හීල්ඔය සංචාරය

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    WpWM5l2.jpg



    සංචාරක ඉසව් අතරට මෑතක දී එකතුවුණු පාරිසරික සංචාරක තැනක් තමයි මහනුවරට තරමක් නුදුරින් දුම්බර කඳුකරයට මායිම්ව පිහිටි පොද්දල්ගොඩ හීල්ඔය කියන්නේ. මේ ගමට යන අපට විඳගන්න ලැබෙන්නේ අද සමාජයෙන් දශක කිහිපයක් ඈත සිදුවුණු දේවල්. පුරාණ ගමක අත්දැකීම විඳ ගනිමින් ඉතා සුන්දර පරිසරයක මිහිර විඳ ගැනීමටත් හීල්ඔය ගමනෙදි ඔබට ඉඩ ලැබෙනවා.

    zKFF4aY.jpg

    ගමට යන සංචාරකයෝ – Sinhala.nbsl.com


    යන්නේ කොහොමද?​

    ගම දක්වාම මෑතකදී කාපට් පාරක් තනා ඇති නිසා එයට පිවිසීම නම් පහසුයි. මහනුවර මහියංගනය පාරේ තෙල්දෙණීය නගරයේ සිට මහියංගනය පැත්තට මඳ දුරක් ගොස් රංගල පාර ඔස්සේ ගමන් කිරීමෙන් දුම්බර මායිමේ පිහිටි මේ ගමට පැමිණිය හැකි යි. මහනුවර සිට සිට ගමට දුර කිලෝ මීටර 34ක් පමණ වෙනවා. ගම ඇතුළේ නම් කඳු බෑවුමේ ඇවිදින්න සිදුවන්නේ පාගමනින් තම යි.

    අහස උසට නැඟී සිටින කඳුවැටි, වනාන්තර මෙන් ම හෙල්මළු කුඹුරුත් ගමේ සුන්දරත්වය ඉහළ නංවනවා. හෙක්ටයාර 21,000 ක් පමණ පුදේශයක් පුරා පැතිර යන දුම්බර කඳුකරයේ උස් මුදුන්, මිහිදුම් අතරින් මේ ගමට දිස් වෙනවා. කුරුකොහොගම, වටගල, දකුණු දොරලියද්ද, මාලිගාවෙල ආදී ගම්මානත් මේ අවට පැතිර තිබෙනවා.


    PTWJjz5.jpg

    කඳු අතර හැංගුණු ගමක් – Nefelibatatravels.com

    හීල්ඔයෙන් මීමුරේට​

    හීල්ඔය සිට රංගල ගොඩමුදුන, එලගොල්ල හරහා මීමුරේට යාහැකි යි. එය පුරාණයේ දුම්බර වැසියක් මහනුවරට පැමිණීමට යොදා ගත් අඩිපාරක්. ප්‍රකට සංචාරක ගම්මානයක් වී ඇති මීමුරේ අද වනවිට දුෂ්කර බව තරමක් අවම වූ ගම්මානයක් සේ සැලකෙනවා. පුරාණයේ මීමුරේ වැසියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගක් වුණේ නගරයට දඩමස් සැපයීම.

    වේලූ ගෝනමස් මිටි බඳිමින් නුවර ටවුමට ගොස් සල්ලි කර ගන්නා මීමුරේ ජනතාව නැවතත් තම ගමට යන්නේ හීල් ඔය හරහා යි. පසුව මීමුරේට මාර්ග පහසුකම් ලැබීමත් සමඟ හීල් ඔය හරහා මීමුරේට වැටී තිබුණු පාරත් අභාවයට ගොස් තිබෙනවා.

    nLFrgYe.jpg

    කුඹුරු සකස් කරමින් – bestoflanka.com



    ගමේ ජනතාව ජිවත් වන්නේ වී වගාව, ගෙවතුවල සිදු කරන එළවළු, පලතුරු හා කුළුබඩු බෝග වගාව, කිරිහරකුන්, එළුවන් වැනි සත්ව පාලනය කරමින්. ඔවුන්ගේ ජිවිතය අදටත් නගරයට වඩා සරලයි.

    කිතුල්ගස්වල කිතුල් පැණි ලබා ගෙන හකුරු සැදීමත් ඔවුන් කරනවා. මීමැසි පාලනය සහ අත්කම් භාණ්ඩ තැනීමත් සිදුවෙනවා. ගමේ සමහරුන් පාරම්පරික නර්තනයටත් දක්ෂ යි.


    IP4V4e3.jpg

    4 හීල් ඔය නිම්නය- සංචාරක ජීවිතේ facebook page




    හීල් ඔය​

    පොද්දල්ගොඩ ගමට මෑතකදී හීල් ඔය නම වැටී ඇත්තේ හුළු ගඟේ අතු ගංගාවක් වන හීල් ඔය මේ ගම මැදින් ගලා බසින නිස යි. එම අතු ගංගාවේ දියඇලි, ජල තටාක ගමට විශාල සුන්දරත්වයක් ගේනවා.

    ගල්මල් ඔය සහ පොද්දල්ගොඩ ඔයත් මේ අවට පෙදෙස් සරුසාර කරමින් අලංකාර දියඇලි මවමින් ගලා බසිනවා. මේ ජල මාර්ගවල ජලය මහවැලි ගංගාවටයි පසු ව එකතු වන්නේ. හීල් ඔයෙන් තැනෙන දියඇල්ල මෙහි අලංකාර ස්ථානයක්.

    BLGVeqj.jpg

    ගමේ ඇවිදින සංචාරකයන්- bestoflanka.com



    ප්‍රජා සත්කාරක සංචරණය​

    මේ ගම පසුගිය කාලයේ ප්‍රජා සත්කාරක සංචාරක ගම්මානයක් ලෙස සංචාරක අමාත්‍යංශය මඟින් සංවර්ධනය කිරීමට යෝජිත ගම්මානයක් ලෙස පැවතුණා. හීල් ඔය 2015 වසරේදී “ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණ ගම්මානයක්” ලෙසටත් නම් කර තිබෙනවා.

    2020 වර්ෂයේ දී එවැනි වැඩසටහනක් පටන් ගත්ත ද කොවිඩ් අවදානම පැමිණීමත් සමඟ එම වැඩකටයුතු ඇනහිටි බවයි පේන්නේ. හීල්ඔයට අමතර ව මෙදේරිපිටිය, ඇටන්වල, බෝඹුරු ඇල්ල, හීලෝගම යන ගම්මානත් එම සංවර්ධන ව්‍යාපෘතිය යටතට අයත් වුණා. මේ ගම්මාන විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත කිරීම සඳහා විවිධ පියවර ගැනීමටත් සැලසුම් කර තිබුණා.

    කෙසේ වුවත් පසුගිය කාලයේත් හීල්ඔයට දේශීය මෙන් ම විදේශීය සංචාරකයන් ද පැමිණීම සිදු වුණා. මෙහි දී සිදුවන්නේ සංචාරකයන්ට අවන්හල් වැනි පහසුකම් වෙනුවට ගමේ ගැමි නිවෙස්වල සකසන ආහාර ලබා ගනිමින් ගැමි අත්දැකීමට සමීප වීමට අවස්ථාව ලැබීම යි.

    uhmx5J7.jpg

    ගමේ කෙත් යායේ අලංකාරය- travel srilanka facebook page



    මධ්‍යම පළාත් සංචාරක අමාත්‍යංශයෙන් ද හීල් ඔය විවිධ සංචාරක වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. හීල් ඔය ගම හරහා දිවෙන පාර දිගේ ගමේ විශේෂ තැන්වලට යා යුතු පාරවල් ඊතල යොදා සටහන් කර තිබෙනවා.

    ඒවා සකස් කර ඇත්තේ හීල් ඔය සංචාරක ගම්මානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් වෙළෙඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව මගින්. පෙරුමාල් මළ ඇල්ල, වරිග සභාව, කඩතුරා ගල්ලෙන, ගල් කමත, කළුදිය පොකුණ, වී අටුව එවැනි තැන් කිහිපයක්.



    3VetXH6.jpg

    වරිග සභාව පැවති තැන – green hill cottage facebook page




    ගමේ නඩු අහපු වරිග සභාව​

    පුරාණ ගම්වල වැරැද්දක් කළවිට එය විමසා බලා තීන්දුව ලබා දුන් තැන තමයි වරිග සභාව කියන්නේ. රජරට ප්‍රදේශයේ වරිග සභාව තදින් ක්‍රියාත්මක වූ බව ඉතිහාසය දෙස බලන විට පේනවා. මේ ගමේ අවුරුදු පන්සියයක් මුළුල්ලේ වරිග සභාව ක්‍රියාත්මක වූ බව පැවසෙනවා. පසුකාලීනව නීතිරීති පැමිණ වරිග සභා ක්‍රමය අහෝසි වුණත් අදටත් පැරණි වරිග සභාව පැවැත්වූ ගල්ගෙඩි සහිත ස්ථානයක් දැකගත හැකි යි.

    වරිග සභාවේ සිටි අවසාන නායකයා ලෙස සැලකෙන්නේ සඟරාජ බණ්ඩායි. වියපත් ව සිටි ඔහු ඔහු මීට අවුරුදු කීපයකට පෙර මිය ගොස් තිබෙනවා. ගමේ නායකයා වගේම අවට ගම් නායකයොත් වරිග සභාවට එකතු වී පවුල් ආරවුල්, ඉඩම්වල ප්‍රශ්න, කුඹුරු ප්‍රශ්න, වතුර බෙදාගැනීම ගැන, රජවාසලෙන් දෙන නියෝග ගැන එහෙම සාකච්ඡා කර තිබෙනවා. කෝරළේ මහත්තයා ගම්බිම්වල යන අතරතුර ගම්වල නායකයන් මුණගැසුණු තැන වූයේ ද මේ වරිග සභාවයි.

    dmRcSM2.jpg

    ගමේ ලෙනක් – සංචාරේ facebook page




    පුරාණ අටුව​

    ගමේ කුඹුරුවලින් පුරාණයේ වැඩි හරියක් අයිති ව තිබුණේ පුරාණ රජ කාලේ පූජා කළ විහාරයට යි. මේ අස්වැන්නෙන් ගොවීන්ට අයිති කොටස් තබා ගෙන ඉතිරිය පුරාණ වීඅටුවේ තැන්පත් කිරීම එකල සිදුවුණා.

    මේ ඉඩම් බඹරගල පන්සලට අයත් බවයි ගැමියන් පවසන්නේ. අටුව පිහිටා ඇත්තේ දුෂ්කර කඳු බෑවුමක යි. මේ අටුව අද වනවිට දිරාපත් ව තිබුණත් එකල බොහෝ වී ගබඩා කළ තැනක් බව පේනවා.



    FeNmAnT.jpg

    කළුදිය පොකුණ සහ ඇල්ල – සංජීව ඒකනායක facebook page



    අන්තිම රජුගේ අන්තිම කාලය​

    XOSf0wR.jpg


    වර්ෂ 1815 දී ඉංග්‍රීසි අත්අඩංගුවට ගැනුණු උඩරට අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු, හීල් ඔය ගමට නිතර ආව ගිය රජෙක් ලෙස සැලකෙනවා. ඔහුට පෙර කීර්ති ශ්‍රී රාජසිංහ රජුත් හීල් ඔය ගමට උපකාර කර තිබෙනවා. ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණය කරන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මාලිගාවෙන් පැනලා ගොස් හීල් ඔය ගමේ දින කිහිපයක් සැඟ ව සිටි බව පැවසෙනවා.

    ඒ කාලේ රජ්ජුරුවෝ නාලා තියෙන්නේ අද කළුදිය පොකුණ නමින් හඳුන්වන හීල්ඔයෙන් තැනී ඇති ජල තටාකයෙන් බව ජන විශ්වාසය යි. මෙහි අවට පරිසරයේ අඳුරු ස්වරූපය නිසාත්, දිය තාටාකයේ කළු පැහැය නිසාත් තමයි කළුදිය පොකුණ කියලා එය හඳුන්වන්නේ. ඇදවැටෙන කුඩා දියඇල්ලට පිටුපසින් ගල්ගුහාවක් තිබෙනවා. පසුව ශ්‍රී වික්‍රම රජු මෙහි සිට මැදමහනුවරට ගොස් සැඟ ව සිටිය දී ඉංග්‍රීසින් අත්අඩංගුවට ගත්තා.



    ගල්කමත​

    ගල් කමත යනු දැවැන්ත ගල් කුට්ටි පොළොවට බස්සවමින් සකස් කර ඇති කමතක්. පුරාණයේ මඩ සහිත පොළොව සවිමත් බිමක් කර වී පාගා ගැනීමට යොදා ගත් උපක්‍රමයක් තමයි පොළොවට ගල්පතුරු අල්ලා ගැනීම. මේ ගල්පතුරු පොළොවට බස්වන්නේ ඇතුන් ලවා පෑගීමෙන් බවත් පැවසෙනවා. සියවස් ගණනාවක් තිස්සේ පැවති ගල් කමත් අදටත් සමහර ගම්මානවල කලාතුරකින් දකින්නට ලැබෙනවා. එවැනි ගල්කමතක් තමයි හීල්ඔයට යන අපට දකින්න ලැබෙන්නේ


    මුලාශ්‍ර:
    බ්ලොගර් - කුසුන්සිරි විජේවර්ධන

    රෝර්මිඩියා
    bestoflanka.com
    Lankasnews. com
    Deshaya.lk
    nefelibatatravels.com