තරු කඩා වැටෙන අහසක අතරමං වූ යෞවනියක ගේ බලාපොරොත්තුවේ විලාපය.......
දූවිල්ලෙන් වත්සුනු තවරා.............
දූවිල්ලෙන් වත්සුනු තවරා
කුමර කුමරියන් වී ලෙංගතු ඇසුරේ
වහස් බැළුම් දෙන හැන්දෑවේ..........
නන්නාදුනනා
කය මිස සිත නැති පුරවරයේ
කවුරුන් හෝ තුරුලේ
නිමේශයක්.....
මුමුණාවී රහසින්
ආගිය උන් හිටි තැන් සගවා.............
ගිනි කදු සිරසේ- මළ පුඩු අතරේ
කැදළි සදාවී - මොණර කිරිල්ලී........
රැයකින් රැයකට කුස පිරෙනා
සද සෙවනැල්ලේ..........
සිත ඇති - කය නැති
මිටියාවත ඉවුරේ........
වහස් බැලුම් සගවා......
උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන
පියඹා යාවී.......
මොණර කිරිල්ලී.........
සැඩ සුළගේ......
මුල් ඉදිරී යන් ගස මුදුනේ
නූපන් දවසේ
රන් කිරි කදුළේ......
සිහින දකී වී මොණර කිරිල්ලී..................
සිහින දකී වී.......මොණර කිරිල්ලී............
සමාජය විසින් ඇතිකළ ආර්ථික අමාරුකම් සමහන් කිරීමට ලොව පැරනි ම වෘත්තිය තෝරාගත් යෞවනියක ගේ ශෝකාලාපය, හද පාරවන ලෙස ගෙන එන්නකි, මේ ගීතය. මේ ගායකයා ගැන යමක් කිව යුතුමය. මොරිස්, අපට ආගන්තුක ගායකයෙකු වී නමුදු, අග නුවර තරු හෝටලවල නිශාචර දිවියක් ගෙවන, ගෙවූ අයට නම් ආගන්තුකයෙකු නොවේ. බොක්ස් ගිතාරයක් පමනක් තම ආත්ම කථනය කොට ගෙන තරු හෝටලවල රාත්‍රියෙහි මන්ද්‍ර ස්වරයෙන් ජිම් රීව්ස් ගේ ගීත ගයන ඔහු ගේ ගායනා මා බොහෝ කොට රස විද ඇත්තෙමි. මොරිස් සිංහල ගීත ගයා ඇත්තේ දෙකක් පමනි. මේ ගීතය සහ "ඔබ එන්න-ඔබ ඇවිත් යන්න එන්න" ඒ ගිත දෙකයි. මෙවන් සාධනීය , මධුර, ගැඹුරු ස්වරයක් අපේ හෙල ගිත සදහා අහිමි වීම අප කල කුමන නම් පාපයක් දැයි මට ඔහු ගේ ගීත අසන බොහෝ වර සිහි වෙයි.
දැන් ගීතය.............
සැදැ යාමයේ වීදි බසින පුරගනන් ඇසුරු නොකර වුවද ඔබ දැක ඇතැයි සිතමි. වත්සුණු සහ අනෙක් රූපාලංකරන ද්‍රව්‍ය තවරා ලෙන ඔවුන් තම වෘත්තිය සදහා සවස්යම විදි බසිත්. රචකයා මෙම වත්සුනු දකින්නේ දුවිලි ලෙසටය. ඔවුන් වැටි සිටින අගාධයේ තරම පෙන්වන පළමු යෙදුම රචකයා එලෙස යොදයි. මේ දූලි මුහුනේ තවරා ගෙන කුමර කුමරියන් සේ ඔවුන් නුරා, අහංකාර බැනුම් හෙලමින් තම ගොදුරු සොයා යති. මේ පුරවරය පැහෙන නරකයෙහි යමපල්ලන් බදු ඇග මසට ලොබ බැදි නිරිසතුන් මේ යෞවනියන් පහස පතා ඇදෙති. ඔවුන් ගෙ රැකියාව එයයි. මේ නාදුනන පුරයෙහි, සිත ඇතිවන ආශාවන් පසෙක තබා කය පමණක් සරණ කොටගෙන, කවුරුන් හෝ සළෙලෙක් ගේ තුරුලෙහි, තමා කවුද, කොයිබින් ආවේද යන්න සගවා ඔවුහු තම කය විකුණති.
ගිනි කදු සිරසේ- මළ පුඩු අතරේ
කැදළි සදාවී - මොණර කිරිල්ලී........
රැයකින් රැයකට කුස පිරෙනා
සද සෙවනැල්ලේ..........
සිත ඇති - කය නැති
මිටියාවත ඉවුරේ........
වහස් බැලුම් සගවා......
උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන
පියඹා යාවී.......
මොණර කිරිල්ලී.........
ගණිකා වෘත්තියෙහි අද පවතින සංකීර්ණ සංවිධානාත්මක තත්ත්වය ඔබද දන්නවා ඇත. මේ නාරාවලෙන් මිදී යන තරුනියන් අවසන් වන්නේ නාදුනන මරණයකිනි. නැතහොත් දාමරිකයන් රැසක් අතින් දූෂ්‍ය වීමෙනි. මෙවන් තරුණියන් තම අනාගතය ගැන මවන සිතුම්, විවාහ දිවිය ගැන දකින සිහින රචකයා දකින්නේ ගිනි කදු සිරසේ ද මල පුඩු අතරේ ද කැදළි තැනීමක් ලෙසටය. මේ ජීවිතවල පවතින සැබෑ තත්ත්වය එදිනෙදා යැපීම පමණි. තම සිරුර මෙන්ම තම දිවියද තමාට හිමි නැති බව සංවිධානාත්මක ගණිකා ව්‍යාපාරවල ගොදුරු වු තරුණියෝ දනිති. එනිසා ඔවුන් කරන්නේ තම සිත උදුරා දමා කය පමණක් වහල් කොට ගෙන මුදල් ඉපයිමය. මේ ගීතයේ ප්‍රස්තූතය වන තරුණිය මේ නරාවලින් මිදිමට දරන වෙර, රචකයා උකුසු ඇසක් ගෙන ගුරුලු වෙසක් ගෙන පියඹා යාමට තැත් කිරීමක් ලෙස දකී.
මෙලෙස වෘත්තිය හැරපියා ඉගිල ගිය යුවතියන් පවා අවසන දී තම අතිතය හෙළිවිමෙන් පසුව මුහුණ දෙන ව්‍යසනය, රචකයා කදිමට පෙලගස්වන්නේ පහත පරිදිය.
සැඩ සුළගේ......
මුල් ඉදිරී යන ගස මුදුනේ
නූපන් දවසේ
රන් කිරි කදුළේ......
සිහින දකී වී මොණර කිරිල්ලී..................
සිහින දකී වී.......මොණර කිරිල්ලී............
අතීතය හෙලිවිමෙන් පසුව ඇය විවාහ දිවිය තුළ සැඩ සුළගකට මුහුණ දිය යුතුය. එවිට විවාහ දිවියෙහි මුල් ඉදිරීයයි. මේ වැනි ගසක් මුදුනේ වුවද කැදලි තනා ඇය දකින්නේ මවක් වීමේ කිරි සිහිනයයි. ඇය ඒ නූපන් දවස සහ දරුවෙකු පිලිබද ව සිහින දකී............
සංකීර්ණ සමාජ භාවිතයක් බවට වර්තමානයේ පත්වි ඇති ගණිකා වෘත්තියත්, එහි ඇති අනනුකම්පිය, අමන ස්වරූපයත්, එයින් පලා යාමට සිදුරු සොයනා යුවතියක ගේ කදුල සහ සුසුමත්, බලාපොරොත්තුවත් රචකයා මොනවට සනිටුහන් කොට ඇති සෙයක් දක්නට ලැබෙන ගියකි මෙය.
niyama sinduwa......... theruma wagema melody ekath niyamai!

Last edited:
