මා මිය ගිය දවසක
සොහොන් කොතේ
ලියන්න දුක් ගීයක්
නන්නාඳුනනා ඔබගේ අත් අකුරින්..
අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
රෑහි නඟන රැවු අතරින්
එතකොට ඒ ගී හඬ මට ඇසේවි.
මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කල බව
එතකොට ඒ ගී හඬ මට කියාවි..
මෙම ගීය ගීතයක් බවට පෙරැලීමේ මූලික කටයුත්ත සිදුකරැ ඇත්තේ අමරදේව සූරීහුය. සෝමදාස ඇල්විටිගල සූරිහු තනු නිමැවුම සිදුකර ඇත.
ප්‍රේමය තෙයාකාරය. දෙමවුපියන් දරුවනට දක්වන ප්‍රේමය මෙත්තාව මුල් කොට පවතී. සහෝදර සහෝදරියන්, මිතුරු මිතුරියන් අතර පවතින ප්‍රේමය කරුණාව හා මුදිතාව මුල්කොට පවතී. පෙවතුන්, අඹු සැමියන් අතර පවතින ප්‍රේමය රාගය මුල් කොට පවතී.යටකී ප්‍රේමය අතරින් යමෙක් වඩාත්ම පෙම් බදින්නේ රාගය මුල් කොටගත් ප්‍රේමය බව මගේ ඇදහීමයි. ප්‍රේමය රාගයෙන් තොරයැයි මම දැඩිව ප්‍රතික්ශේප කරමි. එම ප්‍රේමයට අප වඩාත්ම පෙම් බදින්නේ පසදුරන් එක් වර පින වියහැකි එකම අයුර එය නිසා බව තතු දන්නන් පවසා තිබේ.
යව්වන මදය කිපුණු දා පටන් මියයන් තුරුම පිරිමියෙකු ප්‍රේමයට ඇලුම් කරයි. එය ලැබෙන තුරු දෑස් දල්වා ආශාවෙන් බලා සිටී.
ප්‍රේමය සියල්ලන්ටම ලැබෙන්නේ නැත. ඇතමෙක්ට තමන් ඇළුම් කරන්නා නොලැබේ. ඇළුම් කරන්නා/කරන්නිය ලදුවත් කාලාණුරූපීව පෙම පිරිහේ. ප්‍රේමය යනු හුදු රාගය යැයි සිතන්නෝද, රාගය අරමුණුකරගෙන පෙම් කරන්නෝද සමාජයේ වෙසෙති. සිතූ ලෙස ප්‍රේමය ආස්වාදනය කරන්නෝ සමාජයේ විරලය. එවැන්නන් ඉතා වාසනාවන්තය. ප්‍රේමය නොලැබීමෙන් හෝ බිදීමෙන් අත්දකින විරහව රසයක් ඇති කරයි. එම රසය සදාකාලික ප්‍රේම ප්රාර්තනාවන්ට බලාපොරොත්තු දල්වයි.
අපගේ භවුතික ශරීරය මිය ගිය පසු මෙලොවට ආයුබෝවන් කියමු. මෙලොවට යම් බැදීමක් වෙත්ද එය සොහොන් බිමෙන් අවසන් වේ. නාම කාය මෙහි තබා අප නික්ම යන්නෙමු. මෙම ගීයට පදනම් වී ඇත්තේ ප්‍රේමය අත් නොදැක මිය ගිය අයෙක්ගේ සුසානය දක්වාම රැගෙන යන අවසන් බලාපොරොත්තුවයි. මොලොව පෙම්කිරීම්ට කිසිවෙක් අහිමිව මියයෑම, කොතරම් ශෝක ජනකද? මෙම ගීයේ විරහව විදින්නා තවම මිය ගොස් නැත. එනමුදු, ඔහුගේ ප්‍රේමය පිලිභද බලාපොරොත්තුවෙන් ඉතිරිව ඇත්තේ අංශු මාත්‍රයක් පමණි. තමාට මේ ලොව යම් උරුමක්කරුවෙකු ඇති බවට ඔහු අදහයි. එම උරුමකරුවා මරණය තෙක්ම මුණ නොගැසෙන බව ඔහුට අවබෝද වී ඇත. එබැවින් මරණයෙන පසු හෝ ඔහුගේ නිසල සොහොනට පැමිණ ප්‍රේමය සොහොන් කොතේ දුක් ගීයක් ලෙස සටහන් තබන ලෙස ආයාචනා කරයි.
එම දුක් ගීතයේ ස්වරය මහරෑක, රෑහි රාවයන් අතරින් අසා, මේ ලොව යම් කිසිවෙක් තමාට පෙම් කල බව දැන සැනසීම අරමුණු කොට ගෙන තිබේ.
හෙල කලා කෙත අස්වැද්දූ මහගම සේකරයන්ගේ නිර්මාණ ප්‍රතිභාව මැනවින් ප්‍රකට කරන ගීයක් ලෙස මෙම ගීතය හදුන්වාදිය හැකිය. කොතරම් ඇසූ පිරූ තැන් ඇති උගතෙකු වුවත්, එතුමා මනා සංයමයකින්, ඉතා සීමිත වචන පරාසයක් තුල අසන්නා තුල භාවාතිශය හැගීම් දනව න ආකාරයට ගීත ලිවීමේ සමත් කම් දක්වයි. මෙම යෙදුම් විමසා බලන්න.
අඩ සද බැසගෙන යන සද
සීතල අදුරු රැයක....
එතකොට ඒ ගී රාවය...
හීන් හඩින් මට කියාවි...
මරණය අප අත්දකින්නේ ජීවිතයේ අන්තිම කෙලවරේදීය. එම අත්දැකීම් කිනම් අයුරුදැයි කුතුහලයත්, ආගමික දර්ශනත් හැර, එය පැහැදිලි කිරීමට සමතෙ නොවේ. මාණය සුන්දරව දැකිය නොහැකිද? මහගම සේකර තරම් මරණය විචිත්රව දුටු අයෙක් අපේ ගීත සාහිත්‍යය තුල නොමැත. අකල්හිම අපෙන් නික්ම ගිය එතුමානෝ මෙම ගීයේ පදනමට සමාන පදනමක් ඇති කවි පෙලක් මේ අයුරින් පරසතු මල් චිත්‍රපටයේ තේමා පාඨය ලෙස රචනා කර ඇත.
බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ
දෙනිපෙත අඩනහිරියා මල් පිපුණාවේ
මා ආදරය දුටුබව නොම හැඟුණාවේ
මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ…..
එතුමාගේ පලමුවන ආක්‍යාන කාව්‍යය වන නොමියෙමි කවි පොතේ එතුමා මෙලෙස මරණය පිලිබදව සමරයි.
මන්ද ඔතන උඹ හැංගී කරන්නේ
අන්ධකාර සළු පොරවා වැනෙන්නේ
නින්ද නැතුව මම පැදුරේ දපන්නේ
නින්ද සදාකාලික කොට දියන්නේ
"නින්ද සදාකාලික කොට දියන්නේ" යනු මරණයට අත වැනීමයි.
මෙම ගීතයට සෝමදාස ඇල්විටිගල ශූරින් සිදු කල තනු නිර්මාණය ඉතාමත් විශ්ෂ්ඨය. මක් නිසාද යත් සත් සමුදුර ගීතයේ සංගීතයෙන් සමුද්‍ර ඝෝශය නැගෙන්නක් මෙන් මෙම ගීතයේ සංගීතය තුලින් මැවින්නේ රැහැයි හඩ පමණක් ඇසෙන පාළු සොහොන් පිටියක ඇති ගුප්ත නිහැඩියාවයි. ඉතා සරලව සිතාරය හා වයලීනය පමණක් යොදා ඇති එම නිර්මාණය සේකරගේ සියුම්, සරල පද මාලාවටත්, අමරදේවයන්ගේ භාව පූර්ණ ගැඹුරු කට හඩටත් මනාව ගැලපේ.
ප. ලි : මේ විචාරය ඉතා අසම්පූර්ණ විචාරයකි. මෙම ගීතය පිළිඹදව පොතක් වුවත් ලිවිය හැකි බව මගේ අතිශය පුද්ගලික මතයයි.