ලක්ෂ 20 ක් දිනලා...
ජීවිතයට අමුතු පාඩම් අරන් එන්න අපූරු පුද්ගලයෝ විටින් විට මුණ ගැසෙනවා. පන්සලේදී, තැබෑරුමේ දී මහ මගදී ආදි ඕනෑම තැනක දී හමුවන මෙවන් පුද්ගලයින්ගෙන් ලැබන සමහරක් පාඩම් ජීවිතේට කොයිතරම් වටිනවාදැයි සිතන්නේ ඒ ගැන ටිකක් වුවමනාවෙන් බැලූවමයි... මීට ඉස්සරවෙලා ‘ඩස්ට්බින් එළ කොල්ලෙක්’ ‘ඔහුගේ බිරිඳ සීතාවක්ලූ’ වගේ ත්‍රෙඞ්වලින් වලින් මම පෙන්නලා දුන්නේ ඒ වගේ අපූරු චරිතයි. මේකත් ටිකක් අමුතු කතාවක්....
එදා රාති‍්‍ර 7.00 ට ආසන්නයි.... සාමාන්‍යයෙන් නුවර නගරය කියන්නේ කලින් නින්දට යන, පරක්කුවෙලා නැගිටින ටවුන් එකක්... රාති‍්‍ර 7.00 ට නුවර සමහරක් වීදි අමු සොහොන් වගේ පාලූවෙලා යනවා.... මම බස් නැවතුම ආවේ ගමනක් යාමට බස් රථයක් අල්ලා ගැනීමටයි... පාරම පාලූයි... ටික වෙලාවක් ගියාට පස්සේ සුදු සරමකින්, කමිසයකින් සැරසුණු මැදිවියේ පුද්ගලයෙක් ලොතරැයි ලෑල්ලක් අරන් මා ඉන්න දිහාවට එනවා... ”අවසාන ටිකට්පත්... ලග්න වාසනා, අද කෝටි....” කට පාඩම් කරගත් පරිදි එකම කතාවක් රිපීට් කරමින් මනුස්සය මගේ ළගටත් ආවා...
”මහත්තයා ටිකට් එකක් ගන්නවද...?
”එපා.... ආ... පොඞ්ඩක් ඉන්න...” මම මගේ පර්ස් එකෙන් ටිකට් එකක් අරන් අර මනුස්සයට දුන්නා... ”මේකට රු. 100 ක් තියෙනවා... ඒකට හරියන්න ටිකට් 05 ක් දෙන්න...”
මනුස්සයා මගේ ටිකට් එක අරගත්තා... ”මහත්තයා මේ ටිකට් එක සති 02 ක් විතර පරණ එකක්නේ... මේ කලූවරේ කොහොමද අංක හොයන්නේ...?”
මිනිහගේ කතාව ඇත්ත... ”ආ කමක් නෑ... එහෙනම් මම රු. 100 ක් දෙන්නම්...”
”එපා, එපා මහත්තයා මේකේ 100 ක් ඇති... මම ටිකට් එක ගන්නම්...”
මම පුදුමයට පත් වීමි. මම වංචාවක් කළා නම් ඔහුට අලාභය පියව ගන්න ටිකට් 40 ක් පමණ විකිණීමට සිදුවේ...
”මේ ඔයාට මම බොරුවක් කරල නම් ඔයාට අතින් කන්න වෙනවනේ....” මෙම නිකමට මෙන් ඇසුවෙමි.
”අපි වගේ අහිංසකයන්ගේ බඩට ගහන්න තරමට ලංකාවේ මිනිස්සු නරක්වෙලාද මහත්තයෝ...?” ඔහු පෙරලා මගෙන් ඇසුවේය... මම ඊට පිළිතුරු නුදුන්නෙමි.
”ඒක නෙවෙයි තව ටිකක් ඉතිරිවෙලා නේද..? වෙලාවට කලින් වික්කේ නැත්තං ඔයාට පාඩුයි නේද..?”
”ඔව් ආයේ රිටන් ගන්නේ නෑනේ... ඒ වුණාට මේ ටික සුටුස් ගාල විකිණෙනවා...”
ඔහු කිව් කතාව සනාථ කරමින් විනාඩි 15 ක පමණ කාලයක් ඇතුළත ඔහු එතැනින් එන යන අයට සියලූම ටිකට් පාහේ විකුණා අවසන් කරන ලදි.
”මම කිව්වේ මහත්තයෝ... ඔක්කොම ඉවරයි.... මම අන්තිම ටිකට් එක විකුණන්නේ නෑ... ඒක මම තියා ගන්නවා...”
”ඇයි ඒ...?” ඔහුව කතාවට අල්ලා ගන්නා අටියෙන් ඇසුවෙමි.
”මහත්තයා මම උදේ ඉඳන් මිනිස්සුන්ට විකුණන්නේ වාසනාව.... ඉතිං වාසනාව විකුණන මටත් පොඩි චාන්ස් එකක් තියෙන්න ඕනනේ.. ඒ හින්ද ඒ චාන්ස් එක මේකෙන්වත් එයි කියල හිතල තියාගන්නවා...”
”ඉතිං ඔයාට ලැබුණු ලොකුම දිනුම කුමක්ද...?”
”මහත්තයා විශ්වාස කරන්න මම රුපියල් ලක්ෂ 20 ක් දිනල තියෙනවා...” ඔහු උජාරුවෙන් කීවේය.
මම පුදුම වීමි... කිලූටු සරමක් කමිසයක් ඇඳගෙන ගෙවුණු රබර් සෙරෙප්පු පයලාගෙන සිටින මොහු කාළකණ්ණියෙක් නෙවෙයිද.... ලක්ෂ 20 කින් කළ හැකි විශාල දෙයක් නොමැති බව සත්‍යයකි... අඩුම තරමේ මෝටර් සයිකලයක්, පාපැදියක්වත් ගැනීමට එය ප්‍රමාණවත් නොවුණිද..? මේ මනුස්සය ගැන මට ඇති වුණේ කළකිරීමකි....
”ඉතිං ඔයා ඒ සල්ලි නිකංම විනාශ කරගත්තද...? කිසිම දියුණුවක් පේන්න නෑනේ...”
ඔහු අපූරු පුද්ගලයෙක් යැයි සිතෙන කතාව ඔහු කීවේ ඊට පසුවය...
”මහත්තයා... නිදියන්න පැදුරට වැටුණම ඕනම මිනිහෙක්ට හීන පේන්න ගන්නවා... මගෙත් ඒ වගේ හීන තිබ්බා... මට ඕන වුණේ ඉන්න ගේ ටිකක් රෙපයාර් කරගන්න... ඊට පස්සේ තී‍්‍රවිල් එකක් ගන්න.... එකම කොල්ලට කීයක් හරි ඉතිරි කරල තියන්න ඌට කවදහරි ඉගෙන ගන්න වියදම් කරන්න....”
ඔහු කියවගෙන යයි... මම නිහඩවම අසා සිටියෙමි...
”මට ලක්ෂ 20 ක් ඇදුන කියල දැනගත්තම ගොඩක් අය එක එක දේවල් කියන්න ගත්තා... අරක කළොත් අවුරුද්දකින් මෙච්චරක් හොයන්න පුලූවන්... මේක කළොත් ඊට වඩා ලාභයි වගේ කතා ගොඩයි... ඒ වුණාට මම ඒ කිසිම දෙයක් ගැන උනන්දු වුණේ නෑ....”
”ඉතිං ඒ මිනිස්සු කියපු කතාව ඇත්ත කියල අද හිතෙන්නේ නැද්ද..?” මම නක්කලේට මෙන් ඇසුවෙමි.
”මොකක්ද ඇත්ත.... මම අදත් මම කරපු දේ ගැන සතුටු වෙනවා... මම ගේ ටිකක් රෙපයාර් කරගත්ත... තී්රවිලර් එකක් ගත්තා... කොල්ලට ලක්ෂ තුනක් ඉතිරි කලා.... ඌ දැන් උසස් පෙළ ලියනවා... ඊට පස්සේ මොකක් හරි කෝස් එකක් කරන්න ඒ සල්ලි ඇති වෙයි... මම මගේ සුපුරුදු රස්සාව කරගෙන ජීවත් වෙනවා.... තී‍්‍රවිල් එක දවසේ ගාණට ළග කොල්ලෙකුට හයර් එකට දුන්නා...”
මට නැවතත් ඔහු ගැන පැහැදීමක් ඇතිවන්නට විය...
”මහත්තයා ලොකු ගාණක් අතට ආවම ගොඩක් මිනිස්සුන්ට වරදින තැන මම දැනගෙන හිටියා.... මට ලක්ෂ 20 ලැබුණට පස්සේ මම කිසිම දෙයක් කල්පනා කලේ නෑ... මොකද ඒ වෙන කොටත් මගේ ලග හීනයක් තිබ්බා... මම ඒ හීනය ඉෂ්ඨ කරගත්තා.... ලක්ෂ 20 න් මගේ හීනය ඉෂ්ඨ කරගත්ත මිසක ලක්ෂ 20 ට ගැලපෙන්න අලූත් හීන ඇතිකරගත්තේ නෑ...”
ඔහු අවසානයට කිව්ව දෙය යළ යළිත් මගේ මතකයට එයි... මා දන්න බොහෝ පුද්ගලයින් එකවර ලැබුණු පවුල් දේපලවලින්, ලොතරැයි දිනුම්වලින් ඇස් අන්ධව, අන්තිමට හිටියටත් වඩා අන්ත අසරණ තත්වයට වැටී දුක් විඳිනු මම දැක ඇත්තෙමි. මන්ද යත් ඔවුන් දහඩියෙන් මහන්සියෙන් උපයාගෙන ක්රමාණුකූලව ජීවිතය සකසා ගත් එවුන් නොවන නිසාය. ඒ අතින් බලපුවම ලොතරැයි වෙළෙන්දා මා හට කියා දුන්නේ අපූරු පාඩමකි...
”ලක්ෂ 20 න් මගේ හීනය ඉෂ්ඨ කරගත්ත මිසක ලක්ෂ 20 ට ගැලපෙන්න අලූත් හීන ඇතිකරගත්තේ නෑ...”
ඔහු අද ද ලොතරැයි ලෑල්ලක් අරගෙන අනුන්ට වාසනාව විකුණමින් පයින් ගාටනවා ඇත... දවස අන්තිමට ඉතිරිවන එක ලොතරැයියකින් වාසනාව උරගා බලනු ඇත... කුමක් වුවද කම් නැත... මන්ද යත් ඔහු ඔහුගේ හීන ඉෂ්ඨ කරගත් තෘප්තිමත් මිනිසෙකි....
Last edited:

