උදේම නැගිටල හුජ්ජ කරන්න පිළිකන්නට ගියාම හේස් වත්ත තමා පේන්නේ මටත් සහෝදරයා.. ඔව් හිතාගන්න පුලුවන්. ඔයිට සමාන අත්දැකීමක් මමත් විදිනවා. ඒකයි හිතුවේ වැඩේ පටන් ගන්න...
ඉතාම සන්තෝසයි ඔබ ඒ පැත්තේ කෙනෙක් බව දැනගත්ත එකට. බුත්කන්දේ, බොරලුවගෙඅයින උප තැපැල් කන්තෝරුව ලඟින් ඉහලට නැග්ගාම තියන "සිරි ලෑන්ඩ්" කියන වත්ත ගැනයි මම කියුවේ. අපේ තාත්තාට කවදාවත් ඒ වත්තෙන් ලාබයක් ලැබුනේ නැහැ. නමුත් ඒකේ තියන බංගලාවේ ඉඳන් බැලුවාම මුළු ලංකාවෙන් බාගයක්ම පේනවා. රෑට ලයිට් හවුස් 14 ක ලයිට් පේනවා. ඒ කාලයේ (70/80 දශක වල) කුඩා රාවණා හා මහා රාවණා ඇතුළුව බේරුවල දක්වා තියන ඔක්කොම ලයිට් හවුස් සහ ඇඹිලිපිටිය, මාතර, ගාල්ල සහ අනිකුත් සමුද්‍රාසන්න නගර වල ආලෝකය රාත්‍රියට ඉතාම ලස්සන දසුනක් මවනවා. මේ ඉඩම පාඩු පිට උනත් විකුනන්නේ නැතිව තියාගෙන හිටියේ ඒ ලස්සන නිසායි. අවාසනාවට අපිට ඒ ඉඩම රැක බලාගන්න බැරිකම නිසා 80 දශකයේ මැද දී විකුණා දැමුවා. 1990 දී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය උන මම විශ්‍රාම (වයස 67 උනාම ඒ කියන්නේ 2029 දී)ගත්තාම නැවත ලංකාවට පැමිණ ජීවිතයේ අවසාන භාගය ලංකාවේ ගතකරනවා කියලත්, හැකි නම් ඒ ඉඩම නැවත මිලදී අරං(එහි වටිනාකමට වඩා වැඩි මුදලක් හෝ ගෙවා) එහි ආස්වාදය ලබනවා කියලත් (යුද්දේ ඉවර උනාට පස්සේ) මගේ හිතේ තිබුනා. නමුත් දැන් ඒ අදහස් අත හැර දමා, ඉඳ හිට නිවාඩුවකට ලංකාවට යනවා විනා, වැඩි වැඩ නොකරන බවට මම, මටම සපථ කරගෙන ඉන්නවා.
හේස් වත්ත පෙනෙන තෙක් මානයේ ජීවත් වන ඔබ, අප හැමෝටම වඩා වාසනාවන්තයෙකු බව හිතේ තබා ගන්න. ඔබේ කටයුතු සාර්ථක වීමට මගේ සුභ පැතුම්.