සම්මා ආජීවයට අනුව ජීවත් වීම - මහා චත්තාරීසක සූත්‍රයෙන්

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සම්මා ආජීවයට අනුව ජීවිතය ගත කරන්නෙ කොහොමද? මෙහිදීත් පූර්ව අංගය වන්නේ සම්මා දිට්ඨියයි.

    කලින් ලිපි කියවීමට......
    1. සම්මා දිට්ඨිය යනු කුමක්ද?: https://elakiri.com/threads/මහා-චත්තාරීසක-සූත්‍රයෙන්-සම්මා-දිට්ඨිය.2005707/
    2. මාර්ග අංග සඳහා සම්මා දිට්ඨිය මුල් වන බව: https://elakiri.com/threads/මහා-චත්තාරීසක-සූත්‍රයෙන්-ii-සම්මා-දිට්ඨිය-ගැන-තව-දුරටත්.2005848/
    3. සම්මා සංකප්ප: https://elakiri.com/threads/සම්මා-සංකප්ප-මහා-චත්තාරීසක-සූත්‍රයෙන්.2006030/
    4. සම්මා වාචා: https://elakiri.com/threads/සම්මා-වාචා-මහා-චත්තාරීසක-සූත්‍රයෙන්.2006220/
    5. සම්මා කම්මන්ත: https://elakiri.com/threads/සම්මා-කම්මන්ත-යනු-කුමක්ද-මහා-චත්තාරීසක-සූත්‍රයෙන්.2006370/

    මහා චත්තාරීසක සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආකාරයට මිත්‍යා ආජීවය සහ සම්මා ආජීවය වෙන් කර හඳුනාගැනීමට අපිට හැකියාව තිබෙනවා. සම්මා ආජීවයට අනුව ජීවිතය ගත කරන කෙනාගෙ ගමන් මාර්ගය තියෙන්නෙ නිවන දෙසටයි.


    මිත්‍යා ආජීවය:

    ~ කතමෝ ච භික්ඛවේ, මිච්ඡාආජීවෝ: කුහනා ලපනා නේමිත්තිකතා නිප්පේසිකතා ලාභේන ලාභං නිජිගිංසනතා. අයං භික්ඛවේ, මිච්ඡාආජීවෝ. ~

    පින්වත් මහණෙනි, කුමක්ද මිත්‍යා ආජීවය කියන්නේ? දෙපිටකාට්ටු වංචාවෙන් ජීවත් වීම, ලාභ සත්කාර ලබා ගැනීමේ ආශාවෙන් වර්ණනා කොට කතා කිරීම, ලාභ ලබා ගැනීම පිණිස, විශේෂ ලකුණු ඉස්මතු කරමින් කටයුතු කිරීම, සත්‍යය සඟවා කටයුතු කිරීම, ලාභයෙන් ලාභ සෙවීම. පින්වත් මහණෙනි, මෙයයි මිත්‍යා ආජීවය.


    ලෞකික වශයෙන් වන සම්මා ආජීවය:

    ~ කතමෝ ච භික්ඛවේ, සම්මාආජීවෝ සාසවෝ පුඤ්ඤභාගියෝ උපධිවේපක්කෝ: ඉධ භික්ඛවේ, අරියසාවකෝ මිච්ඡාආජීවං පහාය සම්මාආජීවේන ජීවිකං කප්පේති. අයං භික්ඛවේ, සම්මාආජීවෝ සාසවෝ පුඤ්ඤභාගියෝ උපධිවේපක්කෝ. ~

    පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබා දෙන සම්මා ආජීවය කුමක්ද? ඒ කියන්නේ මිත්‍යාවෙන් ජීවත් වීම අත්හැර, තමාටත් අනුන්ටත් හිත සුව පිණිස පවතින සම්මා ආජීවයෙන් ජීවිතය ගතකිරීම. පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබාදෙන සම්මා ආජීවය නම් මෙයයි.


    ලෝකෝත්තර වශයෙන් වන සම්මා ආජීවය:

    ~ කතමෝ ච භික්ඛවේ, සම්මාආජීවෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ: යා ඛෝ භික්ඛවේ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමංගිනෝ අරියමග්ගං භාවයතෝ මිච්ඡාආජීවා ආරති විරති පටිවිරති වේරමණී. අයං භික්ඛවේ, සම්මාආජීවෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ. ~

    පින්වත් මහණෙනි, ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා ආජීවය කුමක්ද? පින්වත් මහණෙනි, ආර්ය වූ සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති, ආර්ය මාර්ගයෙන් යුක්ත වූ, ආර්ය මාර්ගය ප්‍රගුණ කරන කෙනෙකු තුළ මිත්‍යා ආජීවයට නොඇලී වෙන්වීමක් ඇද්ද, දුරු කිරීමක් ඇද්ද, නැවැත්වීමක් ඇද්ද, වැළකී සිටීමක් ඇද්ද, පින්වත් මහණෙනි, මෙයට කියන්නේ ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා ආජීවය කියලයි.


    ~ සෝ මිච්ඡාආජීවස්ස පහානාය වායමති. සම්මාආජීවස්ස උපසම්පදාය. ස්වා’ස්ස හෝති සම්මාවායාමෝ. සෝ සතෝ මිච්ඡාආජීවං පජහති. සතෝ සම්මාආජීවං උපසම්පජ්ජ විහරති. සා’ස්ස හෝති සම්මාසති. තස්සිමේ තයෝ ධම්මා සම්මාආජීවං අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති. සෙය්‍යථීදං: සම්මාදිට්ඨි, සම්මාවායාමෝ, සම්මාසති. ~

    එතකොට ඔහු මිත්‍යා ආජීවය ප්‍රහාණය කිරීම පිණිසත්, සම්මා ආජීවය උපදවා ගැනීම පිණිසත්, වෑයම් කරනවා. එම උත්සාහය තමයි ඔහුගේ සම්මා වායාමය වන්නේ. ඔහු සිහියෙන් යුක්තව මිත්‍යා ආජීවය අත්හරිනවා. සිහියෙන් යුක්තව සම්මා ආජීවය උපදවාගෙන වාසය කරනවා. ඒ සිහිය තමයි ඔහුගේ සම්මා සතිය වන්නේ. ඔය ආකාරයට ඔහු තුළ ධර්ම තුනක් සම්මා ආජීවයට අනුව වේගවත්ව සකස් වෙනවා. ඒ අනුව පවතිනවා. ඒ කවර තුනක්ද යත්; සම්මා දිට්ඨියත්, සම්මා වායාමත්, සම්මා සතියත් යන තුනයි.


    තෙරුවන් සරණයි!