පොලිස් නිශ්කාෂණ වාර්තා සහ ගෑනු
අපේ නෑදෑ වෙන නංගි කෙනෙක්ගෙ මහත්තය එයා දාල ගියා. එයාට ඉන්නෙ එයාගෙ අයිය විතරයි. අයිය පදිංචි වෙලා ඉන්නෙ බටහිර රටක. මහත්තයා වෙන කසාදයක් කරගත්තට පස්සෙ ඒ නංගි අයිය ලඟට යන්න පී ආර් ඇප්ලයි කරා.
මමමයි ඇප්ලිකේෂන් වල වැඩ කරලා දුන්නෙ. ඇප්ලිකේෂන් එකත් එක්ක පොලිස් නිශ්කාෂණ වාර්තාවක් එවන්න කියල තිබුන. මහත්තය රජයේ වගකිවයුතු නිලධාරියෙක් නිසා ඒ දෙන්න ලංකාවේ නොයෙකුත් පළාත් වල රාජකාරි කරලා තිබුන නිසා පොලිස් වාර්තාවට ඇප්ලයි කරනකොට ඒ හිටපු හැම තැනකම ඇඩ්රස් දාන්න උනා. වාර්තාව ඉල්ලන ඉල්ලුම්පත්‍රයේ විවාහක අවිවාහක බව අහන තැනදි 'ඩිවෝස්' කියල දැම්ම.
ඔන්න ඔතන ඉඳන් තමයි කතාව පටන් ගන්නෙ. ඇප්ලිකේෂන් එක සබ්මිට් කරේ කොළඹ පොලිස් මූලස්ථානෙට. ඊට පස්සෙ ඒක එයාල කලින් පදිංචිවෙලා හිටිය ප්‍රදේශ වල තිබුන තව පොලිස් ස්ථාන හතකට ගිහින් ඉවර උනාම තමයි ආපහු පොලිස් මූලස්තානෙන් පොලිස් නිශ්කාෂණ වාර්තාව නිකුත් කරන්නෙ. කියන්න දුකයි මේ නංගි මේක ඇප්ලයි කරපු දවසේ ඉඳල දිවා රෑ නැතිව එක එක මිනිස්සු කෝල් කරන්න ගත්ත. එකෙක් කෙලින්ම කියල තිබුන මම ගල්කිස්ස පොලිසියෙන් කතා කරන්නෙ ඔයාගෙ වාර්තාව හදල දෙන්න අපිට මොනවද දෙන්නෙ කියල. තව සමහර එවුන් කියල තිබුන ඔයාගෙ වැඩේ මට නිතර නිතර කතා කරලා මතක් කරන්න කියල. තව එවුන් කෝල් කරලා බොරු බොරු දේවල් අහල තිබුන. මිස් කෝල් ආපු වාර ගැන කියල වැඩක් නෑ. ඒ ආපු නම්බර්ස් True caller එකේ ගහල බලපුවම එන නම් වලින් තේරුණා ඒ නම් ඇවිල්ල තියෙන්නෙ මේ වගේම වාර්තා ඉල්ලපු අහිංසක ගෑනුන්ට දීපු ෆෝන් නම්බර්ස් සේව් කරලා තියන විදිහට කියල. මේක උන් එක්කෙනෙකුට දෙන්නෙකුට කරන දෙයක් නෙමේ සෑහෙන කාලෙයක් තිස්සෙ ගොඩක් අයට කරන දෙයක්. ඊට පස්සෙ අපි මැදිහත් වෙලා යාළුවන්ට කතා කරලා වාර්තාව ගෙන්න ගත්ත. පස්සෙ ඒ වාර්තාවේ තිබුන වැරද්දක් නිවැරදි කරගන්න පොලිස් මූලස්තානෙට යන්න උනා. එතන හිටපු ඉතාම ඉහල නිලයක් දරන නිලධාරියෙක් මේ නංගිට කියල තිබුන ඔයා වගේ ලස්සන කෙනෙකුට එහෙම ඉක්මනට වැඩ කරලා දෙන්න බෑ පොඩ්ඩක් ඉන්න ආශ්‍රය කරන්න කියල (එතනට යන්න දෙන්නෙ අදාළ පුද්ගලයට විතරක් නිසා එයාගෙ අම්මයි තාත්තයි එලියට වෙලා ඉඳල). එහෙම කියල ඉතුරු වැඩ සේරම ඉවර වෙනකන් මිනිහගෙ මේසෙ ඉස්සරහ පුටුවක් තියල අර නංගිව ඉන්දල තියාගන පුදුම විදිහට අපහසු තාවයට පත්වෙන කතා කියල තිබුන. පුදුමේ කියන්නෙ මිනිහ මේ සේරම කරලා තියෙන්නෙ කාටවත් නොපෙනෙන තැනක හොරෙන් නෙමේ. එතන ඉන්න හැමෝටම පෙන්න හැමෝම ඉස්සරහ. ඒකෙන් තේරෙන්නේ ඒක මේ පුද්ගලයා එදිනෙදා කරන සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන්නෙ. ඒ නංගි ඒ දවස් වල පුදුම මානසික පීඩනෙකින් හිටියේ. අම්ම තාත්ත දාල අයිය ලඟට යන්න බෑ කිය කියා හිටපු කෙනා මේ කාලකන්නි ඉන්න රටේ තවත් ඉන්න බෑ කියල බොහොම කැමැත්තෙන් යන්න ගියා.
අපිටත් යමක් කිරීමේ හැකියාව තිබුන නිසා මේ ප්‍රශ්නෙට සම්බන්ධ උන හැමෝටම විරුද්ධව ක්‍රියා කරා. මූලස්තානේ හිටපු පරයට විතරයි මොකුත් කරන්න බැරි උනේ (ඌටත් ළඟදීම දෙනවා). මේ වගේ දෙයක් වෙන රටක එහෙම උනානම් ඕකුන් ඔක්කොටම ජොබ් නැතිවෙලා විතරක් ඉවර වෙන්නේ නෑ වන්දිත් ගෙවල හිරෙත් යන්න වෙනවා.
මේකෙන් ඔයාලට ඉගෙන ගන්න තියෙන දේ තමයි කවදාවත් ඇප්ලිකේෂන් එකක ගැනු නමක් තියනවනම් ඒ ගැනු කෙනාගේ නම්බර් එක ලංකාවේ ඇප්ලිකේෂන් එකකට දාන්න එපා. මේක මම බොහොම කෙටියෙන් කියපු දීර්ග කතාවක්. ලියන්න හිතුනෙ අද දැකපු පහල දාල තියන නිව්ස් එක නිසා.
කාම ආශාවෙන් මත් වී ගෙට රිංගූ පොලිස් නිලධාරියාගෙන් කාන්තාවක් බේරුණු හැටි
කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ බව කියන පොලිස් සැරයන්වරයකුට එම කාන්තාව පොල්ලකින් පහරදී ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දැනට ඔහු පොලිස් ආරක්ෂාව සහිතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වෙන්නේ. සැරයන්වරයා කැබිතිගොල්ලෑව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට මාරුකර යවා තිබෙනවා.
සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇත්තේ කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ මහජන සම්බන්ධතා ඒකකයේ සේවය කළ 55 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්.
කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට අනුව සිද්ධිය මෙසේයි,
හදගල රලපනාවේ කාන්තාවක සිය දරුවාට රැකියාවක් සඳහා යෑමට අවශ්‍ය පොලිස් නිෂ්කාශණ වාර්තාවක් ලබා ගැනිමට කැතිබිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ මහජන සම්බන්ධතා ඒකකයට පැමිණ මෙම සැරයන්වරයාව හමුවී තිබුණා. අදාළ වාර්තාව පසුව ලබා දෙන බවට සැරයන්වරයා එහිදි පවසා තිබුණා.
ඉන්පසුව එම කාන්තාවගේ නිවසට අද (21) ගොස් ඇති සැරයන්වරයා ඇයට බලහත්කාරයෙන් අතවර කිරිමට තැත් කර තිබෙනවා.
සැරයන්වරයාගෙන් බේරීමට එම කාන්තාව පොල්ලකින් සැරයන්වරයාට පහරදි ඇති අතර මේ බව දුරකථනයෙන් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබුණා.
පසුව කාන්තාවගේ නිවසට පොලිස් නිලධාරින් කණ්ඩායමක් පැමිණ බලන විට පහර කෑමට ලක් වූ සැරයන්වරයා නිල ඇඳුමෙහි ලේ සහිතව පුටුවක් මත වාඩි වි සිට තිබෙනවා. එහිදී ඔහුව පොලිස් අත්අඩංගුවට ගත්තා.
තමන් එම කාන්තාවට අතවර කිරිමට තැත් කළ බවට පොලිස් සැරයන්වරයා මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාට පවසා තිබෙනවා.
පහර කෑමට ලක් වූ පොලිස් සැරයන්වරයාගේ සේවය අත්හිටුවීමට අනුරාධපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවී පීරිස්ගේ නියෝග මත කැබිතිගොල්ලෑව වැඩ බලන සහකාර පොලිස් අධිකාරි විජිත් අල්විස් කටයුතු කළා.




