අත්අඩංගුවේදී සිදුවන මරණ
කඹුරුපිටිය පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන්ට මේ වන විට අත්ව තිබෙන ඉරණම ප්‍රශ්න ගණනාවක් මතුකරයි. එක් සැකකරුවකු පොලිස් භාරයේ සිටියදී වෙඩි වැදී මරණයට පත්වූ අතර තවත් දෙදෙනකු දියේ ගිලී මරණයට පත්විය. දැන් අලුතින්ම අසන්නට ලැබෙන පුවත් මගින් පැවැසෙන්නේ මතෛක් අත්අඩංගුවට ගන්නට නොහැකිව සිටි බව පවසන ප්‍රධාන සැකකරුද වෙඩි වැදී මරණයට පත්ව ඇති බවයි.
අත්අඩංගුවේ පසුවන සැකකරුවන් තම ජීවිතාරක්ෂාව පතා ගන්නා පියවරවලදී මේ ආකාරයෙන් මරණයට ගොදුරුවීම අදහා ගන්නට අසීරු කරුණක් නොවන බව සත්‍යයකි. එහෙත් මේ නඩුවට සම්බන්ධ සියලු සැකකරුවන් එබඳු ඉරණමකට ගොදුරු වීමත්, මීට ඉහතදී තවත් සෑහෙන සැකකරුවන් පිරිසක්, වෙඩි වැදී නැතහොත් වෙනත් අතුරු අනතුරුවලින් මරණයට පත්වීමත් කිසියම් සැකයක් මතුකරන බවද අසත්‍යයක් නොවේ. එකම ආකාරයට එකදිගට එබඳු සිදුවීම් වාර්තා වීම ඊට හේතුවයි.
අපරාධ මර්දනය සඳහා නිර්භීතව මැදිහත්වූ පොලිස් කොස්තාපල්වරයාත් ඔහුගේ බිරියත් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ කුරිරු ක්‍රියාව කිසිසේත් අවතක්සේරුවට ලක්නොවිය යුතුය. ඊට වගකිව යුත්තන් කොටු කරගෙන දඬුවම් පැමිණවීම අනිවාර්යයෙන් සිදුවිය යුතුය.
සැක මතුවන්නේ හුදෙක් මේ ආකාරයෙන් සැකකරුවන් මරණයට ගොදුරුවීම පිළිබඳව පමණක් නොවේ. මෙබඳු අබිරහස් ඝාතන පිටුපස, තවත් බොහෝ දේ වසන් කිරීමේ අභිප්‍රායද සැඟව තිබිය හැකි බැවිනි.
ඝාතනයට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමට එරෙහි ප්‍රබල මර්දනයක් ගෙන ගිය නිලධාරියෙකි. මත්කුඩු ජාවාරම යනු මේ වන විට පාතාල සාමාජිකයන් පමණක් සම්බන්ධවී කරගෙන යන ව්‍යාපාරයක් නොවේ. ඒ හා සමීපව සම්බන්ධ බවට දේශපාලනඥයන්ට පමණක් නොව ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන්ට එරෙහිවද චෝදනා එල්ලවෙයි. එබඳු වාතාවරණයක් තුළ කිසියම් සැකකරුවකු අත්අඩංගුවට පත්වීම, ඊට සම්බන්ධ තවත් බොහෝ තොරතුරු අනාවරණය වන්නට තරම් පුළුල් දොරටුවක් විවෘත වීමකි. සැකකරුවන් සැකකටයුතු ආකාරයෙන් මරණයට ගොදුරුවීම නොසලකා හරින්නට තරම් නොවන සැක සහිත සිදුවීමක් විය හැකි බව අවධාරණය කළ යුතුව තිබෙන්නේ එබැවිනි.
මෙබඳු අබිරහස් මරණ බොහෝ දේ වසන් කිරීම සඳහා කරන ලද දැනුවත් ඝාතන වන්නට බැරි නැත.
එසේ පැවැසීම මගින් අදහස් කෙරෙන්නේ එබඳු අරමුණක් නොමැතිව සැකකරුවන් ඝාතනයට ලක්ව ඇත්නම් එය එතරම් ගණන් ගත යුතු නොවන කාරණයක් බව හැඟවීම නොවේ. තවම වරදකරුවකු බවට නීතිය ඉදිරියේ ඔප්පු නොවුණු සැකකරුවකු පොලිස් භාරයේ සිටියදී සැකකටයුතු ආකාරයෙන් මරණයට පත්වීමද සිදු නොවිය යුත්තකි. එය මූලික මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව නොකිවමනාය.
තවත් පැත්තකින් සැකකරුවන් මේ ආකාරයෙන් මරණයට පත්වීම, පොලිස් කොස්තාපල්වරයා හා ඔහුගේ බිරිය ඝාතනය කිරීමේ අපරාධය පිළිබඳ සුලමුල සොයා ගන්නට මහත් බාධකයකි. ඒ අර්ථයෙන් ගත්විට එය ඔවුනට කෙරෙන අසාධාරණයක්ද වෙයි.
වඩාත් පුළුල් ආකාරයෙන් මෙම සිද්ධීන් විමසා බලන විට අවධානයට යොමුවන තවත් කාරණයක් ඇත. එනම් ශ්‍රී ලංකාව තුළ මානව අයිතිවාසිකම් ආරක්ෂා නොවන බවට ජාත්‍යන්තරයෙන් එල්ලවන චෝදනාවයි. පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් අබිරහස් ලෙස මරණයට ගොදුරු වීම, එබඳු බලවේග විසින් හොඳ ඉල්ලමක් කරගනු ලබන්නට බැරි නැත.
පොලිස් භාරයේ සිටියදී සැකකරුවන් අබිරහස් ලෙස මරණයට ගොදුරුවීම, පුළුල් ලෙස විමර්ශනයට ලක්විය යුතු සංසිද්ධියක් බව අවධාරණය කළ යුතුව තිබෙන්නේ එබැවිනි.
ලක්බිම