“මම සයිකලයේ සිටියදීම තුවක්කුව ගෙන විජයට දෙවරක් වෙඩි තැබුවා. ඔහු සිටියේ අපට පිටුපා ගෙනයි. වෙඩි කෑ විජය බිම වැටුණා. ඔහු අත වූ ලිපිගොනුවක් විසිරෙනු මම දැක්කා. ඊටපස්සෙ මම සයිකලයෙන් බැහැලා විජය වැටී සිටි තැනටගිහින් ඔහුගේ හිසට කිහිප වාරයක් වෙඩි තිබ්බා”
එක් දහස් නවසිය අසූ අටේ පෙබරවාරි 16 වැනිදා කොළඹ පොල්හේන්ගොඩ දී විජය කුමාරණතුංග වෙඩිතබා ඝාතනය කළ ලයනල් රණසිංහ සහ ටාසන් වීරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්න කට උත්තරය ඒ විදියට ලියවුණා.
විජය ඝාතනයට සති කිහිපයකට පෙර, ඒ පිළිබඳ සැළසුම් සාකච්ඡා කිරීමට පිළියන්දල ලැගුම්හලක පැවැති රහසිගත සාකච්ඡාවක් පැවත්වුණා. එහිදී විජය මරාදැමිය යුත්තේ මන්දැයි මෙම ඝාතකයා ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිසාව භාර සන්නද්ධ අංශ නායකයාගෙන් විමසා තිබෙනවා.
විජය ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ලයනල් රණසිංහ නොහොත් ගාමිණී නොහොත් මහින්ද
''“හේතු කිහිපයක් තියෙනවා……ඉන්දු ලංකා සාම ගිවිසුමට විජය එකඟයි. 1987 ජුලි 28 වැනිදා රජිව් ගාන්ධි එක්ක ජේ. ආර්. ජයවර්ධන ගහපු මේ ගිවිසුම ලංකාවේ ඒකීයත්වයට හානියක්. ඊළඟට පළාත් සභා ක්රමයටත් විජය පක්ෂයි. අපට පළාත් සභා ක්‍රමයෙන් වැඩක් නැහැ. එහෙම තියෙද්දී විජය පළාත් සභා ක්රමයෙහි වැදගත්කම පෙන්වන්න ඒ ගැන පැහැදිලි කරමින් රටපුරා රැස්වීම් පවත්වනවා. එයා ජනප්‍රිය නළුවෙක් නිසා තරුණ පරම්පරාව ඒ රැස්වීම්වලට ඇදිලා ඇවිත් එයාගේ කතා අහගෙන ඉන්නවා. එතකොට වෙන්නෙ පළාත් සභාවල සුබවාදී පැත්ත ගැන පණිවුඩය තරුණ පරම්පරාවට යෑමයි. මේ ඔක්කොම ඉදිරි පළාත් සභාවල පාවිච්චි වෙන අලුත් ඡන්ද. මේ අතර බංකොලොත් වෙලා තිබෙන වමේ පක්ෂ විජයගේ මහජන පක්ෂයත් එක්ක සන්ධානගත වෙලා ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පළාත් සභාවලට විරුද්ධයි……අපි පසුගිය ටිකේම විජයට අනතුරු හඟවලා තිබෙනවා මේ වැඩ නවත්වන්න කියලා. ඒත් එයා ඒවා ගණන් ගත්තෙ නැහැ………ඒ නිසා විජය මරන්නම ඕනෑ….”
සන්නද්ධ අංශ නායකයා උත්තර දුන්නේ එහෙම. විජය ඝාතනය කෙරුණේ ඉන්පසුවයි.
බණ්ඩාරනායක, ප්ලොට් නායක උමා මහේස්වරන්, ඔසී අබේගුණසේකර සමග විජය කුමාරණතුංග මදුරාසියේ දී – 1985
අබේගුණසේකර, චන්ද්‍රිකා බණ්ඩාරනායක, විජය කුමාරණතුංග, ඊ.පී.ආර්.එල්.එෆ්. නායක කන්දසාමි පත්මනාභා හා එම සංවිධානයේ මධ්‍යම කාරක සභික කේතීස්වරන් ලෝගනාදන් මදුරාසියේ සූලෙයිමඩුහි දී – 1986
පළාත් සභා සඳහා විරුද්ධව විජය ඝාතනය කෙරුණත් අද පළාත් සභා යහමින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන තරුණ දේශපාලකයින් ද එම පළාත් සභාවන් සඳහා මහජන ඡන්දයෙන් පත් වූ උද්යෝගීමත් ජනතා නියෝජිතයන් ලෙස ක්‍රියා කරනවා.


