'ලෝකය'

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    පින්වත් මිතුරනි,

    'ලෝකය', 'ලෝකය' කියා ධර්මයේ කියැවෙනවා. එහි අරුත කුමක් ද?

    ( අප සාමාන්‍යයෙන් කථා කරන පෘථිවිය ඇතුළු ග්‍රහ ලෝකවලට ත් ධර්මයේ ලෝකය කියා කියනවා.
    ඒත්, අප විසින් අවබෝධ කරගත යුතු 'ලෝකය' කියා දැක්වෙන්නේ එය නොවේ. )

    වරක්, එක්තරා භික්‍ෂුවක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේන් 'ලෝකය' ගැන විමසා සිටියා.

    ස්වාමීනි, ලෝකය, ලෝකය කියල කියනවා. ස්වාමීනි, ලෝකය කියල කියන්නේ කවර කරුණු මත ද?
    මෙන්න පිළිතුර...

    පින්වත් භික්‍ෂුව, "සිඳී බිඳී යයි" යන අරුතෙන් තමයි ලෝකය කියල කියන්නේ.
    කුමක් ද සිඳී බිඳී යන්නේ?

    පින්වත් භික්‍ෂුව, ඇස යි සිඳී බිඳී යන්නේ.
    රූප යි සිඳී බිඳී යන්නේ.
    ඇසේ විඤ්ඤාණය යි සිඳී බිඳී යන්නේ.
    ඇසේ ස්පර්ශයයි සිඳී බිඳී යන්නේ.
    ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක්සැප රහිත වේවා, යම් විඳීමක් ඇද්ද එය යි සිඳී බිඳී යන්නේ.

    පින්වත් භික්‍ෂුව, කණ යි සිඳී බිඳී යන්නේ.
    ශබ්දය යි සිඳී බිඳී යන්නේ.
    කණේ විඤ්ඤාණය යි සිඳී බිඳී යන්නේ.
    කණේ ස්පර්ශයයි සිඳී බිඳී යන්නේ.
    කණේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක්සැප රහිත වේවා, යම් විඳීමක් ඇද්ද එය යි සිඳී බිඳී යන්නේ.

    පින්වත් භික්‍ෂුව, නාසය යි සිඳී බිඳී යන්නේ.
    ගඳ සුවඳ යි සිඳී බිඳී යන්නේ.
    නාසයේ විඤ්ඤාණය යි සිඳී බිඳී යන්නේ.
    නාසයේ ස්පර්ශයයි සිඳී බිඳී යන්නේ.
    නාසයේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක්සැප රහිත වේවා, යම් විඳීමක් ඇද්ද එය යි සිඳී බිඳී යන්නේ.

    පින්වත් භික්‍ෂුව, දිව යි සිඳී බිඳී යන්නේ.
    රසය යි සිඳී බිඳී යන්නේ.
    දිවේ විඤ්ඤාණය යි සිඳී බිඳී යන්නේ.
    දිවේ ස්පර්ශයයි සිඳී බිඳී යන්නේ.
    දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක්සැප රහිත වේවා, යම් විඳීමක් ඇද්ද එය යි සිඳී බිඳී යන්නේ.

    පින්වත් භික්‍ෂුව, කය යි සිඳී බිඳී යන්නේ.
    පහස යි සිඳී බිඳී යන්නේ.
    කයේ විඤ්ඤාණය යි සිඳී බිඳී යන්නේ.
    කයේ ස්පර්ශයයි සිඳී බිඳී යන්නේ.
    කයේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක්සැප රහිත වේවා, යම් විඳීමක් ඇද්ද එය යි සිඳී බිඳී යන්නේ.

    පින්වත් භික්‍ෂුව, මනස යි සිඳී බිඳී යන්නේ.
    සිතිවිලි යි සිඳී බිඳී යන්නේ.
    මනසේ විඤ්ඤාණය යි සිඳී බිඳී යන්නේ.
    මනසේ ස්පර්ශයයි සිඳී බිඳී යන්නේ.
    මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක්සැප රහිත වේවා, යම් විඳීමක් ඇද්ද එය යි සිඳී බිඳී යන්නේ.

    පින්වත් භික්‍ෂුව, "සිඳී බිඳී යයි" යන අරුතෙන් තමයි ලෝකය කියල කියන්නේ.
    සළායතන සංයුක්තයේ, ගිලාන වර්ගයේ, ලෝක සූත්‍රය ඇසුරෙනි.

    මෙයට 'ලෝකය' කියන්නේ ඇයිදැ යි විමසා බැලීමට ත්,
    එම ලෝකයේ යථා ස්වභාවය විමසා බලන්නටත් මේ thread එක යොදා ගනිමු.

    තෙරුවන් සරණයි!
     
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    පින්වත් මිතුරනි,

    ඔබේ ලෝකය ගැන මදක් සිතා බලන්න...

    ඇස, කණ, නාසය, දිව, කය හා මනස ඇසුරෙන් ලද නොයෙක් දෙයින් එය පිරී තියෙනවා.
    එහි මධ්‍යයේ සිටින්නේ ඔබයි; ඔබ තුළ ඇති 'මම' කියන හැඟීම යි.

    අපේ ලෝකයේ තියෙන සමහර දේ මවා ගත්තු දේවල්; ඇත්තට ම නෑ. ඔන්න බලන්න..
    "කෙනෙක් බිත්තියක ලස්සන කාන්තාවක ගේ හෝ පුරුෂයෙකු ගේ හෝ රූපයක් අඳිනවා; එය දකින අපට සිතෙන්නේ මේ බිත්තියක අඳින ලද සිතුවමක් කියා ද? කෙනෙක් කියා ද?"

    අප තුළ ඒ ගැන රාග සිතක් ඇති වෙන්න පුළුවන් ද? ඒ රාගය ඇති වුණේ අප තුළයි? කුමක් නිසා ද, අර බිත්තියේ ඇඳපු රූපය අප හඳුනා ගත් වැරදි ආකාරය නිසා.

    බාහිර ලෝකයේ විචිත්‍ර දේ තියෙනවා, ඒවායේ කාමය නැහැ. ඒ ගැන අපේ සිතේ තිබෙන 'සංකල්ප රාගය' තමා කාමය කියන්නේ.

    මෙය එක් උදාහරණයක් පමණයි, අප සසර යන්නේ අප මවා ගෙන ඉන්නා 'ලෝකය' ගැන අවබෝධයක් නැති කම නිසා ම බවට...

    තෙරුවන් සරණයි!
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    මේ පිළිබඳව පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ "ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ" යන ග්‍රන්ථ රත්නයේ එන මනා විවරණයකි පහත දැක්වෙන්නේ...

    ----------------------------------------------------------------------
    ලෝක

    ලෝකය, පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාරන්නේ ලෝකයේ මං මුලාවී අතරමං වී සිටින පිරිස කථා කරන ආකල්පයෙන් නොවේ. එහෙත් ලෝකය, යන වචනය ඇසෙන විට එක් වරම අපට සිතෙන්නේ කුමක්ද? එනම් පෘථිවිය, ඉරහඳ, ග්‍රහතාරකා යනාදියයි. ඒ ලෝකය, නාමයෙන් අප ලද දැනුමේ පිළිවෙලය. එසේ නම් ලෝකය යනු කුමක්ද? ලෝකයේ සැබෑ අර්ථය දන්නේ ලෝකවිදූ හෙවත් ලෝකය පිළිබඳ යථාර්ථය අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ පමණි.

    වරක් ලෝකය යනු ඉර, හඳ, ග්‍රහ, තාරකා යයි සිතා සිටි රෝහිතස්ස නම් එක්තරා දිව්‍ය පුත්‍රයෙකුට ලෝකයේ කෙළවරක් සොයන්නට සිතිණ. එලෙසින් ලෝකයේ කෙළවර සොයා ගත් විට අමරණීය ජීවිතය ලැබෙන්නේ යයි ඔහුගේ අදහස වීය. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි හේ මේ කරුණ විමසීය. එතැනදී උන්වහන්සේ වදාළේ ලෝකයේ කෙළවරටම ඇවිදගෙන යන්නට සිතාගෙන ලෝකයේ අතරමං වී සිටිනවුන්ගේ නෙත් විවර කරවන පිළිතුරකි.

    "පින්වත, මා අවබෝධ කළ සැබෑ ලෝකය වනාහී ඔබ සිතන පිළිවෙලේ ගමනකින් ගොස් කෙළවරක් දකින ලෝකයක් නොවේ. ඔබ සිතන ආකාරයට ලෝකයේ කෙළවරක් කිසිදා දැක්ක නොහැකිය. එහෙත් ලෝකාවබෝධය පිණිස නම් ලෝකයේ කෙළවර දක්වාම අවබෝධ කර ගත යුතුය.

    එනම් (මායාකාරී) සිතක පැවැත්ම සහිත, වටපිටාව හඳුනා ගනිමින් සිටින බඹයක් පමණ වූ මේ සිරුරෙහිය ඒ ලෝකය තිබෙන්නේ. ලෝකයේ පැවැත්ම යළි යළිත් සකස් කර දෙන හේතුව තිබෙන්නේද එහිය. එම හේතුව නැති කිරීමෙන් ලෝකයෙන් මිදීමේ හැකියාව තිබෙන්නේද එහිය. ඒ සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙල තිබෙන්නේද එහිය."
    (රෝහිතස්ස සුත්ත - සං. නි.)

    වරක් ලෝකය පිළිබඳව එක්තරා භික්ෂූන් වහන්සේ නමක් මෙබඳු ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ වෙත යොමු කළහ.

    "භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ලෝකය ලෝකය කියා කවුරුත් කථා කරති. ලෝකය, යන්නේ සැබෑ අර්ථය කුමක්ද?"

    "පින්වත් භික්ෂූව, ලෝකය, කියා කියන්නේ නැසී, වැනසී යන නිසා (ලූජ්ජතීති ලෝකෝ) ය."
    (ලෝක සුත්ත - සං. නි.)

    ආනන්ද හිමියන්ද ලෝකය ගැන එම ප්‍රශ්නයම උන්වහන්සේගෙන් ඇසූ විට මෙසේ පිළිතුරු දුන් සේක.

    "පින්වත් ආනන්දයෙනි, සිඳී බිඳී යන යමක් ඇද්ද, අන්න ඒ දෙය ලෝකය, වශයෙන් මේ සද්ධර්මයෙහි සලකනු ලැබේ.

    කුමක්ද ආනන්දයෙනි, මේ සිඳී බිඳී යන දෙය. එනම්
    - ඇසය. ඇසට පෙනෙන රූපය. ඇස මුල් කොට ඒ රූප සිතින් දැන ගැනීම (චක්ඛු විඤ්ඤාණය) ය. ඒ නිසා ඇතිවන සැප - දුක් විඳීමය.
    - කණ ය...
    - නාසය ය...
    - දිවය...
    - කය ය...
    - සිතය. සිතට සිතෙන සිතුවිලි ය. සිත මුල් කොට එම සිතුවිලි දැනගැනීම (මනෝ විඤ්ඤාණය) ය. ඒ නිසා ඇතිවන සැප - දුක් වේදනා විඳීමය.
    මේ වනාහී සිඳී බිඳී යන ලෝකයයි."
    (පලෝකධම්ම සුත්ත - සං. නි.)

    තවත් වරෙක ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේ ගෙන් මෙසේ ප්‍රශ්නයක් විමසූහ.

    "භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ලෝකය හිස් ය, (සුඤ්ඤෝ ලෝකෝ - ශුන්‍ය ලෝකයක්) ලෝකය හිස්ය, කියා කවුරුත් කතා කරති. ලෝකය හිස්, යන්නෙහි සැබෑ අර්ථය කුමක්ද?"

    "පින්වත් ආනන්දයෙනි, යථාවබෝධය තුළින් ලෝකය දෙස බලන විට එහි ආත්මයක් (ස්ථිර ස්වභාවයක්) හෝ ආත්මයකට (ස්ථිර ස්වභාවයකට) අයත් දෙයක් හෝ කුමන ආකාරයෙකින් වත් දැක්ක නොහැකිද, අන්න ඒ නිසා එය (ආත්මයකින් හෝ ආත්මයකට අයත් දෙයකින්) ශුන්‍ය වූ හිස් වූ ලෝකය කියා සලකනු ලැබේ.

    ආනන්දයෙනි, යථාවබෝධය තුළින් කුමක් දෙස බලන විටද එහි ආත්මයක් හෝ ආත්මයකට අයත් දෙයක් හෝ කුමන ආකාරයකින් වත් දැක්ක නොහැක්කේ?

    - (යථාවබෝධය තුළින්) ඇස දෙස බලන විටය. රූප දෙස බලන විටය. ඇස මුල් කොට ඒ රූප සිතින් දැන ගැනීම (චක්ඛු විඤ්ඤාණය) දෙස බලන විටය. ඒ නිසා සැප - දුක් විඳීම හටගන්නා හැටි බලන විටය.
    - කණ දෙස බලන විටය...
    - නාසය දෙස බලන විටය...
    - දිව දෙස බලන විටය...
    - කය දෙස බලන විටය...
    - සිත දෙස බලන විටය, සිතට සිතෙන දේ දෙස බලන විටය. සිත මුල් කොට ඒ සිතිවිලි දැන ගැනීම (මනෝවිඤ්ඤාණය) දෙස බලන විටය. ඒ නිසා සැප දුක් විඳීම හටගන්නා හැටි බලන විටය.
    එවිට ඒ කිසිවක් තුළ ආත්මයක් හෝ ආත්මයකට අයත් දෙයක් හෝ කුමන ආකාරයෙකින් වත් දැක්ක නො හැකිය.

    අන්න ඒ නිසා එය (ආත්මයකින් හෝ ආත්මයකට අයත් දෙයකින් හෝ) ශුන්‍ය වූ හිස් වූ ලෝකය වශයෙන් සලකනු ලැබේ."
    (සුඤ්ඤලෝක සුත්ත - සං. නි.)
    ----------------------------------------------------------------------

    සාදූ! සාදු!! සාදූ!!!
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සාදු සාදු සාදු. බොහොම පින්.

    බඹයක් පමණ වූ මේ සිරුර තුළ ලෝකයම දකින්න පුලුවන් වගේම, ලෝකය ගැන අවබෝධ කිරීම තුළින් දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, නිරය ආදී මොන ලෝකයේ හෝ ඉපදීම නවත්වන්නත් පුලුවන්.
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    "කෙනෙක් බිත්තියක ලස්සන කාන්තාවක ගේ හෝ පුරුෂයෙකු ගේ හෝ රූපයක් අඳිනවා; එය දකින අපට සිතෙන්නේ මේ බිත්තියක අඳින ලද සිතුවමක් කියා ද? කෙනෙක් කියා ද?"

    1.) පින්වත් මිතුරනි, මෙය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගේ ම උපමාවක්.

    අපි බිත්තක 'කෙනෙක් ගේ රූපයක්' ඇන්දොත් එය 'කෙනා' ලෙස නෙ හඳුනා ගන්නේ.
    අප හඳුනා ගන්න හැටි වැරදි බව තේරුම් ගන්න බැරි ම නෑ නේ ද?
    අපි කොතෙක් සඤ්ඤාවට මුලා වෙලා නේ ද?

    2.) හොඳයි, දැන අප ගැන හිතන්න. අපත් එක විදිහකට ධාතුන් ගොඩක සංකලනයක් නේ. ඒකත් අපි 'කෙනෙක්' වශයෙන් නෙ සළකන්නේ.
    ඒක නම් තේරෙන්නේ නෑ නේ ද? ඒක තමා අප තුළ තියෙන ගැටලුවත්...

    3.) ඔබ රූපවාහිනියේ යන දේ ගෑන සිතා තියෙනවා ද?
    අප දන්නවා නේ ගොඩක් ඒවා රඟ පෑම් බවත්
    මං දැකල තියෙනවා ටෙලි නාට්‍ය බලන අය ඒකෙ සමහර චරිත වලට බැණ බැණ; සමහර අය අඬ අඬ නාට්‍යවල කොටස් නරඹන්නේ...
    අපි කොතෙක් සඤ්ඤාවට මුලා වෙලා ද ඉන්නේ?

    තෙරුවන් සරණයි!
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    සාදු සාදු සාදු. බොහොම පින්.

    බඹයක් පමණ වූ මේ සිරුර තුළ ලෝකයම දකින්න පුලුවන් වගේම, ලෝකය ගැන අවබෝධ කිරීම තුළින් දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, නිරය ආදී මොන ලෝකයේ හෝ ඉපදීම නවත්වන්නත් පුලුවන්.


    ඔව්, ඔව් :)
    'ලෝකය' හැදෙන ක්‍රියාවලිය බිඳ දැම්මොත් හරි...

    තෙරුවන් සරණයි!