සියල්ල අත්හරින්න

May 29, 2015
612
45
0
සියල්ල අත්හරින්න

සියල්ල අත්හරින්න එවිට සියල්ල ලැබෙනු ඇත...




ඔබ ජීවත් වන්නේ ධර්ම නිකේතනයක. ධර්ම කාන්තාරයක නොවෙයි. එහෙත් ඔබ ධර්මය සොයනවා. සැබැවින්ම ඔබ සොයනවානම් සෙවිය යුත්තේ සැඟවුණ දෙයක්‌. නොපෙනෙන දෙයක්‌.


ඉන්ද්‍රියන් හයටම පස්‌සය වන මායිමේ ධර්මය තිබියදී ඔබ එය දකින්නේ නැහැ. ආලෝකය තුළ සිටිමින් ඔබ ආලෝකය සොයනවා. මොකද ඔබේ දෑස්‌ අවිද්‍යාවෙන් වැසිලා. ඔබ ධර්මය සොයන්නේ නම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩිය මඟ යන්න. උන්වහන්සේ ගිය මග අධ්‍යයනය කරන්න. සාරසංඛ්‍ය කල්ප ලක්‌ෂ ගණනක්‌ පෙරුම් පුරා පැමිණියද සිද්ධාර්ථ කුමරාට වයස අවුරුදු 29 වන තෙක්‌ එතුමා ඉලක්‌ක කරගෙන පැමිණි පාරමී ගමනේ අරමුණ ගැන දැනීමක්‌ හැඟීමක්‌ නොදැනින. කුමරාට මෙම සංසාරික ඉව මතුවී එන්නේ සතර පෙරනිමිති දැකීමත් සමඟය. එතෙක්‌ කුමරා ගතකළේ සිය පියා විසින් නිර්මාණය කරන ලද, සැලසුම් කරන ලද දුක නැති සමාජ පරිසරය තුළ කෙළිලොල් ජීවිතයක්‌ය. ධර්මය සොයාගෙන ගිහි ජීවිතයෙන් නික්‌මුණ කුමරා මුලින්ම කළේ සියල්ලම අතහැරීමය. යශෝධරාව, රාහුල කුමරු, රාජ සම්පත් සියල්ලම අතහැරියේය. ප්‍රථම අදියර එය විය. සියල්ල අතහැරලා කැලයටයි ගියේ. පරිසරයට, ස්‌වභාවධර්මයට ගිහින් මොකද කළේ?

කුමරුන්ට කියවීමට ධර්ම පුස්‌තක හෝ භාවනා පංති, ධර්ම දේශනා, ධර්ම සාකච්ජා. මේවා තිබුණාද? ත්‍රිපිටකය තිබුණාද? ලෝකයේ තෙරුවන් පහළ වෙලා තිබුණේ නැහැ.

මෙවැනි පරිසරයක කුමරා ගිය මඟ කුමක්‌ද? ඔබ නිවීසැනසිල්ලේ සිතන්න. සිතමින් අවබෝධය ලබන්න. කුමරා කැලයට ගොස්‌ බලාගෙන සිටියා පරිසරය, ස්‌වභාවධර්මය දෙස. ඇතිවෙන නැතිවෙන සිතිවිලි දෙස. වෙන බලන්න දකින්න දෙයක්‌ කැලයේ තිබුණේ නැහැ. කුමරා දැක්‌කා උදයට හිරු පායනවා. සවසට හිරු බැස යනවා. රාත්‍රියට සඳ පායනවා. උදේට සඳ බැසයනවා. වැස්‌ස වහිනවා. පායනවා. පින්න, සීතල, සුළඟ, වලාකුළු, දේදුණු එනවා යනවා. නියඟය එනවා, ගංවතුර එනවා. එකම දේ නැවත නැවත සිදුවෙනවා. ගස්‌වල දලුලනවා, කොළ බවට පත්වෙනවා, වියෑළෙනවා, වැටෙනවා, නැවත නැවත ඒ දේම සිද්ධවෙනවා. මල් එනවා, ගෙඩි හැදෙනවා, ඒවා ඉදෙනවා, බිමට වැටෙනවා, පැළවෙනවා, පැළය ගසක්‌ වෙනවා, එකම දෙය නැවත නැවතත් වෙනවා. හිස රැවුල කපනවා. එය නැවත නැවත සිද්ධ වෙනවා. කුසගිනි දැනෙනවා. ආහාර ගන්නවා. එය නැවත නැවත සිදුවෙනවා. ශරීරයේ හැම ස්‌වභාවයක්‌ම, පරිසරයේ හැම ස්‌වභාවයක්‌ම නිත්‍ය ස්‌භාවයේ නොපැවතී අනිත්‍යභාවයට පත්වෙනවා. බෝසත් කුමරුන් කැලයේ සිටිමින් දකින්න ඇත්තේ ඔය ස්‌වභාවයයි. වෙන දකින්න දෙයක්‌ කැලයේ නැහැ. එහෙම නම් ඉහත පරාසය තුළ ධර්මයේ අර්ථය තිබෙන්න ඕනේ. සියල්ල අතහැරීම තුළ බෝසත් කුමරුන්ගේ සැහැල්ලු, නිකෙලෙස්‌ සිත නිරතුරුවම සමාධිමත්ව තිබීම නිසා ඉහත ස්‌වභාවයන් ඉතා හොඳින් බෝසත් කුමරුන්ට පෙනෙන්නට, දැනෙන්නට ඇත. බෝසත් කුමරුන් සම්මා සම්බුද්ධ පදවිය අවබෝධ කරගන්නා මොහොත දක්‌වාම උන්වහන්සේ අවබෝධය ලැබුවේ ස්‌වභාවධර්මය, පරිසරය තුළින්මය.

ස්‌වභාවධර්මයත්, තමාගේ කයත්, සිතත් දෙස අත්හැරීමෙන් සමාධිමත් වූ සිතින් බැලීමේදී, අනිත්‍ය හැර වෙනත් ස්‌වභාවයක්‌ මෙහි නොමැති බව උන්වහන්සේ දකින්නට ඇත. ඔය මඟ තමයි අපගේ ශාස්‌තෲන් වහන්සේ නිවීම සඳහා ගිය මඟ. අබුද්ධෝත්පාද කාලවලදී පහළවන පසේ බුදුරජාණන් වහන්සේලාද ධර්මය අවබෝධ කරගන්නේ ඉහත බුදුමඟ අනුගමනය කරමින්ය. ඔබේ අනිත්‍යභාවයට පත්වන සිත ඔබට දෙන සැප, කෙටි, දුර, කල්මරණ මාර්ග සිතේ අනිත්‍ය බව දකිමින් අතහරින්න. සැබෑ බුදුමඟ ඔබ ගමන් කරන්න. කිරි ගසකට ඇනීමේදී යම්සේ කිරි වෑහේද, ඉහත බුදුමඟ ඔබ ගතහොත් නිවීම ඒකාන්තය. මන්ද එය බෝසතුන් වැඩි මඟ නිසාය. ධර්ම විනය දෙක යනුවෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හැඳින්වූයේද ඉහත මාර්ගයමය. ධර්මය යනු ස්‌වභාවධර්මයයි. විනය යනු සතියයි, සිහියයි. එහි අර්ථය සතියෙන් සිහියෙන් යුතුව ස්‌වභාවධර්මය දෙස බලන්න යන්නයි. ශාසනය තුළ මුල් දශක දෙක තුළදී, විනය පැනවීමකින් තොරව සංඝරත්නය හික්‌මුණේ උන්වහන්සේලා සතියෙන් යුක්‌තව ස්‌වභාවධර්මය දෙස බැලීම නිසාය. එහි ප්‍රතිඵලය ධර්මාවබෝධයයි. පසු කාලීනව සංඝරත්නය සතියෙන් තොරව ස්‌වභාවධර්මය දෙස බැලීම නිසා සතිය සිහිය ඇති කිරීමට විනය පැනවීමට බුදුරජාණන් වහන්සේට සිදුවිය.

ඔබ දක්‌ෂවෙන්න සතියෙන් සිහියෙන් යුතුව ස්‌වභාවධර්මය දෙස බලන්න. එවිට ඔබ දකින්නේ ධර්මයේ ස්‌වභාවයයි. ධර්මයේ ස්‌වභාවය, වෙන දෙයක්‌ නොවේ. අනිත්‍ය පමණමයි. ස්‌වභාව ධර්මයත්, ඔබත් දෙකක්‌ නොව එකකි. දෙකම නිර්මාණය වී ඇත්තේ ඝණ, ද්‍රව, උණුසුම්, වායු ධාතූන්ගෙන්ය. මේවායේ ස්‌වභාවය අනිත්‍යයි. ස්‌වභාවධර්මයත් ඔබේ කයත් දෙකම ඉහත ධාතුන්ගෙන් සැදි නිර්මාණයන්ය. ඇසට නොපෙනෙන, ප්‍රඥාවෙන් පමණක්‌ දැකිය හැකි ප්‍රවේගකාරීව අනිත්‍යභාවයට පත්වන ඉහත ධාතූන්, අනිත්‍යතාවයට පත්වන වාරයක්‌ පාසාම අවකාශ ධාතුවක්‌ද ඇතිකරවයි. එම අවකාශ ධාතුවද ධාතූන් ඇතිවන නැතිවන මොහොතක්‌ පාසාම අනිත්‍යභාවයට පත්වේ. මේ සියල්ලම ශීල, සමාධි, මඟ ඉක්‌මවාගොස්‌ ප්‍රඥාවෙන් දකින ධර්මයෝය. ස්‌වභාවධර්මය ලෙසත්, කය ලෙසත් අපි දකින්නේ විවිධත්වයෙන් යුතු හැඩයන්, වර්ණයන්, ස්‌වභාවයන් ලෙසින් එකිනෙකට වෙනස්‌ ධාතු කොටස්‌ හතර පමණකි.

ඇසේ අවිද්‍යාව නිසා එකිනෙක සම්මුති නාමයකින් හඳුන්වාගනී. එහෙයින් ඔබ ස්‌වභාවධර්මයත් කයත් එකගොඩකට දමන්න. මේවා ක්‍රියාත්මකභාවයට පත්වන සිත දෙස බලන්න. සිත තුළද ඔබ දකින්නේ අනිත්‍ය ස්‌වභාවය පමණක්‌මය.

බාහිර රූපත්, අභ්‍යන්තර ආයතනත්, විඤ්ඤාණයත් පස්‌සය වීමෙන් සකස්‌වෙන ආගන්තුක සිත අයිති අනිත්‍යයටය. එහෙයින් මේ සියලු ධර්මයෝ අනිත්‍ය ධර්මයෝය.

ඔබ කළයුත්තේ මේ සියල්ල දෙස සතියෙන්, සිහියෙන් යුක්‌තව බලා සිටීමම පමණකි. එවිට ඔබ තුළ නිරායාසයෙන්ම වැඩෙන්නේ සතර සති පට්‌ඨානයයි. සතර සතිපට්‌ඨානය නිවන් මඟේ නිවීමේ තීරක බලවේගයයි. කාය, චිත්ත, ධම්ම, වේදනා යනු ලෝකයයි. සතර සතිපට්‌ඨානය අවබෝධයෙන් දැකීම යනු ධර්මාවබෝධයයි. ලෝකාවබෝධයයි.

ඔබ සියල්ල අතහරින්න. අනිත්‍ය වූ රූපය දෙස අනිත්‍ය සිතෙන් බලාසිටින්න. එවිට ඔබට සියල්ල ලැබේවි. ඒ සියල්ල ඔබට ලැබෙන විට ඒ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසාය.

ක්‌ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍ය ආත්මයක්‌ ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා.

ඉරිදා දිවයින පුවත්පතේ පළවූ මහරහතුන් වැඩි මඟ ඔස්‌සේ ලිපි මාලාව තුළින් සුවහසක්‌ දනන් මෝහාන්ධකාරයෙන් මුදාලු රාජගිරියේ අරියඥාන හිමියන්ගේ ලිපියකි.
yuthukama



 
Jul 5, 2012
1,773
265
0
හිස් වචන: ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි...

Submitted by Kamal Wickramanayake on January 2, 2015 - 22:57
"ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය"

ඉහත වදන් පෙළ ලොව සුන්දරම වචන පෙළ ලෙස රාජගිරියේ අරියඥාන හිමියන් විසින් දක්වා ඇති අතර එම වදන් පෙළ නිතර නිතර සිහි කරන ලෙස පවසා ඇත [http://www.divaina.com/2011/12/18/feature08.html]. එය පිළිගත් බොහෝ පිරිස් විසින් බුදු පියානන් විසින් පවසන ලද සද්ධර්මය සංක්ෂිප්ත ලෙසින් මෙම වදන් පෙළේ කවර ආකාරයකට හෝ දැක්වේ යැයි හිතමින් මෙම වදන් පෙළ බොහෝ තැන් වල භාවිතා කරන බවද පෙනේ (Google වැනි අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක "ඔබ සියල්ල අතහරින්න" යන්න යොදා බලන්න).

පළමුව පැවසිය යුත්තේ ඉහත වදන් පෙළ බුදු රජානන් වහන්සේ විසින් පවසන ලද බුද්ධ භාෂිතයක් නොවන බවයි.

දෙවනුව පැවසිය යුත්තේ ඉහත වදන් පෙළ අර්ථ රහිත හිස් වදන් පෙළක් බවයි. මෙම වදන් පෙළේ අර්ථ රසයක්, ධර්ම රසයක් හෝ සත්‍ය රසයක් නොමැත. මෙවන් වදන් පෙළක් හිස් බව නිසාම සද්ධර්මයේ පැවතීමට හැකියාවක්ද නොමැත.

බුද්ධ දේශනාවන් අවබෝධ කරගැනීම පිණිසත්, පවත්නා විචිකිච්චාවන් ප්‍රහීණ කර ගැනීමටත්, නොපවත්නා විචිකිච්චාවන් ඉපැදීම වැලැක්වීමටත් නුවනින් විමසීම [http://thripitaka.org/view/sp/sp12/46] භාවිතා වේ. මේ නිසා සද්ධර්මයට අනුව ඉහත වදන් පෙළින් කියවෙන්නේ කුමක්දැයි අප මනා සේ විමසා බැලිය යුතුය. මේ සඳහා ඉහත වදන් පෙළ පහත ප්‍රශ්න තුලින් විමසා බලමු:

"ඔබ සියල්ල අතහරින්න." යන්නෙහි "සියල්ල" යනු කුමක්ද?
"ඔබ සියල්ල අතහරින්න." යන්නෙහි "අතහරින්න" යනු කුමක්ද?
"එවිට ඔබට සියල්ලම ලැබේවී" යන්නෙහි "සියල්ලම" යනු කුමක්ද?
"එවිට ඔබට සියල්ලම ලැබේවී" යන්නෙහි "ලැබේවි" යන්න කුමක්ද?
සියල්ල අතහැරිය විට සියල්ල ලැබෙන්නේ කවර ආකාරයකින්ද?
මෙම ප්‍රශ්න වලින් කිහිපයකට පමණක් නොව සියලු ප්‍රශ්නයන්ටම සද්ධර්මයට අනුකූල ලෙස සහ සම්පූර්ණ වදන් පෙළෙහි අරුත් (තේරුමක්) ඇති අයුරින් උත්තර දීමට හැකිදැයි විමසා බලන්න. එසේ විමසන්නට යෑමේදී බුද්ධ භාෂිතයන්ට අනුව නම් "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී" යන වදන් පෙළ අරුත් දක්වන්න බැරි බව වැටහේ. බුද්ධ භාෂිතයන් නුවනින් මෙනෙහි කරමින් මනා සේ විමසන විට එසේ නුවනින් මෙනෙහි කරන්නාට අර්ථය වැටහීම සහ එම අර්ථ රසය හා ධර්ම රසය හේතුවෙන් ප්‍රමෝදයක් උපදී, විචිකිච්චාව පහව යයි. නමුත් ඉහත වදන් පෙළ විමසන්නට යන කෙනාට කවර අරුත් මෙම වදන් වල ඇත්දැයි තේරුම් ගන්න බැරිවීමක් සහ "සියල්ල" යන වචනය ප්‍රතිවිරුද්ධ අරුත් සහිතව එකම වැකියක භාවිතා කර ඇත්දෝයි අරුත්හි පටලැවෙන බවක්, සැක ඇතිවීමක්, බුද්ධ භාෂිතයන් ඇසුරෙන් මෙම වදන් අරුත් ගන්වන්න අපහසු බවක් ඇති බවම වැටහේ.

"ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී" යන වදන් අසා එහි අරුත් කුමක්දැයි විමසන්න යන බුද්ධ භාෂිතයන් බොහෝ සෙයින් නොදන්නා ගිහි පින්වතෙකුට තමාට හරි හැටි මෙම වදන් පෙළෙහි අරුත් නොතේරුනත් බුද්ධ භාෂිතයන් මනා සේ දන්නා අයට හා නුවනැත්තන්ට මෙම වදන් පෙළෙහි අරුත අවබෝධ විය හැකි යැයි සිතෙන්න හැකිය. එසේ සිතේ නම් එය නිවැරදි සිතීමක් නොවේ. සත්‍ය නම් බුද්ධ භාෂිතයන් ඇසුරෙන් මෙම වදන් පෙළෙහි අරුත් කුමක්දැයි විමසන්න යන විට පහසුවෙන්ම මෙම වදන් පෙළ අර්ථ රහිත හිස් වදන් පෙළක් බව වැටහේ. එසේ වන්නේ බුදු පියානන් සියල්ල යනු කුමක්දැයි මනා සේ (තම තමා කැමැති කැමති ආකාරයට අරුත් ගන්වන්න බැරි අයුරින්) පවසා තිබීමයි. එසේම බුදු පියානන් පවසා ඇති අයුරට වෙනස් අයුරකින් සියල්ල යනු කුමක්දැයි පැනවීමක් කරන අයගේ අනවබෝධය කෙබදු දැයිද බුදු පියානන් පවසා ඇත. මේ ගැන සංයුක්ත නිකායේ සළායතන වග්ගයේ සබ්බ සූත්‍රයේ [http://thripitaka.org/view/sp/sp10/56] සඳහන්ව පවතී.

මේ නිසා සබ්බ සූත්‍රයට අනුව (එනම් බුද්ධ භාෂිතයට අනුව) සියල්ල යනු කුමක්දැයි තේරුම් ගෙන එම අරුත ඇතිව "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය" යන්න අරුත් ගන්වන්න, අරුත තේරුම් ගන්න යෑමේදි මෙම වදන් පෙළ අර්ථ රහිත හිස් වදන් පෙළක් බව පහසුවෙන්ම වැටහේ.

"ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී." යන්නෙහි "සියල්ල" යන වචනය භාවිතා වී ඇති තැන් දෙකට අරුත් දෙකක් දී යමෙක් මෙම සම්පූර්ණ ප්‍රකාශනය අරුත් ගන්වන්න යනවා නම් එවන් අයෙකුගේ ප්‍රකාශනයන් "සියල්ල" යන්නට අරුත් දෙකක් දීම නිසා සබ්බ සූත්‍රයට අනුව (එනම් බුද්ධ භාෂිතයට අනුව) චවන මාත්‍රම පමණකි. තවද සබ්බ සූත්‍රයට අනුව (එනම් බුද්ධ භාෂිතයට අනුව) එම පුද්ගලයා එසේ පවසන්නේ එම කරුණ එම පුද්ගලයාට අවිෂය කරුණක් බැවිනි (එසේ පවසන පුද්ගලයාටවත් තමා කියන දෙයෙහි සැබැ තේරුම කුමක්දැයි අවබෝධයක් නැත).

මෙසේ විමසා බැලූ විට ලොව සුන්දරම වචන පෙළ ලෙස දක්වා ඇති "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය" යන වදන් පෙළ අර්ථ රහිත හිස් වදන් පෙළක් බව පැහැදිලි වේ.

මෙවන් හිස් වදන් පෙළක් යමෙක් බුදු පියානන් විසින් පවසන ලදැයි හෝ එම වදන් පෙළින් සද්ධර්මය සංක්ෂිප්ත ලෙස කවර ආකාරයකට හෝ දැක්වේ යැයි හෝ එම වදන් පෙළ කවර අයුරකින් හෝ සද්ධර්මයට ගැලපේ යැයි සිතුවොත් එය කෙතරම් විනාශයක්ද? එවන් මතයක් සමාජගත උවහොත් එය මහා විනාශයකි. කවර ලෙසකින් එය මහා විනාශයක් වන්නේද?

පළමුවම එවන් කරුණක් බුදු රජානන් වහන්සේ විසින් දෙසූ සද්ධර්මයට යම් හො සම්බන්ධයක් ඇතැයි පිළිගැනීම මිත්‍යා පිළිගැනීමකි. දෙවනුව එසේ අන් අයටත් පවසයි නම් එය මුසා වාදයක් වේ (මිත්‍යා වාචාවක් වේ), එයින් එසේ පවසන්නා දුසිල්වත් බව ඇති කර ගනී. මෙවන් මිත්‍යා අවබෝධයක්, මිත්‍යා වාචා බවක් සම්මා දෘෂ්ඨි හා සම්මා වාචා අඩංගු අරි අට මඟ ලෙස හෝ ඊට අනුකූල යැයි යමෙක් පෙන්වයි නම් එම පුද්ගලයා අරි අට මඟ වැරදවීමත් සිදු කරයි. එය එම කරුණ යහපත් යැයි, නිවැරදි යැයි පිළිගන්නා අයගේ දුක් පිණිසම වන කරුණක්ද වේ.

වරදවන ලද මඟ බැවින් දුගතිය කරා සත්වයින් යොමු කිරීමකට නිවන් මගයැයි කීමත්, එසේ අරුත් රහිත හිස් වදන් පෙළක් සම්මා සම්බුදු රජානන් වහන්සේ දෙසූ සද්ධර්මය ලෙස හෝ එම සද්ධර්මයට අනුකූල යැයි ගෙන හැර දැක්වීමෙන් එම සද්ධර්මය හිස් බවින් යුතු දෙයකට සමාන කිරීමත්, එසේ කිරීම නිසා දෙසූ සෑම භාෂිතයක්ම සුභාෂිත වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ හිස් බසින් යුත් අයෙකු ලෙස දැක්වීමත්, එසේ කිරීම නිසා එම බුදුන් සරණ යන හා එම දහම් සරණ යන භික්ෂූ, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ගෙන් යුත් සිව්වනක් පිරිස හිස් දෙයක්ම සරණ කොට ඇති අන්ධ පිරිසක් ලෙස දැක්වීමත්, වැරදි යොමු කිරීම නිසා හිස් බස බුදුන්ගේ සුභාෂිතයයැයි සම්මත කරගන්නා සිව්වනක් පිරිසට එම හිස් බස හිස් නිසාම අරුත් ගැන්වීමට නොහැකි බැවින් අන් අයට එහි අරුත් දැක්වීමට නොහැකිවීමෙන් සම්මා සම්බුදු රජානන් වහන්සේත්, සිව්වනක් පිරිසත් සද්ධර්මය නම් හිස් ප්‍රකාශන පිළිගන්නෝ යැයි අන්‍යාගමිකයින්ගේත් විහිළුවට ලක්වීමට හේතු වීමත්, මෙසේ වීමෙන් දැන් ඉන්නා සහ මතු ඉන්නා සිව්වනක් පිරිස සහ අන්‍යාගමිකයින් නොදැනම බුදුන්ටත්, සද්ධර්මයටත්, ආර්යය මහා සංඝරතනයටත්, අන් ආර්යයන්ටත්, නිවැරදි ප්‍රතිපදාවේ යෙදෙන අන් පිරිසටත් අක්‍රෝෂ හා පරිභව කිරීම හේතුවෙන් ඔවුන් අති මහත් අකුසල් කරගැනීමට හේතු වීමත්, එයින්ම හිස් බස් පවසන්නා සහ අති මහත් අන් සත්ව ප්‍රජාවකගේ දුගතිය පිණිස එය හේතු වීමත්, අති මහත් සත්ව සංහතියකට සද්ධර්මය මේ යැයි අධර්මයක්ම පෙන්වා මහා අන්ධකාරයකට යොමුකිරීමෙන් සම්බුද්ධ ශාසනය අතුරුදහන් කිරීමට ඉමහත් රුකුල් දීමකුත් මෙසේ ධර්මය වරදවා ගැනීමෙන් සිදුවේ.

මේ නිසා "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය" යන්න මහ රහතුන් වැඩි මඟ යැයි ගෙන හැර පෑම සැබෑ නිවන් මඟ අපැහැදිලි කරන ප්‍රකාශනයකි. සැබෑ ලෙසම මහ රහතුන් වහන්සේලා වැඩි මඟක් ඇත්ද එය නොපෙනෙන බවට පත් කිරීමකි, එම සැබෑ මඟ බොරු හා හිස් ප්‍රකාශනයකින් වසා දැමීමකි, නිර්වාණ මාර්ගය අවබෝධ කරන්න උත්සාහ කරන අය අන්ධකාරයේ හෙලීමකි, නිර්වාණ මාර්ගය යැයි අපාය මාර්ගයක් පෙන්වීමකි. එය එසේ වන්නේ හිස් බසක් සැබැවින්ම සුභාෂිතයකැයි පිළිගැනීම පිනිස අනුවනකමින් මෙනෙහි කිරීමම අවශ්‍ය වන බැවිනි. මේ නිසා හිස් බසක් සුභාෂිතයැයි දකින්න උත්සාය කිරීමේදී අනුවනකමින් මෙනෙහි කිරීමම වැඩි දියුණු වේ. මේ හේතුවෙන් එසේ අනුවනකමින් මෙනෙහි කරන්නන් තුල නූපන් විචිකිච්චාවන් උපදී, උපන් විචිකිච්චාචන් තව තවත් වැඩි දියුණු වේ [http://thripitaka.org/view/sp/sp12/44]. එවිට නීවරණ ප්‍රහාණය වෙනුවට අනුවනකමින් මෙනෙහි කරන්නා නීවරණ වැඩි දියුණු කරගැනීමක් සිදු කර ගනී. එබැවින් මෙවන් හිස් බසක් සුභාෂිතයැයි ගෙන හැර දක්වන්නෝ අපාය මාර්ගයක්ම මහ රහතුන් වැඩි මඟ යැයි ගෙන හැර දැක්වීමක් කරන්නෝ වෙති, අපාය මාර්ගයකට සත්වයින් යොමු කරන්නෝ වෙති.

තවද මෙවන් හිස් බසක් සුභාෂිතයකැයි සලකා නිතර නිතර සිහි කරන්න යැයි කී විට එය පිළිගෙන එසේ කරන්නන්ට වන්නේ කුමක්ද? එවිට එසේ සිහි කරන්නා හිස් බස සුභාෂිතයකැයි යම් අනුවනකමින් කරන විමසීමක් තුලින් දැක්කාද එසේම නිතර නිතර සිහිකිරීමෙන් එම අනුවන විමසන අයුරෙහි දැඩි ලෙසම බැඳේ, දැඩි ලෙසම එල්ඹ ගැනීම වේ. එසේ අනුවනකම බැහැර නොකර පැවැත්මක් සිදුකිරීම නූපන් විචිකිච්චාවන් ඉපදීමටත්, උපන් විචිකිච්චාචන් තව තවත් වැඩි දියුණු වීමටත් හේතුවකි. සුභාෂිතයන් සුභාෂිතයන් ලෙසම දැක නිතර නිතර සිහි කිරීම අභිවෘද්ධිය පිනිසම හේතු වේ. නමුත් දුභාෂිතයන් සුභාෂිතයන් ලෙස දැක ඒවා නිතර නිතර සිහි කිරීම එසේ සිහිකරන්න්ගේ ප්‍රඥාවේ අන්ධ භාවයටත්, පරිහානිය පිනිසත් හේතු වේ.

එලෙසම "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය" යැයි පවසන අය සබ්බ සූත්‍රයට අනුව (එනම් බුද්ධ භාෂිතයට අනුව) ඔවුන් පවසන්නේ කුමක්දැයි ඔවුන්ටම අවබෝධයක් නොමැති පිරිසකි. ඔවුන් කර ඇත්තේ වචන හරඹයක් පමණි. වදන් වල තේරුම වත් නොදැන සාරයක් නොමැති ලෙස වදන් පෙළක් ගලපා එම අසාර වදන් පෙළෙහි සාරයක් ඇතැයි දැකීම ඔවුන් තුල පවත්නා අනුවනකමයි.

එලෙසම "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය" යන්න සුභාෂිතයකැයි පිළිගන්නා අය සබ්බ සූත්‍රයට අනුව (එනම් බුද්ධ භාෂිතයට අනුව) තමන් පිළිගන්නා ලද්දේ කුමක්දැයි අරුතින් නොදන්නා අයම වේ. ඔවුන් අසන ලද හිස් බසක් සුභාෂිතයකැයි වචන මාත්‍රයෙන් පිළිගන්නා ලද අන්ධ පිරිසකි.

මෙවන් හිස් ප්‍රකාශනයක් බුදුන් දෙසූ සුභාෂිතයකැයි හෝ ඊට අනුකූල යැයි හෝ පවසන්නෝ අන්ධ බවින් ගෞතම සම්මා සම්බුදු සසුන මේ යැයි අධර්මයක්ම සමාජයට ගෙන හැර දක්වන, එයින්ම ගෞතම සම්මා සම්බුදු සසුන අතුරුදහන් කිරීමට කටයුතු කරන පිරිසකි. එසේ කරන අනුවනයින්ට කවර නම් විපාකමය විදීමක් වේද?

ආර්ය විනයෙහි යමෙක් තමන්ගේ වැරැද්ද වැරැද්ද ලෙස දැක දහම් අනුව ඊට ප්‍රතික්‍රියා කරයි නම් එය එම වැරැද්ද කරන ලද පුද්ගලයාගේ මතු සංවරභාවය, මතු අභිවෘද්ධිය පිණිසම පවතී.
 
Last edited:

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
ගොඩක් පිං මචන් පෝස්ට් එකට.... අපි හැමෝම මේ සමාජ රටාවෙන් අන්ධ වෙලා... සසර බිය ගැන අපි හිතන්නෙවත් නෑ...
 

r runner

Member
May 12, 2015
2,396
781
0
HIGHLY APPRECIATED YOUR POST...
එත් මේ අදහස ළග මං දෙතුන් සැරයක් කල්පනා කලා..


කුමරුන්ට කියවීමට ධර්ම පුස්‌තක හෝ භාවනා පංති, ධර්ම දේශනා, ධර්ම සාකච්ජා. මේවා තිබුණාද? ත්‍රිපිටකය තිබුණාද? ලෝකයේ තෙරුවන් පහළ වෙලා තිබුණේ නැහැ.


සාරා සංඛෙි්‍්‍ය කල්ප ලක්ෂයක් පෙරැම් පිරැවේ..අවසානයේ බුද්දත්වය ලබාගන්න නම්..පෙර සන්සාරයන්ම ඇති නේද ඒ ගමනට ... උන්වහන්සෙට ???

විවාදයට නොවේ අදහසක් පමනි...
 

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
HIGHLY APPRECIATED YOUR POST...
එත් මේ අදහස ළග මං දෙතුන් සැරයක් කල්පනා කලා..


කුමරුන්ට කියවීමට ධර්ම පුස්‌තක හෝ භාවනා පංති, ධර්ම දේශනා, ධර්ම සාකච්ජා. මේවා තිබුණාද? ත්‍රිපිටකය තිබුණාද? ලෝකයේ තෙරුවන් පහළ වෙලා තිබුණේ නැහැ.


සාරා සංඛෙි්‍්‍ය කල්ප ලක්ෂයක් පෙරැම් පිරැවේ..අවසානයේ බුද්දත්වය ලබාගන්න නම්..පෙර සන්සාරයන්ම ඇති නේද ඒ ගමනට ... උන්වහන්සෙට ???

විවාදයට නොවේ අදහසක් පමනි...
‘‘කුමරාට මෙම සංසාරික ඉව මතුවී එන්නේ සතර පෙරනිමිති දැකීමත් සමඟය.‘‘

උඹ කියපුදේත් මේක කියවද්දි අදහස් වෙලා තියෙනව කියල මට නම් පේන්න තියෙන්නෙ... :)
 
Last edited:

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
ධර්ම දානය උතුම්ම දානයයි. පින් සිදු වේවා ...!!
 
May 29, 2015
612
45
0
HIGHLY APPRECIATED YOUR POST...
එත් මේ අදහස ළග මං දෙතුන් සැරයක් කල්පනා කලා..


කුමරුන්ට කියවීමට ධර්ම පුස්‌තක හෝ භාවනා පංති, ධර්ම දේශනා, ධර්ම සාකච්ජා. මේවා තිබුණාද? ත්‍රිපිටකය තිබුණාද? ලෝකයේ තෙරුවන් පහළ වෙලා තිබුණේ නැහැ.


සාරා සංඛෙි්‍්‍ය කල්ප ලක්ෂයක් පෙරැම් පිරැවේ..අවසානයේ බුද්දත්වය ලබාගන්න නම්..පෙර සන්සාරයන්ම ඇති නේද ඒ ගමනට ... උන්වහන්සෙට ???

විවාදයට නොවේ අදහසක් පමනි...
pilithuru labila thiyenawa neda wena kenekgen:)