අප එහි ළඟා වන විට යාපනය නගරය දැඩි හිරු රැුසින් උණුසුම් වී තිබිණි. එය කෙතරම් දැඩි වුව ද යාපනය වැසියෝ කිසිදු අපහසුතාවකින් තොරව සිය එදිනෙදා කටයුතුවල නිරත ව සිටිය හ. යාපනය බස් නැවතුම් පොළ සේ ම පදික වෙළෙඳසල් ද කාර්ය බහුල ය. පදික වෙළෙඳසල්වල වෙළෙන්දෝ කෑ මොර දෙමින් සිය භාණ්ඩ වෙත පාරිභෝගිකයන් කැඳවාගන්නට උත්සහ දරති. මේ අතර සිය වාසනාව උරගා බැලීම සඳහා ලොතරැුයි මිල දී ගන්නට ද පිරිසක් උත්සහ දරති.
සෑම වෙළෙඳසලකම පාහේ ඉදිරියෙන් ම තබා ඇති වෙළෙඳ භාණ්ඩය වන්නේ ඉන්ධනයි. විශේෂයෙන් ම භූමිතෙල් සහ පෙට්‍රල් ඉන් ප්‍රධාන ය. යාපනයේ ඉන්ධන මිල දකුණට වඩා ඉහළ ය. ඉන්ධන මිල පමණක් නොව බොහෝ භාණ්ඩ මිල පවතින්නේ තරමක් ඉහළ මට්ටමක ය. එයට ප්‍රධාන හේතුව නම් තවමත් ඒ නවය මාර්ගය පොදු ප්‍රවාහන කටයුතු සඳහා විවෘත නොවීමයි.
යාපනය මහනගර සභා මැතිවරණය අගෝස්තු මස 08 දා පැවැත්වීමට නියමිත බැවින් නගරය පුරා විවිධ දේශපාලන පක්ෂවල පෝස්ටර්ද දක්නට ලැබේ. එවායින් බොහෝමයක කළුතෙල් ගල්වා තිබුණේ මොහොතකට දකුණේ දේශපාලනය සිහිගන්වමිනි. යාපනය ජනතාව තුළ ඒ පිළිබඳව ඇත්තේ කුමන අදහසක් දැයි විමසීම සඳහා අපි උත්සහ කළෙමු.
‘‘සිංහල තෙරියුමා?’’
අපි ඒ වචන කිහිපය විසි දෙනකුගෙන් පමණ ඇසුවෙමු. එය ද එක්තරා ආකාරයක වෙහෙසකර කටයුත්තකි. කෙසේ හෝ අපට කිහිප දෙනකු සමග කතා කරන්නට අවස්ථාව උදා විය. ඔවුන් බොහෝ දෙනකුට තිබුණේ යුද්ධය අවසන් වීම පිළිබඳව සතුටකි. වසර ගණනක් එනතුරු බලා සිටි අමුත්තකු ආවා වැනි හැඟීමක් ඔවුන්ගේ මුහුණු තුළ විය. යුද්ධය පැවති සමයේ යාපනයේ විවිධ ප්‍රදේශවල රාත්‍රියේ පැන වූ ඇඳිරි නීතිය දැන් පනවන්නේ ඉතා සුළු වේලාවකට පමණක් බව ඔවුහු සඳහන් කළහ. එසේ ම විදුලි බලය ද පැය 24 පුරා ම ලැබීම ගැන ද කතා කළහ. ඔවුන්ගේ ඊළඟ ප්‍රධාන බලාපොරොත්තුව නම් ගොඩබිම් මාර්ගයෙන් කොළඹ පැමිණීමයි. මේ වන විට ගුවනින් කොළඹ එන්නට රුපියල් 20,000 අධික මුදලක් වැය වෙයි. (අප එහි සංචාරය කරන දිනය වන විට යාපනය කොළඹ බස් සේවය ආරම්භ කර නොතිබිණ.* බඩු මිල අඩු වීම කෙරෙහි ඍජුවම බලපාන සාධකව වන්නේ ද එය බව ඔවුහු පැවසූහ.
මැතිවරණයක් පිළිබඳව ඔවුන් බොහෝ දෙනා තුළ වූයේ නොපැහැදිලි අපේක්ෂාවකි. වසර ගණනාවකින් මැතිවරණයක් හෝ සිය ප්රජාතන්ත්රවාදී අයිතීන් දිනා ගැනීම සඳහා කිසිදු අවස්ථාවක් නොලද මේ මිනිසුන්ට ඒ ගැන අවබෝධයක් නොවීම ද ඊට හේතු විය හැකි ය. ඇතැම් පිරිස් මෙවර ඡුන්දය ප්‍රකාශ කරන්නේ පළමු වරටයි.
උතුරත් දකුණත් වෙන් කරමින් ක්‍රියාත්මක වූ යුද්ධය අද අතීතයට එක් ව අවසන් ය. ඒ අසිරිය දකුණට වඩා විඳගන්නේ උතුරේ ජනතාවයි. ඔවුන්ගේ සිතුම් පැතුම් ඉටු කරලීම සඳහා වගකීම ඇත්තේ ආණ්ඩුවට පමණක් නොවේ. එම වගකීමෙන් ප්‍රධාන කොටසක් සාමාන්‍ය වැසියන් වූ අප වෙත ද පැවරී ඇත. ඒ අන් කිසිවක් නොව ඔවුන් අපේ ම මිනිසුන් ලෙස පිළිගැනීමය. මේ උදා වී ඇත්තේ වගකීම ඉටු කිරීම සඳහා ඉතිහාසය විසින් උදා කර දෙනු ලැබූ හොඳ ම අවස්ථාවයි.
.
.
..


