ඔන්න ඉතිං, ලතින් ඇමෙරිකානු කලාපයේ එක්තරා රටක ඈත පිටිසර ඉතා සුන්දර ගම්මානයක් තිබුනා. මේ ගම්මානයේ ප්‍රසිද්ධ වෙද පවුලක් හිටියා. ප්‍රසිද්ධ කීවාට මොකද මේ වෙද පවුල ප්‍රසිද්ධ වෙලා හිටියේ ඔවුන්ට පක්ෂපාතී කටකතා පතුරුවන්නන් නිසයි. මේ කට කතා කරුවන් වෙද පවුලේ දක්ෂතා ගැන විවිධ ව්‍යාජ නිර්මාණ සත්‍ය කතා සේ ගම්මානය පුරා ප්‍රචාරය කළා, මේ වෙද පවුලේ දෙවැනි අයියා තමයි ප්‍රසිද්ධ වෙදා වුනේ. මේ අයියා වටේ එක්වූ පවුලේ සියලු දෙනා වෙදකමට හවුල් වුනා. මේ වෙද අයියා කාලයක් ගමේ අයට වෙදකම් කළත් ගමේ ලෙඩ රෝග වැඩි වුනා. ඊට පසුව ඒ වෙද අයියා අසාර්ථක බව තේරුම් ගත් අර කට කටකතා පතුරු වන්නන් ඒ වෙද අයියාට වඩා ඔහුගේ මල්ලී දැන් ඉතා දක්ෂ වෙදෙක් බව ප්‍රචාරය කළා. වෙනත් දක්ෂ වෙදුන් මේ ගම්මානයේ සිටියත් ඒ කිවෙකුට වෙදකමට පැමිණීමට මේ වේද පවුල ඉඩ දුන්නේ නෑ. ඉතින් ගමේ ජනතාව පෙරහරේ ගිහින් මේ මල්ලී වෙද මහතාගෙන් බෙහෙත් ගත්තා. මේ ගමේ ජනතාව ගැන වචනයක් කියන්නේ නම් ඔවුන් ඉතා මිත්‍රශීලී යහපත් මිනිසුන් වුණාට විචාර බුද්ධිය ඉතා පහළ මට්ටමක පැවතීම ඔවුන්ගේ විශේෂත්වයක්. කෙසේ වෙතත් අයියා වෙදාගෙන් ප්‍රතිකාර ගෙන සුව නොවූ ලෙඩුන් මල්ලී වෙදා ළගට බොහෝ විශ්වාසයෙන් යුතුව ගියත් අයියා කළ තරම්වත් මල්ලී වෙදාගෙන් රෝග සුව නොවුනා පමණක් නොව ඒවා වේගයෙන් උත්සන්න වුනා. ,ඒ පවුල වෙදකම සදහා විශාල මුදල්ද අය කළත් ඔවුන් දන්නා වෙදකමක් නැති බවත් ගම්වාසීන් ටිකෙන් ටික වටහා ගත්තා. මේ මල්ලී වෙදා මම තමයි හොදටම වෙදකම් කලේ කියා කීවත් ගම්වාසීන් එය පිලි ගැනීමට මැලි වුනා. ඔහුගෙන් බෙහෙත් ගත් අය ඔහුට දොස් කියන්න පටන් ගත්තා. නමුත් ගමේ වෙදකම හොදින් දන්නා කිසිවෙකුටත් වෙදකම භාර දෙන්න මේ වෙද පවුල කැමති වුනේ නෑ. ඉන්පසු මේ වෙද පවුල මේ තත්ත්වය ගැන විශේෂ සාකච්චාවක් ආරම්හ කළා. එහෙම කරලා ඔවුන් තීරණය කළා මේ වෙද පවුලේ බාල මල්ලී ගමේ ප්‍රධාන වෙදා බවට පත් කරන්න. ඉතින් මේ මල්ලී නේද අයියලා දෙන්නාටම බෙහෙත් අඹරලා දුන්නේ කසාය, කල්ක, ගුලි හැදුවේ. මේ මල්ලී දන්න අමුතු වෙදකමක් න නේද කියා ගාමේ ඇතැම් අය ඇහුවා. නමුත් අර කටකතා කාරයෝ ගමේ හැම තැනම මේ මල්ලී වෙදාගේ දක්ෂතා ගැන විවිධ කට කතා ප්‍රචාරය කරන්න පටන් ගත්තා. මේ මල්ලී ළග ඕනෑම රෝගයක් මොහොතකින් සුව කළ හැකි බලවත් රහස් බෙහෙත් වට්ටෝරු ගණනාවක් ඇති බව ඔවුන් ප්‍රචාරය කළා. ඔහුගේ පැමිණීමෙන් ගමේ සියලු රෝග නිවාරණය වන බව ඔවුන් කීවා. ඇයි ඉතින් තමන්ගේ අයියලා වෙදකම් කරන විට ඒ බෙහෙත් එළියට දැම්මේ නැත්තේ කියා ගමේ දෙතුන් දෙනෙක් විමසා සිටියාට අර කටකතා ප්‍රචාරය කරන්නන්ගේ හඩට ඔවුන්ගේ සිහින් හඩ යටපත් වුනා. එහෙත් ගමේ ගස් වැල්, කුරුල්ලන්, ගව මහීශාදී සතුන් නම් ඒ කතා අහලා හොදටම හිනා වුණා.