රෝස සිතුවමක් දෙවැනි කොටස
ජීනියස්ගේ බ්ලොගියෙන් එකතු වෙන්න
අම්මගේ කිරිබත් වලට හොඳ හැටි වග කියූ සඳුන් කාමරයට වී පොතක් බලන විට අම්ම කාමරයට එබුනා
"පුතේ.."
උපන්දිනය දවසේ ජයනිගේ මුහුණ අඳුරු වී තිබුණි..
"ඇයි අම්මේ? මොකද නිකන් අමුතු වෙලා වගේ.."
"ගෙදර හාල් ඉවරයි පුතේ.."
"ඉතින් සල්ලි දෙන්න මං බඩාගේ කඩෙන් හාල් ගේන්නම්"
"තාත්තා එවපු සල්ලි ඉවරයි පුතේ, මං නයනා ඇන්ටි ඉන්නවද බැලුව අතමාරුවක් කරගන්න ඒ මිනිස්සුත් ට්‍රිප් එකක් ගිහිල්ල.."
"එහෙනම් මං පියදාස කඩෙන් පොතට හාල් කිලෝ එකක් ගේන්නද?" බඩාගේ කඩෙ ළඟ තිබුනත් ණයට නොදෙන නිසායි සඳුන් දුර තියන පියදාස කඩේට යන්නම් කිවේ.
පියදාස කඩේන් හැමෝටම ණයට ලැබුනේ නෑ. හරියට ණය පියවන අය කීප දෙනාට විතරයි ණයට දුන්නේ.
"හා එහෙනම් බලල ගේන්නකෝ.."
ටී ෂර්ට් එකක් දාගන පාපැදියට නැගුනු සඳුන් ගියේ කිලෝමීටර් කීපයක් දුරින් ඇති පියදාස කඩේටයි.
"කෙලියනේ තාප්පෙටම.." සඳුන්ට කියවුනේ පියදාස කඩේ පේන මානෙට එද්දීමය
පියදාස කඩේ වහල. බයිසිකලය හරවගත්ත සඳුන් ආයි එන්න පටන්ගත්තේ දවල්ට කන්නේ මොනවාදැයි කල්පනාකරමින්..
ගෙදර ඇවිත් කඩේ වහලා යයි අම්මට කියද්දී, අම්ම අහක බලාගත්තේ ඇගේ දෑසින් පිටවුන කඳුල සඳුන්ගෙන් සඟවන්නය. ඒත් එක්කම කුස්සියට ආව සඳුනි කිවේ
"අම්මේ බඩගිනියි....." කියාය
දියණියගේ ඉල්ලීම හමුවේ ජයනිට ඉකිගසා හැඬුනි..
කුඩා දියණිය ජයනි තුරුල්කරගත්තේ
"මගේ උපන්දිනේ දවසේ උඹලට හරියට කෑම වේලක් හදාදෙන්න මට බැරිවුනානේ.." කියමිනි
හිතට පැමිණි දුක්මුසු ආවේගයත් සමග සඳුන් හැල්මේ ගිහින් ගත්තේ අලවන්ගුවයි. අලවංගුව අතැතිව සඳුන් ගියේ අම්මා වගා කරතිබූ මයියොක්කා ගස් දිහාවටයි.. සඳුන් අම්මගේ ඇස් වල දුටු කඳුළු වල ආවේගය පිටකරගත්තේ මයියොක්කා ගස් ළඟ පොලව කොටමිනි.
සඳුන් ටික වෙලාවකට පසු කුස්සියට ආවේ මයියොක්කා අල කීපයක් අතැතිවයි.
"මේ තියෙන්නේ අම්මේ නියම කෑම.. මේ ටික තබලා ගමු. සම්බෝලෙකුත් හදාගත්තාම පන්කාදුයිනේ..."
සඳුන් කිවේ දුක සැඟවූ මවාගත් සතුටකිනි.
පවුලේ සිටින එකම පිරිමියාත්, වැඩිමහල් දරුවාගේත් වගකීම් මැනවින් හඳුනන සඳුන් සියලු දුක් හමුවේ ඔට්ටු වෙන අම්ම තාත්තාට සවියක් වීමට හැම වෙලේම උත්සහ කල දරුවෙකි. ඒ බව ජයනි හොඳින්ම දැනසිටියේය.
"අයියේ.. කන්න එන්න...."
තෙවැනි කොටස
පවුලේ සිටින එකම පිරිමියාත්, වැඩිමහල් දරුවාගේත් වගකීම් මැනවින් හඳුනන සඳුන් සියලු දුක් හමුවේ ඔට්ටු වෙන අම්ම තාත්තාට සවියක් වීමට හැම වෙලේම උත්සහ කල දරුවෙකි. ඒ බව ජයනි හොඳින්ම දැනසිටියේය.
"අයියේ.. කන්න එන්න...."
නංගිගේ හඬත් සමග කල්පනාදැහැන බිඳීගිය සඳුන් කුස්සියට යද්දී කටට කෙල ඉනුවේ මේසේ උද දුම් දමන පොල්රෝටි සමග හොඳට උම්බලකඩ දැමු ලුණුමිරිසකුත්, දවල් හදපු පොලොසුත් තිබුණු නිසායි.
තිදෙනාම එක් වී කෑම ගන්න අතරතුර ජයනි මේසේ සදුන්ගෙන් ඇසිය
"පුතේ.. විභාගෙට තව අවුරුදු දෙකයි. මේ පාර ඔයාට ඕනෑම විෂයන් වලට ලකුණුත් අඩුයි, අඩුමගානේ ඉංග්‍රීසි, ගණන්, විද්‍යාවටවත් පන්ති ගියොත් නේද හොඳ..?
ඔයා පන්ති යන්නේ දෙමල වලට විතරයි, ඒ නිසා සිංහල වලට වඩා දෙමල වලට ලකුණු තියනවා.."
අම්මා එසේ කියද්දී සඳුන්ට මේසේ සිතිනි, ඒ ගැන නම් කියලම වැඩක් නැත.. ඉස්කෝලේ දෙමල සර් හෙන කට්ටයා. ඉස්කෝලේ පීරියඩ් එකේ මොනවා හෝ දෙයක් කියවා ඇගයීමක් දෙයි. ඇගයීමට ලකුණු අඩු ළමුන් එකින් එකා ලඟට ගෙනවාගන
"පුතා ඔයාගේ දෙමල දුර්වලයි.. හවස තියන මගේ පන්තියට එන්න.." යයි පවසයි
ඒ නිසාම හැම කොල්ලෙක් වගේම සර්ගේ පන්තිවලට යයි.. ඒ නිසාම ඒ අයට ලකුණුත් වැඩිය. ගුරුදෙගුරු රැස්වීම දවසට දෙමළ සර් දෙමාපියන් සමගද ඔහුගේ පන්ති ඩිරෙක් මාර්කටින් කරයි. යන්තම් සාමාන්‍ය පෙලට දෙමල තෝරා නොගත් නිසා නැවත දෙමල පන්ති යායුතු නැත
ඉංග්‍රීසි වලට එන කොමලයා මෙලෝ රහකට නැති එකෙකි. ආපු ගමන් පාඩම කියවාගන ගොස් "දැන් ඔකේ තියන කොම්ප්රිහෙන්ෂන් ටික කරන්න " කියමින් කොමලයා ගුරුපුටුවේ වාඩි වී ඉංග්‍රීසි නවකතා පොත් කියවයි. ගණන් උගන්වන ගුණේ ආපු ගමන් "හා හා ගමු ගමු පොත් ගමු " යයි කියමින් කලුලැල්ල පුරා සමීකරණ වගේ ඒවා ලියයි. අග කොහෙද මුල කොහෙද කියා සෙවීමට අපට තබා ගුණේටවත් බැරිය.. හැබැයි ගුරුදෙගුරු රැස්වීම දිනට සියලු ගුරාලා සුද්දවන්තයින්ය.. දෙමාපියන් හා කියන්නේ "මේ ළමයිත් කියන දේවල් තේරුනේ නැත්නම් අපෙන් අහන්න ඕන.. අපි ඕන වෙලාවක කියල දෙන්න ලෑස්තියි.." කියාය. නමුත් ඉතින් මේ කියන දේවල් තේරුනොත් බඩේපාර වදින්නේත් සර්ලාටමය, ඒ එයාලගේ පන්ති වලට එන ළමයි අඩුවෙන නිසා. හැබැයි මේ අතර අවන්කවම සේවයට කැපවුණු ගුරු දෙවිවරුන්ද නොසිටියා නොවේ
ඉතින් ඔය අලකලංචි මැද්දේ අමතර පන්ති යන උන් පොරවල්ය.. නොයන අපි මැට්ටන්ය.. සංසාරෙක හැටි..
"පුතේ...!! මොන ලෝකෙද ළමයෝ ඉන්නේ...?"
"න්.. නෑ.. නෑ.. අම්මේ.. අම්ම කියන කතාව ඇත්ත.. පන්ති නම් යන්න ඕන නැත්නම් කරගන්න අමාරුයි"
"ඒකනේ.. අර බණ්ඩාර සර්ගේ ගණන් පන්තිය හොඳයි කියල කීපදෙනෙක්ම කිව. අර වෙල ළඟ ගෙදර සුමනෙගේ කොලුවත් ගිය පාර ගණන් වලට B එකක් ගත්තේ ඔය පන්තියට ගිහින්නේ.. එකා හෙන මැට්ටේක්නේ.. වැඩ දෙක තුනක්ම ෆේල් ඒත් ගණන් ගොඩගියා බණ්ඩාර සර්ට පින්සිද්ද වෙන්න කියල සුමනෙගේ ගෑණිත් මාත් එක්ක කිව.."
බණ්ඩාර සර් සඳුන්ලගේ ගමේම හිටිය මිශ්‍ර පාසලක ගණිත ගුරුවරයෙකි. ඔහුගේ ගණන් පන්තිය සාමාන්‍ය පෙළ සිසුන් අතරේ ජනප්‍රියය
"හා අම්ම අහල බලන්නකෝ..."
**********
පහුවැනිදාම ජයනි බණ්ඩාර සර්ගෙන් පන්තිගැන විමසා තිබිණි..
"ඔන්න පුතේ පන්ති තියෙන්නේ හැම බදාදාම 2.30 ඉඳල 5.30 වෙනකල් නැනසේ.. හෙට ඉඳල 10 වසරේ සිලබස් එක පටන් ගන්නවලු"
හුටා!!! හෙට නේද බදාදා... ඔන්න සඳුනෝ ඕලෙවල් කරුමේ ගෙවන්න පටන්ගනින්!! සඳුන්ගේ හිත මිමිණීය
"පලවෙනි දවසේ පන්ති කාඩ් එක ගන්න වෙයි.. අම්ම ළඟ සල්ලි තියනවද?"
"හරි හරි මං ඒක දෙන්නම්කො..." ජයනි කීය
සඳුන් මෙහෙම කල්පනාකරන අතරම හිතුවේ, කම්මැලි වුනා වගෙයැ විභාගේ ෆේල් වුනොත් වසල හමාරයි. පාරේ බැහැල යන්නේ කොහොමද? කමක් නෑ ඔන්න ඔහේ යනවා කියාය