සති දෙකක් තිස්සේ සම්මුඛ පරීක්ෂණ කීපයකටම සහබාගී වූ කවීශ සහ පසිදු රස්සා සෙවීමෙන් හෙම්බත්ව සිටිය හ.ඇතැම් ආයතන බලාපොරොත්තු වන්නේ මරවා හෝ ඔවුන්ගේ කාරිය කර ගැනීමටය .එයත් සොච්චම් පඩියකටය.
"බලපංකො ඉතිං ක්ලාස් දාල වත හරි හමං ජොබක් සෙට් කරගන්න බැරි හැටි.කලිං වගේ ටියුෂන් එකක් ගොඩ දා ගත්ත නම් පරම්පරාව කට ඇති"පසිදු කීවේ බිඳුණු සිතිනි.
"එහෙම කියලත් බෑනෙ බං තව දෙක තුනක් බලමු මෙච්චර කරගත්තු එකේ.."
මෙලෙස ගතවූ අවිවේකී සති කීපයක ට පසුව කවීශ ඉද්දමල්ගොඩ පාමසියුටිකල් ආයතනයේ ත් පසිදු වෙනත් පෞද්ගලික ආයතනයකත් රාජකාරි භාර ගත්හ.මේ කාලය පුරාවට ඉරේෂා සහ කවීශ ගේ සබැඳියාව ගුඩ් නයිට් ගුඩ් මෝනිං වලට පමණක් ම සීමා වී තිබිණි.
පස්වැනි පරිච්ඡේදය
ඕනෑම තැනකට අලුතින් යන කෙනෙක් ට මුලින්ම සිදුවන්නේ තාඩන පීඩන විවේචන වලට ලක්වීමටය.කෙමෙන් අදාල පරිසරයටත් ගැටෙන පුද්ගලයන් ටත් අනුගත වූ පසු ජීවත් වීම අපහසු නැත.ඉද්දමල්ගොඩ මහතා තම ඉගෙනීමේ කුසලතා ගැන මහ ඉහලින් කතා කරනු කවීශ ට සතුට ගෙන දුන්නේය.ඔහු සැබැවින්ම මහත්මා ගතියෙන් යුතු ව්‍යාපාරික යෙක් ලෙස නම් දරා සිටියේ ය.
"පුතා ජොබ් එක කියන්නෙ ජීවිතේ නෙවෙයි මේක පාලම කරගෙන ජීවිතෙන් ගොඩ වෙන්නයි ඕන.අනික ජොබ් එක ලැබුණු නිසා ඉගෙනීම නතර කරන්න එපා එම් එස් සී එකට මාස්ටර් එකට මහන්සි වෙන්න අපි කම්පැනි එක ෆුල් සපෝට් කරනව ඉගෙන ගන්න ළමයි න්ට"
සේවයට බැඳුණ පළමු දිනයේම ඔහු කීවා මතකය.
පුහුණු කාලය ලෙස මාස තුනක් වෙන් කොට තිබුණ ත් කවීශ ගේ දක්ෂ තාවය සලකා එය මසකින් නිම කරන ලදී.මේ කාලය තුළ ඉද්දමල්ගොඩ මහතාගේ විශ්වාසය දිනාගන්නටත් කවීශ ට හැකි විය.කවීශ විසින් ආරම්භ කල ව්‍යාපෘති කීපයක්ම සාර්ථක ලෙස දියත් වූ නිසා සමාගමේ කා අතරත් කතා බහට ලක්වන පුද්ගලයකු වීමට කවීශ ට ගත වූයේ සුලු කාලයකි.
රෝගී තත්ත්වය තව තවත් නරක අතට පත් වීමේන් ඉරේෂා මහත් වේදනා වින්දාය.ස්කෑන් පරීක්ෂණ කීපයකට පසුව නිර්ණය කෙරුනේ ගර්භාෂයේ සහ ඩිම්බ කෝෂ ආශ්රිත ගෙඩි සැත්කමක් මගින් ඉවත් කල යුතු බවය.ඒ සඳහා මහනුවර මහ රෝහල වෙත යොමු කෙරුනු අතර තවත් මසක පමණ කාලයකින් අදාල සැත්කම ස්ඳහා දින යොදාගෙන තිබුණි.මුල සිටම ඉරේෂා සමග තිබූ සම්බන්ධතාවයට බන්දුලගේ නිවසෙන් තිබූ විරුද්ධත්වය ඉරේෂාගේ රෝගී තත්ත්වයත් සමග නව මුහුණුවරකින් ඉදිරිපත් ව තිබුණි .
"වඳ ගෑනියෙක් බැන්ද ගන්නද හදන්නේ පවුලට ඉන්න එකම කොල්ලා උඹ ...ඔහොම බඩවල් කූරු ගහලා කූරු ගහලා ඒවගෙන් දරුවෝ වදන්න බැරි වෙනවා "බන්දුල ගේ මව කීප වරක්ම බන්දුල තරවටු කළේ මෙලෙසිනි .
පවුලේ බාලයා සහ එක ම පිරිමි දරුවා ලෙස හැදී වැඩුණු බන්දුලට අම්මාගේ සහ අම්මාගේ සහ අප්පච්චිගේ කීමට පිටින් යාමට නොහැක .අම්මාගේ නිරන්තර තොල් මැතිරීමත් සමග බන්දුලට ද ඉරේෂාගේ දරු පල ලැබීමේ හැකියාව ගැන යම් සැකයක් මතු වී තිබුණි .කෙලින්ම නොකිව්වද නොකීව ද ඇතැම් අවස්ථාවල මතු වී ආ මේ මාතෘකාව නිසා ඉරේශා මහත් වේදනා වින්දාය .
ඇතැම් අවස්ථාවල ඉරේෂාට දැනුනේ බන්දුල හැසිරෙන්නේ නො දරුවකු ලෙසින් කියාය .දෙමාපියන්ගේ හණමිටි අදහස් හිස් කරපින්නා ගෙන සිටී බන්දුල අතීතයට අයිති මිනිසකු ලෙස දැනීම නොවැලැක්විය හැකිය.නිරන්තර ව කෙරුණු චෝදනා නිසා ඉරේෂා තුළ ද බියක් මතු වී තිබුණි .තත්ත්වය වඩාත් දරුණු අතට පෙරලුනේ බන්දුල සමග වීඕජී හමුවට ගිය දවසේය.රෝගී වූ දා සිට ඔහු ඇය හා පැමිණි එකම දවස එදාය.
"මේක ටිකක් ලොකු ඔපරේෂන් එකක් හොඳද එතකොට ඉරේෂා ගෙ ඩිම්බ කෝෂ වලට නාල වලට දැනටමත් හානි වෙලා තියෙන්න පුලුවන් .ඒකත් එක්ක එන අවදානමක් තමයි දරුවෙක් පිලිසිඳ ගන්නකොට ගර්භාෂයෙන් පිට ඒක සිදුවෙන එක අපි එක්ටොපික් කියල කියන්නෙ ඒ වගෙම ගර්භාෂයට වෙලා තියෙන හානිය අපි දන්නෙ නෑ ඒකත් එක්ක දරුවෙක් පිළිසිඳ ගන්න නුසුදුසු තත්ත්වයක් ඇතිවෙන්න උනත් පුලුවන් පුතාලට තේරෙනවද මම කියන කතාව.." ඉරේෂා ගේ නෙතඟට කඳුළු පිරුනේ නිරායාසයෙනි.මවක වීම ගැහැනියක ගේ මිහිමත වගකීමය.ඒ උතුම් මව් පදවිය ලබනට තරම්වත් මා පිං කර නැති හැටි.
"අපි සම්පූර්ණයෙන් බලාපොරොත්තු නැති කරගන්න ඕන නෑ ඉතින් චාන්ස් එකක් අරන් බලමු"ඉරේෂාගේ වෙනස දුටු වෛද්‍යවරයා ඈ අස්වැසීමට වෙර දැරුවේය.
හිත හදා ගත නොහැක්කේ හේතු ගණනාවක් නිසාය.නිසරු ගැහැනියකව බන්දුල ගේ නිවසට ලේලියක වී යාම සිහිනයකි.මේ කාරනාව සැල වුවහොත් බන්දු ගේ අම්මා කිසිලෙසකින් මේ සම්බන්ධ ය ඉදිරියට ගෙන යාමට ඉඩ නොදෙනු ඇත.මොන ප්‍රශ්න ආවත් බන්දු තමා හා ඉඳීවියැයි සිතා හිත හදාගන්නට තරම් අපි ළඟ ද.ක්ෂනයකින් මේ සිතුවිලි ඉපදී නැතිවී ගියේ ය.ඉරේෂා ට දැනුනේ මහා සෙනගක් අතර අතරමං වූවා වැනි හැගීමකි.සැබැවින්ම මේ ප්‍රශ්න ගණනාවක ඇරඹුම ය.
කවීශ හිතාමතා ම ඉරේෂා ගෙන් දුරස් වීමට නිෂ්පල ප්රයත්නයක යෙදුනේය.අන්සතු හදකට පෙම්කල වරදට ලොවට කෙසේ වෙතත් තමාගේ සිතට වැරදිකරුවකු වීමට නොහැක.තබන කෙටි පණිවිඩය කට පිළිතුරු ලැබෙන්නට අවම වශයෙන් දිනක් වත ගතවීම දැන් පුරුදු ය.ඈට වදයක් වීමට අවශ්‍ය නැත.එනමුත් ගුඩ් නයිට් එකක් වත් නැතිව ජීවත් වීමට තරම් සිතට වාරු නැත.තම ආදරය කියන්නට යාමෙන් ආදරය කෙසේ වෙතත් මේ ලැබෙන කෙටි පණිවිඩයත් නැතිකර ගන්නට උවමනා නැත.බොහෝ රැයවල් ගෙවෙන්නේ මෙවන් සිතිවිලි පඹගාල් මතය.දුරකථනය නාද වූ නිසා සිතිවිලි දැහැන බිඳුනි.
"හෙලෝ කවීශ මල්ලි උදව්වක් ඉල්ලගන්න කතා කලේ "ඒ ගීත වත් හඬ දුබලව ඇති සෙයකි.හිත ගැස්සී ගියේ මක්නිසා දැයි නොදැනේ.
"අනේ කියන්න අක්කා පුලුවන් දෙයක්නම් කරල දෙන්නම්..ඔයාට නොකරන උදව් තියෙනවද"
ඒ තරමට ම මාව වටිනවාද ?හිත නැගි වදන් ඉරේෂා මුවින් පිටනොකලාය.
"නුවර අවටින් කාමරය ක් හොයාගන්න බැරිද මල්ලියො අඩු ගානකට"
ඇගේ වදන් වල තිබූ අසරණ බව කවීශ ගේ හද විනිවිඳ ගියේය.
"ඒ මොකෝ අනේ නුවර පදිංචි වෙන්නද හදන්නෙ"
"නෑ කොල්ලො ඔපරේෂන් එක දවස් ටිකට අම්මලාට ඉන්න."
"කාගෙ ඔපරේෂන් එකද අක්කා"
"මගෙ කොල්ලො වෙන කාගෙද.."
"කොහෙ ඔපරේෂන් එකක්ද..අනේ අක්කා ඔහොම කරන්නෙ ඇයි කියන්නකො..මල්ලි කියල හිතල වත් කියන්න යුතුකම ක් නැද්ද ..කවද්ද ඔපරේෂන් එක එතකොට"
ඔය චෝදනාවට මා වැරදිකරු ස්වාමීනී.
"අද ඩිසයිඩ් කලේ මල්ලි ..වූම්බ් එකෙයි ඕවරි වලයි ගෙඩි වගේ කියල මම කිව්වනෙ ඔයාට"ඉරේෂා කතාව මග හැරීමට වෙර දැරුවාය.
"හරි හරි බොරු නොකියා ඉන්නකො ..ඇයි අයියා කැමති නැද්ද මාත් එක්ක කතා කරනව ට..මහ නපුරුයි ඔයා හිතුවට වඩා"
"අනේ පැටියො විශ්වාස කරන්නකො ඉතිං..අයියා නම් මොකුත් කීවෙ නෑ සමාධි තමා කිව්වෙ මල්ලි දන්නව ඇති පේරෙ හිටි නිසා කියල..නපුරුයි කියන්නෙ දැං ,කොහොම කියල ද හිතං හිටියෙ එතකොට "
"සුදට ඉන්න නිසා හාව වගේ අහිංසක ඇති කියල හිතුවෙ"
මේ අවනඩුව කාට නම් කියන්නද ඉරේෂා අසරණ ව උන්නාය.
"හරි හරි සොරි ඔන්න "
"යන්න යන්න..මම දන්න තැන් නම් තියේ ටිකක් හොයල බලන්න ඕන ෆැමිලි එක්කට ටික දවසකට ඉන්න එකක් සෙට් කරගන්න නම් ටිකක් අමාරු වෙයි..ඔය ඒරියා එකම ස්ටුඩන්ට්ල ටාගට් කරන්නෙ ඉන්නෙ කලාතුරකින් තමා ඔහොම එකක් සෙට් වෙන්නෙ.මම බලලා නපුරු ආච්චි ට කෝල් එකක් දෙන්නම්"මේ සොඳුරු තරවටුවේ නිමක් නැත.
"හා සීයේ..බුදු සරණයි "හිනාවෙමින් ඉරේෂා කීවාය .
මාස ගනණකට හිත පුරා සිනාසුනේ අදය.
හිතට සතුටක් ගලාවිත් තිබේ.ඒ සතුට රැගෙන ආවෙ ඔහු යි.
"මොකද ලොකූ තනියම හිනා වෙන්නෙ "තේ කෝප්පයක් රැගෙන ඈ අසලට පැමිණි අම්මා ඇසුවෙ සතුටු සිතිනි.මෑත කාලය පුරාම ලොක්කි පසු වූයේ හැඬූ කඳුලෙනි .ජීවිතේ පුරාවට දුකට හොරා සිනාසුනු තමාගේ වන් ජීවිතයක් තම දරුවන්ට උරුම නොවේවායි ඈ නිරන්තරයෙන් පැතුවාය.
"නෑ මේ කවීශ මල්ලිට කතා කලා අම්මෙ අර ගෙයක් හොයාගන්න වැඩේට..ඒ කොල්ලට පිස්සු අනේ"
"හ්ම්ම් ..මොකෝ කියන්නෙ ..ඕවට වියදම් කරන්න සල්ලි තියෙද ලොකූ..බන්දුල පුතා මොකද කිව්වෙ.එයාලගෙ නෑයො ඉන්නව නේද නුවර "
"අනේ අනේ පිස්සුද ඒ මිනිස්සු න්ගෙ ගෙවල් වල ඉන්න"
අම්මා නොදන්නා බොහොමයක් දේ සිදුවෙමින් තිබේ.ඒ ගිනිද අම්මා වෙත පැවරිය යුතු නැත.
එදා චැනලිං සෙන්ටර් එකෙන් පිටවූ මොහොතේ පටන් පෙර පැවති සුහදතාවය වත් නැති තරම්ය .දරුවකු යනු ජීවිතේ තවත් එක් අත්දැකීමක් පමණක් ම නොවේද .මා හිතා මතා එය ඔබෙන් උදුරාගත්තේ නැත.
***
"මේ කවීශ උඹ දන්නවද වැඩක් ...අපේ බොසා හෙට අනිද්ද ට කම්පැනි එක දුවට දෙන්න යනව කියන්නෙ"රවී තේ කෝප්පයක් රැගෙන කවීශ ඇතුළු පිරිස අසලින් අසුන් ගත්තේය.
"නෑ සිරාවට එහෙනම් ජොබ දාල යන්න තමා වෙන්නෙ..ගෑණු එක්ක කරන්න බෑ බං"
"ගෑණු එක්ක බැරි නම් කා එක්කද පුලුවන් " සැමවිටම මොකක් හෝ ව්‍යංගයක් කීමට කට හදාගෙන උන් විජේසුරිය මහතා කීවේ සැවොම හිනා ගස්සමිනි.
"උඹ දැක්කනම් ඔහොම කියන් නෑ ...අම්මෝ ඒක."නිසල් ද කතාවට හවුල් වුනේය.
"මම දැකලම නෑනෙ බං ..හැඩද.."
"හැඩ පෙනෙයි ගිනි බෝම්බයක් මහ, පොලව ට අඩියක් උඩින් ඉන්නෙ හෙන ෂෝ එකක් දැම්ම දවසක් ඇවිත්"
"කම්පැනි එකට කෙලවෙන්න වැඩක් ඉතිං ඔය"
"යකෝ එහෙම කියන්න එපා මල්ලිලා නවකයන්ට අපි අවස්ථාව දෙන්න ඕන"ඒ විජේසුරිය මහතාය
"අපි බලමුකො"
තේ විරාමය අවසන් වීම නිසා පිරිස විසිර ගියහ.
සතියකට පමණ පසුව එලඹි මදාරා ඉද්දමල්ගොඩ මෙනවියගේ උපන්දිනය නිමිත්තෙන් ආයතනයේ කළමනාකාර අදිකාරි තනතුර ඇයට පිරිනමන ලදී.බටහිර පන්නයට මොනවට ගැලපෙන පෙනුමක් තිබූ මදාරා දුටු විටම කවීශ ට හැඟුනේ මහා ආඩම්බරකාර එකියක් කියාය.කහ පාට ඔෆිස් බ්ලවුසය ඇඟේ හැඩ දාර මතුවී පෙනන දනහිසට අඟල් දෙක තුනකට උඩින් කෙලවර වන කලු සායකට යටකර තිබේ.සැබෑ සමේ පාට නොපෙනෙන තරම් මෙකප් තට්ටු කීපයක් මුහුණ වසාගෙන ඇත.පැහුණු වී කරලක් බඳු ඉද්දමල්ගොඩ මහතාගේ නිහතමානී මහත්මාගුණ ඇගේනම් දක්නට නැත.