නිවැරැදි නායකත්වය-මෙහෙයවීම ත්‍රස්තවාදය &
නිවැරැදි නායකත්වය-මෙහෙයවීම ත්‍රස්තවාදය පරාජය කළා
මානුෂික මෙහෙයුමට නායකත්වය දුන් සේනාංකාධිපතිවරු පවසති
නිවැරැදි දේශපාලන නායකත්වය සහ නිවැරැදි මෙහෙයවීම ත්‍රිවිධ හමුදාවට ලැබීමෙන් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි බව ත්රස්තවාදයට එරෙහිව යුද්ධය මෙහෙය වූ සේනාංකාධිපතිවරු ප්‍රකාශ කරති.
ත්‍රිවිධ හමුදාවට ඍජු තීරණ ගැනීම මෙන්ම මුළු රටම එකම ලෙස එක්වී යුද්ධ පරාජය කිරීමට පවුරක් තනාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකි වූ බවද ඔවුහු පෙන්වා දුන්හ.
“ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන ශ්‍රී ලංකාවේ අත්දැකීම් ලෝකයාට බෙදාදීමේ කොළඹ සමුළුවට පැමිණ සිටින ලෝකයේ රටවල් 41ක ආරක්ෂක අංශ ප්‍රධානීන්ට යුද හමුදා නිලධාරීන් මේ කරුණු ඊයේ (01) අවධාරණය කළහ.
මේජර් ජනරාල් නන්දන උඩවත්ත මේජර් ජනරාල් ජගත් ඩයස්, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජනරාල් චාගි ගාල්ලගේ, මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා, බ්‍රිගේඩියර් නිශාන්ත වන්නිආරච්චි, බ්‍රිගේඩියර් ජී. ආර්. රවිප්‍රිය, බ්‍රිගේඩියර් වික්‍රමරත්න, බ්‍රිගේඩියර් සත්‍යප්‍රිය ලියනගේ, බ්‍රිගේඩියර් රාජපතිරණ, බ්‍රිගේඩියර් ජී. ආර්. රවිප්‍රිය යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්මන්ත්‍රණයේදී අදහස් පළ කළහ.
කොළඹ ගලදාරි හෝටලයේ පැවැත්වෙන මේ සම්මන්ත්‍රණයේ දෙවැනි දිනය ඊයේ (01) වූ අතර එහිදී යුද හමුදා ප්‍රධානීන් යුද්ධයේ අත්දැකීම් විස්තර කළහ.
යුද්ධය පැවැති සමයේදී 58, 57, 59, 53, 55 සේනාංක මෙහෙය වූ සේනාධිපතිවරුන් සහ කාර්ය සාධක බළකා 2, 3, 4, 5, 6, 7, 8, 9 මෙහෙය වූ සේනාංකාධිපතිවරු සිය යුද අත්දැකීම් ඡායාරූප සහිතව මෙහිදී විස්තර කළහ. සිවිල් ජනතාවට කිසිදු අනතුරක් නොකර ඔවුන්ව කොටි ග්රහණයෙන් මුදාගන්නා ආකාරය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් උපක්‍රම රැසක් යෙද වූ ආකාරය ගැන මෙහිදී හමුදා ප්‍රධානීන් සිහිපත් කළහ. තම සේනාංක යටතේ සිටි සෑම නිලධාරියෙක් මෙන්ම සෑම සෙබළෙක්ම ජීවිතය පරදුවට තබමින් මෙහෙයුම්වල නිරත වූ බවත්, ඔවුන් සිවිල් ජනතාවට සහන රැසක් පෞද්ගලිකවම ලබාදීමට කටයුතු කළ බවත් එවකට සේනාංකාධිපතිවරුව සිටි නිලධාරීන් සම්මන්ත්‍රණයට සහභාගි වී සිටින විදේශ හමුදා නිලධාරීන්ට පෙන්වා දුන්හ.
මේ සම්මන්ත්‍රණය අදින් (02) අවසන් වන අතර අද දවසේ ද ත්‍රිවිධ හමුදා නිලධාරීන් සම්මන්ත්‍රණයේ දේශන පැවැත්වීමට නියමිතය.