සියක් ආයු ලබාදුන් සිංහලයාගේ අහාර සංස්කෘත

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සියක් ආයු ලබාදුන් සිංහලයාගේ අහාර සංස්කෘත

    11037023_670222636444035_2013724382356223355_n.jpg

    සියක්‌ ආයු වැළඳු මිනිසුන් සිටි ආශ්චර්යමත් දේශයක කඳුළු කතාව​



    රෝම අධිරාජ්‍යයේ විසූ ප්ලීනි (Pliny) නම් දාර්ශනිකයකු ක්‍රිස්‌තු වර්ෂ 77-79 අතර කාලයේදී "Natural History" නමින් විශ්ව කෝෂයක්‌ ලියා ඇත. එහි තැප්‍රොබාන් (Thaproban) නමින් ශ්‍රී ලංකාව හඳුන්වා දී තිබෙන අතර, එම රටේ ජීවත් වන මිනිසුන් අවුරුදු 100 ක්‌ ජීවත් වන බව, එහි විශේෂයෙන් සඳහන් කර තිබීම අපගේ විශේෂ අවධානයට ලක්‌විය යුතු කාරණාවකි. ප්ලීනි ජීවත් වූ රෝම යුගයේ මිනිසෙකුගේ සාමාන්‍ය ආයු කාලය වසර 30 - 40 ක්‌ පමණ වී ඇතැයි සොයා ගෙන තිබේ. කොටින්ම එකල රෝමයේ ඉපැදුණු ළමයින්ගෙන් හරි අඩක්‌ම අවුරුදු 10 කට වඩා ජීවත්ව නොසිටි බවට ශාක්‌ෂි ඇත. http://www.historytoday.com/maryharlow/old-age-ancient-rome බටහිර ජාතිSන්ගේ ඉහළ සම්භාවනාවට පාත්‍ර වුණු රෝම ශිෂ්ටාචාරයේ ජීවත් වූ මිනිසුන්ගේ පමණක්‌ නොව, 18 වන සියවස වන විට හිරු නොබසින අධිරාජ්‍යයේ (මහා බ්‍රිතාන්‍යයේ) වැසියෙකුගේ සාමාන්‍ය ආයු අපේක්‌ෂාව වී ඇත්තේ වසර 40 කි. (http://www.localhistories.org/life.html)

    දහතුන් වන සියවසේ දඹදෙනිය රාජධානි සමයේ දී පවා මෙරට අවුරුදු 160 ක්‌ ආයු වැළ» අය සිටි බවත් සාමාන්‍ය ආයු කාලය අවුරුදු 100 ක්‌ බවත් ධර්මසේන මාහිමි විසින් රචිත සද්ධර්මරත්නාවලියෙහි පතිපූජීකා වස්‌තුවෙහි දැක්‌වෙයි. මෙරට පැරැන්නන් විඳි නිරෝගි සුවය සහ ඔවුන් ගේ සෞඛ්‍ය සම්පන්නභාවය පිළිබඳ ශාක්‌ෂි කලින් කලට මෙරටට ආ ගිය විදේශිකයින් විසින් තැබූ සටහන්, ලේඛන වලින් පවා පැහැදිළි වෙයි. ක්‍රිස්‌තු වර්ෂ 1660 සිට 1679 දක්‌වා මෙරට විසූ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ රොබට්‌ නොක්‌ස්‌ විසින් ලියන ලද, ''එදා හෙළ දිව'' (පරිවර්තනය) නම් කෘතියෙහි ද ඒ පිළිබඳව ලියෑවුණු සටහනක්‌ මෙසේය.

    ''ලක්‌වැසියෝ සාමාන්‍යයෙන් අවුරුදු අසූවක පරමායුෂ ඇත්තෝය. අසූවෙහිදීත් ඔවුහු දුර්වල නො වෙති. කන්දේ රජුගේ සහෝදරිය අවුරුදු සියයකට ළං වන තුරු ම ජීවත් වූවාය. කොතරම් මහලු වුව ද ඔවුහු නිරෝග ශරීර ඇත්තෝ ය.''

    වයස අවුරුදු 40 ක්‌ 50 ක්‌ පමණ ජීවත් වීම උරුම කර ගත් බටහිරයින්ට වසර 100 ක්‌ ජීවත් වන මිනිසුන් ජීවත් වන රටක්‌ තිබීම යනු ඇදහිය නොහැකි ආශ්චර්යයක්‌ ම වන්නේය. ඒ අනුව ක්‍රිස්‌තු පූර්ව වර්ෂ වල පවා සේද මාවතේ පිහිටි අපේ රටට විජාතිකයින් ආවේ ගියේ මුතු මැණික්‌ අලි ඇතුන් පිළිබඳ සොයා බැලීමට පමණක්‌ නොවන බව අප තේරුම් ගත යුතු වේ.

    ඔබ යනු ඔබගේ ආහාරයයි

    මානව විද්‍යාවට අනුව (Anthropology) නූතන හෝමෝ සේපියන් සේපියන්ස්‌ ("Homo sapiens sapiens"Homo sapiens sapiens) මහ පොළොව මත බිහි වී දැනට වසර ලක්‌ෂයක පමණ කාලයක්‌ ගත වී ඇති අතර, ඉන් වසර 90,000 ක්‌ම ගත කොට ඇත්තේ ශිලා යුගයේය. මෙම ශිලා යුගයේ නොහොත් පැලියොලිතික යුගයේ දඩයක්‌කාරයින් සහ ආහාර ද්‍රව්‍ය රැස්‌ කරන්නන් ලෙස අප ගත කළ යුගයේ විකසනය වූ වර්ධනය වූ ජාන වල ලක්‌ෂණ තවමත් අප සතුව පවතින බවත්, අපගේ මුතුන් මිත්තන්ගේ පරිසරයට විශේෂයෙන් ඔවුන්ගේ ආහාර වලට දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පරිණාමය වූ අනුවර්ථනය වූ අපගේ ජාන ඒ හැටි වෙනසකට ලක්‌ වී නොමැති බවත් නූතන මානව විද්‍යාඥයින් අවධාරණය කරයි (http://www.nationalgeographic.com/foodfeat)
    ඒ යුගයේ අනුභව කළ ආහාර වලට සමාන ආහාර අද දවසේ ද අපගේ ශරීර ඉල්ලා සිටී. ස්‌වභාවික (කාබනික) එළවළු හා පලතුරු බහුල වශයෙන් ද, අල වර්ග, ඇට වර්ග, හා මී පැණි වැනි ස්‌වභාවික පැණි වර්ග මධ්‍යස්‌ථ ප්‍රමාණයෙන් ද, ඉ`ද හිට වන සතුන්ගේ මස්‌, බිත්තර හා මාළු වර්ග ද ඒ අතීත ආහාර වේලෙහි අඩංගු විය.

    ලාංකිකයා ද, යෑන්කියා ද, චීනා ද, රෝමන් කාරයා ද යන මේ කවුරුත් හෝමෝ සේපියන් සේපියන්ස්‌ ලා බව සැබවි. එහෙත් ඒ එක්‌ එක්‌ ජන වර්ගයා අවුරුදු දහස්‌ ගණනක්‌ පුරාවට පරිණාමය වී ඇත්තේ වෙනස්‌ වූ සුවිශේෂී භූ දේශගුණික කළාපයන් තුළය. ඒ වෙනස්‌ වූ කළාපයන් තුළ ඔහුට ආහාරය සඳහා ගන්නට තිබුණු දේවල් ඒ එක්‌ එක්‌ කළාපයන් තුළ බොහෝ සෙයින්ම වෙනස්‌ වන්නේය. ඉහළ ජෛව විවිධත්වයක්‌ ද හිමි අපේ රට ආහාර වර්ග වලින් ද වෙසෙසින්ම අනූන වෙයි. මෙරට තුළ පරිණාමය වුණු ජනතාවට අන් බොහෝ රටවල්වලට නොමැති පෝෂණ හා ඖෂධීය ගුණයෙන් සරු ආහාර වර්ග භුක්‌ති විඳීමේ භාග්‍යය ලබා ඇත.

    ක්‍රිස්‌තු පූර්ව 10 වන සියවස වන විටත්, මෙරට ජනතාව ගින්දර සහ මැටි භාජනයන් භාවිතය දැන සිටි බව තහවුරු වී ඇත. දඩයම් යුගයේ දීම ශරීරයට හානියක්‌ නොවන ආහාර වර්ග හඳුනා ගැනීමටත්, පිළියෙල කර ගැනීමත්, ඒවා අතර තිබෙන විෂ හඳුනා ගැනීමටත්, ඒවා ආහාරයට ගත යුතු ආකාරය, නොකෑ යුතු අවස්‌ථාවන්, ඒවායේ රෝග නිවාරණ සහ රෝග සුව කිරීමේ ගුණයන් පිළිබඳවත් මනා නිපුනතාවයක්‌ තිබී ඇත. මෙම දැනුම වැඩි දියුණු වෙමින් පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය වීමක්‌ ද සිදුව ඇති බව පෙනෙන්නට තිබේ. අපගේ පැරැන්නන් පිළිකාව, දියවැඩියාව, හෘද රෝග වැනි බෝ නොවන රෝග වලින් වැළකී සියක්‌ ආයූ වැළඳීමේ රහස ඇත්තේ පරිණාම ක්‍රියාවලිය තුළ අවුරුදු දස දහස්‌ ගණනක්‌ පුරාවට ඔවුන් විසින් ප්‍රගුණ කොට අනුභව කළා වූ විවිධත්වයෙන්, විචිත්‍රත්වයෙන් අනූන සහ සංඛ්‍යාත්මකව වැඩි ආහාර වර්ග තුළ අන්තර්ගත වන සහ නිසැකයෙන්ම අන්තර්ගත විය හැකි සමබල පෝෂ්‍ය පදාර්ථ, ශාක රසායනිකයන් සහ ජෛව පදාර්ථ වල අනුහසින් බව පැහැදිළි වෙයි. ජීවන රටාව හා බැ`දී තිබෙන කවර රෝගාබාධයක්‌ සඳහා වුව හේතුවන ප්‍රධාන කරුණු කිහිපයක්‌ තිබේ. ඒවා අතරින් ආහාර පරිභෝජනය සහ ක්‍රියාශීලී ජීවන රටාව මූලික වෙන බව මතකයේ තබා ගත යුතුම වේ. අපට අහිමි වූ, සෞඛ්‍ය සම්පන්න ජීවිතය , පෝෂණය යළි ලබා ගැනීම උදෙසා අප ඉහත කරුණු ගැන දැන ගැනීම අවශ්‍යයෙන්ම වැදගත් වන බව කිව යුතුව තිබේ.

    ආයුෂ වැඩි කළ තවත් රහසක්‌

    ආහාරය මිනිසාගේ ජීවත්වීමට පමණක්‌ නොව ඔහුගේ ජීවන මෝස්‌තරය සකස්‌ වීමට ද හේතුවක්‌ වෙයි. පුද්ගලයා නිවන් අරමුණු කොට ශික්‌ෂණයට පත් කිරීමේදී බුදුන් වහන්සේ ආහාරය පිළිබඳවත්, එම අවස්‌ථාවන්හි පිළිපැදිය යුතු වත් පිළිවෙත් පිළිබඳවත් විශේෂ අවධානයක්‌ යොමු කොට ඇති බව පෙනේ. බෞද්ධ සංස්‌කෘතික සමාජ පරිසරයක්‌ තුළ ඊට ආවේනික ව ගොඩනගා ගන්නා ලද ආහාර පිළිබඳ සිරිත් විරිත්, ධර්මතා හා අගනාකම් බොහොමයක්‌ම පවතින බව පෙනේ. අනෙක්‌ අතට මෙරට ප්‍රචලිතව තිබූ සිංහල වෛද්‍ය ක්‍රමයට මූලික වශයෙන් පදනම දමා ඇති ආයුර්වේදයේ මූලික අරමුණ වන්නේ සත්වයාගේ පැවැත්මට උපයෝගී කරගන්නා විද්‍යාව ලෙසත්, දීර්ගායුෂ පිළිබඳ උපදේශය ලෙසත් ය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි ආයු සංරක්‌ෂණය පිළිබඳව නීති පහක්‌ දක්‌වා ඇති අතර, එහි මූලික කාරණාව වන්නේ ආහාරයයි. මෙලොව හා පරලොව සැප කැමති පුද්ගලයා ආහාර පාන සහ විහරණ විධි පිළිබඳ හිතවත් දේ සේවනය කිරීමට උත්සාහවත් විය යුතු යෑයි චරක සංහිතාවේ දැක්‌වෙයි. එමෙන්ම ආහාරය ඖෂධයක්‌ ලෙසින්ද සලකා ඇති බව පෙනේ. මේ සඳහා වන කදිම උදාහාරණයක්‌ රොබට්‌ නොක්‌ස්‌ගේ එදා හෙළ දිව පොතෙහි දැක්‌ වෙයි.

    ඖෂධ පැළෑටිවලින් ලක්‌ වැසියන් හට කිසිම අඩුවක්‌ පාඩුවක්‌ නැති. බෙහෙතක්‌ ගත වූ කළ ඔවුන් යා යුත්තේ කැලෑවටය. එහෙයින් කැලෑව ඔවුන්ගේ බෙහෙත් ශාලාව වන්නේ ය.

    එකල සෑම ගමකම පාහේ මෙම මහා ඥාන සම්පත්තිය උරුම කර ගත් වෙදවරු, භික්‌ෂූන් වහන්සේලා සහ ඇසූ පිරූ උදවිය සිටි අතර, සෑම ගෘහණියක්‌ම අති විශිෂ්ට සූපවේදිනියක්‌ මෙන්ම නිවසේ වෛද්‍යවරියද වූවාය. මේ පිළිබඳ නොක්‌ස්‌ මෙසේ පවසා ඇත.

    ''මේ රටේ එක්‌ විශේෂයක්‌ ඇත. එනම් රටේ හැමෝම වෙද්දුය.


    සුද්දාගේ පෝෂණ ඉරිසියාව

    බටහිර ජාතීන් තම දිගු කාලීන සූරා කෑමේ උවමනාවන් සාක්‌ෂාත් කර ගැනීමට තිබුණු ලොකුම බාධාව බවට මෙරට ජනයා සතුව පැවති නිරෝගී කම හා පෝෂණීය ආහාර බව හොඳින්ම හැඳින සිටියහ. උඩරට අල්ලා ගත් පසු, ඌව වෙල්ලස්‌ස පෙදෙස්‌වල නිල ගමනකට සහභාගී වූ ''බ්‍රවුන්රිංග්'' ආණ්‌ඩුකාරයා මෙම නිල ගමන, යටත් විජිත භාර මහ ලේකම් වරයාට වාර්තා කළේ මෙසේය.

    ''.. වංශාධිපති තුමනි, ඌව වෙල්ලස්‌සට ගිය මගේ ප්‍රථම නිල ගමනින් පසු මගේ හිත තුළ බලවත් හැඟීමක්‌ ඇති විය. ඌව සහ වෙල්ලස්‌ස, ලක්‌දිව වනෝද්‍යානයක්‌ යයි මට කිව හැකිය. එහි සෑම ප්‍රදේශයක්‌ම ගොවිතැන් කොට තිබේ. මුලු ප්‍රදේශයම පලතුරු ගස්‌ වලින් පිරී පවතී. වංශාධිපතිතුමනි, ඌව වෙල්ලස්‌සේන් නිපදවන වී වලින් මුළු රටම ස්‌වයංපෝෂිත කිරීමට හැකි වනවා පමණක්‌ නොව, ඉන්දියාවටද සහල් සැපයිය හැකිය....''

    (ත්‍රි සිංහලේ ඉඩම් අහිමි වීම - තෙන්නකෝන් විමලානන්ද)

    ඔවුන් අපේ රටේ ආහාර සංස්‌කෘතිය, ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සහ පරිභෝජන රටාව විනාශ කර දැමූ ආකාරය කියා පාන කදිම නිදසුනක්‌ පහත දැක්‌ වෙයි. 1818 වෙල්ලස්‌සේ කැරැල්ලේන් පසු ඉහත බ්‍රවුන්රිංග් ආණ්‌ඩුකාරයාම යටත් විජිත මහ ලේකම්ට ලීවේ මෙසේය.

    ''.. සියලු වාරිමාර්ග ක්‍රම විනාශ කරවා ඇත. පලතුරුවලින් පිරුණු ගස්‌ කපා දමා තිබේ. මුළු පළාතම පාලු වී ඇත. වයස අවුරුදු 18 ට වැඩි වයසේ සිංහල මිනිසුන් මරණයට පත් කොට ඇත. ඌව වෙල්ලස්‌ස දෙපළාතෙම බිත්තර වී සොයා ගැනීමට අපහසුය....''


    1920 ගනන් වලදී බදුල්ලේ කච්ෙච්රියේ රාජකාරී කළ රොබට්‌ නම් ඒජන්ත කෙනෙකු පවත්වාගෙන ගිය දින පොතක ඇති මේ කියමන බලන්න.

    ''..ඌවේ මිනිස්‌සු හරි කපටියි. ඔවුන් අපි කියන දෙයක්‌ පිළිගන්නේ නෑ. ඔවුන් අපි දිහා බලන්නේ සැකයෙන්. පහළ ඌවට ජලය හිඟ කිරීමට කළ හැකි එක්‌ ක්‍රමයක්‌ තමයි, අපේ තේ වතු ආශ්‍රිතව, ජලය උරා ගන්නා ගස්‌ වැවීම. විශේෂයෙන් ''ටර්පන්ටයින්". එවිට ඒ අයත් අපව අනුගමනය කරනවා ඇති. කල් යැමේදී අපි බලාපොරොත්තු වන ජල හිඟය ඉබේම ඇති වේවි''.


    ජාතියේ මරණීය නිලයෙන් අල්ලා ගැනීම

    ඉදින් ඔවුන් මෙරට ජනයා ගේ දුර්වලම නිලය නිවැරදිවම හඳුනා ගෙන ඇත. අපගේ අනුකාරකවාදයට ඇති ලැදියාව සූක්‌ෂම ලෙස අපව නරකාදියටම තල්ලු කොට අවසන්ය. පාරම්පරිකව පරිණාමය වෙමින්, සුපෝෂණය වූ ඒ විශිෂ්ට ආහාර වේලෙහි උරුමය අපගේ පැරණි පරම්පරාව සතු විය. යටත් විජිතවාදීන් ශ්‍රී ලාංකිකයින්ගේ ගමන ආපසු හරවා ඇත. අධිරාජවාදීන් තමන්ගේ අනාගත ආහාර සහ වෙළෙද අවශ්‍යතාවයන් සාක්‌ෂාත් කර ගැනීම උදෙසා අපේ රටේ පැවති කෘෂි සංස්‌කෘතිය ඊනියා කෘෂි කර්මාන්තයෙනුත්, වාරි ශිෂ්ටාචාරය වාරි මාර්ග, ඩෑම් සහ සහ වාරි යෝජනා ක්‍රම මගිනුත් මේ මහ පොළොව මත සඳහටම වල දමන ලදි. ඔවුන් අපේ විශිෂ්ට ආහාර පරිභෝජන රටාව මෙන්ම උසස්‌ පෝෂණීය ආහාර වර්ගද මෙරටින් අතුරුදහන් කළේය. මෙරට උසස්‌ බීජ වර්ග ජාන සම්පතද සමගම කොල්ල කා ගත් ඔවුන් අප මෝඩ අනුකාරකවාදී නිවටුන් බවට පත් කර, සුදු පාන් පිටි, කිරි පිටි. ඇපල්, මිදි, ටින් මාළු, කෝලා බීම, මීට්‌ බෝල්, සොසේජස්‌, සීරියල් යනු සුපිරි ආහාර යෑයි හිතන මතන සුපර් මාර්කට්‌ පාරිභෝගිකයින් බවට පත් කොට ඇත.

    හිරු සඳු තාරකා මහ පොළොව ගස්‌ වැල් මී මැස්‌සන්ගේ පහස නොලද ස්‌වභාවිකත්වය මුලිනුපුටා දැමූ ආහාර රටාවක්‌ වසංගතයක්‌ව මිනිසා ගිලගෙන පැතිර යමින් තිබේ. දෛනිකව උග්‍රවෙමින් පවතින හීන්සීරුවේ අපව මරණය කරා ගෙන යන, බත් කනවාට වඩා බෙහෙත් පෙති ගිල දමන තත්ත්වයකට අපව පත් කර ඇත්තේ, ඉවක්‌ බවක්‌ නොමැතිව කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදූ, ජාන වෙනස්‌ කළ, කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයන් යෙදූ, ක්‌ෂණික ආහාර සහ පෝෂණ විෂමතාවයෙන් යුතු අපගේ ජාන නොහඳුන වැරදි ආහාර භාවිතයට ගැනීම නිසාවෙනි. ජනතාව ඒවා බදා වැළඳගෙන ඇත්තේ ඒවායේ අවදානම පිළිබඳ නොදන්නා කම නිසාවෙනි. අපගේ ජාන වලටම පත්තියම් වූ ස්‌වභාවික සම්ප්‍රදායික ආහාර වල වටිනාකම සහ ගුණ මහිමය සහ ඒවාට නිසි සුරක්‌ෂිත ඉහුම් පිහුම් ක්‍රම පිළිබඳ නොදන්නා කම නිසාවෙනි. එම සම්ප්‍රදායික භෝග සහ ඉබේ වැවුණු ආහාර භෝග සුරක්‌ෂිත කර නොගත් නිසාවෙන් සහ වැඩි දියුණු කළ ජාන වෙනස්‌ කළ දෙමුහුන් කළ භෝග වර්ග පමණක්‌ වගා කිරීම නිසාවෙන් ඒවායේ ජාන සම්පතද පිරිහී ගියේය. ඒ අනුව අද දවසේ අප වගා කරන බණ්‌ඩක්‌කා ඇටයේ, ගස්‌ ලබු ඇටයෙ පටන් අල ගෙඩිය (අර්තාපල්) දක්‌වා සියල්ල පිට රැටියන්ගේ ය. ඒවා සඳහා අවැසි කෘෂි රසානික ද්‍රව්‍යයද ඒ කෘෂි රසායනික වල සඟවා ඇති සමූල ඝාතක වස විස ද උන්ගේ ය. පස සකස්‌ කරන උදැල්ල ද, සීසාන නඟුල ද උන්ගේ ය. අස්‌වැන්න නෙලන සුනාමිය වැනි යන්ත්‍ර සූත්‍ර ද, අස්‌වැන්න අසුරන ගෝනිය ද, ඒ ගෝනිය මසන ගෝනි කටුවද, නූල් ද උන්ගේය. එහෙත් මෙකී විජාතික සරණ ගිය ආහාර අනුභවයෙන් අප කරා පැමිණෙන රෝග පීඩාදීන් අපගේය. ඒ රෝග පීඩාදීන් සඳහා බොන බෙහෙත් පෙත්ත ද උන්ගේ වන අතර, අවසන උරුම වන අකල් මරණය අප හට උරුම කරුමය වී ඇත.

    ඊනියා හරිත විප්ලවය, අතීත ප්‍රේමීන් සහ සැබෑ දේශ ප්‍රේමීන්.

    ඊනියා හරිත විප්ලවය, පාරිසරික තිරසභාවය තුට්‌ටුවකට මායිම් නොකරන සංවර්ධනය, රාජ්‍ය ප්‍රතිපත්ති සහ ජනතාවගේ නොදැණුවත්කම නිසාවෙන් අපෙන් ඈත් වුණු සම්ප්‍රදායික ආහාර කෙරෙහි අපගේ අවධානය වඩා වැඩියෙන් යොමු විය යුතු කාලයක්‌ එළැඹ ඇත. හරිත විප්ලවය මරාගෙන මැරෙන තත්ත්වයකට පත් ව තිබේ. යෙදවුම් සඳහා වැය වන අධික වියදම ගොවීන්ට දරා ගැනීමට නොහැකි වීම නිසාවෙන් පමණක්‌ නොව, පරිසරයට සහ ආහාර භෝග වලට එක්‌කළ අධික වස විස කන්දරාව, ඉවක්‌ බවක්‌ නොමැති පරිසර විනාශය, භෝග විවිධත්වය, මෙන්ම ස්‌වභාවික ආහාර භෝග වඳ වීම ද නිසාවෙන් එය අද දවසේ සම්භාවනාවට පාත්‍ර වන්නේ නැත. අපේ රටට ආවේනික මහා කෘෂි සංස්‌කෘතිය, වාරි ශිෂ්ටාචාරය, මෙරට මහ පොළොවට ගැළපෙන හීය, දේශගුණයට ඔරොත්තු දෙන දේශීය බීජ, සුවදායක පරිසරය හා පරිසරයට හිතකර කෘමි සතුන් , පාංශු ජීවීන් හා ක්‌ෂ්‍රද්‍රජීවීන් ගොවීන්ගේ සම්ප්‍රදායික දැණුම හා සාරධර්ම හරිත විප්ලවය සහ නව ලිබරල් ආරථීක ක්‍රමවේද නිසාවෙන් අපි අහිමි කර ගත්තෙමු. ඉදින් අප දැන් කළ යුත්තේ ඒ අතීතය කර පින්නාගෙන අතීත ප්‍රේමීන්ව, අහිමි වූ අතීතය අභිමුව සෙම් සොටු පෙරා ගෙන හ`ඩා වැළපෙන්නවුන් වීම නොව, ශිෂ්‍යත්ව ළමුන්ට ඒ අතීතය කට පාඩම් කරවීම පමණක්‌ නොව, රට පුරා ප්‍රදර්ශනාත්මක අපේ ගම් හදා මිනිසුන් ඒවාට ගෙන්වා, ඔවුන්ගේ සාක්‌කු ශුද්ධ කර ඔවුන්ට අතීතය සමග ස්‌වයංවින්දනයේ යෙදෙන්නට සැලැස්‌වීම නොව, අතීතකාමය කුළු ගැන්වෙන චිත්‍රපටි, රූපවාහිනී සංවාද මාකට්‌ කිරීමවත් නොවන බවද අවධාරණය කළ යුතුව ඇත. අවුරුදු දෙතුන් සියයක ඉතිහාසයක්‌ ඇති ඇමරිකානුවන් අතින් වසර දහස්‌ ගණනක ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක්‌ තිබුණු ජපන් අධිරාජ්‍යය පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පසු පොළොවට සමතලා විය. ඔවුන් ඇමරිකානුවන්ට ශාප කරමින්, තම අතීත කෙරුවාවන් සමරමින් පමණක්‌ සිටියානම් ජපනා අද සෙල්ලම් කාරයක්‌වත් නොසාදනු ඇත. දේශප්‍රෙAමීන් යෑයි කියා ගන්නා මෙරට අතීතප්‍රෙමීන් බොහෝ දෙනෙකු අද දවසේ කරමින් ඉන්නේ ජපනා නොකළ දේය.

    මිනිසුන් පෝෂණය කිරීම සඳහා මහ පොළොව සතු හැකියාව අති විශාලය. ඒ හැකියාවන් හඳුනා ගැනීමත්, ඒවා ගැන මිනිසුන්ට කියා දී මිනිසුන් සවි බල ගැන්වීමත් අද දවසේ ප්‍රමුඛ කාර්යභාරයක්‌ වී ඇත. සාම්ප්‍රදායික භෝග වර්ග සහ ආහාර වර්ග වලට මනුෂ්‍ය වර්ගයාගේ සෞඛ්‍ය හා පෝෂණය වෙනුවෙන් කළ හැකි කාර්යභාරය ද අති විශාලය. ඒවා හඳුනාගෙන ඒවායේ වැදගත්කම නිසි ලෙස අධ්‍යයනය කොට ඒවායේ භාවිත වූ ක්‍රම ශිල්ප අදට ගැළපෙන පරිදි ගළපා අනාගත තිරසාර පැවැත්මක්‌ ඇති වන සේ සංවර්ධනයට උචිත පරිදි යොදා ගන්නා ආකාරය අප වහ වහා සොයා බැලිය යුතුව ඇත.



    (මූලාශ්‍ර - සාම්ප්‍රදායික ආහාර - සිරිල් කරුණාරත්න. ආහාර හා පෝෂණය පිළිබඳ සමාජ මානව විද්‍යාව - ආචාර්ය ඒ. ඒ. ජයන්ත ජයසිරි)

    ගැමුණු සාලිය පෙරේරා
    ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරුන්ගේ සංගමයේ බදුලු දිස්‌ත්‍රික්‌ ශාඛාවේ මාධ්‍ය ප්‍රකාශක.

    source: divaina
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සුද්දෝ ඇවිල්ලා කොච්චර හොඳක්ද නේ අපිට කරලා තියෙන්නේ?
    :rolleyes:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මිනිස්සු සොභාව දහමත් එක්ක බැදිච්ච ආහාර රටාවෙන් ඈත්වෙන්න ඈත්වෙන්න ලෙඩ්ඩු වෙනවා. අපේම රටේ ඉන්න වැදි ජනතාව අපට වඩා මොන තරම් නිදෝගීද.

    සුද්දවත් නොකරපු තරම් විනාසයක් දැන් උමා ඔයෙන් ඌවට නම් වෙන්නේ :dull:

     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මිනිස්සු සොභාව දහමත් එක්ක බැදිච්ච ආහාර රටාවෙන් ඈත්වෙන්න ඈත්වෙන්න ලෙඩ්ඩු වෙනවා. අපේම රටේ ඉන්න වැදි ජනතාව අපට වඩා මොන තරම් නිදෝගීද.

    ඔව් මචන්.. අනිවාර්යෙන්.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මේකෙ ඉන්න ගොඩක් එවුන් සුද්ද කරේ තියන් ඉන්නෙ. එයාල හරි සිවිලයිස් නෙ. අපි ගෝත්‍රික නෙ. එහෙම කියන එවුන් දන්නෑ මේ රටට ඕකුන් කරපු විනාසෙ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිස්සු සොභාව දහමත් එක්ක බැදිච්ච ආහාර රටාවෙන් ඈත්වෙන්න ඈත්වෙන්න ලෙඩ්ඩු වෙනවා. අපේම රටේ ඉන්න වැදි ජනතාව අපට වඩා මොන තරම් නිදෝගීද.

    සුද්දවත් නොකරපු තරම් විනාසයක් දැන් උමා ඔයෙන් ඌවට නම් වෙන්නේ :dull:


    Waddo 160k jiwath wenawada:rofl: