සැරියුත් මහතෙර හා මට ලැබුණු දේ

hpalpola

Well-known member
  • සැරියුත් මහතෙර හා මට ලැබුණු දේ

    බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවකයන් දෙපලගෙන් මුල් තැන හිමි වන්නේ පූජනීය සැරියුත් මහතෙරණුවන්ට. උන්වහන්සේගේ ජීවිතය මට විතරක් නෙමෙයි අපි හැමෝටම ජීවිත ආදර්ශයක්. ඇයි මම එහෙම කියන්නෙ? අත්දැකීමෙන් ම මට ඒ ආදර්ශය ලැබිලා තියෙන නිසා. මට ලැබෙන දේ තව කෙනෙක්ට නොලැබෙයි කියලා හිතන්න බැරි නිසයි මෙහෙම බෙදා ගන්නෙ.

    ඔබ අහලා ඇති එක වෙලාවක සැරියුත් මහතෙරණුවන්ට පුංචි සාමණේරවහන්සේ නමක් අවවාදයක් දුන්නා කියලා. අර සිව්රු පට බිම ගෑවෙන වෙලාවේ. අනේ උඹ පලයන් ඇටයා කියලා උඩඟු කමින් ඒ අවවාදය ප්‍රත්ක්ෂේප නොකල සැරියුත් මහතෙරණුවෝ ඒක පිළිගත්තා. ඇයි අපිට බැරි අපේ වරදක් ලොකු පොඩි කවුරුවුනත් පෙන්නලා දෙද්දි පිළිගන්න? මේක ලොකු පාඩමක්, ආදර්ශයක්.

    තවත් වෙලාවක සැරියුත් මහතෙරණුවන්ට භික්ෂූන් වහන්සේනමක් චෝදනා කරනවා. ඒ චෝදනාව හමුවෙ තමුන්ගෙ ගුණ කීපයක් ගැන බුදුරජාණන්වහන්සේ ඉස්සරහම සැරියුත් මහතෙරණුවෝ විස්තරයක් කරනවා. තමුන් පාපිස්සක් වගේ කියනවා. මහපොලොව වගේ කියනවා. මේ වගේ නිදසුන් කීපයක් එක්ක විස්තර කරනවා. ඉවසීම ගැනයි කියන්නේ. ඇයි අපිට බැරි එහෙම ඉවසන්න? හිතලා බලන්න. හරි වේවා වැරදි වේවා මිනිස්සු අපිට දොස් කියනවා. ඒක ලෝක ස්වභාවය. ඒ කියන දොස් වලට ගැටෙන්න ගියොත් අපිට වෙන වැඩක් කරන්න වෙන්නෙ නැහැනෙ නේද. ඉතින් සීමාවක් නැති ඉවසීම නේද පුරුදුවෙන්න හොඳ.

    තව වෙලාවක බමුණෙක් සැරියුත් මහතෙරණුවන්ට පිටට පාරක් දෙන්නෙ ඉවසීම පරීක්ෂා කරන්න. මහතෙරණුවෝ නම් මේක ගණන් ගන්නෙ නෑ. ඒත් ගමේ මිනිස්සු මේක ගණන් ගන්නවා. අර මනුස්සයාට මරණ තර්ජන කරනවා මහතෙරණුවන්ට පහර දීම ගැන. අන්තිමට ඒ බමුණාට පිහිට ලැබෙන්නෙ සැරියුත් මහතෙරණුවන්ගෙන්ම තමයි. ඇයි අපිට බැරි තමුන්ට වරදක් කළ කෙනෙක්ට ඒ වගේ සමාව දෙන්න? බැරි නෑ පුළුවන්. කරන්නෙ නැති එක තමයි වැඩේ.

    මේ කිව්වෙ දෙක තුනක් විතරයි. සැරියුත් මහතෙරණුවන්ගෙන් ජීවිතයට ගන්න පුළුවන් දේ අපමණයි. ගන්න බලන්න නෙමෙයි ගන්න. ජීවිතේට සතුට එකතු කරගන්න. මම මේක කියන්නෙ අත්දැකීමෙන්.