යුද්ධයෙන් පසුව අත්අඩංගුවට ගත් කොටි සාමාජිකයන් 11,950 ක්ද, ළමා සෙබළුන් 530 ක්ද පුනරුත්ථාපනය කොට සමාජයට නිදහස් කළ බව ලෝකයම දනී. ළමා සොල්දාදුවන්ගෙන් කොටසක් අද විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන අතර අනෙක් අය වෘත්තීය පුහුණුව ලබා හොඳ රැකියාවල නිරතවේ. පවුල්වී සාර්ථක විවාහ දිවි ගෙවයි. ඒ සියල්ලටම මග පෑදුවේද ද්‍රවිඩ සංවිධානය නොව සිංහලයින්ය. එසේ නම් පුනරුත්ථාපනය සම්බන්ධයෙන්ද වික්‍රමබාහු ඇදබා ඇත්තේ බේගලයකි.
යුද ජයග්රහණයෙන් පසුව හමුදාව විසින් අත්‍යවශ්‍යම කඳවුරු හැර අන් සියලුම ඉඩම් සහ අත්පත් කරගත් ගොඩනැඟිලි නැවත සිවිල් ජනතාවට භාරදුනි. යුද්ධයේදී පවරාගත් ඉඩම්වලින් 90% ක් යළි භාර දුන්නේ මහින්ද රජයයි. ඒ සම්බන්ධයෙන්ද වික්‍රමබාහු කියා ඇත්තේ පට්ටපල් බොරුවකි.
උතුරු වසන්තය නමැති ව්‍යාපෘතිය මගින් යාපනයේ වෙළෙඳ සංකීර්ණ, බැංකු, ක්‍රීඩාංගන, පාසල්, පරිගණක මධ්‍යස්ථාන, ගුවන් පාලම්, මහා මාර්ග, පාලම් සියල්ලම හැදුවේ, ස්ථාපිත කළේ පසුගිය රජයයි. ලංකාවේ වර්ධන වේගය 7% වන විට යාපනයේ වර්ධන වේගය 22% විය. කාන්තාවන්ට ස්වයං රැකියා, ධීවර පහසුකම්, කෘෂි නිෂ්පාදන පහසුකම් සියල්ල ලබාදුන්නේද මහින්ද රජයයි. එසේනම් දෙමළ ජන ජීවිතය අඩාල වී ඇතැයි වික්‍රමබාහු කර ඇති ප්‍රකාශය කිසිදු ශිෂ්ට සම්පන්න මිනිසෙක් නොකරන අමූලික අසත්‍ය ප්‍රකාශයකි.
යුද්ධය පවතින කාලය තුළ දෙමළ ජනයාට අත්වූ තාඩන, පීඩන නොදන්නා කෙනෙක් නොමැත. අසාධාරණ බදු ගෙවීම්, නිවාස අතහැර යැම්, කුඩා ළමුන් පවා බලෙන් බඳවා ගැනීම් යනාදියද, අවසාන දින කිහිපය තුළ හමුදා පෙදෙස්වලට ආරක්ෂාව පතා දිව යන ගර්භණී මාතාවන්ද ඇතුළු දෙමළ ජනතාවට වෙඩි තැබූ අන්දමද දැන් සනාථ වී හමාරය. කොටි ත්රස්තයන් යටතේ එසේ දුක් පීඩා විඳි දෙමළ ජනයා මහින්ද රජය යටතේ හිරිහැර වේදනා වින්දා යෑයි යමෙක් පවසයි නම් ඔහුද කොටි හිතවාදියෙක්ම විය යුතුය.
ඉහත සිද්ධීන්වල යථාර්ථය සත්‍ය ලෙසින්ම නොදැන සිටීමට තරම් වික්‍රමබාහු අත දරුවෙක් නොවේ. එසේම දෙමළ ජාතිය වෙනුවෙන් කඳුළු පෙරන මේ වික්‍රමබාහු සිංහලයන් විසින් දෙමළ ජනතාව වෙනුවෙන් කරන ලද ඒ කිසිම කටයුත්තකදී ඔවුන් වෙනුවෙන් එක යෝගට් කෝප්පයක්, උළුකැටයක්, තේ කෝප්පයක් දීම තබා ශත පහක්වත් වියදම් කළ බවක් අප අසා නැත. එසේ නම් ඔහු මෙවන් අමූලික අසත්‍ය ප්‍රචාර කරමින් සිංහලයන් කෙරේ ද්වේශයක් ඇති වන ආකාරයට ජාත්‍යන්තරයට ප්‍රකාශ නිකුත් කරන්නේ කුමක් නිසාදැයි අප විමසා බැලිය යුතුවේ. දෙමළ ජාතිය සඳහා ස්වයංපාලනයක් දීමට සහාය දීම එක් දෙයකි. නමුත් එය සාධාරණීය කිරීමට බොරු කීම තවත් දෙයකි. එවන් දෙයක් කිරීමට තිබෙන එකම උත්තේජනය මුදල් පමණි.
අද "සිංහල පොලිස් කාරයන්ට" සහ "සිංහල ආමිකාරයන්ට" නින්දිත ලෙස පරිභව කරන වික්රමබාහුට කිව යුත්තේ යුද්ධය පැවැති කාලය තුළ පවා අහිංසක දෙමළ ජනයා රැක ගත්තේ එම සිංහල පොලිස්, ආමිකාරයන් බවය. අහිංසක දෙමළ මිනිසුන් ගැන සිතුවේ නැත්නම් යුද්ධයේදී මියගිය 29000 ක සහ ආබාධිත වූ 14000 ක සිංහල රණවිරුවන්ගෙන් 25% කගේ පමණ ජීවිත අපට බේරා ගත හැකිව තිබුණි. එවන් විශාල පිරිසක් මියගියේ ආබාධිත වුණේ ජනතාව බුරුතු පිටින් නොමරා ත්රස්තයන් පමණක් තෝරා බේරා සටන් කිරීමට ගිය බැවිනි. එවන් වූ විශාල කැපවීමක් කළ පසුත් සිංහල සෙබළුන්ට මෙසේ අපහාස කරන වික්‍රමබාහුගේ මානසිකත්වය කෙබඳුද යන්න අපට තේරුම් ගැනීමට අපහසු නොවන්නේ පරංගි, ලන්දේසි, ඉංගී්රසි කාලයේ මේ අයුරින්ම හැසිරුණු පෙර සඳහන් කළ සිංහලයන් ගැන අප හොඳින් දන්නා නිසාය.
ත්‍රස්තවාදය පිළිබඳව කතා කරන විට එහි අතරමැදියෙක් සිටිය නොහැක. එක්කෝ ඔහු ත්‍රස්තයෙකි. නැතහොත් ත්‍රස්තයෙක් නොවේ. ඒ කෝණයෙන් බලන විට ත්රස්තයන්ට සෘජුව සේම වක්‍රව සහාය දෙන කෙනාද, උන්ගේ සැහැසිකම් හෙළා නොදකින කෙනාද ත්‍රස්තයෙකි. එය ත්‍රස්තවාදය පිටුදකින ශිෂ්ට සම්පන්න ලෝක ප්‍රජාව පවා පිළිගත් න්‍යාය ධර්මයකි.