19ට සහාය නැතිනම් පාර්ලිමේන්තුව විසුරුවයි !
දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහය ලබා ගත නොහැකි වුවහොත් ඉතිරි වන එකම විකල්පය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා පැවසිය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ජනවරමක් ලැබී ඇති බවත් ඒ අනුව එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සිය උපරිම උත්සාහය ගන්නා බවත් ඔහු කියා සිටියේය.
වෙනත් දේශපාලන පක්ෂයක් එම ජනවරමට පිටුපා කටයුතු කරන්නේ නම් ඔවුන් පිළිබඳ තීරණයක් එළඹෙන මහා මැතිවරණයේ දී ජනතාව ලබා දෙනු ඇතැයි ද එජාප මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
චම්පික ගෙන් බාල්දියක් :
මෙම ව්‍යවස්ථා සංශෝධනය ලබන 09 වැනිදා සහ 10 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජාතික හෙළ උරුමය ව්‍යවස්ථා සංශෝධනයට වෙනස්කම් කිහිපයක් එක් කිරීමට අපේක්ෂා කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ආණ්ඩුව නියෝජනය කරන ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවස්ථා කිහිපයක දී ප්‍රකාශ කර ඇත්තේ සංශෝධන රහිතව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට රජය කටයුතු කළහොත් එය පරාජය කිරීමට කටයුතු කරන බවයි.
ජවිපෙ සහය පල කරයි :
මේ අතර, 19 වෙනි සංශෝධනය සම්මත කර ගැනීමට උපරිම මැදිහත්වීම් කිරීම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වගකීමක් බව පෙන්වා දෙන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා, එය ප්‍රායෝගිකව ඔප්පු කළ යුතුව ඇතැයි සඳහන් කරයි.
19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ගවලට තමන් කිසිසේත්ම හවුල් නොමැති බවත් එය සම්මත කර ගැනීම වෙනුවෙන් තමන් උපරිමයෙන් මැදිහත්වීම් කරන බව ජනාධිපතිවරයා පොරොන්දු වී ඇතැයි ජවිපෙ නායකයා වැඩිදුරටත් පවසයි.