හීල (උදේ ආහාරය) රැගෙන බුලත් විටක්ද කටේ හලා ගත් දෙමිතුරෝ සෙසු අය සමඟ ගොයම් පෑගීමට අවතීර්ණ වූහ. ජයතුංග ඉදිරිපෙළ හරක් ගැලතුම (එකට ඈ¹ සිටි මී ගවයන් සිව්දෙනා) දක්කන අතර ප්‍රේමපාල දැති ගහ (ගොයම් පෑගීමේදී භාවිත කරන උපකරණයකි) අතට ගත්තේය.
මෙසේ ආරම්භ වූ ගොයම් පෑගීම නිමා වන විට එදින මැදියම් රැය පසු වී තිබිණි. පාවරට එකතු කළ බැත සුළං කිරීම පසු දින සවසට කල් තැබූ කුඹුර හිමි යකෝරිස් ගම්බාර මහතා වැඩ අවසන් කළ අය සඳහා තේ කහට පිළියෙල කිරීමට ගොවියාට නියම කළේය. තේ පානයෙන් පසු ළඟ පාත සිට වැඩට පැමිණි අය ගෙවල්වලට ගියහ. ප්‍රේමපාල හා ජයතුංගට බොහෝදුර යැමට ඇති හෙයින් ගම්බාර මහතා ඔවුන්ට නතර වන ලෙස කීය.
එබස් ගණනකට නොගත් දෙමිතුරෝ මහ නියර දිගේ ගමන් කළහ. කුඹුරු යායේ බොහෝ තැන්වල පැට්රල් මැක්ස් ලාම්පු දැල්වේ. ඒ ගොයම් පාගන කමත්වලය. ගම්මානයට පිවිසිස්ය ද එහි ඇත්තේ දැඩි නිහැඬියාවකි. ඉඳ හිට ඈත බල්ලෙක් බුරනු ඇසේ. නිදා ගෙන හෝ මිනිසුන් සිස්ටින නිසා ඔවුන්ට පාලුවක් නොදැනේ. ඊළඟට ඔවුන් පිවිසියේ ජන ශූන්‍ය කැලෑ පෙදෙසකටය. බටහිර අහසේ සිට අඩ සඳ පලුව හෙළන රැස් අඳුර තුනී කරයි. එහෙත් අතු පතර නිසා බොහෝ තැන්හි අඳුර රජ කරයි. "මේ හරියෙ දවල්ටත් මිනිස්සු යන්නෙ බයෙන්. හොරු ඉන්නවා" ප්‍රේමපාලට සිහි විය. නරිත් හූ කියන හඬක් සමීපයෙන් ඇසුණි. ප්රේමපාලගේ ගත හිරිගඩු පිපුණි. හේ අත රැඳි දැති ගහ තරකොට අල්ලා ගත්තේය. ටික වේලාවකින් නරි නිහඬ වූහ. අඳුරේ වුවද සුදු පාටින් ලෙළ දෙන ගොක් කොළ සමූහයක් ප්රේමපාලගේ නෙත ගැටුණි. සොහොන් බිම සමීපයෙන් ගමන් කරන බව වටහාගත් ප්‍රේමපාල මිතුරාට වඩා ඉදිරියෙන් ගමන් කරන්නට විය. "මේ හරියෙ තමයි, මෝහිණිගේ අවතාරෙ තිබුණේ." ප්‍රේමපාලට අතීතය සිහි විය. සිතට එන බිය ජනක සිතුවිලි මැඬලන්නට හේ උත්සුක විය. "ජයේ, උඹ අර ඒ දවස්වල රෑට රෑට කුසුමා බලන්න යද්දී පොල් වළේඅ වැටුණු හැටි කියාපංකො." ප්‍රේමපාල මිතුරාට කීය. "උඹ මේ මක්ක කියනවයි? බං" මම තාම ඒ වැටුණු වළෙන් ගොඩ එන්න බැරුව දඟලනව." ජයතුංග කීය. එය සිනා උපදවන පිළිතුරක් නොවූවද, ප්‍රේමපාල මහ හඬින් සිනාසුණේ හිතේ වූ බියද එළියට විසි කරන්නට මෙනි. කතාවෙන් කතාවෙන් දෙදෙනා තම ගම්මානයට ළඟා වූහ. ගෙවල්වලට යැමට වෙන්විය යුතුයි. "මම එහෙනම් දිගට යනවා. උඹට මේ ඩිංග යන්න ඇහැකි නොවැ?" ජයතුංග කීය. "පුළුවන්, පුළුවන්, මම අඩියට දෙකට යන්නම්. උඹ පලයං" දෙමිතුරෝ වෙන්වූහ. ප්‍රේමපාල අඩි පාර දිගේ ඉදිරියට ඇදෙයි. සඳ එළිය මඳ වුවද ඉන් මඟ පෙන්වයි. පූසන් දෙදෙනෙක් පොර කන හඬ සවනට වැටුණු ප්රේමපාලගේ සිත ගැස්සිණි. විසකුරු සතුන් පාරේ ඇද්දැයි බියෙන් ද සිත වෙළී යයි. දතිගහ බිම අද්දවමින් ඔහු ඉදිරියට ගියේ එවැනි සතුන් සිටී නම් පාරෙන් ඉවත්ව යැමටය.