිය මාතෘකාවක් වී තිබෙන සල්ලි අච්චු ගැහීම ගැන කිහිප දෙනෙක්ම විමසා තිබුණා. ඒ එක්කම ඔය සල්ලි අච්චු ගැහීම ගැන විවිධ ප්රවෘත්ති පැතිරෙමින් තිබෙනවා.
සල්ලි අච්චු ගැහීම ගැන මම කාලයක් තිස්සේ පැහැදිලි කර තිබෙනවා. සාමාන්‍යයෙන් සල්ලි අච්චු ගහනවා කියා කියන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය වැඩි වෙන එකටයි. සංචිත මුදල් වල කොටස් දෙකක් තිබෙනවා. පළමු කොටස සංසරණයේ තිබෙන කාසි හා නෝට්ටු. මේවා සල්ලි බව කාට වුනත් පැහැදිලියි. දෙවන කොටස මහ බැංකුවේ තිබෙන වාණිජ බැංකු වල තැන්පතු මුදල්. දෙවන කොටස සල්ලි වෙන්නේ කොහොමද කියන එක එකවර පැහැදිලි වෙන දෙයක් නොවුනත්, ඔය කොටස් දෙකේ වැඩි වෙනසක් නැහැ. මේ කොටස් දෙකේම තිබෙන්නේ මහ බැංකුවේ "වගකීම්" එහෙම නැත්නම් "බැරකම්".
වාණිජ බැංකු වල තිබෙන්නේ තැන්පතුකරුවන්ගේ මුදල් බව අපි දන්නවා. තැන්පතුකරුවන් විසින් ආපසු ඉල්ලූ විට වාණිජ බැංකු විසින් මේ තැන්පතු මුදල් ආපසු ගෙවිය යුතුයි. ඒ සඳහා වාණිජ බැංකුවක් සතුව හැම විටම ඔවුන්ගේ බැරකම් ඉක්මවන වත්කම් තිබිය යුතුයි. වාණිජ බැංකුවක වත්කම් වලට වඩා බැරකම් වැඩිනම් එයින් අදහස් වෙන්නේ එම වාණිජ බැංකුව බංකොලොත් වී ඇති බවයි. බංකොලොත් වූ වාණිජ බැංකුවකට එම බැංකුව සතු සියලුම වත්කම් මුදල් කළත් තැන්පතුකරුවන්ගේ මුදල් සියල්ල ආපසු ගෙවීමේ හැකියාවක් නැහැ.
මේ කතාවම මහ බැංකුවටත් අදාළයි. කිසියම් වාණිජ බැංකුවක් විසින් මහ බැංකුවේ තිබෙන තමන්ගේ තැන්පතු ආපසු ඉල්ලා සිටි විට එම තැන්පතු ආපසු ගෙවීමට මහ බැංකුවට හැකි විය යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් වත්කම් මහ බැංකුව සතු විය යුතුයි.
මේ විදිහට වාණිජ බැංකු විසින් තමන්ගේ තැන්පතු ආපසු ඉල්ලා සිටින්නේ මුදල් නෝට්ටු වලින්නම් මහ බැංකුවට කිසිම අවුලක් වෙන්න විදිහක් නැහැනේ. මොකද මහ බැංකුවට ඕනෑ තරම් සල්ලි අච්චු ගහන්න පුළුවන්. ඒ කියන්නේ මහ බැංකුවක් කවදාවත් බංකොලොත් වෙන්න විදිහක් නැහැ. නමුත් මහ බැංකුවකට එසේ සල්ලි අච්චු ගසා තමන්ගේ වගකීම් පියවිය හැක්කේ මහ බැංකුව විසින් නිකුත් කරන මුදල් හා නෝට්ටු වටිනාකමක් ඇති දේ සේ සැලකෙන්නේනම් පමණයි. ඒ නිසා, මහ බැංකුවකට හැම වෙලාවකම තමන් නිකුත් කරන මුදල් නෝට්ටු වල වටිනාකම වෙනත් නිර්ණායකයන්ට සාපේක්ෂව යම් මට්ටමක තියා ගන්න වෙනවා. උදාහරණයක් විදිහට ඇමරිකන් ඩොලරයට හෝ රන් අවුන්සයකට සාපේක්ෂව.
මහ බැංකුවට අනුව ජූලි 1 දින ඇමරිකන් ඩොලරයක සාමාන්‍ය මිල රුපියල් 200.52ක්. එයින් අදහස් වන්නේ මහ බැංකුව විසින් නිකුත් කරන රුපියල් නෝට්ටු හා කාසි වලින් 200.52ක් ආපසු අරගෙන ඇමරිකන් ඩොලරයක් දෙන්න මහ බැංකුව සූදානමින් ඉන්නවා කියන එකයි. යම් හෙයකින් සියලුම වාණිජ බැංකු විසින් රුපියල් 200.52 අනුපාතයට තමන්ගේ තැන්පතු වල වටිනාකමට සමාන ඇමරිකන් ඩොලර් ප්‍රමාණයක් ඉල්ලා සිටියොත් මහ බැංකුව විසින් එම ඇමරිකන් ඩොලර් ප්‍රමාණය ලබා දිය යුතුයි. ඒ වගේම, මහ බැංකුව විසින් මෙතෙක් නිකුත් කර තිබෙන සියලුම නෝට්ටු හා කාසි ඒවායේ අයිතිකරුවන් විසින් ආපසු මහ බැංකුවට භාර දී රුපියල් 200.52 අනුපාතයට ඇමරිකන් ඩොලර් ඉල්ලුවොත් මහ බැංකුව විසින් එම ඇමරිකන් ඩොලර් ප්‍රමාණයත් ලබා දිය යුතුයි. මේ පදනම මත සංචිත මුදල් වල සංරචක දෙකේ ව්‍යුහමය වෙනසක් නැහැ.
ඔය විදිහට රුපියලේ වටිනාකම විදිහට මහ බැංකුව විසින්ම දැනුම් දෙන වටිනාකම අනුව මහ බැංකුවේ බැරකම් සියල්ල පියවන්න ප්‍රමාණවත් වත්කම් මහ බැංකුව සතු විය යුතුයි. එසේ නැත්නම් කියන්න වෙන්නේ මහ බැංකුව බංකොලොත් වී ඇති බවයි.
වැඩි වැඩියෙන් සල්ලි අච්චු ගහනවා, එහෙමත් නැත්නම් සංචිත මුදල් ප්‍රමාණය ඉහළ යනවා, කියා කියන්නේ මහ බැංකුවේ බැරකම් වැඩි වෙනවා කියන එකයි. එවිට මහ බැංකුවට එක්කෝ එම අනුපාතයට විදේශ සංචිත වැඩි කරගන්න වෙනවා. එහෙම නැත්නම් ඩොලරයක මිල ඉහළ යන්න ඉඩ ඇර ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වෙන්න අරින්න වෙනවා. දෙවන ක්‍රමයේදී වත්කම් ඇත්තටම වැඩි වෙන්නේ නැතත් වත්කම් වල රුපියල් අගය වැඩි වෙනවා. ඒ කියන්නේ මහ බැංකුව සතු ඇමරිකන් ඩොලර්, රන් වැනි වත්කම් වලට සාපේක්ෂව රුපියල බාල්දු වෙනවා.
දැන් අපි මුලින්ම බලන්න වෙන්නේ මාධ්‍ය වාර්තා වල දැකිය හැකි පරිදි මහ බැංකුව ඇත්තටම විශාල ලෙස සල්ලි අච්චු ගහනවද කියන එකයි. පහතින් තියෙන්නේ පසුගිය කාලය තුළ රුපියල් බිලියන වලින් මහ බැංකුවේ සංචිත ඉහළ ගිය ආකාරය.
2019 දෙසැම්බර් 31- 932.6
2020 දෙසැම්බර් 31- 964.4
2021 ජූලි 1 - 1,072.0
මේ අනුව, 2019 වසරේදී රුපියල් බිලියන 31.8ක් අලුතින් සල්ලි අච්චු ගහලා තියෙනවා. 2020 පළමු මාස හය ඇතුළත රුපියල් බිලියන 107.6ක් අලුතින් සල්ලි අච්චු ගහලා තියෙනවා.
ඔය රුපියල් බිලියන ගණන් අපි ගොඩක් අයට ඇඟට දැනෙන්නේ නැහැනේ. කොහොම වුනත් මේ ප්‍රමාණය එක පැත්තකින් ඇතැම් මාධ්‍ය වාර්තා වල දැකිය හැකි තරම් විශාල මුදලක් නෙමෙයි. අනෙක් පැත්තෙන් මහ බැංකුවේ ඉතිහාසය බැලුවහම අසාමාන්‍ය මුදල් සල්ලි අච්චු ගැහීමක් නෙමෙයි. ඔය වගේ ප්‍රමාණයකින් සංචිත මුදල් සැපයුම වැඩි වුනා කියලා ලංකාව සිම්බාබ්වේ වගේ වෙන්නේ නැහැ!
මේ කතාව ගොඩක් අයට පිළිගන්න අමාරු වෙන එකක් නැහැ. ලංකාවේ බඩු මිල ඉහළ යමින් තිබෙනවා තමයි. නමුත්, මෙය අසාමාන්‍ය ඉහළ යාමක් නොවන බව මැදහත්ව සිතන ඕනෑම කෙනෙක් පිළිගත යුතුයි. ඔයිට වඩා වේගයෙන් ලංකාවේ බඩුමිල ඉහළ ගිය වකවානු ඕනෑ තරම් තිබුණා.
එහෙමනම්, මේ සල්ලි අච්චු ගහන කතාව කිසිම පදනමක් නැති කතාවක්ද?
මහ බැංකුව විසින් අලුතින් අච්චු ගහන සල්ලි එළියට දමන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් ඩොලර් මිල දී ගැනීම. දෙවැන්න භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම. හැබැයි ඒ වගේම මේකේ අනෙක් පැත්තත් වෙනවා. මහ බැංකුවේ සංචිත හෝ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකුණද්දී අච්චු ගහලා එළියට දමපු සල්ලි නැවත මහ බැංකුව ඇතුළට එනවා. සංචිත මුදල් ප්‍රමාණය අඩු වෙනවා. මේ හේතුව නිසා කිසියම් මොහොතක සංචිත මුදල් ප්‍රමාණය දෙස බලා එය උද්ධමනයට හේතු වන බව කියන්න බැහැ. උද්ධමනය ඇති වන්නේ මුදල් සැපයුම එක දිගට යම් කාලයක් ඉහළ මට්ටමක තිබුණු විටයි.
පසුගිය කාලය පුරා මහ බැංකුව විසින් විශාල වශයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන තිබෙනවා. බදු අඩු කර ආදායම් අහිමි කරගත් ආණ්ඩුව ඉතාම විශාල ලෙස පුළුල් වී තිබෙන අයවැය හිඟය පියවාගනිමින් සිටින්නේ මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකිණීමෙන්. එහෙමත් නැත්නම් සල්ලි අච්චු ගැහීමෙන්.
පසුගිය වසරේ (2020) ජනවාරි පළමුවෙනිදා වන විට මහ බැංකුව විසින් මිල දී ගෙන තිබුණු භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම (මුහුණත අගය) වුනේ රුපියල් බිලියන 74.7ක් පමණයි. 2021 ජූලි පළමුවෙනිදා වන විට මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 919.2ක් වෙලා. දොළොස් ගුණයකට වඩා වැඩි වැඩි වීමක්!
මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නවා කියා කියන්නේ අලුතින් සල්ලි සංසරණයට එකතු කරනවා කියන එකනේ. ඒක බොරුවක් නෙමෙයි. ගොඩක් අය සල්ලි අච්චු ගැහීම කියලා මේ දවස් වල කතා කරන්නේ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම ගැන. එහෙමනම් මම කලින් විස්තර කළ පරිදි සංචිත මුදල් මේ අනුපාතයට වැඩි වෙලා නැත්තේ ඇයි?
මහ බැංකුව විසින් එක පැත්තකින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිමින් අලුතින් සල්ලි සංසරණයට එකතු කරන අතරම අනෙක් පැත්තෙන් විදේශ සංචිත විකුණනවා. විදේශ සංචිත මිල දී ගන්න අය රුපියල් වලින් ගෙවන නිසා සංසරණයේ තිබෙන සල්ලි නැවත මහ බැංකුවට එනවා. භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිමින් අලුතින් සල්ලි සංසරණයට එකතු කිරීමේ බලපෑම නිශේධනය වෙනවා. ලංකාවට තවමත් උද්ධමන තර්ජනයක් ඇති වී නැත්තේ ඒ නිසයි.
ඒ කියන්නේ මේ කියන ආර්ථික අර්බුද කතාව බොරුවක්ද?
මෙතැන තියෙන්නේ සල්ලි අච්චු ගැහීම පිළිබඳ ප්‍රශ්නයකට වඩා සල්ලි වල ගුණාත්මක භාවය අඩුවීම පිළිබඳ ප්‍රශ්නයක්. මම මේක පුළුවන් තරමින් පැහැදිලි කරන්නම්.