චාතුම්මහාරාජිකය
මිනිස් ලොවට යොදුන් 42000ක් (යොදුනක් යනු සැතපුම් දහසයකි) ඉහලින් පිහිටා ඇති මිනිස් ලොවට ආසන්නතම දිව්‍ය තලය වන මෙය උතුම් වූ සතර වරම් දිව්‍ය රජ වරුන් මගින් පාලනය වෙයි. එහි පෙරදිග පාලනය ගාන්ධර්වයන්ට අධිපති “ධෘතරාෂ්ඨ වරම් දෙව් රජු” විසින්ද, දකුණු දිශාව කුම්භාණ්ඩයන්ට අධිපති “විරූල්හ” නොහොත් “වීරූඪ නම් වරම් දෙව් රජු” විසින්ද, පැසුණු දිග හෙවත් බටහිර දිශාව නාගයනට අධිපති වූ “විරූපාක්ෂ වරම් දෙව් රජ” විසින්ද, උතුරු දිශාව යක්ෂයන්ට අධිපති වූ කුවේර නොහොත් වෙසමුණි (වෙසවුණු යයිද කියනු ලැබේ.) වරම් දෙව් රජු විසින්ද පාලනය වෙයි. මනුෂ්‍ය ලෝකයෙහි වාසය කරන භූමාටු දෙවියෝද වෙනත් සියලු අමනුෂ්‍යයෝද චාතුර්මහාරාජිකය යටතේ පාලනය වෙත්. දෙවියන් භූම්‍යස්ථ සහ ආකාශස්ථ වශයෙන් බෙදා දක්වන කල්හි චාතුර්මහාරාජිකය ඇතුළු සියලු ඉහල දිව්‍ය තල වල දෙවියන් ආකාශස්ථ දෙවියන් ලෙස සලකනු ලැබේ. වෘක්ෂ දේවතාවන්, පොළොවෙහි ගංගා, ඇලදොළ, සමුද්‍ර වාසස්ථාන, සමහර මනුෂ්‍ය වාස, පින් සහිත සමහර මනුෂ්‍යයන්ගේ නිවාස සහ උපකරණ ආදිය ඇසුරෙහි වන “විමාන” නමින් හැඳින්වෙන මනුෂ්‍ය ඉන්ද්‍රීන්ට ගෝචර නොවන වාසස්ථාන ඇසුරෙහි මෙම භූමාටු දෙවියන් වාසය කරන බවට කරුණු තිබේ. සමහර භූමාටු දෙවියන්ට ධර්මය අසා මගපල ලැබීමට වුවද හැකියාව තිබේ. භූමාටු දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය ගැන නිශ්චිත නියමයක් දක්වා නැත. සමහර භූමාටු දෙවියන් දින සතක් වැනි ඉතා කුඩා කාලයක්ද තවත් භූමාටු දෙවියන් කල්පයක් තරම් අති දීර්ඝ කාලයක්ද ආයුෂ ලබන අතර ඒ ඒ කුසල කර්ම විපාකය අනුව ආයුෂ කාලය තීරණය වන බව දත යුතුය. භූමාටු දෙවියන්ගේ දිව්‍ය සැපත චාතුර්මහාරාජික දෙවියන්ට වඩා අඩු වන නමුත් මනුෂ්‍යයන්ට වැඩි කාම සම්පත්තියක් භුක්ති විඳියි. දෙවියන්ගේ උපත සකලාංග පරිපූර්ණය “ඕපපාතිකව” සිදුවන බව සාමාන්‍ය නියමය වන නමුත් භූමාටු දෙවියන් දරුවන් ලබන බවටත්, කුඩා ශරීර සහිතව පහල වන බවටත් ඔවුන් සමහරෙක් පවුල් වශයෙන් ජීවත් වන බවටත් “මෙත්ත සූත්‍ර(කරණීය-මෙත්ත සූත්‍ර)” නිධාන කථාව ආදී කථා අනුව පෙනී යයි.
සතර වරම් දෙව් රජුන් ප්‍රධාන වශයෙන් තවතිසා දෙව් ලොව ආරක්ෂාව පිණිස කටයුතු කරන ආරක්ෂක දෙවියන් ලෙසද කටයුතු කරයි. ඒ ඒ පරිදි සතර දිශාවෙහි සේනා සහිතව තව්තිසා දෙව් තලයට (අසුරයන් ගෙන් විය යුතුය: ධර්ම සාහිත්‍ය විමසා බලන්න) ආරක්ෂාව සැපයීමත්, මනුෂ්‍ය ලොව කටුයුතු, බුදු සසුන පිලිබඳ කටයුතු සහ සිල්වතුන් සහ පින්වතුන් පිලිබඳ ශක්‍ර දෙවියන්ට වාර්තා සැපයීම මොවුන් අතින් සිදු වෙයි. (ලිපිය දික් වන බැවින් විස්තර මෙතෙකින් නවත්වනු ලැබෙයි.) චතුර්මහාරජිකයෙහි දෙවියන්ගේ ආයුෂ මිනිස් ලොව අවුරුදු අනූ ලක්ෂයකි.
(එක් එක් දිව්‍ය තල පිළිබඳව විශේෂ විස්තර දීර්ධ වශයෙන් ලිවීමට එක් ලිපියක් ප්‍රමාණවත් නොවන බැවින් ඊළඟ දිවය තල පිළිබඳව හුදු නම් කිරීමක් පමණක් කරනු ලැබේ. දෙවියන් පිළිබඳව සවිස්තර විශේෂ ලිපි පෙළක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.)
තවතිසාව හෙවත් තාවතිංශය
ශක්‍ර දෙව් රජතුමන් සහ එතුමන් යටතේ සිටින දෙවි රජවරුන් තිස්තුන් දෙනෙකුන් මගින් පාලනය වන දෙව්තලයකි. සක් දෙවිඳුන් “දෙදෙව් ලොවට අධිපති” යයි කියන්නේ එතුමන් චාතුර්මහාරාජිකය සහ තව්තිසාව යන දිව්‍ය තල දෙකෙහිම අධිපති බව දරන බැවිනි.
යාමය
දුකින් පහ වූ ස්ථානය යන අරුතින් යාමය නම දරන මෙම දිව්‍ය තලය තුන්වන දිව්‍ය තලයයි.
තුසිතය
අතිශය ප්‍රමොදයෙන් ප්‍රීතියෙන් සතුටින් වාසය කරන දෙවියන්ගේ භූමිය යන අරුතින් “තුසිත” නාමය ඇති මේ දිව්‍ය තලය අප මහා බෝධිසත්වයන් වහන්සේ සම්බුද්ධත්වය ලැබූ අවසන් භවයට පෙර භවයෙහි උපන් දිව්‍ය තලයයි. “සන්තුසිත” නම් දිව්‍ය රාජෝත්තමයාණන් අධිපති භාවය දරයි.
නිම්මාණරතිය
තමන් විසින් තමන් කැමති ආකාරයේ කාම වස්තුන් මවා ඒ කාම වස්තූන් මගින් කම් සුව ලද හැකි මහත් ආනුභාවයක් ඇති දෙවියන් පහල වන භූමියයි. බුදු සසුනෙහි අග්‍ර දායිකාවක වූ විශාකා මහෝපාසිකා තොමෝ මරණින් මතු උපත ලැබුවේ මෙම දෙව් තලයෙහිය.
පරිනිම්මිත වසවත්තිය
මහත් බල ඇති “මාර දිව්‍ය පුත්‍රයා” වාසය කරකරන මාර පිරිස වාසය කරන දෙව් තලයයි. කාම ලෝකයට අධිපති බව දරන්නේ මේ දෙවියන්ය. කාම ලෝකයට අයත් ඉහලම සහ ආයුෂයෙන්, සැපතින් බලවත්ම දිව්‍ය තලය මෙයයි. “අන්‍යයන්ගේ සම්පත්තිය තමන් විෂයෙහි පවත්වන” යන අරුතින් පරිනිම්මිත වසවත්ති යනුවෙන් කියනු ලැබේ.
මෙම දිව්‍ය තල සයෙහි විසිතුරු බවත්, සැපතත් විශ්මයාවහ වෙයි. දෙවියන් අතර උපදින නොවරදින මග භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කර තිබේ. සම්මා දිට්ඨිය මත පිහිටා ශීලය ආරක්ෂා කිරීම සුගති මාර්ගයෙහි අනිවාර්ය අංගයන් වෙයි. ධර්මයෙහි සඳහන් දෙවියන් ගැන කථා කියවීමේදී පෙනී යන්නේ ඉහල ගනයේ බොහෝ දෙවියන් නොවැරදී පංච ශීලයත්, පොහොය අෂ්ටාංගික උපොසථ ශීලයත් සමාදන්ව ආරක්ෂා කර ඇති බවයි. උත්තම ගනයේ දානමය පුණ්‍ය කර්මයන් ඒ ඒ දෙවියන්ගේ මහේශාක්‍ය බවට හේතු වී ඇත.
අප මුලින් කියන ලද පරිදි මෙම ලිපියෙන් අපි ශීලය සහ දානමය පුණ්‍ය ක්‍රියා සිදුකිරීම පිලිබඳ සාකච්ඡාවක් ආරම්භ කරනු ලැබේ. දානය සහ ශීලය ගැන උනන්දුවක් ඇති කර ගැනීමට එහි අනුසස් දැන ගත යුතුය. දුශ්ශීල බවේ භයානක ආදීනව දැන ගත යුතුය. අනුසස් සහ ආදීනව පැහැදිලි කර ගැනීමට නම් කර්ම විපාක වශයෙන් අත්වන සැප සහ දුක විපාක දන ගත යුතුය. ඒ ඒ විපාක වල ස්වභාවය අවබෝධ කර ගැනීමට නම් ඒ ඒ පින් පව් වලට අනුව සකස් වන භවය සහ උත්පත්ති ස්ථාන දැන ගත යුතුය. ඒ ගැන අවබෝධයක් ලබීමටනම් ලෝකධාතුව පිළිබඳව ඒ ඒ සුගති දුගති ස්ථාන පිළිබඳව කරුණු වටහා ගත යුතුය. ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේගේ “ලෝක විදු” ගුණය කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුතුව “ලෝක ධාතු” විස්තර, සුගතිය ගැන විස්තර, අපායෙහි දුක පිලිබඳ විස්තර ආදිය දැනගත යුතුය. මෙම ලිපියට හැකි පමණ එම කරුණු එකතු කරන ලද්දේත් සුදුසු පරිදි වගු සකස් කර ඉදිරිපත් කරන ලද්දේත් ඉදිරි ලිපි වලට සාකච්ඡා කිරීමේ පදනම සකස් කිරීම් අරමුණ ඇතිවය. ඒ කරුණු ඇසුරින් පින්වත් ඔබ තමන් විසින්මද දහම් කරුණු සොයා බලා ඉගෙනීමටත්, දන්නා කරුණු නිරවුල් කර ගැනීමටත් උත්සහ කර ගනිත්වා.
*****************************
නිරය
සතර අපාය අතරින්, අතිශය ඝෝර දුක් ඇති, නිරන්තර රළු වේදනා ගෙනදෙන දුක් ඇති, මහත් දීර්ඝ කාලයක් දුකෙහිම ගැලී හඬමින්, විලාප දෙමින් සත්ත්වයන් කර්ම විපාක වශයෙන්ම සකස් වූ මහත් දුක්ඛිත තත්වයට උරුම කරවන දුගතිය “නිරය” නම් වෙයි. පිහිටීම සහ ආයුෂ ගැන විස්තර සඳහා පහත වගුව බලන්න. සැබවින්ම “අපාය” යයි යයි කියන්නේ මෙම නිරය ලෝකයන්ටය. “අය” නම් සැපයට නමකි. අය නම් සැප කිසිවක් නොවන බැවින් “අපාය” යයි කියනු ලැබේ. ඇසිපිය හෙලන මොහොතකට වත් කටුක දුකින් තොර වීමක් වෙන් වීමක් නැති බැවින්, ඇසිපිය හෙලන මොහොතක තරම් වත් සැපයක් නොමැති බැවින් “නිරය” යයි කියනු ලැබේ. අප ලෝක ධාතුවෙහි “ප්‍රධාන නිරය හෙවත් මහා නිරය අටකි.”
සංජීවය
සත්වඝාතන, කාම මිත්‍යාචාර, සොරකම් ආදිය කළවුන් උපදින නිරයකි. මහා නිරය වටා අනූ නිරයන් දහසයක් ඇත.
කාල සූත්‍රය
මව්පියන්, ගුරුවර වැඩිහිටියන්, උපාධ්‍යායයන් ආදීන් කෙරෙහි වරදවා පිළිපදින ලද්දවුන් වැඩි වශයෙන් උපදින භූමියකි.
සංඝාතය
ගවයන්, එළුවන්, කුකුලන් ආදී සතුන් ඝාතනය කරමින් ජීවිකාව පවත්වන ලද සත්ත්වයන් වැඩි වශයෙන් උපදින භූමියකි.
රෞරවය
සත්ත්වයන්ට හිංසා පීඩාකාර වූ ක්‍රියා කරන ලද, මහත් අකුසල් කරන ලද, ඉන්ද්‍රජාලිකයන්, මායා කරුවන් ආදීන් අනුන් රවටා ජීවත් වන නායකකාරකාදී සත්ත්වයන් උපදින භූමියකි.
මහා රෞරවය
තෙරුවන් සතු වස්තුව පහර ගත්තාවූද, ජනයාගේ යහපත පිණිස ඇති පොදු දේපල විනාශ කරන ලද්දාවූද සත්ත්වයන් උපදින භූමියකි.
තාපය
හොඳ නරක කර්මයෙහි විපාක නැත. සුගති දුගති නැත ආදී වශයෙන් මිත්‍යා දෘෂ්ටි ගෙන සිටින නියත මිත්‍යා දෘෂ්ටිකයන් උපදින භූමියකි.
මහා තාපය (ප්රතාපය)
බුදුන් නැත, දහම් නැත, ආර්ය සංඝයා නැත ආදී වශයෙන් බලවත් දෘෂ්ටි ගන්නා ලද, බලවත් සේ ආර්යෝපවාද කරන ලද, සද්ධර්මයෙ පැවැත්ම විනාශ කිරීමට කටයුතු සංවිධානය කරන සත්ත්වයන් උපදින මහා නිරයකි.
අවීචිය
පන්චානන්තාර්ය පාප කර්ම කළා වූද, පන්සල්, බෝධිය, බෝමළු, බුදු පිළිම විනාශ කරන ලද්දාවූද, බුදු සසුනට වින කරන ලද්දවූද, තෙරුවන් විෂයෙහි බලවත් ද්වේශයෙන් කටයුතු කරන ලද්දාවූද, නියත වූද, බලවත් වූද මිතාදෘෂ්ටිය මත පදනම්ව දරුණු ක්‍රියා කරන ලද්දා වූද සත්ත්වයන් උපදින බලවත්ම දුක් සහිත මහා නිරයයි. දෙව්දත් ආදී ආනන්තර්ය කර්ම කල අවාසනාවන්ත සත්ත්වයන්ද බලවත් පාප ක්‍රම කරන ලද මව්පියන් ඝාතනය කරන ලද, රහතන් වහන්සේලා ඝාතනය කරන ලද, වෙහෙර විහාර විනාශ කරන ලද සත්ත්වයන්ට මෙහි ඉපිද අන්තඃ කල්පයක් තරම් ඇති දීර්ඝ කාලයක් දුක් විඳීමට සිදු වෙයි.