නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති 'බුරවි' සුළි කුණාටුව මේ වන විට ගොඩබිමට ඉතා ආසන්නව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පවසයි.
'මව්බිම' කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ, 'බුරවි' සුළි කුණාටුවෙන් කොටසක් පමණක් මේ වන විට ගොඩබිමට පැමිණය ද තවමත් එහි අපිකේන්ද්‍රය ගොඩබිමට පැමිණ නොමැති බවය.
'බුරවි' සුළි කුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්න ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සුළි කුණාටුව සමඟ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80-90 පමණ විය හැකි අතර, විටින්විට එම වේගය පැයට කිලෝ මීටර් 100 දක්වා වැඩි විය හැකිය.
මෙම සුළි කුණාටුව ක්‍රමයෙන් මන්නාරම් බොක්ක වෙත හෙට (3) උදෑසන වනවිට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ.
මෙම තත්ත්වය යටතේ ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පූනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටර 1ක් පමණ ඉහළ යා හැකි අතර වෙරළාසන්න පහත් බිම් මුහුදු ජලයෙන් යට විය හැකිය.
එමෙන් ම, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 100ක් පමණ ඉහළයාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ විටින්විට රළු හෝ දළ රළු විය හැකිය.