දැන් කොහෙන්ද ශලනිව හොයන්නේ..? ආපහු ගෙදර එද්දි මගේ හිතේ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඒකයි.. අඩු ගානෙ ශලනිගෙ ගෙදර ළගට ගියාට, ඒ ළග ගෙදරකින්වත් එයාලා ගැන අහන්න තරමෙ අදහසක් මට ආවෙ නෑ.. හරියට මං ඒ වැඩේ කෙරුවෙ කරන්නං වාලෙ කියලා මටම තේරුණා.. නිරෝෂි ඉස්සරහ වීරයා වගේ වැඩේ බාර ගත්තට, නෙත්මිගෙ ඇස් දෙක ඉස්සරහ මට ඒ දේ හරියට කරගන්න බැරිවුණා කියන පසුතැවීම මට දැනුණා.. හරියට නෙත්මි ළගදි මං ශලනි ගැන වැඩිය හොයන්න ගියොත් මං එයා ගැන අහිතක් හිතාවි කියලා මං බයවුණා වගේ.. ඒ කියන්නෙ මීට පස්සෙ, නෙත්මි හින්දා මං කරගෙන ආපු වැඩෙ කටයුතුත් නවත්තන්න වේවිද..? බෑ.. බෑ.. බෑ.. එහෙම වෙන්න බෑ.. කෙල්ලෙක් හිනාදා මේ බන්ටිට වෙනස් වෙන්න බෑ.. අනික එහෙම උනොත් හෙම කොල්ලො සෙට් එක මං ගැන මොනවා හිතාවිද..? උං හිතයි මං කෙල්ල කියන විදියට ඉවසල ඉන්න අද, ගොලු, බිහිරි හාල්පාරුවෙක් කියලා..
"බ..න්..ටී.."
කණ ගාවින්ම ඇහුණ සද්දෙන් මං උඩ ගිහින් බිම වැටුණා.. මොන මල යකාද යකෝ මේ පට්ට දවාලෙ මාව මරන් කන්න හදන්නේ.. තව පොඩ්ඩෙන් කැවුත්ත පුපුරලයි බන්ටි මැරෙන්නේ..
"කොයි ලෝකෙද බන්ටි ඔයා ඉන්නේ..?"
නින්දෙන් ඇහැරුනා වගේ මං වටපිට බැලුවා.. මේන් යකඩෝ අක්කා මං ගාව.. කෝ බොලේ එතකොට මගේ චැලිය.. ඒක මං නෙත්මිටවත් දුන්නද..?
"බන්ටි.. මොකද ඔයාට මේ වෙලා තියෙන්නේ..?"
"මට මුකුත් වෙලා නෑ අක්කේ.. මං මේ යස අගේට ඉන්නේ.."
"ඔව්.. ඔව්.. ඒක නම් පේනවා.. ඒකනේ කවදාවත් නැතුව දඩුමොණරෙත් අර ගේට්ටුව ගාව අතෑරලා හීනෙන් බයවෙලා වගේ හතර අතේ ඇවිදින්නේ.. හැබෑට ඔයාගෙ ඔලුව කොහේ හරි වැදුනද බන්ටි..?"
ෂිහ්.. අම්මපා.. මේන් මේවට තමයි කියන්නෙ සීනි දිය උනාට ගෝනි දියවෙන්නෑ කියලා.. මගේ අරක්කු මටම ගහනවා.. වෙනදට මං එයාගෙන් අහන දේවල් අද එයා මගෙන් අහනවා.. ඔන්න ඒකයි අෂ්ට ලෝක ධර්මය කියන්නේ..
"ඒක නෙමේ.. මට ඔයත්තෙක්ක මහා බරපතල කතාවක් තියෙනවා.. ඩිංගක් මෙතනින් වාඩිවෙන්න.."
ඒ පාර මොකක්ද බොලේ මේ වෙන්න යන්නේ..? ෂුවර් එනට මොකක් හරි කක්කා බාල්දියක් තමයි.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ.. කෝක වෙතත් මං බංකුවෙ කොනකින් වාඩිවුණා.. අනික ඉතිං අපේ අක්කා ගැන මට කවුරුවත් කියලා දෙන්න ඕන නෑනේ.. එක්කො සිම්පල් කේස් එකක් එහෙමත් නැත්නම් හිතාගන්නවත් බැරි මාරාන්තික එකක්..
"ඔයා කොහෙද අද උදේ ගියේ..?"
කොටි මදිවට අලි කිව්වලු.. මොකක්ද බන්ටි පුතේ මේ වෙන්න යන්නේ..? මෙයා මොනාවා හරි දැකලවත්ද..?
"ම්.. අද උදේ නේද..?"
මං බොරුවට කල්පනා කරන්න ගත්තා.. අක්කගෙ මූණෙ හැටියට නම් රෝගී තත්වය අසාධ්‍ය එකක් කියලා මං තේරුම් ගත්තා..
"බොරුවට කල්පනා නොකර මට ඇත්ත කියන්න බන්ටි.."
"ඇත්ත කියන්න යන්නේ.."
"ඔයා කාත්තෙක්කද අද උදේ නුවර ටවුමෙ රවුම් ගැහුවේ..? චැලිය පිටිපස්සෙ දාගෙන..?"
දැන් මේ වැඩේ අඤ්ඤකොරොස් වෙලා කියලා මට දැනුණා.. එක්කො අක්කා කතන්දරේ දැකලා.. එහෙමත් නැත්නම් මොකෙක් හරි වලහෙක් කේලම අක්කගෙ කනේ තියලා.. ඒත් ඒ කියපු එකා ඇයි නෙත්මිගෙ නම කියලා නැත්තේ..?
"අක්කා ඔය අහන්නෙ මම චැලියෙ දාගෙන ගියපු ගෑනු ළමයා ගැන නේද..?"
"ඔව්.. මං අහන්නෙ එයා ගැන තමයි.."
"අයියෝ.. ඔයාට, එයාව අදුනගන්න බැරිවුණාද..? ඔයාගෙ ඇස් දෙකේ හොටුද..? ෂිහ්.. අම්මපා ඔයාට අපේ මොරීන් අක්කව අදුනගන්න බැරිඋනාද..?"
"මොරීන් අක්කා.. ඇයි බන්ටි ඔයා ඔය තරම් බොරු කියන්නේ..? මගේ ඇස්වල පෙනීමේ දුර්වලතාවයක් නෑ.. මං දැක්කා ඔයාලා ඔරලෝසු කණුව ගාවින් ගියපු හැටි.. ඒ හිටියෙ මොරීන් නෙමෙයි.."
"කාටද දෙයියනේ මේවා කියන්නේ..? මං මේ උදේ පාන්දර චැලියෙ දාගෙන ගියේ මොරීන් අක්කා නෙමෙයි නම් වෙන කවුද..? මොරීන් අක්කා වගේ අවතාරයක්ද..? ඉතිං අප්පා.. ඔයා, මාව දැක්කා නම් කතා කරලා සැකේ දුරු කරගන්න තිබුණනේ.."
දැන් නම් කතන්දරේ වෙනම පැත්තකටයි යන්නෙ.. ඒක හින්දා බන්ටි පුතේ කල්පනාවෙන් කතා කෙරුවෙ නැත්නම් වැඩේ හිතන්න කලින්ම අල වෙනවා..
"කතා කරන්න තමයි හැදුවේ.. ඒත් ඔයත්තෙක්ක බයික් එකේ පිටිපස්සෙ ගිය කෙනා දැක්කම මගේ කටට වචන ආවෙ නෑ.."
එහෙනම් ඒකයි කතන්දරේ.. අක්කා, නෙත්මිව අදුන ගත්තට පස්සෙ ඇත්තටම අවුල් වෙන්නැති.. ඇයි අප්පොච්චියේ, නෙත්මිට මාව අදුන්වල දෙන්න කියලනේ අක්කා හිතන් හිටියේ.. අනික, නෙත්මි මාව දැකලම නෑ කියලනේ අක්කා හිතන්නේ.. ඉතින් එහෙම එකේ මාවයි, නෙත්මිවයි චැලියෙ උඩ අලුත බැදපු ජෝඩුව වගේ යනකොට අවුල් නොවෙන්නෙ කවුද අප්පා..?
"ඒ කියන්නෙ මේ අපේ මොරීන් අක්කා දැක්කම..?"
"බ..න්..ටී මේක විහිලුවක් නෙමෙයි.. ඇත්තටම මං හොදටම අප්සට් වෙලයි ඉන්නේ.. මට ඔයා ඇත්තම කියන්න.. ඔයා කොහෙද පිණිමුතුව දාගෙන ගියේ..?"
මම උඩ ගිහින් බිම වැටුණා.. අක්කා මොනවද මේ කියවන්නේ..? මං එයා දිහා හොදට බැලුවා.. ඔලුවවත් නරක් වේගෙන එනවද දන්නෑනේ..
"මොන පිණිමුතුවෙක්ද..?"
"ඒක ඔයා මගෙන්ද අහන්නේ..? ඔයා දන්නැද්ද ඔයාගෙ චැලියෙ පිටිපස්සෙ ගියේ කවුද කියලා..?"
"පිටිපස්සෙ ගියේ මොරීන් අක්කනේ.."
"බන්ටි මේ.. ඔය විකාර කතාව කරුණාකරලා නවත්තන්න.. මේක මට ලොකු ප්‍රශ්නයක්.. මං පිණිමුතුට ඔයාව අදුන්වලා දෙන්න හිතාන ඉන්නවා.. පිණිමුතුත් කියනවා ඔයාව කවදාවත් දැකලා නෑ කියලා.. ඒක එහෙම වෙද්දි ඔයාලා දෙන්නා හිනාවෙවී චැලියෙ නැගලා යනවා.. එතකොට කවුද මෙතන බොරු කරන්නේ..? මගේ හොදම යාලුවා වේච්ච පිණිමුතුද..?"
"ඔයා මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නෑ අක්කේ.. විකාර කතා කරන්නෙ මම නෙමෙයි ඔයයි.. ඇයි අප්පා මං ජීවිතේටවත් ඔය කියන පිණිමුතුවෙක් දැකලා නෑ.. මං කතා කරලත් නෑ.. මං චැලියෙ තියාගෙන ගිහිල්ලත් නෑ.."
"ඒ කියන්නෙ ඔයා අද නුවර වටේ රවුම් ගැහුවෙ පිණිමුතු එක්ක නෙමෙයි..?"
"නෑ හලෝ නෑ.. එහෙම ගියා නම් ඉතිං මං ඔයාට නොකිය ඉන්නවද..? අනික පිණිමුතු ඔයාට නොකියා ඉදියිද..? පොඩ්ඩක් මනුස්සකටම සාධාරණව හිතලා බලනවකෝ.. අර කතාවක් තියෙනවනේ, ඇස් දෙකෙන් දැක්කත්, කන් දෙකෙන් ඇහුවත් දෙයක් හිතලා බලලා තීරණේ කරන්න කියලා.."
"මට ඔය බණ වලින් වැඩක් නෑ බන්ටි.. මට මගේ ඇස් දෙක විශ්වාසයි.. හොදයි.. ඔයාට ඔයාගෙ අක්කටනේ දේවල් කියන්න බැරි.. කමක් නෑ.. මං පිණීමුතුගෙන්ම අහන්නම්.. සමහර විට අපේ යාලුකමත් නැතිවෙන්න පුළුවන්.. ඒත් ප්‍රශ්නයක් නෑ.."
අම්මපා.. අපේ අක්කත් අර කවුද වගේ තමයි.. දෙයක ගෑවුණොත් එරමිනියා අත්තක් වගේ තමයි.. ආයෙ ගලවගන්නවා බොරු.. ගලවනවා නම් ඉතිං හමත් එක්කම තමයි.. අනික මෙයා පිණිමුතුගෙන් ඔය දේවල් අහන්න ගියොත් ඒ ළමයා උඩ ගිහින් බිම වැටෙයි.. මොන අවනඩුවක්ද මේ කියලා.. ඇයි ඉතිං එයා මාව ජීවිතේටවත් දැකලා නෑනේ..
"මං ආයෙත් කියන්නේ, මගෙත් එක්ක ගියේ පිණිමුතු නෙමෙයි.."
"එහෙනම් කවුද..? ඔයා ආයෙත් මට කියන්න හදන්නෙ ඒ මොරීන් කියලද..? එහෙනම් අපි මේ කතාව නවත්තමු.."
"නෑ.. නෑ.. නෑ.. ඒ මොරීන් නෙමෙයි.."
"එහෙනම්..?"
"ඔයා, එයාව දන්නවා අක්කේ.. පහුගිය දවස්වල එයා අපේ ගෙදරත් ආවා.. එයා තමයි නෙත්මි.."
මං හිතුවෙ අක්කගෙ ඇස් දෙක ජම්බා සයිස් එකට ලොකු වෙලා කලන්තෙ දාලා වැටෙයි කියලා.. ඒත් එහෙම දෙයක් උනේ නෑ.. හොදට එබිලා බලද්දි අක්කාගෙ මූණෙ පුංචි හිනාවක් ලාවට වගේ තියෙනවා මං දැක්කා.. ඒ හිනාවෙන්ම මං අක්කට ලංවුණා..
"ඔයා දන්නවද නෙත්මි කියන්නෙ කවුද කියලා..?"
මේක නම් මාර කතන්දරයක් තමයි.. ඒ පාර අක්කා මගෙන් අහනවා, නෙත්මි කියන්නෙ කවුද කියලා..
"මට වැඩිය ඔයා හොදට දන්නවා ඇතිනේ.. එයා, ඔයාගෙ යාලුවනේ.."
"නෙත්මි කියලා කියන්නෙ පිණිමුතුට තමයි බන්ටි.. එයාගෙ නම නෙත්මි පිණිමුතු.."
වැදිච්ච පාරෙ සැරට මට උතුර දකුණ මාරු උනා.. පහුගිය කාලෙ පුරාම සිද්ධ වෙච්ච හැම පුංචි සිදුවීමක්ම පවා මගේ හිතේ ඇදිලා ගියේ චිත්‍රපටියක රූප පෙලක් වගේ.. දෙයියනේ.. මං මොන මුලාවකද මේ වැටිලා තියෙන්නේ..?
"එ.. එතකොට ඔ.. ඔයයි, මමයි අර මහ වැස්සෙ වීල් එකෙන් ගියේ.. ඒ නෙත්මිලගෙ ගෙදර නේද..?"
ඇත්තටම මගේ ඔලුව කරකැවෙන්න අරන් තිබුණා.. වැඩිය ඕනනෑ.. අක්කත්තෙක්ක කතා කරන්න වචන හොයා ගන්න එක පවා මට පට්ට අමාරු වුණා.. මෙහෙ අලි ජංජාලයක් වේවි කියලා කවුද අප්පා හිතුවේ..
"ඔව්.. අපි ගියේ එහේ තමයි.. ඒත් බන්ටි මට තියෙන ප්‍රශ්නෙ ඇයි පිණිමුතු මට ඔයා ගැන කිව්වෙ නැත්තෙ කියලා.. එයා හුගක් හොද ළමයෙක්.. සාමාන්‍යයෙක් මට නොකියන දෙයක් නෑ එයා ළග.. එක්කො, ඔයා කවුද කියලා එයා දන්නෑ.. ඔව්.. ඒක තමයි කෙල්ලට වෙලා තියෙන්නේ.."
ප්‍රශ්නෙ නියම තැනට අක්කා දැන් තමයි අඩිය තිබ්බේ.. ඒත් මං හිටියෙ කරකවලා ඇතෑරලා ආයෙත් කරකවලා දැම්මා වගේ.. කවුද දෙයි හාමුදුරුවනේ හිතුවෙ නෙත්මියි, පිණීමුතුයි කියන්නෙ එක්කෙනෙක් කියලා..
"බන්ටි.."
"ම්.."
"ඔයා පිණීමුතුට කිව්වෙ නැද්ද මං ඔයාගෙ අක්කා කියලා.."
"නෑ.."
"ඒ ඇයි..?"
"මං එයාව දැනගෙන හිටියෙ නෙත්මි කියලනේ.."
"නමේ ප්‍රශ්නයක් නෑනේ බන්ටි.. ඔයා දන්නවනේ එයා අපේ ගෙදර ආවා කියලා.. එහෙම එකේ ඔයා, එයාට මං ගැන කිව්වෙ නැත්තේ, මොකක් හරි හොරයක් ඔයා ළග තියෙන හන්දා නේද..? ඇත්තමයි බන්ටි.. මට දැන් බයත් හිතෙනවා.. ඔයා පිණිමුතුම මොනවා කියලද දන්නෑ.. ඔයා මහ මගෝඩිස් වැඩනේ කරන්නේ.."
අක්කා කියන දේම දැන් සිද්ධ වෙලා ඉවරයි කියලා මං කොහොමද අප්පා කියන්නේ.. ඒත් දැන් දැන් දේවල් සිද්ධ වේගෙන යන විදියට වෙච්ච දේවල් අක්කට නොකියත් බෑ..
"ආ.. බන්ටි.. කතා කරන්නකෝ.. මගේ දැන් ඔලුවත් එක්ක අවුල් වෙලයි තියෙන්නේ.."
"ඔයාගෙ විතරක් නෙමෙයි.. මගෙත් ඔලුවත්තෙක්ක අවුල් වෙලයි තියෙන්නේ.. මම හීනෙකින්වත් හිතුවෙ නෑ නෙත්මි කියන්නෙ පිණිමුතුටයි කියලා.. එයාගෙන් නම ඇහුවම කිව්වෙ නෙත්මි කියලනේ.."
"ඒ ඔක්කොම මට තේරෙනවා බන්ටි.. නමේ ප්‍රශ්නෙ නෙමේ දැන් විසදිලානේ.. ඒත් ඇයි ඔයා, එයාට මං ගැන නොකිව්වේ.. ආ.. බන්ටි.. ඔයාට බට හිතුණද මං අම්මත් එක්ක මේවා කියයි කියලා.. ඔයා මං ගැන ඒ විදියටද හිතන් ඉන්නේ..?"
අක්කා ඒක අහපු තාලෙට මට ලොකු දුක්ක දැනුණා.. මොකද එයා කතා කරන්නෙ කොයි තරම් අවංකවද කියලා මං දැනන් හිටියා..
"නෑ අක්කේ.. එහෙම දෙයක් නෙමෙයි.. මං එච්චර හිතන්නෙ නැතුව නෙත්මිට ලොකු බොරුවක් කිව්වා.."
"බොරුවක්..?"
"ඔ.. ඔව්.. බේබි නැන්දා මගෙ අම්මා කියලා.."
"දෙයියනේ.."
අක්කගෙ මූණ බලන් ඉද්දිම සුදුමැලි වෙලා ගියා.. ලේ බින්දුවක්වත් නැති තරම් ඒ මූණ සුදුමැලි වෙද්දි මං අක්කගෙ අතකින් අල්ල ගත්තා..
"එතකොට එහෙනම් පිණීමුතු හැමදාම වගේ බේබි නැන්දගෙ පුතා ගැන කියලා මගෙත් එක්ක කියෙව්වෙ ඔයා ගැන.. අයි..යෝ.. මේ අහිංසක කෙල්ල මොන තරම් ලොකු බොරුවක් විශ්වාස කරගෙනද මේ ඉන්නේ.. අනේ ඇයි බන්ටි, ඔයා මේ වගේ භයානක දෙයක් කලේ.. අනික මගේ හොදම යාලුවට.."
"සොරි අක්කේ.. ඇත්තටම මං හිතලා කරපු දෙයක් නෙමෙයි.. ඔහේ කටට ආවට කියලා දැම්මා.. අනික, බින්දුගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ ප්‍රශ්නෙකට මායි, නෙත්මියි මුල ඉදල තරහින් හිටියේ.. ඒ තරහ අස්සෙ සිද්ධ වේච්ච දේවල් තමයි ඔය.. එහෙම නැතුව මම එයාව රවට්ටන්න ප්ලෑන් කරලා කරපු දේවල් නෙමෙයි.."
"අ..නේ.. මට තේරෙන්නෑ බන්ටි.. දැන් ඔයා කොහොමද මේ අවුල ලිහන්නේ..? කෙල්ලට පිස්සු හැදෙයි බේබි නැන්දගෙ පුතයි, ඔයයි කියන්නෙ එක්කෙනෙක් කියලා දැනගත්තාම.."
"මංදා අක්කේ.. මටත් ඒ ගැන කිසි දෙයක් හිතාගන්න බෑ.. අනික මං හීනෙකින්වත් හිතුවෙ නෑ.. ඒ නම් දෙකම අයිති එක කෙල්ලෙකුට කියලා.."
"දෙයියනේ.. අපි දැන් මොනවද කරන්නෙ බන්ටි..? ඔයා, ඔයාගෙ ජීවිතේ කරපු ලොකුම නරක වැඩේ තමයි මේක.. අනික ඔයා දන්නවද පිණීමුතුගෙ හිතේ ඔයා ගැන තියෙනවා කියලා.."
"ම.. මං ගැන..?"
"ඔව් මැට්ටෝ.. ඔව්.. ඒ කෙල්ල ඔයාට ආදරේ කරනවා.."
"මට.. මේ බන්ටිට.."
"ඔව්.. ඔයාට කෙසේ වෙතත් ඔයා වගේ ඉන්න බේබි නැන්දගෙ පුතාට.."
"එයා එහෙම කතාවක් කිව්වද අක්කත්තෙක්ක..?"
"මගෙත්තෙක්ක කෙලින්ම නම් කිව්වෙ නෑ.. ඒත් එයාගෙ හැසිරීමෙන්, කතාබහෙන් මට දැනිච්ච දේ ඒකයි.."
කෙනෙකුගෙ හිතට උපරිම සතුටක් ගේන වචන අක්කගෙන් පිට උනත්, මට ඒවා සංතෝසයක් ගෙනාවෙ නෑ.. නෙත්මි මට ආදරේ කරනවා කියලා මගේ යටි හිත කලින් ඉදන්ම දැනන් හිටියා.. ඒත් ඒ බන්ටිට නෙමෙයි.. බේබි නැන්දගෙ පුතා කියන හාදයට.. එතකොට බන්ටිට මොකද වෙන්නේ..?
"මං මේක පිණීමුතුත් එක්ක කතා කරන්නද..?"
"එපා අක්කෙ එපා.. එහෙම උනොත් මේක තවත් අල වෙනවා.. ඔයා මුකුත් දන්නෑ වගේ පාඩුවෙ ඉන්න.. මේක පටන් ගත්තෙ මමමනේ.. ඒක හන්දා මමම මේක ඉවරයක් කරලා දාන්නම්.."
"කවදද බන්ටි..?"
අක්කා අහපු ප්‍රශ්නෙ මට හරියට තේරුණේ නෑ..
"මොකක්ද අක්කේ..?"
"ඔයා, ඔය ප්‍රශ්නෙ ඉවර කරලා දාන්නෙ කවදද..?"
"ඉවර කරන දවසක් ගැන නම් මට ගැරන්ටියක් දෙන්න බෑ.. ඒත් මං පුළුවන් තරම් ඉක්මනට නෙත්මි එක්ක මේ ප්‍රශ්නෙ බේර ගන්නම්.."
"නේතමි නෙමෙයි ළමයො.. පිණීමුතු.."
"මට පුරුදු නෙත්මි කියන එකනේ අක්කේ.."
"හැබැයි ඉතිං නම මොනව උනත් මම නම් කෙල්ලට කැමතියි බන්ටි.. එයා මගෙ හොදම යාලුවනේ.."
කැපිල්ලට වගේ කියන ගමන් අක්කා යාන්තමට හිනාවුණා.. ඒ කියපු දේවල් ඒ තරම් ගණන් ගන්නෑ වගේ මූඩ් එක් හදාගෙන මං බංකුවෙන් නැගිට්ටා..







