රත්තරන් වලින් ආයුධ හදන්න එපා

dewage55

Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    රත්තරන් වලින් ආයුධ හදන්න එපා

    පින්වත් යාලුවනේ,

    පුංචි කාරණයක් කියන්න ඕන කියල හිතුන. මේක මුල ඉඳන් අගට ම අවධානයෙන් යුතු ව කියවයි කියල බලාපොරොත්තු වෙනවා.

    මේ වර්තමානය තුළ බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය ගැන උනන්දුවක් බොහෝ දෙනෙක් තුළ ඇති වෙලා තිබෙන බව පෙනෙනව. හැබැයි විමසිල්ලෙන් හොයල බැලුවොත් පෙනෙන දෙයක් තමයි, ධර්මයෙන් තමන්ට පිහිටක් පිළිසරණක් සලසා ගැනීම පිණිස වෙහෙසෙනවට ත් වඩා, අන් අයට ධර්මය ලබා දීම පිණිස බොහෝ දෙනෙක් තුළ උනන්දුවක් ඇති වෙලා තිබෙන බව.

    ඉතින් මේ කාරණයේ දී අපි අතිශයින් ම නුවණ පාවිච්චි කරන්න ඕන. එහෙම නැතිනම් අපි අපිට වගේ ම අන් අයට ත් විශාල හානියක් කරන අය බවට පත් වෙන්න ලොකු ඉඩකඩක් තිබෙනවා.

    ඇත්තෙන් ම බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය මුණ ගැසුනු වෙලාවෙ අපි කළ යුතු දේ මොකක් ද? අපි දේවල් දෙකක් කළ යුතු වෙනවා.

    1. ධර්මයෙන් තමන්ට උපරි ම පිළිසරණක් හදා ගැනීම පිණිස මහන්සි වීම.
    2. අන් අයට ත් තමන් ගේ ශක්ති පමණින් ඒ ධර්මය ලබා දෙන්නට මහන්සි වීම.

    මේ කාරණා දෙකින් වඩා ත් වැදගත් වන්නේ පළමුවැනි එක යි. ඒක නිසා තමයි භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ “අත්තානමේව පඨමං” කියා දේශනා කළේ.

    පළවෙනි දේ කරන්නෙ නැතු ව දෙවෙනි දේ විතරක් කරන්න යන කෙනාට වරදින්න තිබෙන ඉඩ කඩ අතිශයින් වැඩි යි. ඇත්තෙන් ම එයාට වරදිනවා කිව්වොත් හරි. එයා තමන් ට වගේ ම අනුන්ට ත් හානි කරන කෙනෙක් බවට පත් වෙන්න තියෙන අවස්ථාව හරි ම ඉහළ යි.

    මොකද තමන් ගේ අභ්‍යන්තරයේ සැබෑ සතුට නැත්නම්, එයා ලෝකයට සැබෑ සතුටක් ලබල දෙන්නෙ කොහොම ද? තමන් ගේ අභ්‍යන්තරයේ සාමය නැත්නම්, සැනසීම නැත්නම්, එයා ලෝකයට සැබෑ සාමය සැනසීම ලබල දෙන්නෙ කොහොම ද? ඒක සිද්ධ නො වෙන දෙයක්. ඒ නිසා තව කෙනෙක් ව හදන්න යන්න කලින් අපි හැදිල ඉන්න එක යි කළ යුතු වන්නේ...

    එහෙම නො වුනොත් හැමෝ ම අනුන් ව හදන්න වෙහෙසෙයි. අන්තිමේ දි හැදුනු කෙනෙක් නැහැ. ධර්මයෙන් සැබෑ ප්‍රයෝජනයක් ගත්ත කෙනෙක් නැහැ. එහෙම කිව්ව කියල ධර්මප්‍රචාරය ගැන තියෙන උනන්දුව අඩු කරගන්න එපා. අපි ඒක සිදු කරන්න ම ඕන. නමුත් ඒ උතුම් කටයුත්ත සිදු කිරීමේ දී කිසි ම විදියකින් හානියක් නො වීම පිණිස කටයුතු කරන්ට අපි නුවණ පාවිච්චි කළ යුතු යි. ඒ සඳහා මේ කාරණා කිහිපය ඔබට වැදගත් වෙයි කියල හිතෙනවා..

    අපි ධර්ම ප්‍රචාරය කිරීමේ දී බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය ලාභසත්කාර ඉපිදවීම පිණිස භාවිතා නො කළ යුතු ම යි. බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ කෙළෙස් ඉක්මවා යෑම පිණිස ම යි. සංසිඳීම ඇති කරගැනීම පිණිස ම යි. පමණ කළ නො හැකි සංසාර දුකකින් නිදහස් වීම පිණිස ම යි. ඒ ධර්මය අතිශයින් ම පවිත්‍ර එකක්. සුදෝ සුදු නිකෙලෙස් ධර්මයක්. ඒ වගේ පවිත්‍ර ධර්මයක් ලාභ සත්කාර උපදවාගැනීම වගේ අපවිත්‍ර අරමුණක් ඉටුකර ගැනීම පිණිස භාවිතා කරනවා නම් ඒක තමයි ධර්මයට කරන්න තියෙන ලොකු ම අවමානය, අගෞරවය වන්නේ. පින්වත් අරියවංශ ස්වාමීන් වහන්සේ ගේ දේශනාවක ඒ විදියට සඳහන් වෙලා තිබුණා.
     
    • Like
    Reactions: Aarya

    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    ඒක හරියට කෙනෙක් රත්තරන් ලැබුණ ම ඒකෙන් ආයුධ හදා ගන්න කල්පනා කරනව වගේ වැඩක් කියල තමයි අරියවංශ ස්වාමීන් වහන්සේ කියල දීල තියෙන්නෙ. රත්තරන් තියෙන්නේ ආභරණ හදාගෙන පළදින්ට යි. කෙනෙක් කල්පනා කළොත් මම මේ රත්තරන් වලින් ආයුධ හදා ගන්ට ඕන කියල, එයා ඒ රත්තරන් වලින් ආයුධ හදාගෙන තමන්ට ත් අනුන්ට ත් හානි කරනවා. රත්තරන් වලින් කළ යුතු දේ මොකක් ද කියල නො දන්න කෙනා රත්තරන් පොඩ්ඩක් ලැබුණත් ඒකෙන් පොඩි ආයුධයක් හරි හදා ගන්න බලාවි. ඒ වගේ ම තමයි, ධර්මය භාවිතා කළ යුත්තේ මොකේට ද කියල නො දන්න කෙනා, ඒ ධර්මය ලාභ සත්කාර ඉපදවීම කියන විනාශකාරී දෙය උදෙසා ම භාවිතා කරනව. ඊට පස්සේ තමනුත් වැනසිලා අන් අයවත් වනසගෙන අපා ගත වෙනවා.

    ධර්ම ප්‍රචාරය කරන්නට යෑමේ දී අපි ලාභසත්කාර කීර්ති ප්‍රශංසා වලට අහුවෙලා ද කියල දැන ගන්න පුංචි කරුණු කිහිපයක් කියන්නම්..

    මෙහෙම හිතල බලන්න.

    01. යම් කිසි ධර්ම ලිපියක් හෝ ප්‍රකාශයක් හෝ ප්‍රචාරය කළා ම ඒකට කමෙන්ට්ස් අපේක්ෂා කරන ස්වභාවයක් තමන් ගෙ හිතේ තියෙනව ද කියල හොයල බලන්න.

    02. යම් කිසි කෙනෙක් ප්‍රශංසා කරල කමෙන්ට් එකක් දාලා තියෙනව නම් හිතට අමුතු සතුටක් එනව ද කියල බලන්න.

    03. කමෙන්ට්ස් එකක්වත් නැති නම් හිතට පුංචි ම හරි අපහසුතාවයක් එනව ද කියල බලන්න.

    04. ෆේස් බුක් වගේ තැනක දාන යම් කිසි දහම් ආර්ටිකල් එකකට කී දෙනෙක් “කැමැත්ත” ප්‍රකාශ කරල තියෙනව කියල විමසමින් ඒ ඔස්සේ සතුටු වෙන ස්වභාවයක් හිතේ තියෙනව ද කියල බලන්න. එක්කෙනෙක් වත් ප්‍රතිචාර දක්වල නැත්නම් එතකොට හිතට අපහසුතාවයක් එහෙම නැත්නම් සියුම් හෝ දුකක් එනව ද කියල බලන්න.

    05. යම් කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝ වෙනත් කල්‍යාණමිත්‍රයෙක් හෝ ප්‍රකාශ කරපු දෙයක් තමන් කියන දෙයක් හැටියට, අනිත් යාලුවන්ට කියන්න කැමැත්තක් හිතේ ඇතිවෙනව ද, ඒ ඔස්සේ තමන් කටයුතු කරනව ද කියල හොයල බලන්න.

    06. අනුන් කියපු දෙයක් ප්‍රචාරය කරද්දි ඒ දේ කියපු කෙනා ගේ නම සඳහන් කරන්න හිතේ අකමැත්තක් එනව ද කියල බලන්න.

    මේ වගේ කරුණු අපේ හිතේ වැඩ කරනව නම් අපි ධර්මය ප්‍රචාරය කරන මුවාවෙන් ලාභ සත්කාර වලට අහුවෙලා ගිහින්.

    “කවුරු කමෙන්ට් කළ ත් නැත ත්, කවුරු බැලුවත් නැත ත් මම පිනක් කර ගත්ත නේ..” කියල, ප්‍රතිචාර පැත්තකින් තියල, පින ගැන හිතල අහිංසක ව සතුටු වෙන්න පුලුවනි නම්, අන්න එයාට ධර්ම ප්‍රචාරයෙන් ලැබෙන සැබෑ ම පින ලැබෙනවා.

    හැබැයි මේකෙන් අදහස් වෙන්නෙ නැහැ, අනිත් අය තමන් පළකරන දේ ගැන දක්වල තිබෙන ප්‍රතිචාරය හොයල නො බැලිය යුතු ම යි කියල. තමන් සිදු කරපු දෙයින් එක්කෙනෙක් හරි ප්‍රයෝජනයක් ගත්ත නේ ද කියල තමන්ට රැස් වුන පින ගැන හිතල සතුටු වෙන්න පුලුවනි. ඒකෙ වරදක් නැහැ. නමුත් ඒ තුළින් හිත උද්දාමයට පත් වෙනවා නම්, ප්‍රතිචාර නැති තැන දුකට පත් වෙනවා නම් අන්න එතන දි අපිට වැරදිලා.

    ඒ නිසා ධර්මය ප්‍රචාරය කිරීමෙන් ලැබෙන මහා පිනට සැබෑ ම උරුමකරුවෝ වෙන්ට නම් අපි අපේ හිත ලාභසත්කාර වලින් රැක ගත යුතු යි.

    ඒ සඳහා සමහර අය අනුගමනය කරන, සහ අනුගමනය කළ හැකි උපායමාර්ග කිහිපයක් කියන්නම්.

    01. තමන් ගේ පෞද්ගලිකත්වය හෙළි කරන්නෙ නැතුව ධර්මලිපි ආදිය පළකිරීම. (හැබැයි මෙතන දි ත් පරිස්සම් වෙන්න ඕන දේවල් ගොඩක් තියෙනවා.)

    02. අපි පළ කරන්නේ යම් කිසි පින්වත් ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් ඉගෙන ගත් කරුණක් හෝ පොතකින් ඉගෙන ගත් කරුණක් නම්, ඒ පින්වත් ස්වාමීන් වහන්සේ ගේ නම සහ උපුටාගත් පොතේ නම පළ කිරීම. එතකොට අදාළ කරුණ අපේ එකක් වගේ ඉදිරිපත් වෙන්නේ නැහැ. ලැබිය යුතු ප්‍රශංසාව අදාළ තැනට ම ලැබෙනවා.

    03. ධර්මය ප්‍රචාරය කිරීමේ දී පින පමණක් ම අපේක්ෂා කිරීම. කමෙන්ට්ස් අපේක්ෂා නො කිරීම.

    ඉතින් මේ වගේ දේවල් අනුගමනය කළො ත් ඒ වගේ ම, තමන් ගේ හිත රැක ගැනීම පිණිස මූලිකත්වය දුන්නොත් මේ දුර්ලභ ව ලැබුණු ධර්මයෙන් තමනු ත් ප්‍රයෝජනයක් ගන්න ගමන්, අන් අයටත් ප්‍රයෝජනයක් ලබා ගැනීම පිණිස උදව් කරන්න, අපිට ත් යම් තරමකින් හෝ අවස්ථාවක් ලැබෙයි. එහෙම නැති වුණොත් මේ ලැබුණු රත්තරන් වලට වඩා කෝටි ප්‍රකෝටි වාරගණනක් වටින ධර්මයෙන්, අපිවත් අන් අය වත් වනසන ආයුධ හදාගෙන වැනසිලා යන්න අපිට සිද්ධ වෙයි.. ඒ අවාසනාව කිසි කෙනෙකුට ත් සිදු නො වේවා කියල ප්‍රාර්ථනා කරනවා. එය එසේ ම වේවා!

    තෙරුවන් සරණ යි!
    සදා සැනසිල්ල වේවා!

    http://dhammamedicine.blogspot.com
     
    • Like
    Reactions: sudunone

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කියෙව්වා. බොහොම වටින ඔවදනක් තමයි.
    මට භාවනාව ඉගැන්වුව ස්වාමීන්වහන්සෙත් ඔය විදිහට කිව්වා: ධර්මය ටිකක් ඉගෙන ගන්නකොට පුදුම ආසාවක් එනවා ඒක අනික් අයට කියල දෙන්න. ඊට පස්සෙ ඒක කර කර ඉන්නව මිස මගෙ වැඩේ කර ගන්න එක අතපසු වෙනවා.. කියල.

    හැබැයි එහෙම අනික් අයට කියල දෙන එකෙන් අනික් කෙනෙකුටත් ක්ෂණ සම්පත්තියක් ඇති වෙනවා. ඒ නිසා ඔය කියල තියෙන විදිහට හිත හදාගෙන, අනික් අයට කියල දෙන්න පුලුවන්කම ඇති කර ගන්න ඕනෙ.
     
    හ්ම්.. දැනුයි දැක්කෙ...
    කියෙව්වා හොඳ උපදේශයක්....
    පෘතක්ජන මනුස්සයෙක් විදිහට සමහර කරුණු අඩු වැඩි වශයෙන් මගෙ ලඟත් තියෙනවා. (නැහැ කිව්වොත් තවත් අකුසලයක්...) ඒවා හදා ගන්න වෙනවා.

    “කවුරු කමෙන්ට් කළ ත් නැත ත්, කවුරු බැලුවත් නැත ත් මම පිනක් කර ගත්ත නේ..” කියල, ප්‍රතිචාර පැත්තකින් තියල, පින ගැන හිතල අහිංසක ව සතුටු වෙන්න පුලුවනි නම්, අන්න එයාට ධර්ම ප්‍රචාරයෙන් ලැබෙන සැබෑ ම පින ලැබෙනවා.

    මේ ටිකනම් virus එකක් වගේ හිත ඇතුලටම රිංඟලා....:)

    තෙරුවන් සරණයි.