෴♥ ඒ මගේ මලයි 3 ♥෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴♥ ඒ මගේ මලයි 3 ♥෴

    මේ ඒ මගේ මලයි 1 සහ 2 කොටස්..
    Code:
    ඒ මගේ මලයි 1
    http://www.elakiri.lk/forum/showthread.php?t=1394410
    Code:
    [SIZE=4]ඒ මගේ මලයි 2
    http://www.elakiri.lk/forum/showthread.php?t=1400860[/SIZE]


    Cover-01.jpg


    01.png



    "බන්ටි.. දැන්වත් ඔය කතාව නවත්තන්න.. ඔයාට ඔහොම කැත විදියට කතා කරන්න කිසිම අයිතියක් නෑ.. ඒ වගේම ඔයා මතක තියාගන්න, කවුරු නැති උනත් මම ඔයාට ඉන්නවා කියලා.."


    "කවුරු මට හිටියත් වැඩක් නෑ තාත්තේ.. අනික කතාව මට නවත්තන්න කියන්නේ.. මේක පටන් ගත්තෙ මම නෙමෙයිනේ.. මට ඕනෙ මං අහපු ප්‍රශ්නෙට උත්තරේ විතරයි.."


    'බන්ටි' කියලා කෑගහගෙන, වීරයෙක් වගේ මං ඉස්සරහට තාත්තා ආවත්, මගේ කතාවෙන් එයා නිරුත්තර උනා.. මං ආයෙත් අම්මා දිහා බැලුවෙ ඒකයි..


    "උත්තර ඔයාට ඕන නෑ බන්ටි.. දැන් ඒ කතාව ඉවරයි.. මං ආයෙ ඔය ගැන කතා කරන්නෑ.."


    මගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන අම්මා කිව්වා.. මෙච්චර වෙලා, සීතල වෙලා, ගල් ගැහිලා තිබ්බ මගේ ඇගේ ඉතුරු ලේ ටික රත්වෙනවා වගේ කියලා මට තේරුණා.. අනිත් දේ තමයි ජීවිතෙ ඉස්සරහින් තිබ්බ ලස්සන සුභ හීනෙ, ඇස් ඉස්සරහ කඩාගෙන වැටුණට පස්සෙ, ජීවිතේ ගැන තවත් හිතන්න දෙයක් මට තිබුණෙ නෑ.. මං කියන දේවල් වලින් රිදෙන්නෙ කාගෙ හිතද කියලවත් මට හිතන්න ඕන උනේ නෑ.. මොකද ඒ වෙනකොට හිතන්න තරම්වත් හිතක් මට ඉතුරු වෙලා තිබ්බෙ නැති හින්දා..


    "කතා නොකර ඉන්නෙපා අම්මේ.. මගේ හොද අම්මා වගේ කතා කරන්න.. ඔයා ඇයි මෙච්චර දවසක් මගේ කටින් අම්මා කියන වචනෙ අහ, අහ මහ අමාරුවෙන් ජීවත් උනේ.. මගේ කටින් අම්මා කියලා කියවෙන වාරයක් වාරයක් පාසා ඔයාගෙ හිතේ කොයි තරම් පිළිකුලක් ඉපදෙන්න ඇත්ද..? මගේ බෙල්ල මිරිකන්න බැරි කමට ඔයා මෙච්චර දවසක් ඉවසන් ඉන්න ඇති.. ඒ.. ඒත්.. ඒත්.. ඇයි අම්මෙ මේක මට කලින් කියලා ඉවරයක් කලේ නැත්තේ..? මෙච්චර දුරට මේ අවජාතක කාලකණ්නියා ඇදගෙන ආවෙ ඇයි..? එහෙම ඇදගෙන ඇවිල්ලා මාව අතෑරලා දැම්මෙ ඇයි..?"


    ඉවරයක් වෙන්නැති කදුළු වැලකින් ආයෙත් ඇස් වැහෙද්දි, මගේ හිත තවත් වියරු වැටුණා.. සුන්දර සමනළ පිහාට්ටක් උඩ, හිනාවෙවී ජීවිතේ අරගෙන ගියපු මගේ පුංචි ලස්සන ලෝකෙ දැන් සී සී කඩ ගිහින් ඉවරයි.. තවත් සිද්ධ වෙන්න කිසිම දෙයක් නෑ.. ඒත් මට.. අම්මෙක්, අප්පෙක් නැති මට, මං අම්මා තාත්තා කියලා කියපු අයගෙන්ම දැනගන්න හුගාක් දේවල් තිබුණා..


    "අ.. අනේ බුදු මහත්තයෝ.. මහත්තයා හදන්නෙ මගේ පපුව පලන්නද..? දෙයියන්ගෙ නාමෙට ඔය කතාව දැන් නවත්තන්න.. මට තවත් ඕවා අහන් ඉන්න බෑ.."


    මං හිතුවෙ නැති වෙලාවක බේබි නැන්දා දුවගෙන ඇවිත් මගේ කකුල් දෙක බදාගත්තා.. මගේ නොවුණත් මං මෙච්චර දවසක්, මං අම්මා කියපු, මනුස්ස දුවකටත් වැඩිය මට හැමදාම ආදරේ දුන්නු, අහිංසක බේබි නැන්දා කෑගහලා අඩද්දි මගේ කදුළු ගැනම මට ආවෙ තරහක්.. ඒ තරහෙන් මට මේ මුළු ගේම දාලා පුච්චලා දාන්න පුළුවන්කමක් තිබුණා..


    "කමක් නෑ බේබි නැන්දේ.. මං හිතුවෙ මං කියන දේවල් කාට අහන් ඉන්න බැරි උනත්, කවුරු ඇහුවෙ නැති උනත් මගේ ළග බේබි නැන්දා හරි ඉදීවි කියලා.. ඒත් ඒකත් එහෙම නෑ.. මේ දුප්පත් පපුවට දැනෙන වේදනාව වචන වලින් හරි පිටකරලා දාන එක, මගේ පපුවට සැනසීමක් කියලවත් ඔයාට හිතෙන්නැද්ද..? ඔයාට තේරෙන්නෙ නැද්ද..? ඔයාට පේන්නෙ නැද්ද.? ඔයාගෙ පුංචි ලෝකෙ මහා ලොකු වීරයා ඩිංගෙන් ඩිංග විනාස වෙන හැටි.."


    "අ... අනේ.. නෑ.. අනේ නෑ.. මගේ රත්තරං බන්ටි මහත්තයෝ.. ඔය කතාව හොදටම ඇති.. හොදටම ඇති.. අ.. අපි කාමරේට යමු.. අනේ අපි කාමරේට යමු.."


    තාමත් කකුල් දෙක ළග වැටිලා කෑගහන අඩන බේබි නැන්දව, මං එයාගෙ උරහිස් වලින් උස්සලා නැගිට්ටුවා.. ඊට පස්සෙ ගෙදර හැමෝගෙම මූණු වලට තත්පරෙන් තත්පරේ මගේ ඇස් යොමු වුණා.. එයාලා හැම කෙනෙක්ගෙම ඇස් තිබ්බෙ මගේ මුණෙ.. මං කරන කියන දේවල් දිහා එයාලා හොදට බලාගෙන හිටියා..


    "මට කාමරයක් කොහෙද තියෙන්නෙ බේබි නැන්දේ.. මාව දැන් මේ ගෙදරින් එළියට දාලා ඉවරයි.. ඒත් කමක් නෑ.. මං මෙච්චර කාලයක් අම්මා කියලා ආදරෙන් කතා කරපු, මේ රසිකගෙයි, සමුදිනීගෙයි විතරක් වෙච්ච අම්මා, එයාගෙ ලෝකෙන් මාව සදහටම එළියට දාලා ඉවරයි.. දැන් ඉතිං බේබි නැන්දේ.. ඔයාගෙ බන්ටිට.. මේ ගෙදර දාලා යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.."


    කදුළු කැට එකින් එක වේලිලා යද්දි, හිත ඩිංගෙන් ඩිංග ගල් වෙද්දි, හිත ඇතුළට පොදි ගැහිලා තිබ්බ වචන එක පොදියට එළියට කඩාගෙන ආවා.. වෙනදා වගේ තෝරලා බේරලා කතා කරන්න තරමෙ හයියක් මගේ පුංචි ලෝකෙ ඇතුළෙ තිබ්බෙ නෑ..


    "බ..න්..ටී.."


    "අ.. අනේ ඔයා මොනවද මේ කියන්නේ..?"


    "ගෙදරින් යන්න තරමෙ දෙයක් ඔයාට උනේ නෑ බන්ටි.."


    "අ.. අනේ මහත්තයෝ.."


    හැමෝම නා නා ප්‍රකාර කතා කියද්දි, මං ඔලුව උස්සලා අයියා දිහා බැලුවා.. ඒ මූණ හොදටම අදුරු වෙලා තිබුණා..


    "අ..යි..යේ..! එදා වගේම අදත් මං ඔයාට එහෙම කතා කරනවා.. ඒත්.. මේ තැන, මට හිමි තැනක් නෙමෙයි.. මේ වගේ පරම පවිත්‍ර ගෙදරක් මං වගේ හිගන, අවජාතකයෙකුට ඉන්න ඩිංගක්වත් සුදුසු නෑ.. ඒකයි මං මෙහෙන් යන්නේ.. අනික අහිමි වීමක් ගැන දැනෙන්නෙ මහා ඉහළින් මට විතරයි.. ඔයාලට හිතෙන්නෙ පුංචි දෙයක් විතරයි.."


    "නෑ.. නෑ.. බන්ටි නෑ.. ඔයා හිතන විදිය වැරදියි.."


    "වැරදි නෑ අයියේ.. ඔයාලට නැතිවෙන්නෙ මං විතරයි.. මං කියලා කියන්නෙ, මෙලෝ වැඩකට නැති, හිගන ආත්මයක්.. ඒකෙන් කාටවත් වගතුවක් නෑ.. ඒත් මට අහිමිවෙන්නෙ මහා වටින කියන ඔයාලව.. මගේ පුංචි ලෝකෙට දේවතා එළි වගේ පාර පෙන්නපු ඔයාලව.. දැන් ඔයාට තේරෙනවා නේද අයියේ තියෙන වෙනස.. අනිත් දේ තමයි.. මට කියල මෙතන ඉදන් කිසිම කෙනෙක් නැති එක.. මගේ, විනාස නොවී ඩිංගක් හරි මොනව හරි තියෙනවා නම්.. ඒ ටික විනාස වෙන්න මේ හොදටම ඇති.."


    "බ..න්..ටී.. දෙයියන්ගෙ නාමෙට ඔය කතාව නවත්තන්න.. මාව මරන්නද ඔයා හදන්නේ, ඔය වගේ කතා කියලා.. අපි කවුරුවත් ඔයාව අතෑරියෙ නෑ බන්ටි.. ඇයි ඔයා ඔහොම කතා කරන්නේ.. දෙයියන්ගෙ නාමෙට මං කියන දේ ඩිංගක් අහන්න.. අපි මේ ප්‍රශ්නෙ හෙමීට විසදගනිමු.. කෑ කෝ ගහලා මේක විසදගන්න බෑනේ.. ලොකූ.. ඔයා ගිහින් ඉස්සරහ දොර වහලා යතුර අතට ගන්න.. ඔයාට අපිව දාලා යන්න බෑ බන්ටි.. ඔයාට එහෙම කරන්න බෑ.."


    "බැරි නෑ අක්කේ.. බැරි නෑ.. ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්.. පුංචිම කාලෙ ඉදලා මං අම්මා කියපු මේ රත්තරං මනුස්සයා.. මගේ අම්මා නෙමෙයි කියලා කියද්දි, මං එයාගෙ බන්ටි නෙමෙයි කියලා කියද්දි, හිගන පැටියෙක් වගේ මට මේ ගෙයින් එළියට බැහැලා පලයං කියද්දි.. මට ඔයාලා විතරක් නෙමේ.. මට මගේ ජීවිතෙත් දාලා යන්නයි හිතෙන්නේ.."


    "අ.. අනේ.. බ.. න්ටී.."


    "කෝ.. අයින් වෙන්න අක්කේ.. කෝ ඉතිං.."


    මගේ ඉස්සරහම ඉදපු බේබි නැන්දවයි, අක්කවයි තල්ලු කරගෙන වගේ මං ඉස්සරහ දොර ගාවට ආවා.. මෙච්චර වෙලා කිදුරා මැරිලා වැටුණ ශෝක ජනක නාට්ටියෙ කිදුරිය වගේ පැත්තකට වෙලා හිටපු කෙනෙක්.. අන්තිම තත්පරේදි කරලියට ආවා.. ඒ තමයි මං මෙච්චර දවසක් තාත්තා කියලා කතා කරපු ආදරණිය මනුස්සයා.. මගේ හැම දුකක්ම, හැම ප්‍රශ්නයක්ම තමන්ගෙ පපුව උඩින් තියන්න කියලා මාව පොරොන්දු කරව ගත්තු කෙනා.. ඒත් එයාම ඉස්සරහ, මං අවලංගු කාසියක් වෙලා පැත්තකට වැටෙද්දි, මට පාර පෙන්නන්න එයාට කළාමැදිරියෙක්වත් වෙන්න බැරිවුණා..


    "බන්ටි.. කොහෙද යන්නේ..?"


    මගේ ඉස්සරහට ඇවිත් සාලෙ දොර ආවරණය වෙන විදියට තාත්තා හිටගත්තා..


    "යන්න නම් තැනක් නෑ.. ඒත් මාව මේ ගෙයින් එළියට ඇදලා දාලා ඉවරයිනේ.. තවත් ඇයි මං මේ ගෙදර ඉන්නේ..? අනික මං, ඔයාලගෙ කවුරුවත් නෙමෙයිනේ.. මේ ඇහිච්ච කතා අනුව, බන්ටි කියලා කියන්නෙ පිනට හදාගත්තු එකෙක්නේ.."


    "බ..න්..ටී.."


    "තව හයියෙන් බන්ටි කියලා කියන්න.. මොකද අදින් පස්සෙ බන්ටි කියලා කතා කරනකොට, දුවගෙන එන්න මොකෙක්වත් නෑ.. ඒ වගේම ඔයාලට කරදර කරන්න කවුරුවකුත් නෑ.. ඔයාලට දෙයියනේ කියලා නිවි සැනසිල්ලෙ මේ බංගලාවෙ ජීවත්වෙන්න පුළුවන්.."


    "බන්ටි.. ඔය කැත කතාව නවත්තනවා නම් හොදයි.. ඔයා මොනවද මේ කියවන්නේ..? මෙච්චර වෙලා, හිතේ දුකක් ආව නම්, තියෙනවා නම් ඒක ඉවර වෙනකල් මං ඔයාට කියවන්න දුන්නා.. හොදට මතක තියාගන්න.. හොදට.. ඉතාම හොදට.. ඔයා පිනට අරන් හදාගත්තු ළමයෙක් නෙමෙයි.. ඔයා ඔය හිතන විදියෙ අවජාතක ළමයෙකුත් නෙමෙයි.."


    මෙච්චර වෙලා මං මගේ බිදිලා වැටුණු ජීවිතේ පැත්තෙනුයි, කදුළු මැද්දෙනුයි අහපු දේවල් වලට අම්මවත්, තාත්තවත් උත්තර දුන්නෙ නෑ.. ඒත් මේ ගේ අතෑරලා දාලා මං අභිනිෂ්ක්‍රමණය කරනවා කියලා කිව්වාම ඒ නැතිවෙච්ච උත්තර තාත්තා ළගට ඇවිත් තිබුණා..


    "මං අවජාතක ළමයෙක් නෙමෙයි නම් මං කාගෙද..?"


    "ඔයා මගේ බන්ටි.. ඔයා මගේ.. ඔයාගෙ ඇගේ දුවන්නෙ රසිකගෙයි, සමුදිනීගෙයි වගේම මගේ ලේ.. ඔයා වෙන කාගෙවත් නෙමෙයි.. ඔයා මගේ.."


    මෙච්චර වෙලා තිබ්බ බොරු සන්සුන්කම පැත්තකට දාලා තාත්තා ගේ දෙවනත් වෙන්න කෑගහද්දි, අම්මා හිමින් සීරුවෙ එයාගෙ කාමරේ දිහාට ඇවිදන් යනවා මං දැක්කා..


    "බ..න්..ටී.. ඔයාගෙ නම්.. අම්මා කලින් කියපු කතාවෙ තේරුම මොකක්ද තාත්තේ..? ඇයි මේ වගේ අප්‍රසන්න දේවල් මේ ගෙදර වෙන්න දෙන්නේ..? ඇත්තටම මොනවද මේ හතරබීරි කතා..?"


    මං අහන්න කියලා හදපු ප්‍රශ්නෙ අයියා කිසිම ලෝබකමක් නැතුව තාත්තගෙන් ඇහුවා..

    "රසික..? මං කියන්නෙ හරිදේ.. ඔයාගෙයි, සමුදිනීගෙයි වගේම බන්ටිගෙත් තාත්තා මම තමයි.. ඒ ගැන කිසිම අවිශ්වාසයක් කවුරුත් තියාගන්න ඕන නෑ.. ඒ වගේම බන්ටි කොහේවත් යන්න ඕනත් නෑ.."


    "බන්ටි කොහේ යන්නද තාත්තේ..? එයා ඉන්න ඕන මේ ගෙදරම තමයි.. ඒත් අම්මා කියපු කතාවෙ තේරුම මොකක්ද..? ඇයි අම්මා ඒ වගේ පහත් කතාවක් කියලා බන්ටිව රිද්දුවේ..? බන්ටි, අම්මට මුකුත් කෙරුවෙ නෑනේ..?"


    "මොකක්ද අම්මා කිව්වේ..?"


    "තාත්තට ඒ ඩිංගට ඒකත් අමතක වුණාද..? අම්මා කිව්වෙ බන්ටි එයාගෙ නෙමෙයි කියලා.. තාත්තා කියනවා බන්ටි ඔයාගෙ කියලා.. බලන් ගියාම මේක මහ හරස් පද ප්‍රහේළිකාවක්නේ.. නැද්ද බන්ටි..?"


    අයියගෙ කතාව නම් සුපුරුදු රටාවට එන්න අරන් තිබුණා.. හිතේ දුක කොයි තරම් උතුරලා පිටාර ගැලුවත් මාත් මගේ සුපුරුදු සන්සුන්කමෙන් ඉන්න ලොකු උත්සාහයක් ගත්තා.. උඩින් බලන අයට මගේ ඒ සන්සුන්කම මහා ප්‍රාතිභාර්යයක් වගේ පෙනෙයි.. ඒත්.. මගේ විනාස වෙලා ගියපු පුංචි හිත ඇතුළෙ බුර බුරා ඇවිලෙන ගිනිදැල් කාටවත් පේන්නෙ නැතිවෙයි..


    "ඔව් අයියේ.. ඔයා කියනවා වගේ මේවා හරස්පද ප්‍රහේලිකා තමයි.. ඒත්.. ඒ ප්‍රහේලිකා විසදන්න මට ඕන නෑ.. ඒත් මං මගේ පුංචි ලෝකෙ.. මහා වීරයෙක් කියලා හිතන් හිටියෙ ඔයයි, තාත්තේ... ඔයාට මතකද, ඔයා මට කිව්වා, මගේ ඕනම ප්‍රශ්නයක් ඔයාට කියන්න කියලා.. මගේ ඕනම දේකට කවුරු නැති උනත් ඔයා ඉන්නවා කියලා.."


    "ඔව්.. මං එහෙම කිව්වා.. ඒක හරි.. ඔයාගෙ ඕනම දේකට මං ඉන්නවා බන්ටි.. ඔයා දන්නෑ.. ඔයා දන්නෑ අද වෙනකන්, මං ඔයා වෙනුවෙන් කොයි තරම් කැප කිරීම් කරලා තියෙනවද කියලා.. ඔයා වෙනුවෙන් මං කොයි තරම් දුක් වින්දද කියලා.. ඔයා ඒ කිසි දෙයක් දන්නෑ.."


    "ඔයා මං වෙනුවෙන් දුක් විදින්න ඇති.. කැප කිරීම් කරන්නත් ඇති.. ඒත්.. මේ පවුල ඇතුළෙම, මං මේ වගේ තත්වෙකට පත්වෙන කොට.. කාත් කවුරුවත් නැති හිගන පාංකඩයක් වගේ වෙනකොට, ඔයාගෙ කැපකිරීම්වල වටිනාකමට මොකද වෙන්නෙ තාත්තේ..? අඩු ගානෙ ඔයාට ඒ ගැනවත් හිතන්න තිබුණනේ.."


    "හුගාක් දේ මං හිතුවා බන්ටි.. තාමත් හිතනවා.. මං ඒ හිතුවා වගේ දෙගුණයක් අම්මත් හිතුවා.. තාමත් හිතනවා.. ඒකයි අදටත් මේ පවුල මෙහෙම රැකිලා තියෙන්නේ.. ඔයා ඒ ගැන මුකුත්ම දන්නෑ.. මොන දේ උනත්, අම්මා මොන දේ කිව්වත්, ඔයා අම්මත්තෙක්ක තරහා වෙන්නෙපා.. එයාට ඕන දෙයක් කියන්න අයිතියක් තියෙනවා, ඔයා අම්මගෙ නොවුණත්.. එයා, ඔයාට කිසිම අඩුවක්, වෙනසක් කරේ නෑ.. මං ඒක හොදටම දන්නවා.. රසිකටයි, සමුදිනීටයි වැඩිය ඔයාට, අම්මා සලකනවා.. ඔයා ගැන හොයලා බලනවා, මං මගේ ඇස් දෙකටත් දැකලා තියෙනවා.. ඒක හින්දා ඔයාට ඔහොම කතා කරන්න බෑ බන්ටි.."


    තාත්තා හුගක් දේ කියවගෙන ගියා.. ඒ කියපු හැමදේටම මගේ ළග උත්තර ඕනවටත් වැඩි ප්‍රමාණයක් තිබුණා.. ඒත් ඒ උත්තර පැත්තකින් තියලා මං තාත්තගෙන් ඇහුවෙ ප්‍රශ්න දෙකක් විතරයි.. මොකද මේ හැමදේකම දැන් අවසානයක් තියෙන්න ඕන කියලා මගේ හිතට තෙරුණ නිසා..


    "එතකොට කවුද තාත්තෙ මගේ අම්මා..? ඇයි එයා මේ වෙලාවෙ මගේ ළග නැත්තේ..?"


    මෙච්චර වෙලා එළියට දාගන්න බැරිව තටමපු හුගාක් දේ ඒ ප්‍රශ්න දෙකේ ඉතිරිවෙලා තිබුණා.. අයියා උනත්, අක්කා උනත්, බේබි නැන්දා උනත් කෙලින්ම බලන් හිටියෙ තාත්තා දිහා.. කොයි මොහොතෙ, මොන වගේ දෙයක් එයාගෙ කටින් පිටවේවිද කියලා අපි හැමෝම බලන් හිටියෙ ලොකු නොඉවසිල්ලකින්.. ඒක තේරුම් අරගෙන වගේ තාත්තා කතා කලා..

    "මේ හැමදේටම වැරදිකාරයා මමයි බන්ටි.. ඒ දේට මට කවදාවත් සමාවක් නම් ලැබෙන එකක් නෑ.. ඇත්තටම ඔයාගෙ අම්මට දීපු දුක් ගින්දර වල පව්, මට ලබන ආත්මෙටත් කර ගහගෙන යන්න වෙයි.. ඒක මං හොදට දන්න දෙයක්.. මට හොදට දැනෙන දෙයක්..ඒත් මං මේ දේ ඔයාලට කියන්න ඕන.. මොන දේ උනත් මට බන්ටි නැතුව ඉන්න බෑ.. හැබැයි බන්ටි.. මං මේ හැම දෙයක්ම කියන්න කලින් ඔයා මට එක පොරොන්දුවක් වෙන්න ඕන.."


    "ඒ මොකක්ද..?"


    හැම පොරොන්දුවක්ම, කඩවුණු පොරොන්දුවක් වෙද්දි, මට ඕනවෙලා තිබ්බෙ මගේ අම්මා කවුද කියලා දැනගන්න.. ඒක ඕනම ජීවියෙකුට පොදුවෙ එන ප්‍රශ්නයක්නේ..


    "ඔයා අපිත්තෙක්කම ඉන්නවා කියලා.. කවදාවත් අපිව දාලා යන්නෑ කියලා.."


    "ඒක මට පොරොන්දු වෙන්න බෑ තාත්තේ.. ඒක පස්සෙ ගන්න තීරණයක්.. නමුත් මං අහපු දේට උත්තරයක් දැනගන්න මට ශුද්ධ අයිතියක් තියෙනවා.. මගේ අම්මා කවුද තාත්තේ..? එයා ඇයි අපි ළග නැත්තේ..? මෙච්චර කාලයක් මාව නොබල එයා හිටියෙ කොහොමද..? එයා ඇයි මාව අතෑරලා දැම්මේ..?"


    තව එක තත්පරයක්වත් බන්ටි ඉවසන්නෙ නෑ කියලා මගේ කතාවෙන්ම තාත්තා තේරුම් ගත්තා.. ඒක හන්දද කොහෙද එයා හොදට උගුර පාදා ගත්තා..


    "රසිකයි, සමුදිනියි හම්බවුණාට පස්සෙ, අම්මට ආයෙ දරුවො හදන්නෙපා කියලා ඩොක්ටර්ස්ලා අපිට අවවාද කලා.. මොකද ඒකෙන් අම්මගෙ ජීවිතේට හානියක් වෙන්න තියෙන හැකියාව ඉතා වැඩියි කියලා.. ඇත්තටම අම්මා තවත් දරුවෙක් හදන්න පුළුවන් තත්වෙක හිටියෙ නෑ.. එත්.. තවත් කොලු පැටියෙක්ට මම හුගක් ආසාවෙන් හිටියා.. මගේ ඒ ආසාව දවසින් දවස වැඩි වුනා මිසක අඩුවුණේ නම් නෑ.. ඒත් ඒ දේට මට අන්තිමේට ඉඩක් ලැබෙන්නෙ නෑ කියලා මං දැනන් හිටියා.. ඒවා මොනවා උනත්, තවත් දරුවෙකුට මගේ තිබ්බ කැමැත්ත ගැන හොදටම දැනගෙන හිටපු අම්මා, එයාගෙ ජීවිතේ ගැන එක බින්දු මාත්‍රයක්වත් නොහිතා, මාත්තෙක්ක එකතුවෙලා තව දරුවෙක් හදාගත්තා.."


    හිතාගන්න බැරි පැත්තකට කතාව ඇදිලා යද්දි මට මුකුත්ම හිතාගන්න බැරිවුණා.. අයියා උනත්, අක්කා උනත් හිටියෙ ගල් ගිල්ලා වගේ.. කොටින්ම අපි හැමෝටම මේක අදහගන්න බැරි කතාවක් උනා.. ඒ කියන්නෙ, තවත් දරුවෙක්.. ඒත් දැන් ඒ දරුවා කෝ..?



     
    Last edited:
    • Like
    Reactions: king_pandukabaya

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "මගේ පව්කාරකමට, ඒ දරුවා හැදිලා තිබුණෙ අම්මගෙ පැලෝපීය නාලෙ ඇතුළේ.. අන්තිමේදි දන්නෙම නැතුව ඒක පුපුරලා ගියා.. අම්මගෙ ජීවිතේ බේරගත්තෙ අන්තිම අමාරුවෙන්.. තමන්ගෙ ජීවිතේ ගැන උනත් හිතන්නැතුව, අම්මා මං කැමති දේ ලබාගන්න ඉඩ දුන්නෙ, මට හුගාක් ආදරේ කරපු නිසා.. ඒත්.. ඒත්.. එහෙම මට ආදරේ කරපු අම්මට මං ද්‍රෝහි වුණා බන්ටි.."

    සුරංගනා කතාවක් අහගෙ ඉන්න පුංචි ඈයො වගේ, අපි හැමෝම එක සීරුවට තාත්තා දිහා බලන් හිටියා.. ඒ අත්රෙ අම්මා ගැන හිතෙ මහ විසාලෙට ඉපදිලා තිබ්බ කලකිරීම වගේ හැගීම ටිකෙන් ටික දියවෙලා යනවා කියලා මට තේරුණා.. එයාට මේ වගේ හැසිරෙන්න ශුද්ධ වූ අයිතියක් තියෙනවා කියලා මගේ හිත මට තේරුම් කරලා දුන්නා..


    "කාලය ගෙවිලා යද්දි, ආයෙ මොනම විදියකින්වත් මට අම්මගෙන් දරුවෙක් ලබාගන්න බෑ කියන හැගීම හිතේ ගල් වෙද්දි මේ ගෙවන ජීවිතේ ගැන මං හුගක් කලකිරුණා.. ඒක මට මහා මානසික වදයක් උනා.. පුංචි කොලු පැටියෙක් මං නිතරම අතපත ගගා ඉන්නවා, හීනෙන් පවා දැක්කා.. ඒත් ඒක ඉටුවෙන්නැති හීනයක් කියලා හිතට තේරෙද්දි මං තවත් පිස්සු වැටුණා.. අන්තිමට, කුරුණෑගල තියෙන මගේ පොල් වත්තෙ මං වැඩි කාලයක් ගතකරන්න මං පුරුදු වුණා.. රසිකයි, සමුදිනියි හිටියට, මට මහා ලොකු අඩුවක් ජීවිතේ පුරාම දැනුණා.. ඒක මගේ මුළු ජීවිතේටම බලපෑවා.. මං හිටියෙ මානසික අතිනුත් සෑහෙන්න පහළ මට්ටමක.. ඒත් මගේ ඒ ඉටු නොවිච්ච බලාපොරොත්තු ඉටුවුණේ හරිම අහම්බෙන්.. කුරුණෑගල පොල්වත්ත ළගම තිබ්බ සොල්දර ගෙදරින් තමයි මං කුරුණෑගල ගියාම කෑම කෑවේ.. මට ඒ ගෙදර කෑම උයලා දුන්නු කෙනා අද මේ ගෙදරත් කෑම උයනවා.."


    දෙයියනේ.. බේබි නැන්දා..? ඔයත් මේ කතාවට සම්බන්ධද බේබි නැන්දේ..? ඔයා, මට පණ වගේ ආදරය කෙරුවෙ ඒකද..? එක අංශු මාත්‍රයකින්වත් මගේ හිත රිද්දන්නෙ නැතුව මාව මලක් වගේ බලාගත්තෙ ඒකද..? තාත්තගෙ කතාවත්තෙක්ක මගේ හිතට ප්‍රශ්න වැලක් ගලාගෙන ආවා..


    "බේබි නැන්දගෙ ගෙදර තමයි සොල්දර ගෙදර.. එහේ හිටියෙ බේබි නැන්දයි, එයාගෙ එකම දුව යශෝධරායි විතරයි.. යශෝධරා කියන්නෙ හුගාක්ම ලස්සන කෙනෙක්.. ඒ වගේම හරිම හොද කෙනෙක්.. මං නිතරම වගේ එහේ ආව ගියපු හින්දා, යශෝධරායි, මායි අතරෙ සම්බන්ධයක් ඇතිවුණා.. මං බැදපු කෙනේ කියලා දැන දැනත් එයා මට හුගාක් ආදරේ කරා.. අපි දෙන්නා අතරෙ ඇතිවෙච්ච ඒ සම්බන්ධෙ ප්‍රතිඵලේ තමයි ඔයා, බන්ටි.."


    එහෙනම් මට හිතිච්ච දේවල් හුගක් දුරට හරි.. බේබි නැන්දා කියලා කියන්නෙ, මගේ ආච්චි තමා.. එයයි, මායි හුගාක් ළග ලේ ඥාතියෝ.. හැමදේම පැත්තකින් තියලා මට ඒ ගැන වෙනමම සතුටු වෙන්න තරම් හිතුණා..


    "එතකොට මගේ අම්මා, කෝ තාත්තේ..? එයා ඇයි අපි ළග නැත්තේ..? බේබි නැන්දත් මෙහේ ආවහම අම්මා කුරුණැගල තනියෙමනේ තාත්තේ..?"


    අන්තිමට මට අහන්න තිබ්බෙ ප්‍රශ්න ටිකත් මං ඇහුවා.. මීදුම ඉවත්වෙලා හැමදේම පැහැදිලි වෙනවා වගේ, පහුගිය කාලෙ වෙච්ච හැම සිදුවීමක්ම වගේ මගේ මතකයට ගලාගෙන ආවා.. සැරින් සැරේට අම්මා කියපු දේවල්, තාත්තා කියපු දේවල් ඒ හැමදේම අතරින් බේබි නැන්දා කියපු දේවල්.. එයා, මාව හැමදේකින්ම ආරක්ෂා කරපු හැටි.. හෙම..


    ඒත් ටිකක් වෙලා යනකල් මං අහපු ප්‍රශ්න වලට උත්තර තාත්තගෙන් හම්බවුණේ නෑ.. ඒක හන්දම මං ඔලුව උස්සලා තාත්තා දිහා බැලුවා.. ජීවිතේට අඩනවා දැකලා නැති, තාත්තගෙ ඇස්වලින්, පීල්ලකින් වතුර ගලනවා වගේ කදුලු ගලාගෙන යන හැටි මං දැක්කා.. ඇයි මේ..? මං අහපු හැමදේටම උත්තර දුන්නු තාත්තා මෙතෙන්දි විතරක් ගොලු උනේ ඇයි..? ඒ ප්‍රශ්නෙ මට අහන්න තිබුණෙ බේබි නැන්දගෙන් විතරයි.. ඒත්.. එයත් අත් දෙකෙන්ම මූණ වහගෙන අඩන හැටි මං දැක්කා.. යශෝධරා කියලා හැදින්වුණු, මාව මේ ලෝකෙට බිහි කරපු ඒ ආදරණිය කාන්තාව දැක ගැනීමේ අතෘප්තිකර ආශාවෙන් මාව ටිකෙන් ටික වෙලා ගන්න පටන් ගත්තා..


    "මගේ අම්මා කෝ බේබි නැන්දේ..? එයාට මොකද වුණේ..? ඔයයි, මායි තාත්තයි මෙතන ඉන්නවා නම්, මගේ අම්මා මෙතන නැත්තෙ ඇයි..?"


    මගේ ආච්චි අම්මා උනාට, බේබි නැන්දට එහෙම කතා කරන්න මගේ දිව නැමුණෙ නෑ.. එදා වගේම අදත්, හෙටත් එයා මට බේබි නැන්දම තමයි..

    "ඇයි ඔයාලා කතා කරන්නැත්තේ..? මෙච්චර ඇත්තක් මට කියලා ඉවර වෙලා ඇයි අන්තිම විතරක් මට නොකියන්නේ..?"


    බේබි නැන්දා ළගට ගිහින්, එයාගෙ අත් දෙකෙන්ම ඇදලා මං කෑගැහුවා.. තවත් දුරට මේ හැමදේම ඉවසන් ඉන්න මට බෑ කියලා මටම තේරුණා.. ඒ තේරෙද්දි තමයි බේබි නැන්දා, මාව තුරුලු කරගත්තේ..


    "මගේ අම්මා මාව දාලා කොහෙද ගියේ බේබි නැන්දේ..? මෙච්චර අවුරුදු ගානක් එයා, මාව නොදැක හිටියෙ කොහොමද..? මගේ අම්මා කෝ තාත්තේ..? එයා, ඔයාට මොනවද කරේ..?"


    "මට, එයා වෙනුවෙන් අංශු මාත්‍රයක දෙයක් කරගන්න බැරි උනා බන්ටි.. යශෝධරා, ඔයා විතරක් නෙමෙයි, මාවයි, බේබි නැන්දවත් දාලා ගියේ ඔයා ඉපදුනු දවසෙමයි බන්ටි.. ඔයා මේ ලෝකෙට ඇවිල්ලා ඇස් අරිනකොට, යශෝධරා මේ ලෝකෙන් එළියට යන්න ඇස් පියාගෙන තිබුණා.. ඔයාව, මගේ අත් දෙක උඩට දීලා, යශෝධරා මට කියන්නෙත් නැතුවම ගිහින් තිබුණා බන්ටි.."


    තාත්තා ඒ අන්තිමට කියපු වචනයක්, වචනයක් ගානෙ මගේ හිත වෙව්ලලා ගියා.. හිතට එක බින්දු මාත්‍රයක් දරාගන්න බැරි උනත්, මොන තරම් කටුක ඇත්තක්ද මේ..? තමන් බිහි කරන අම්මව මරාගෙන, මේ ලෝකෙට ඇස් අරින එකා මොන තරම් පව්කාරයෙක් වෙන්න ඕනද..? ඒ පව් ගෙවලා යන්න තවත් ආත්ම කීයක් ගතවෙලා යයිද..? මං හින්දා තාත්තයි, බේබි නැන්දයි මේ ගෙවිලා ගියපු අවුරුදු විස්ස ඇතුළතදි මොන තරම් දුක් විදින්න ඇතිද..? මාව දකින වාරයක් වාරයක් පාසා එයාලට මගේ අම්ම වුණු යශෝධරාව මතක් වෙන්න ඇතිද..? කොයි තරම් හිතින් පිච්චි පිච්චි ඉන්න ඇතිද..?


    "යශෝධරා නැතිවෙච්ච දවසෙ ඉදලා, ඔයාව මේ තත්වෙට ගන්න මං විදපු දුක ගැන දන්නෙ මං විතරයි.. බේබි නැන්දා උනත් ඔයා හින්දා සෑහෙන්න දුක් වින්දා.. එයා හැමදේම, හැම වත්කමක්ම කුරුණැගල දාලා ඔයා වෙනුවෙන් මෙහෙට ආවා.. ඒත් මේකත් මතක තියාගන්න බන්ටි.. මමයි, බේබි නැන්දයි, යශෝධරා වෙනුවෙන් කරපු කැපවීමට වඩා වැඩි කැපකිරීමක් මේ දැන් ඉන්න අම්මා ඔයා වෙනුවෙන් කරා.. තමන්ගෙ නොවුණත්, එයා, ඔයාට පුංචි වෙනස්කමක්වත් කරේ නෑ.. වචන වලින් මොනාවා කිව්වත්, මොනවා කතා කෙරුවත්, එයාගෙ හිතේ හරි ඉහළ තැනක ඔයා ඉන්නවා.. ඒක මං හොදටම දන්න දෙයක්.. අනික.. ඔයත්තෙක්, එයාට තරහා වෙලා ඉන්න බෑ බන්ටි.. එයා හෙට උදේට ඔයත්තෙක්ක යාලු වෙයි.."


    තාත්තා හුගක් දේ කියවගෙන ගියා.. ඒත් ඒ හැමදෙයින්ම මට තේරුම් ගියේ එකම එක ඇත්තක් විතරයි.. ඒ මං මේ ලෝකෙට බිහි කරපු අහිංසක කාන්තාව අද වෙනකොට ජීවතුන් අතර නෑ කියලයි.. ඇත්තටම තවත් දුරට මෙතන රැදිලා ඉන්න බැරිකමක් මට දැනුණා.. මුළු ලෝකෙම එරෙහි වෙලා මාව බිලිගන්න මහා රකුසු වෙස් අරගෙන ළගින් ළගින් එනවා වගේ මට පෙනුණා.. හිතේ කොණක යාංතමට වගේ රැදිලා තිබ්බ ධෛර්යය කියන දෙයින් පදාසයක්ම ගැලවිලා බිමට වැටෙද්දි කාමරේට යන්න මං පඩිපෙළ නැග්ගා..


    "බ..න්..ටී.."


    "බන්ටි ඔහොම ඉන්න.."


    "බ..න්..ටී.."


    "බන්ටි මහත්තයා.."


    හැමෝම තරගෙට වගේ කතා කෙරුවත් මං හැරිලවත් බැලුවෙ නෑ.. ජීවිතයෙන් හුගාක් දේ අහිමිවෙලා ගියපු මහා දුක බෙදාගන්න ඒ අය අතරෙ කවුරුවත්ම නෑ කියලා මං දැනන් හිටියා.. මට වැඩියක්ම දුක දැනුණෙ ඒකයි..


    ****************************


    හුගාක් දේ නැතිවුණේ නැතත්, හුගාක් දේ නැතිවුණා වගේ දැනෙන මේ හැගීම මොකක්ද කියලා මට තේරුණේ නෑ.. ජීවිතේටම දැකලා නැති උනත්, අම්මා කියන ඒ ආදරණිය කාන්තාව ගැන මගේ හිතෙ තිබ්බෙ ලොකු දුකක්.. ඒත්.. මේ හැමදේටම වග කියන්න ඕනයි කියලා හිතපු තාත්තා වැරදිකාරයෙක් කියලා හිතන්න මගේ හිත නැමුණෙ නෑ.. සිද්ධ වෙච්ච හුගාක් දේ දැන් සිද්ධ වෙලා ඉවරයි.. සිද්ධ වෙච්ච හුගාක් දේ දැන් සිද්ධ වෙලා ඉවරයි.. ඒ හැමදේම අතරෙ තවත් දුරට මේ ගේ ඇතුළෙ රැදිලා ඉන්නෙක ගැන මට ලොකු ප්‍රශ්නයක් තිබුණා..


    අම්මා මට පුංචි වෙනස්කමක්වත් කරේ නෑ කියලා කිව්වට, එයා කතා කරපු වචන මගේ පපුවේ ගැඹුරුම තැන ඇනිලා ලේ ගලන්න පටන් අරන් තිබුණා.. අම්මා කොයි තරම් පහත් විදියටද මට කතා කරේ..? සමහර විට මාව දකින වාරයක් වාරයක් පාසා එයාට මගේ අම්මව මතක් වෙන්න ඇති.. තාත්තයි, මගේ අම්මයි එකතුවෙලා කරපු වැරැද්දට එයාට රිද්දන්න පුළුවන් ලේසිම කෙනා මම විතරයි.. තාත්තත් එක්ක, පහුගිය අවුරුදු ගානෙ රංඩු වෙලා, දැන් ආයෙ අලුතින් රිද්දගන්නවත්, රංඩු වෙන්නවත් දෙයක් අම්මට නැතුව ඇති..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-02.jpg


    02.png


    එළිවෙන්න තිබ්බෙ, ඕන නම් තව පැය තුන හතරක් විතරයි.. අතට අහුවෙච්ච ඇදුම් තුන හතරක් ට්‍රැවලින් බෑග් එකට දාගෙන මං කාමරේ දොර ඇරියා.. බන්ටි තවදුරටත් මේ වහල යට ඉන්නෑ කියන තීරණේ මං ඒ වෙනකොට අරගෙන තිබුණෙ.. අම්මෙක්ගෙ ආදරේ, උණුසුම නැතුව මේ ගෙදර බැරි මරගාතෙ ඉන්නවා කියන්නෙ. මැරි මැරී ඉපදෙනවා වගේ කියන එකයි..


    කාමරේ ඇතුළෙ පැය තුන හතරක් මං නිදා ගන්නැතුව ගත කෙරුවෙ ගෙදර හැමෝම නිදාගන්නකල්.. එතකොට මේ අභිනිෂ්ක්‍රමණය ලේසියි.. අපිව දාලා යන්නෙපා කියලා කෑගහලා අඩන්න, වැළපෙන්න කවුරුවත් නෑ.. 'අහිමිවීම' කියන ලොකු වස්තුව අත් දෙක උඩ තියාගෙන මට මේ ගෙදරින් පිටවෙලා යතෑකි.. මගේ අඩි සද්දෙ මටවත් ඇහෙන්නෙ නැතිවෙන්න මං පඩිපෙළ බැස්සා..


    ගෙදරින් එළියට බහින්න ඕන ලේසිම තැන මං ඒ වෙනකොට හිතාගෙනයි හිටියේ.. ඒ කෑම කාමරේට මෙහායින් තිබ්බ කොරිඩෝව දිගේ ගියහම හම්බවෙන දොර.. සාලෙ දාලා තිබ්බ ලා නිල් පාට ඩිම් ලයිට් එකේ එළිය මුළු ගේ පුරාම පැතිරිලා තිබුණෙ හරියට මට පාර පෙන්නන්න වගේ..


    ඒත් හිමින් සීරුවෙ දොර ළගට කිට්ටු වෙද්දි, ඩිම් ලයිට් එළියෙන් මං දැක්කෙ ඒ තරම් හොද දෙයක් නෙමෙයි.. කෑම කාමරේ දොර ගාව හරහට පුටුවක් තියාගෙන, ඒක උඩ හරි බරි හැගිලා නිදාගෙන ඉන්න අයියව මං දැක්කා.. එහෙනම් මං හිතුවට වැඩිය මේ මනුස්සයා සෑහෙන්න දුර කල්පනා කරලා තියෙනවා වගේ..


    මං ආපහු හැරුණෙ, ඊගාවට එළියට යන්න ලේසිම දොර හොයාගෙන.. ඒ කුස්සියෙ, බේබි නැන්දගෙ කාමරේ ගාව දොර.. අඩියට දෙකට එතනට ආවත්, දැකපු දෙයින් මට තරු විසි උනා.. මොන අවමගුලක්ද මේ..? කුස්සියෙ දොර ගාවම දිග කුෂන් බංකුව හරහට දාගෙන ඒකෙ උඩ නිදි කිරා වැටුණෙ වෙන කවුරුවත් නෙමෙයි.. බේබි නැන්දා..


    දැන් ඉතිං එළියට පනින තැන් දෙකක් ඉවරයි.. තම දෙකයි ඉතිරිවෙලා තියෙන්නේ.. මං ආයෙත් හරිලා අම්මගෙ කාමරේ ගාවින් ගිහි්ලලා, ඉස්සරහ කාමරේ දිහාට ඇවිදගෙන ගියා.. ඒ වෙනකොට ඉස්සරහ ලොකු දොර ළග දිග හාන්සි පුටුවක් තියාගනෙ, දොර සම්පූර්ණයෙන්ම ආවරණය කරගෙන හාන්සි වෙලා ඉන්න තාත්තව මං දැක්කා..


    දැන් ඉතිං තවත් බලලා වැඩක් නෑ.. අතින් දොර ගාව ෂුවර් එකටම අක්කා ඇති.. ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ.. මෙයාලා මේක හිතාමතාම නියමෙට ප්ලෑන් කරලා කරපු දෙයක්.. කෝක වෙතත් මං ඉස්සරහ කාමරේටත් එබිලා මගේ සැකේ දුරු කර ගත්තා.. ආයෙ මොනවද, දොරට හේත්තු කරපු ඩිවාන් එකට වෙලා අක්කා සනීපෙට නිදි..


    එහෙනම් කට්ටියම එකතුවෙලා බන්ටිව නොකවුට් කරලා දැම්මා.. එහෙමද ඔයාලා හිතන්නේ.. මොන පිස්සුද..? මේ බන්ටි මොන අවමගුල ආවත් පස්සට යන්නෑ.. ඉස්සරහට යන්න බැරි නම් හරහට හරි යනවා මිසක.. මං ට්‍රැවලින් බෑග් එකත් අරගෙන ආයෙත් මගේ කාමරේට ආවා.. දැන් ඉතිං හැම පහසු වැඩක්ම පැත්තනට දාලා බන්ටිට ජංගල් කෝස් එකකුයි කරන්න වෙන්නේ..


    බෙඩ්ෂිට් දෙක තුනක් එකට ගැටහගලා, ඒ මැද්දෙ ලොකු ගැට දාලා, එක කොනක් මං බැල්කනියෙ සිල්වර් බාර් ඒකේ ගැට ගැහුවා.. බෙඩ් ෂිට්වල ඉතුරු කොන බැල්කනියෙන් පහළට දාලා, මං කොට තාප්පෙට නැග්ගා.. මොරීන් අක්කා අර තරම් අමාරුවෙන් මේ බැල්කනියට ආවා නම්, බන්ටිට මේකෙන් පල්ලෙහාට බහින එක කජ්ජක්ද අප්පා..?


    කිසිදු අවුලකින් තොරව මං පල්ලෙහා ගාඩ්න් එකට බැහැගත්තා.. දැන් ඉතිං ගෙදර මිනිස්සු කතන්දරේ දැනගන්නෙ හෙට උදේ උනාම.. ඒකත් මේ බෙඩ්ෂිට් ටික දැක්කම.. මෙච්චර කාලෙකට මට හෙවන දීපු, මාව බලාගත්තු, මට ආදරේ කරපු මිනිස්සු ඉන්න ගේ දිහා නිකමට වගේ හැරිලා බලද්දි මට මහා වේදනාවක් දැනුණා.. ඒ වේදනාවත් එක්ක දැනුණු හිත පුච්චලා දාන කාංසියක් මගෙ ආත්මයම මිරිකලා දැම්මා..


    අවුරුදු කීයක් නම් මේ ගේ ඇතුළෙ අපි සංතෝසයෙන් හිටියද..? මේ ගේ ඇතුළෙන් වැඩිපුරම ඇහෙන්න ඇත්තෙ මගේ කටහඩ.. මගේ හිනාව.. අද ඉදන් ඒ හැමදේම ඉවරයි.. මගේ හිනාවක් ආයෙ කවදාවත් මේ ගේ ඇතුළෙන් ඇහෙන එකක් නෑ.. අඩුගානෙ මේ රහස එළි නොවී තිබුණා නම්..? කොයි තරම් හොදද කියලා මට හුගක් වෙලාවට හිතුණා.. මං මේ කිසිම දෙයක් නොදැන හිටියා නම් ඇත්තටම මේ කිසිම දුකක් නෑ.. එහෙනම් අදටත් මං හුගාක් සංතෝසෙන් ජීවත් වෙන කොල්ලෙක්..


    "බන්ටි මල්ලි.."


    හෙමින් සීරුවෙ ගේට්ටුව දිහාට ඇවිදගෙන එද්දි මගේ ඉස්සරහටම ආපු කෙනා දැක්කම, මට කරගන්න දෙයක් නැතිවුණා.. මොන අවනඩුවක්ද දෙයියනේ මේක..? ඇයි මටම මෙහෙම වෙන්නේ..? මට ඔයාගෙන් කවදාවත් ගැලවීමක් නැද්ද..?


    "ඔයා මොනවද මොරීන් අක්කෙ මෙතන කරන්නේ..? අනික අපේ වත්ත ඇතුළෙ..?"


    අම්මපා.. බන්ටිගෙ හිත ෆිට් හින්දා හොදයි.. වෙන කොල්ලෙකුට හෙම මේ සිද්ධිය උනා නම් ඌට නූල් හත අටක්වත් දාන්න වෙනාව.. ඇයි කියලද ඇහුවේ..? ඇයි හත් දෙයියනේ.. අවමගුලකට වගේ සුදු පාටින් සැරසිලා, මේ පට්ට රෑ ගේට්ටුව ළග ඉන්නකොට ඕන හිත හයිය පපුවක් වෙව්ලලා ෆිලමන්ට් එක පිච්චෙනවනේ..


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "මම නම් කරන්නෙ වෙනදා කරන වැඩේම උනත්, අද ටිකක් විශේෂයි.."

    "ඒ කියන්නේ..?"


    "ඔයාගෙ සුදු රසික අයියව බලන්න මං ආවේ..?"


    එතකොට විශේෂයි කියලා කිව්වේ, අපේ එකාගෙ කාමරේට රිංගන එකද දන්නෑ.. දෙයි හාමුදුරුවන් පල්ල.. මේ යෝදිට නම් පිස්සු දෙයියනේ.. අනික මොන වින්නැහියක්ද මේ..? මං කොහොමද දැන් මෙතනින් පැන ගන්නේ..? මීට වඩා හොදයි මං අර ගෙදර මුර කරන, මුරකාරයොන්ටම අහුවුණා නම්.. අනික මේ තරම් සිරා කොමාන්ඩෝ කෝස් එකක් කරලත්, හැමෝගෙම ඇස් වහල පැන්නත්, මං මේ යෝදිගෙ අතටම අහුවුණානේ දෙයියනේ..


    "ඔයාට නම් නියපොත්තෙ ඉදලම පිස්සු මොරීන් අක්කේ.. අයියා මේ වෙලාවෙ කීයටවත් එළියට එන්නෑ.. ඔයා දැන් ගිහින් නිදාගන්න.. ඕනම නම් ආයෙත් මේ වගේම වෙන දවසක ට්‍රයි එකක් දාන්න.."


    "හරි.. බන්ටි මල්ලි.. අවවාදෙට තෑන්ක්ස්.. එහෙනම් ඉතිං අවවාදෙ වගේම ආදරේශෙත් හරියට කරන්න.."


    "ඒ.. ඒ.. මොකක්ද..?"


    "මොකක්ද කියලා අහන්නේ..? ඔයත් දැන් ගෙදර ගිහින් නිදාගන්න.. ඔයා මේ වෙලාවෙ කොහේවත් යන්නෑනේ.."


    මං දිහා හොදට බලන ගමන් මොරීන් අක්කා කිව්වා.. දැන් ඉතිං බන්ටිට මේ යෝදිගෙන් ගැලවීමක් නෑ කියනෙක බුදු ෂුවර්..


    "මට කොහේවත් යන්න තියෙනවද නැද්ද කියලා, ඔයා දන්නෙ කොහොමද..? මොරීන් අක්කේ මේ.. පිස්සු නැතුව ගෙදර ගිහින් නිදාගන්න.. මටත් පරක්කු වෙනවා.."


    මං, මොරීන් අක්කව පැත්තකට කරලා ගේට්ටුව ළගට ළංවුණා..


    "බන්ටි මල්ලි මේ.. හොදට ඉන්න මොරීන් අක්කව යකෙක් කරන්නෙපා හරිද..? ඇත්තමයි.. මං මුළු නුවරටම ඇහෙන්න කෑගහනවා ඔයා ගෙදරින් පැනලා යනවා කියලා.. ඔයා දන්නවනේ මගේ කටේ සද්ද.."


    "මොනවා..! මං ගෙදරට හොරෙන් යනවා.. ඔයා මොනවද මේ කියන්නේ..? ඔයාට පිස්සු හැදීගෙන එනවද..?"


    "මට ඇති පිස්සුවක් නෑ.. මං කියන්නෙ හරි දේ.. ඔයා තාම දන්නෑ මේ මොරීන් අක්කා, ඔයාට කොයි තරම් ලෙංගතුද කියලා.. ඔයා ඒක දැන ගන්නකොට සමහර විට මං මේ පැත්ත පළාතකවත් නැතිවෙයි.. ඊයෙ රෑ ගෙදර වෙච්ච හැම කතාබහක්ම මං අහගෙනයි හිටියේ.."


    ඔය වැඩේ සිද්ධ වෙලා තියෙන්නෙ මහ කෙලියෙන්ම.. එහෙනම්.. ඒකයි මේ මොරීන් අක්කා මග රැකගෙන ඉදලා තියෙන්නේ..


    "ඔයා ගැන අයන්නෙ ඉදලම දන්න හින්දා මට හිතිච්ච එකම දේ තමයි ඔයා මේ ගෙදරින් හෙට එළිවෙන්න කලින් යනවා කියනෙක.. මං මේ ගේට්ටුවෙන් ඇතුල් උනේ වෙන වැඩකට උනත්, මං මෙච්චර වෙලා රැදිලා හිටියෙ ඔයා හින්දා බන්ටි මල්ලි.."


    ජීවිත කතාවෙ අන්ත අසරණ පරිච්චේදයක් මැද හිටපු මට, මොරීන් අක්කගෙ කතාවෙන් ඇස් දෙකට කදුළු උනාගෙන ආවා.. ඇත්තටම අපි කාටත් වැඩිය හොද හදවතකුයි මොරීන් අක්කට තියෙන්නේ.. එළියෙන් දකිනවට වඩා කොයි තරම් ලස්සන හදවතක්ද එයාට තියෙන්නේ..?


    "ඔයාම මාව හැමදාවත් විහිලුවක් කියලා මං දන්නවා.. ඒත් මට ඔයාව අමතක කරලා දාන්න බැරි හේතු ගොඩක් තියෙනවා.. සමහර විට මම රසිකව අමතක කරලා දැම්මත් මට ඔයාව අමතක කරලා දාන්න බැරිවෙයි.. ඊයෙ වෙච්ච කතා බහේදි ඔයා කොයි තරම් අසරණ වුණාද කියලා මං දැක්කා.. ඔයා වෙනුවෙන් කරන්න හුගාක් දේ මට නැති උනත්, කරන්න පුළුවන් එකම දේ මම කරා.."


    "ඒ කිව්වේ..?"


    "ඔයා මේ ගෙදරින් යන එක නවත්තන එක.."


    "ඇයි ඔයා එහෙම කරන්නේ..?"


    "හේතු ගොඩක් හින්දා.. මොන කතාව කිව්වත්, මේ ගෙදර හැමෝම ඔයාට පණ වගේ ආදරෙයි බන්ටි මල්ලි.. අතීතයෙ වෙච්ච හුගාක් දේවල් අතීතයේම තියෙනවා නම් හුගාක් හොදයි.. මොකද මිහිදන් වෙච්ච දේවල්, අලුත් ඒවා විදියට ගොඩනගන්න ගියහම හොදට තියෙන මේ ලෝකෙ විනාස වෙනවා.. ඒක හින්දා ඔයා ඊයෙ රෑ සිද්ධ වුණු හැම දෙයක්ම අමතක කරලා දාලා පුරුදු විදියට ජීවිතේට මුණ දෙන්න.. ඔයාට ඒක කරන්න පුළුවන්.. ඔයාගෙ හිත හයියයි.. ප්‍රශ්න වලින් පැනලා ගිහින් තේරුමක් නෑ.. ඒ හැම ප්‍රශ්නෙටම මූණ දෙන්න.. අපේ ජීවිත ශක්තිමත් වෙන්නෙ එතකොට.. අපි ප්‍රශ්න වලින් පැනලා ගියොත්, ආයෙ ටික දවසකින් ඒ ප්‍රශ්නෙම, ඊටත් වැඩිය අමාරු වෙලා අපි ඉස්සරහට එනවා.."


    "හොදයි.. මොරීන් අක්කා කියන්නෙ මට මොනවා කරන්න කියලද..?"


    "මං ඉස්සෙල්ලත් කිව්වා වගේ මහා ශක්තියකින් ජීවිතේට මූණ දෙන්න.. ඔයාට කිසිම දෙයක් නැතිවෙලා නෑ.. හැමදේම තිබ්බට වැඩිය හොදට තියෙයි.. හුගාක් වෙලාවට මට නැති හුගාක් දේ ඔයාට තියෙනවා.. ඔයාට සැනසෙන්න තියෙන කාරණා හුගාක් වැඩියි.. වෙච්ච හැමදේම අමතක කරලා දාලා, වෙනදා වගේම හොද හිනාවක් බැල්කනියෙන් පල්ලෙහාට දාන්න.. මං හිතනවා ඔයා මගෙ කීම අහයි කියලා.."


    "එහෙම ඇහුවෙ නැත්නම්..?"


    "නැතිවෙන්න බෑ.. වෙනදා වගේ නෙමෙයි.. මං අද පාන්දර වෙනකන් පිණි බෑවෙ ඔයා හින්දා.. අඩු ගානෙ මොරීන් අක්කා ගැන පුංචි කැක්කුමක් හරි ඔය පපුව ඇතුළෙ තියෙනවා නම් ඒ ගැනත් ඩිංගක් හරි හිතන්න.. ඒ වගේම.. මං ලොකු තිරණයක් අරගෙනයි මේ ඉන්නේ.. කාට කිව්වෙ නැතත් මං ඒ තීරණේ ඔයාට කියනවා.. එහෙනම් බන්ටි මල්ලි.. අදට අපි වෙන්වෙමු.. ඒ වගේම අනාගතයෙදි මීට වැඩිය වෙනස් තැනකදි අපි ආයෙ හම්බවෙමු.."


    තවත් වචනයක්වත් කියන්නැතුව මොරීන් අක්කා ගේට්ටුව ඇරගෙන වත්තෙන් පිට උනා.. බෑග් එකත් අතේ තියාගෙන මං කල්පනා කෙරුවෙ ඊගාවට මොකද කරන්නෙ කියලා.. ඇත්තටම ගෙදරින් යන සිතුවිල්ල ඒ වෙනකොට බොහොම පල්ලෙහා මට්ටමකයි තිබුණෙ.. මං හිතුවෙවත් නැති විදියට මොරීන් අක්කා ඒ හැමදේම වෙනස් කරලා තිබුණා.. එයා ඒ කියපු දේවල් අනුව මට හිතුණෙ ඇයි මං ගෙදරින් යන්නෙ කියලා.. මගේ කවුද මේ වත්තෙන්, මේ නුවර ටවුන් එකෙන් එහා ඉන්නේ..? මෙතනින් ගිහිල්ලා මං මොනවද කරන්නේ..?


    තවත් තත්පරයක්වත් මං හිතුවෙ නෑ.. ආපහු මං ගේ දිහාට හැරුණා.. ඇදක් කුදක් නෑ.. මං කෙලින්ම ඉස්සරහ දොර ගාවට ගිහින් බිත්තියෙ තියෙන බෙල් එක කීප සැරයක්ම එබුවා.. මේ බෙල් එක දිගටම ඔබාගෙන ඉදලා මං මේ ගෙදර බෙල් කීයක් නම් පුච්චලා ඇත්ද..? ඇත්තටම මේ ගෙදර ඇතුළෙදි මං කරපු කියපුව ලියන්න පොත් සීයක් විතර ඕනවෙයි.. කලබල සද්ද තුන හතරක් ගේ ඇතුළෙන් ඇහිලා, ඊගාවට ඇහුණෙ ඉස්සරහ දොර ගාව තිබ්බ හාන්සි පුටුව ටයිල් උඩ අදින සද්දේ.. ඔන්න ඊගාවට තමයි ගෙදර මහ දොර එකපාරමට ඇරුනෙ.. ඇරිච්ච දොරෙන්, අම්මා ඇරෙන්න අනිත් හතර දෙනාමගෙම මූණු එළියට එබුණා.. ඒකත් මරු අප්පා.. මේ පාන්දර ජාමෙ, ඉස්සරහ දොරෙන් තරගෙට වගේ මං දිහා බලන් ඉන්නෙක..


    "කෝ.. අයින් වෙන්න ඉතිං.. මනුස්සයෙක් මහන්සි වෙලා ගෙදරට ආවහම ඔහොම දොර හරස් කරගෙන ඉන්නවද..? අම්මපා ඔයාලා මැනර්ස් කියලා මෙලෝ ජාතියක් දන්නෑනේ.."


    හැමෝගෙම ඇස් බෝල එළියට පනින තරම් ලොකු වෙලා තිබුණා.. අම්මපා.. ඉතිං ඇත්තනේ.. කාටවත් හිතාගන්න තියා මවා ගන්නවත් බැරිවෙන්නැති බන්ටි කොහොමද මේ තරම් මුරකාවල් දාලා තියෙද්දි ගෙදරින් ගියේ කියලා..


    "බ..න්..ටී.."


    "ඔ.. ඔයා කොහොමද එළියට ගියේ..?"


    "බන්ටි මහත්තයා.. ඔයා මගේ දොරෙන් නෙමෙයි නේද එළියට ආවේ..?"


    "ජනේලෙකින් වත් පැනලා ගියාද දන්නෑ.."


    කට්ටියම නානා ප්‍රකාර දේවල් කිය කියා ප්‍රශ්න අහද්දි, එයාලට ඕන දෙයක් හිතාගන්න ඉඩ දීලා මං කාමරේට ආවා.. හැමෝම මං යන එක නවත්තන්න හැදුවත් අම්මා විතරක් ඒකට දායක උනේ නැත්තෙ, එයා මට කැමති නැති හින්දා වෙන්නැති කියලා ආයෙත් පාරක් මගෙ හිතට ආවා.. ඒත් ඒ සිතුවිල්ලයි, මං අම්මා ගැන හිතපු දේවලුයි කොයි තරම් වැරදිද කියලා මට තේරුණේ කාමරේ ඇතුළ දකිද්දි.. මං බැල්කනියෙන් පහළට බැස්ස බෙඩ්ෂිට් ටිකත් අතේ තියාගෙන, අම්මා මගේ ඇද උඩින් වාඩිවෙලා හිටියා.. ඒ ඇස් දෙක තිබ්බෙ මගේ මූණෙමයි.. මටත් වෙන දිහාවක් බලන්න උවමනාවක් තිබුණෙ නෑ.. මමත් කෙලින්ම අම්මා දිහා බැලුවා..


    "ඇයි බන්ටි මාව දාලා යන්න ගියේ..?"


    ඒ වචනවල තිබ්බ දුක්බර කමටම මගේ ඇස් වලට ආයෙත් කදුළු උනාගනෙ ආවා.. ඒ කදුලුත් එක්කම මට මහා සංතෝසෙකින් හිතන්න පුළුවන් හුගාක් දේවල් අම්මගෙ වචන ටික ඇතුළෙ තිබුණා.. ඒ කියන්නෙ අම්මා මාව අතෑරලා දාලා නෑ.. එයාගෙ හිතේ මං තාමත් ඉන්නවා..


    "මං කොහේවත් ගියේ නෑ අම්මා.. මේ යස අගේට බන්ටි ගෙදර ඉන්නේ..?"


    හැමදේම අමතක කරලා දාලා, මං අම්මගෙ ළගින් ඇදේ වාඩිවුණා.. මොරීන් අක්කා කිව්වා දේවල් මොන තරම් ඇත්තද..? මේ දැන් සිද්ධවෙන දේවල් දිහා බැලුවාම මට මොරීන් අක්කා ගැන ලොකු ආඩම්බරයක් දැනුණා.. එයා එළියට වෙලා එළීවෙනකල්ම පිණි බෑවෙ මං හින්දනේ..


    "එතකොට මේ මොනවද බන්ටි..? මං මේවා අර බැල්කනියෙ බාර් එකේ තිබිලයි ලිහාගත්තේ.. ඔයා මේ ගෙදරින් පිටවෙලා යන්න නේද ගියේ..?"


    මට කියන්න දෙයක් තිබුණෙ නෑ.. අම්මගෙ ඇස් දෙක පුරාම කදුළු පිරිලා.. මං කියන පුංචි වචනෙකින් හරි ඒ කදුලක් බිමට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියලා මට හිතුණා.. ඒක හින්දම මං හුගාක් දුරට කට පරිස්සම් කරගත්තා..


    "මගෙන් ඔයාගෙ හිත හොදටම රිදුණා.. ඒත් මං ඒ හැම දෙයක්ම කරේ මගේ හිතේ වේදනාව පිට කරන්න.. ඒත් ඔයාගෙ හිතත් රිදිලා, ඔයා මේ ගෙදරින් යන්න ගිහිල්ලත් මගේ හිතේ වේදනාව අඩුවක් වුණේ නෑ බන්ටි.. ඔයා විශ්වාස කරන්න.. මං ඔයාට මොන දේ කිව්වත්, මේ හැම කෙනාටම වැඩිය මං ඔයාට ආදරෙයි.. කොයි වෙලාවක හරි මීට පස්සෙ මගෙත් එක්ක තරහා වෙලා ඔයා මේ ගෙදරින් යනවා නම් මගේ බෙල්ල මිරිකලා දාලා ඉවරයක් කරලා යන්න.. මට තවත් මේ දුක විදින්න බෑ.."


    "අම්මා.. ඔයා මොනවද මේ කියන්නේ..? මං ඔයාව දාලා ගියේ නෑනේ.."


    "නැත්තෙ නෑ බන්ටි.. ඔයා මාව දාලා ගියා.. ම.. මට මුළු රෑ පුරාම නින්ද ගියේ නෑ.. ඔයාගෙ මූණමයි මට මැවිලා පෙනුණෙ.. මං කෙරුවෙ මොන තරම් පහත් වැඩක්ද කියලා හිතෙනකොට මගේ ඔලුව පුපුරන්න වගේ ආවා.. ඇත්තටම මං යශෝධරාව හැබැහින් දැකලා නෑ.. දැකලා තියෙන්නෙ ඔය බේබි නැන්දා ගාව තියෙන පින්තූරෙකින් විතරයි.. ඒ පින්තූරෙ ඉන්න යශෝධරා, මට ඊයෙ රෑ කී පාරක් නම් පෙනුණද කියලා දන්නෙ මමම විතරයි.."


    එහෙනම් අර එක දවසක්, අම්මා ඔය කියන පින්තූරෙ අතේ තියාගනෙ තමයි බේබි නැන්දා අඩ අඩා හිටියේ.. මං අතට අරගෙනත් බැලුවේ. මට ඒ පිංතූරෙ හුරු පුරුදුයි කියලා වගේ දැනුණෙ ඒ මගේ අම්මා හින්දා වෙන්නැති..


    "ඇදට වෙලා ඉන්න බැරිම තැන තමයි මං ඔයාව හොයාගෙන කාමරේට ආවේ.. එතකොටයි මං දැනගත්තෙ ඔයා කාමරේ නෑ.. ඔයා මේ ගෙදරින් යන්න ගිහිල්ලා කියලා.. ඔයා දන්නවද බන්ටි.. මට ඒ වෙලාවෙ දැනුණ තරම් වේදනාවක්, යශෝධරා ඔයාගෙ තාත්තා එක්ක සම්බන්ධ වුණු වෙලාවෙවත් මට දැනුණෙ නෑ.. ඔයා ආපහු ආපු එක කොයි තරම් දෙයක්ද බන්ටි.. මට කියන්න.. මට කියන්න.. ඔයා ආයෙ මාව දාලා යන්නෑ කියලා.."


    අම්මා, මාව තද කරලා තුරුළු කරගත්තා.. ඒ ඇස්වලින් ගලාගෙන ගියපු කදුළු වලින් මගේ පිට තෙතබරිත කරලා දැම්මා..


    "අඩන්නැතුව ඉන්න අම්මේ.. අම්මා ආයෙ මට මොනවා කිව්වත්, මං අම්මව දාලා කොහේවත් යන්නෑ.. මං විශ්වාස කරනවා.. අම්මට ඕනම දෙයක් කියන්න සාධාරණ අයිතියක් තියෙනවා කියලා.. ඒ වගේම ඒ අයිතියට මං ගරු කරනවා අම්මේ.."


    තවත් ටික වෙලාවක් මාව තුරුළු කරගෙන ඉදපු අම්මා ඇදෙන් නැගිට්ටා.. කදුළු වලින් පිරිලා ගියපු ඒ මූණ දැක්කම මට ආවෙ, මං ගැනම මහ තරහක්..


    "ඉස්සර වගේම ඔයාගෙ හිනා සද්දෙ මේ මුළු ගේ පුරාම ආයෙත් ඇහෙයි කියලා මං හිතනවා බන්ටි.. ඔයා, මට නැති වුණොත්, මගේ ලෝකෙට ඉරවල් දහයක් පෑව්වත් එළියක් ලැබෙන්නෑ බන්ටි.. ඔයා හැමදාම මගෙ ළග ඉන්නෝන.. ඔයා හිතනවට වඩා වැඩිය මං ඔයාට කොයි තරම් ආදරෙයිද කියලා ඔයාට තේරෙයි.. අන්න ඒ දවස හුගාක් ඉක්මනට උදාවෙයි කියලා මං හිතනවා.."


    ටිකක් වෙලා ගියාට පස්සෙ මං ඔලුව ඉස්සුවා.. ඒත් ඒ වෙනකොට අම්මා කාමරෙන් ගිහිල්ලා තිබුණා.. තමන්ගෙ නොවන දරුවෙකුට, තමන්ගෙ දරුවො ළග ඉද්දිම මේ තරම් ආදරේ කරන්න අම්මා හිත හදාගෙන තියෙන්නෙ කොහොමච කියලා මට හිතාගන්න බැරිවුණා.. ඒ කොහොම උනත්.. මං දැකපු ශ්‍රේෂ්ඨතම කාන්තාව අම්මා කියනෙක විවාදයකින් තොරව පිළිගන්න මගේ හිතට නිකම්ම සිද්ධ උනා.. ඇත්තටම මං ඒක හුගාක් සංතෝසෙන් පිළිගත්තු දෙයක්..


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ****************************

    දවස් කීපයක් මෙලෝ හැල හොල්මනක් නැතුව ගෙවිලා ගියා.. මං ගෙදරින් විහිලුවකට වත් එළියට බැස්සෙ නෑ.. අම්මත් දවස් දෙක තුනක්ම නිවාඩු දාලා ගෙදරට වෙලා මාත් එක්කම හිටියා.. පහුගිය දවසක සිද්ධවුණු ඒ අවාසනාවන්ත කතාබහ ගැන ඊට පස්සෙ අපේ ගෙදර කවුරුවත්ම මතක් කලේ නෑ.. හැමෝම හැසිරුණේ එහෙම කතාබහක් ජීවිතේට සිද්ධ වුණේ නැති විදියට.. අම්මපා මිනිස්සුන්ට මේ විදියට අතීතය අමතක කරන්න පුළුවන්ද..? අනික ඉතිං ඒක මතක් කරලා උයා පිහාගෙන කන්නද..?


    කොහොම උනත් මාව මේ ලෝකෙට බිහි කරපු අම්මා ගැන මතකය මහා වේදනාවක් වගේ මගේ හිත ඇතුළෙ නිතරම රැදිලා තිබුණා.. ඒත් මං ඒක කාටවත් අගවන්න ගියේ නෑ.. එහෙම උනා නම් ආයෙත් මෙතන මළ ගෙයක් වෙනවා.. මමත් හැසිරුනේ හැම දෙයක්ම අමතක වෙලා ගියපු විදියට.. ඒත් මට කිසි දෙයක් අමතක උනේ නෑ කියලා කියන්න මම දැනගෙන හිටියා..


    "බන්ටි මහත්තයෝ.."


    හැන්දෑවෙන්න ඔන්න මෙන්න කියලා වගේ තියෙද්දි මට බේබි නැන්දගෙ කටහඩ පල්ලෙහායින් ඇහුණා.. ඒ පාර මොකක්ද..?


    "ඇයි බේබි නැන්දේ..?"


    මගේ ආච්චි අම්මා උනත්, කවදාවත් මට කටක් ඇරලා බේබි නැන්දට එහෙම කියන්න බැරිවෙයි.. කොටින්ම මගේ ආච්චි අම්මා වෙන්න කලින්නේ මට එයා බේබි නැන්දා උනේ..


    "මෙන්න ගෑනු ළමයෙක් කතා කරනවා.."


    "කවුද බේබි නැන්දේ..?"


    "නිරෝෂි කියලා ගෑනු ළමයෙක්.."


    හුටා.. දැන්නේ මට මතක් උනේ නිරෝෂිගෙ කොන්ත්‍රාත් එක.. දැන් මම එයාට මොනවද කියන්නෙ අප්පේ.. පහුගිය දවස්වල තිබ්බ අලකලංචිවල හැටියට ඕක අමතක උනා කියන්නෙ ඒ තරම් ලොකු දේකුත් නෙමෙයි..


    "හෙලෝ නිරෝෂි.."


    "මගෙ වැඩේ කොහොමද බන්ටි..?"


    දෙකක් නෑ.. ආරලු බුරලු නැතිව කෙල්ල කෙලින්ම කතාවට බැස්සා.. අම්මපා ඔහොම ඉන්නවා නම් මොනවද අප්පේ කරන්න බැරි.. බලන් ගියාම නිරෝෂිත් අංශක අනූවට වැඩිය කෙලින්නේ..


    "වැඩේ නම් අල වුණා.."


    "ඒ කිව්වේ..?"


    "ශලනි ඉදපු ගෙදර ළගටම ගියා.. ඒත් එයා හිටියෙ නෑ.. මට හිතෙන්නෙ එයා තාත්තත් එක්ක කොහේ හරි ගිහිල්ලා කියලයි.. ගෙදරත් මහ පාලු බංගලාවක් වගේ තිබ්බේ.."


    "අ.. අනේ එහෙම උනොත් හරි වැඩක්නේ වෙන්නෙ.. මට එයාව කොහොම හරි මීට්වෙන්න ඕන බන්ටි.. අපි දැන් මොකද කරන්නේ..?"


    "ඒක තමයි මාත් මේ කල්පනා කරේ.. කොහොම උනත් මං තව තුන් හතර පාරක් ට්‍රයි කරන්නම්කෝ.."


    "මං කියන්නද බන්ටි.. ශලනිගෙ ගෙදර යන්න මමත් ඔයා එක්ක එන්නම්.. අපි පොඩ්ඩක් ඒ අවට ගෙවල් වලින් අහමු එයාලට මොකද උනේ කියලා.."


    ඒ පාර මොකක්ද අප්පෙ මේ වෙන්න යන්නේ.. නිරෝෂිත් එක්ක, ශලනිව හොයන්න යන එක නම් ඒ තරම් හොද දෙයක් වෙන්න බෑ.. 'උත්තරයක් දෙන්න කලින් තව පාරක් හිතපං බන්ටි' කියලා මගේ හිත මට කිව්වා..


    "අහන්න තියා බලන්නවත් ඒ හරියක ගෙයක් නෑ.."


    "ඒ කිව්වේ..?"


    "ඒ හරියෙ තියෙන තරමක් තියෙන්නෙ අපිටත් වැඩිය උස තාප්පයි, අලිපත ගේට්ටුයි විතරයි.. වැරදිලා හරි ශලනි ගැන අහනවා නම් අපට අහන්න වෙන්නෙ ළගම තියෙන තාප්පෙකින් තමයි.."


    ෆෝන් එක එහා පැත්තෙන් 'හිචිස්' ගාල හිනාවක් පැන්නා.. අවුලක් නැතුවම නිරෝෂි සද්දෙට හිනාවෙන සද්දෙ ඊගාවට මට ඇහුණා..


    "ඔයා කියන කතා නම් හරිම ෂෝක් බන්ටි.."


    ෂෝක් එක, ෂෝ කේස් එකක් වෙයි මේ කතා බින්දුවා අහගෙන හිටියා නම් හෙම.. ඌ හිතයි මායි, නිරෝෂියි එදා හමුවීමෙන් පස්සෙ, අයථා සම්බන්ධයක් ඇති කරගෙන කියලා.. පිස්සුද මංදා.. බන්ටිට ඕවා නම් විහිලුවටවත් ඕන නෑ.. ආදරේ කියනෙක ළගින් ගියත් මහා බරක්ලුනේ..


    "දැන් බින්දු මොකද කියන්නේ..?"


    හුග දවසකින් බින්දුත් කතා කලේ නැති හන්දම මං නිරෝෂිගෙන් ඇහුවා.. ඒත් මං ප්‍රශ්නෙ අහපු තරම් ඉක්මනට උත්තරේ නම් ලැබුනෙ නෑ.. උත්තරේ ආවෙ, තැපැල් දුම්රිය පරක්කු වෙලා බදුල්ලට එනවා වගේ..


    "මොනවා කියන්නද බන්ටි.. එයා මගෙත් එක්ක හිත හොදින් නෙමේ ඉන්නේ.."


    කිරි අප්පට ගොන්නු ඇනපි.. ඒ මොන වින්නැහියක්ද අප්පේ..! මේ ආදරේ ආරක්ෂා කරන්න ගිහින් නේද අපි අර ඇටකිච්චටත් සිහියක් පතක් නැතිවෙනකන් තඩි බෑවේ.. ඌ ඊට පස්සෙ කැත නැතුව ගම රට අතෑරලා ගියේ..


    "හිත හොදින් නෙමේ කියන්නේ..?"


    "ශලනිගෙ ප්‍රශ්නෙට එයා අවුල්වෙලා ඉන්නේ.. මං ශලනි ගැන මුලින්ම කිව්වෙ නෑ කියලා.. ඔයාම හිතන්න බන්ටි.. මේ හැමදේම හුගාක් කාලෙකට කලින් වෙච්ච දේවල්.. අම්මයි, මමයි මේ කිසි දෙයක් මතක් කරන්නෙ නෑ.. ඒත් මේ හැමදේම හිතපු නැති වෙලාවක උඩට ආවම මම පළිද..? හරි නම් බින්දු දැන් කරන්න ඕන මට උදව් කරන එක නේද, පැත්තකට වෙලා ඉන්නැතුව..? එයාගෙ ප්‍රශ්නෙදි මං එයාට උදව් කරේ පරණ දේවල් ගැන අහලද..? එයාගෙ පුංචි අම්මා ගැන මට කලින් කියලා තිබ්බෙ නෑ කියලා, මං බින්දුත් එකක් රණ්ඩු කරේ නෑනේ බන්ටි.. ඇයි දැන් එයා මගෙත්තෙක්ක තරහෙන් ඉන්නේ.."


    නිරෝෂි හුගාක් දේවල් කියවගෙන ගියා.. මගේ හිත ඇතුළෙ මහා ප්‍රශ්නයක් තිබ්බ වුණත්, ඒ හැමදේම තියාගෙන නිරෝෂිගෙ කතන්දරේට අතදාන්න තිබුණා..


    "මං බින්දුට කතා කරන්නම්.."


    "එපා බන්ටි.. ඔයාට වගේම එයාටත් තව කෙනෙක් ගැන අනුකම්පාවෙන් හිතන්න පුළුවන් වෙන්න ඕන.. ඒත්.. බින්දු හිතන්නෙ එයා ගැන විතරයි.. එයාට එහෙම්ම ඉන්න දෙමු.. ඔයා, මට ශලනිව හොයන්න උදව් කරන්න.. ප්ලීස්.."


    නිරෝෂිගෙ ප්ලීස් එකේ දිගේ මහවැලි ගගටත් වැඩිය දිග වුණා.. මං හිතුවෙ ඒක දැන්, මේ දැන් මුහුදට වැටෙයි කියලා..


    "මට තව දවස් දෙකක් දෙන්න.. මං ඔයාට කොහොම හරි ශලනිව මීට් කරලා දෙන්නම්.."


    "තෑන්ක්ස් බන්ටි.. තෑන්ක්ස්.. ඔයා කොයි තරම් හොද කෙනෙක්ද..?"


    "මං කොච්චර හොද කෙනෙක් උනත් මෙහෙම දේකුත් ඔයාට කියන්න වෙනවා.."


    "ඒ මොකක්ද..?"


    "බින්දුත් එක්ක තියෙන අවුල ඉක්මනට ලිහාගන්න.. ආදරේ වැඩි උනාම තමයි ඔය පුංචි පුංචි ප්‍රශ්න, මහා ලොකු ප්‍රශ්න පත්තර වෙන්නේ.. ඔයාලා දෙන්නා හෙමින් සීරුවෙ කතා කරලා ප්‍රශ්නෙ බේරගන්න.. අනික ඉරිසියාව කියන දේ ඕන කොල්ලෙකුට තියෙනවා නිරෝෂි.. ඒක බින්දුට විතරක් තියෙන දෙයක් නෙමෙයි.."


    "කාට ඉරිසියාව තිබුණත් ඔයාට එහෙම එකක් නෑනේ.. ඒකනේ මං ඔයා හොදයි කිව්වේ.."


    "ඒ සමහර විට මට ගර්ල් කෙනෙක් නැති හින්දා වෙන්නැති.. මටත් ගර්ල් කෙනෙක් හිටියා නම්, මේ ලෝකෙ ඉන්න ලොකුම ඉරිසියාකාරයා මම වෙන්නත් පුළුවන්.."


    "මං එහෙම හිතන්නෑ.."


    නිරෝෂි ෆෝන් එක තිබ්බා, ෆෝන් එක අතේ තියාගෙනම මං කල්පනා කරේ ඊගාවට, මොකද කරන්නෙ කියලා.. නිරෝෂිට පොරොන්දු උනා වගේ නෙමෙයි.. මං දැන් කොහෙන්ද ශලනිව හොයන්නේ..? මේකට උදව්වක් ගන්න කෙනෙකුත් නෑ.. මට තනියම මේක කරන්නත් බෑ.. එහෙම පුළුවන් කමක් තිබ්බත් මගේ හිත ඒ දේට කැමති වුණේ නෑ.. මොකද කියනවා නම් බින්දු එතකොට තවත් අවුල් වෙනවා කියනෙක මං තේරුම් අරන් හිටපු නිසා..


    සුපුරුදු විදියටම ආයෙත් ශලනිව හොයන්න යන්න වෙන්නෙ, නෙත්මි එක්ක තමයි.. ඒත් එයා මං ගැන මොනවා හිතයිද..? ඇයි මං මේ තරම් කැක්කුමකින් නිරෝෂිට උදව් කරන්නෙ කියලා බැලුවොත්..? එදා උනත් එයා දාහක් දේවල් මට කියෙව්වනේ.. වැඩිය ඕන්නෑ.. මාව මරනවා කියලත් කිව්වනෙ.. හුගක් වෙලාවට මෙහෙම ගියොත් නම්, මට තනියෙම තමයි වැඩේට බහින්න වේනනේ..


    මෙච්චර වෙලා අතේ තිබ්බ රිසිවර් එක ෆෝන් එක උඩින් තිබ්බා විතරයි ආයෙත් රින්ග් වෙන්න ගත්තා.. අම්මපා අද ජාත්‍යන්තර දුරකතන දවසද දන්නෑ.. ඒත් වෙන්න බෑ.. මට මතකයි මීට කලිනුත් එහෙම දවසක් පහුවුණා..


    "ලොකු පුතේ.."


    හෙලෝ කියලා ඉවර වෙන්නත් කලින්ම චාමිකගෙ කටහඩ එහා පැත්තෙන් ඇහුණා.. මූට මොකද මේ සැන්දෑ වරුවක මාව අමතන්න හිතුණේ.. ෂුවර් එකට මොක්ක් හරි පැණි හැලියක්.. නැත්නම් මූට මාව මතක්වෙන්නෑ..


    "ඇයි උඹලගෙ ගෙවල් පැත්ත ගංවතුරට යට වෙලාද..?"


    "කතා කරපු ගමන් මොලේ කුරුවල් කරන්නෙපා ලොකු පුතේ.. කතන්දර දෙක තුනක්ම තියෙනවා උඹට කියන්න.."


    චාමික කියලා කියන්නෙ, ආරංචි, ඕපදූප, කටකතා, නොදන්නා දේ පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙක්.. උගේ ළගින් තියා, උගේ ළගට හැතැප්ම ගානකින්වත් කිට්ටු කරන්න පුළුවන් බුවෙක් මේ නුවර පලාතෙම නෑ..


    "කියපං මං අහගෙන ඉන්නේ.."


    "මටයි, සරිගමයටයි දැන් ඩිංගකට කලින් උඹේ සූකිරි බෝලෙ හම්බවුණා.."


    "මගේ සූකිරි බෝලෙ..?"


    "ඔව් බන්ටි.. දුකේ බෑ.. ඒකි උඹට පලු යන්න බැන්නා.. කිසිම ආචාරශීලීත්වයක් නෑ.."


    "කවුද බං..? කියන මගුලක් තේරෙන්න කියපංකෝ.."


    ඇත්තමයි.. මූත් එක්ක කතා කරනකොට තරහ යන්නැති ඈයොන්ටත් තරහා යනවා.. ඇයි ඉතිං හරස්පද ප්‍රහෙලිකානේ, කියලා විසදගන්න යන්නේ.. මොරීන් අක්කා ගැනවත්ද දන්නෑ මූ කියන්නේ..

    "උඹේ සූකිරි බෝලෙ ගැන උඹට අමතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ බං.."


    "මං දන්න සූකිරි බෝලයක් නෑ චාමික.. මගෙන් කුණුහබ්බ අහගන්නැතුව කතාව කියපං.."


    "සරිගමයයි, මමයි වැව ගාවින් එද්දි නෙත්මි හම්බවුණා.."


    ලොකු පුතාගෙන් නෙත්මි කියන නම පිටවුණා විතරයි මගේ හිතේ විදුලියක් කෙටුවා වගේ හැගීමක් ඇදිලා ගියා..


    "ඉතිං..?"


    "ඉතිං තමයි.. ඒකි මටයි, සරිගමයටයි වැව රවුමෙ තියාගෙනම දෙහි කැපුවා බං.."


    "දැන් උඹ කිව්වෙ නෙත්මි මට බැන්නා කියලා.."


    "ඔව්.. වැඩියක්ම උඹට.. ඊට ටිකක් අඩුවෙන් අපිට.."


    "හරි.. හරි.. දැන් මොකටද බැන්නෙ කියලා කියපං..?"


    ඇත්තමයි.. මූත්තෙක්ක කතා කරන්න ගියාම ඔලුව රිදෙනවා.. කණ වටේ අත දාලනේ මූ හොට්ට හූරන්න හදන්නෙ..

    "බැන්නෙ නම් දවස් ගාණකින් ඒකිට කතා කලේ නෑ කියලා.. උඹ මහ ගුණමකුවෙක් කිව්වා.."


    "මොකා.. ගුණමකුවා.. ඒ කවුද බං..?"


    "මාත් දන්නෑ බන්ටි.. නොදන්නාකමට මාත් ඔව් ඔව් කිව්වා.."


    ෂිහ්.. අම්මපා... බලන්න, මං මුන්ටනේ යාලුවො කියන්නේ..

    "හරි.. නෙත්මි උඹට බැන්නෙ ඇයි..?"


    "උඹේ නම්බර් එක දුන්නෑ කියලා.."


    "උඹ මොනවද කිව්වේ..?"


    "මම කිව්වා උඹට ෆෝන් එකක් නෑ.. කතා කරන්නෙ පහේ කාසි දාලා කියලා.. ඊට පස්සෙ උඹ ඉන්න තැන අහලා එක ගිනි විජ්ජුම්බරයයි.. අපි කිව්වා උඹ නෑදෑ ගෙදරක ඉන්නෙ කියලා.. මට පේන්නෙ නම් ලොකු පුතේ කෙල්ලගෙන් නම් බේරුමක් වෙන්නැති පාටයි.. කියවන්න ගියාම කට කතුර වගේ.. මායි, සරිගමයයි දන්න ශිල්ප ඔක්කොම දාලයි ජාමෙ බේරගත්තේ.. ආයෙත් අපි ඒකිට මීට් උනොත් පටි හතම රෝල් වෙනවා.."


    ඒකත් එහෙමද..? මගෙත් තියෙන ගොන්කමනේ.. නැත්තං ඉතිං විහිලුවට හරි නෙත්මිට ෆෝන් කරන්න තිබ්බා පහේ කාසියක් දාලා.. කට් උනායින් පස්සෙ කතාව ඉවරනේ..


    "හරි.. දැන් අන්තිමට උනේ මොකක්ද..?"


    "මුකුත් උනේ නෑ.. අපි ඒකිගෙන් කුණු වෙන්න බැනුම් ඇහුවා.. උඹට කියන්න ලොකු පුතේ.. ඒකි උඹට නම් කැත නැතුව බැන්නා.."


    මේකා ආයෙත් රිවයින් වෙන්න හදනවා.. ඒක හන්දම මං ෆෝන් එක තිබ්බා.. සමහර විට තව ටිකකින් සරිගමයා කතා කරයි.. ඌටත් කියන්න තියෙන්නෙ මේ ටිකමනේ.. ඒක හින්දා පුළුවන් තරම් ඉක්මනට ෆෝන් එක ළගින් මං ඈත් වුණේ හරියට පිස්සු බල්ලෙක් ළගින් ඈත්වෙනවා වගේ..


    "මොකද බන්ටි මහත්තයො කලබලෙන්.."


    "කවුද පිස්සෙක් ෆෝන් එකෙන් කුණුහරුප කියනවා බේබි නැන්දේ.."


    "මො.. මොනවා.. දැ.. දැන් ගෑනු දැරිවියෙක් එක්ක නේද කතා කලේ..? මට නම් හිතාගන්නවත් බෑ.."


    "මටත් විශ්වාස කරන්න බෑ බේබි නැන්දේ.. මේක මහා සවුත්තු ෆෝන් එකක්.. එන්නෙම මහා සවුත්තු කෝල්.. ෂිහ්.. ග්‍රැහැම්බෙල් වත් මේ ළගපාතක හිටියා නම්..
    "

    "කවුද බන්ටි මහත්තයො ඒ ගරහම්බෝල් කියන්නේ..?"


    "ආ.. එයාද..? එයා තමයි ටෙලිෆෝන් එක හොයාගත්තේ.."


    "කොහේ තිබිලද හොයාගත්තේ..? කවුරු හරි හංගලාද..?"


    අම්මපා.. බේබි නැන්දට පිස්සුද මංදා.. ඔලුව හතරැස් වෙන එව්වනේ අහන්නේ.. කවුරු හරි හංගලාද කියලා අහනවා..


    "ඔව්.. ඔව්.. ඇද යට තිබිලා, පස්සෙ ඔන්න බිත්ති කබඩ් එක උඩින් තිබ්බා"


    "එහෙනම් කමක් නෑ.."


    මහ ලොකු සැනසීමක් ලැබුවා වගේ බේබි නැන්දා ආයෙත් කුස්සිය පැත්තට ගියා.. පස්සෙ වෙලාවක බේබි නැන්දගෙ පිටිපස්සෙන් ගිහින්, එයා ළග තියෙන අම්මගෙ ෆොටෝ එක ඉල්ලගෙන මට සන්තක කරගන්න ඕන.. තාමත් හරියට ඒ ගැන කතා කරන්න ඉස්පාසුවක් නැති උනානේ.. හිතේ ගැඹුරුම තැනේ ඉදලා මොකක්දෝ හිතාගන්න බැරි රිදීමක්, ඒ ගැන හිතන හැම වෙලාවෙම මගේ හිතට දැනුණා..


    "අද මොකෝ මේ මාව පිළිගන්න වගේ ඉස්සරහට වෙලා.. කෝ කෝ.. මූණ හොදලද ඉන්නේ..?"


    ඉස්සරහ දොරෙන් කලබලෙන් වගෙ ගෙට ඇතුල් වුණේ අයියා.. මිනිහා ඩියුටි ඕෆ් වෙලා තියෙන්නෙ දැන් වගෙයි.. පහුගිය දවස්වලදි වෙච්ච සිද්ධි වලදි අයියා තනිකරම ගත්තෙ මගේ පැත්ත.. මං වෙනුවෙන් එයා හුගාක් තැන්වලදි ඉස්සරහට ඇවිත් කතා කලා.. ඒක හින්දමද කොහෙන මිනිහා ගැන මගේ හිතේ ඩිංග ඩිංග තිබ්බ කහට කෑලි මැකිලා ගිහින් තිබුණා.. ඒත් ඉතිං.. බලන්න අප්පා.. මේකා ටෙ ගොඩවුණු ගමන්ම අහපු දේ.. දැන් රෑ වෙන්නත් ළගයි.. අහනවා මං මූණ හොදලද ඉන්නෙ කියලා.. ඔය වගේ අපත කතාවලට නම් ඩිංගක්වත් සමාව දෙන්න බෑ ලොකු පුතේ..


    "මූණ හොදන්න හිතෙන්නෑ අප්පා.. ඔයා පෙරළන බාල්දි වලට.. මටත් දැන් ගෙදෙට්ට මූණ දෙන්න බෑ.."


    හෙණ අප්සට් මූඩ් එකක් මවාගෙන මං කියවන් ගියා.. එල.. එල.. මල් හතයි.. මගේ කතාවෙන් මිනිහා හොදටම අප්සට් උනා.. කොහොම හරි මිනිහව ආදර ට්‍රැක් එකට දාගන්න ඕන..


    "මං පෙරලන බාල්දි..? මොනවා ගැනද බන්ටි ඔය කියන්නේ..?"


    "ඔයා ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක සුව සෙවන හොස්පිට්ල් එකට ගියපු එක ගැන..?"


    'චටාස්' කියලා නළලට අතින් ගහගෙන අයියා මගේ අතින් ඇදගෙන එයාගෙ කාමරේට දුවගෙන ආවා.. යකෝ.. මූට තියෙන අස්ප කුලප්පුවක්.. තව පොඩ්ඩෙන් මගේ අති සංවේදී තැනක් දොර බෝලෙ හැප්පෙනවා..


    "කෑගහන්නෙපා යෝදයෝ.. ඔයාගෙ කට ඝන්ඨාරෙ වගෙයි.. දෙයක් කියනකොට සැර බාල කරලා හිමින් කියනවකෝ.. ෂිහ්.. ඇත්තටම ඔයා එහෙම එකක් දැක්කද..?"


    "දැක්ක හින්දා තමයි අහන්නේ.. මං, මගේ මේ නේත්‍රා දෙකෙන්ම දැක්කා.. ආයෙ හොරයක් බොරුවක් නෑ.."


    "දෙයිහාමුදුරුවනේ.. ඔයත්තෙක්ක, ඔයාගෙ අර අපත යාලුවො ටිකත් ඉන්න ඇති.. දැන් ඉතිං උන් මගේ සායම අරියි.. ෂහ්.. හරිම අපරාදයක්නේ උනේ.."


    "කවුරුවත් දැක්කෙ නෑ.. මං විතරයි දැක්කේ.. මං කාටවත් කිව්වෙත් නෑ.. හැබෑට කවුද එයා..? මගේ අනාගත නෑනද..?"


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "තාම එහෙම නෑ බන්ටි.. එයා මගේ ඔෆිස් එකෙ වැඩ කරන්නේ.. එදා එයාට හොදටම අසනීප වෙලා.. මං බෙහෙත් අරන් දෙන්න ගියා.."

    "තාම එහෙම නෑ කියන්නෙ.. ඔයයි, එයයි තාම යාලු නැද්ද..?"


    "මන්දා බන්ටි.. මට ඒ ගැන කියන්න තේරෙන්නෑ.."


    අම්මපා.. මේකා මොකෙක්ද මන්දා.. අයියා නෙමෙයි නම්, මං මූට හිටෝලා මැටි ගහන්නේ.. ඇයි හත්දෙයියනේ.. අතින් කයිට් කරගෙන, බෙහෙතුත් අරන් දීලා, ඒ ගෑනු දරුවා ගැන මූට කියන්න තේරුමක් නෑල්ලූ..


    "තේරෙන්නෑ කියන්නේ..?"


    "මං දන්නෑ බන්ටි.. එයාගෙන් ඇහුවට එයා හරි උත්තරයක් දෙන්නෑ.."


    "හරි උත්තරයක් දෙන්නෑ කියන්නේ..?"


    "කල්පනා කරලා බලන්න ඕනලු.. අම්මලගෙන් අහල බලන්න ඕනලු.. ඉස්සරහට ප්‍රශ්න ඒවිද දන්නෑලු.. ඔන්න ඔය වගේ දාහක් දේවල්.."


    "අයියෙ මේ.. මට දැනෙන තේරෙන විදියට මං දෙයක් කියන්නද..? ඔයා ඒක පිළිගන්නවා නම් පිළිගන්න.. නැත්නම් ඔයා ඕන තීරණයක් ගන්න.."


    "හරි.. බන්ටිට මොනවද කියන්න තියෙන්නේ..?"


    "එයා ඔය ගහන්නෙ බයිලනේ අයියේ.. අරයගෙන් අහන්න ඕන, මෙයාගෙන් අහන්න ඕන කියලා.. එතකොට ඔයත්තෙක්ක බෙහෙත් ගන්න ගියේ, එයාගෙ බාප්පොච්චිගෙන් අහලද..? මල විකාර.. අපි නම් ඕවට කියන්නෙ පඩ ෂෝ කියලා.. එයා, ඔයාට කැමති නම්, අනිවා කෙලින් වචනයක් දෙනවා.. එහෙම නෙමෙයි කියන්නෙ, එයාගෙ හිත චංචලයි කියන එක.. මට තේරෙන විදියට ඔයාට ඕක හරියන්නෑ අයියේ.."


    අයියගෙ මූණ මහා කලු වලාවකින් වැහිලා ගියා වගෙ, අදුරු වෙලා ගියා.. කරන්න දෙයක් නෑ අප්පා.. ඇත්ත තත්වෙ මේ මැටි මෝලට පහදලා දෙන්න එපැයි.. නැත්නම් මූ තව ටික දවසකින් ඇදගෙන නානකොට අපිටමනේ 'හෙම්බා' හැදෙන්නේ..


    "ඇ.. ඇයි බන්ටි එහෙම කියන්නේ..? මං එයාට හුගක් කැමතියිනේ.."


    ආදරේ කරන්න ගියාම මහ මිනිස්සුත් පොඩි ඈයො වෙනවා කියන්නෙ ඕකනේ.. හැසිරෙන විදිය නම් අන්තිම සවුත්තුයි.. බලන් ඉන්න අපිටයි ලැජ්ජා හිතෙන්නේ..


    "ඔයා, එයාට කැමති වුණාට වැඩක් නෑ අයියේ.. එයා ඔයාට කැමති නැත්නම්.. ආදරේ කරනකොට ඔයාට ආදරේ කරන අයට ආදරේ කරන්න පුරුදු වෙන්න.."


    "හපෝ.. එහෙම උනොත් නම් හොදට හිටියි.."


    "ඇයි..?"


    "ඇයි තමයි.. ඔයත් මාර කතානේ කියන්නේ.. මට ආදරේ කරපු අයට මං ආදරේ කරන්න ගියා නම්, වහ ටිකක් කාලා මැරෙන්නයි වෙන්නේ.."


    මොකක්ද යකෝ ඒ කුඩුකේඩු කතාව.. මෙයාගෙ පස්සෙන් ගෑනු ළමයි ඒ තරමට ඇවිල්ලද..? අනික ඉතිං.. මටත් මේ හම්බවුණේ කියලවත් කරගන්න බැරි චාන් එකක්.. සුව සෙවනෙ කතාවෙන් මෙච්චර ලොකු හෑල්ලක් දිහෑරෙයි කියලා කවුද අප්පා හිතුවේ.. 'ඒ මගේ යාලුවෙක්' කියලා කතාව සමාප්ත කරලා, නිමි කරලා, භූමදාන කරා නම් බන්ටි මොනවද දෙයියනේ කරන්නේ.. මගෙ අයියා වෙච්ච මේ කේප්ප වස්සා හරියට, මං හැමදේම අහනකම් හිටිය වගේ මේ ඔක්කෙම දේවල් මගෙත් එක්ක කියන්නේ..


    "දැන් කවුද ඔයාට ආදරේ කලේ..?"


    "ඒවා කියන්න දැන් වෙලාව නෙමෙයි බන්ටි.. මේ අම්මයි, තාත්තයි ගෙදර එන වෙලාව.."


    "පිස්සුද අයියේ.. අපි දොර වහගෙන කතා කරමු.. මේක සෑහෙන්න නාන්න ඕන ප්‍රශ්නයක්නේ.."


    කාමරේ දොර වහලා දාලා මං ඇද උඩින් වාඩි උනා..


    "නාන්න ඕන කියලා කිව්වේ..?"


    "හැම තැනම කුණුනේ.. ඒකයි.. ටිකක් සබන් ගාන්නත් වෙයි.."


    "මට ඕවා තේරෙන්නෑ බන්ටි.. මං මේ කියන දේවල් ඔයා කා එක්කවත් කියන්නෑ නේද..?"


    "කලින් නම් එහෙමයි.. ඔයාගෙ දෙයක් දැන ගත්තා නම් ගුඩ් ෂෙඩ් එකේ පෝස්ටරයක් උනත් ගහන්න තිබුණා.. ඒත් දැන් එහෙම නෑ.. එහෙම අවිශ්වාසයකුත් තියාගන්නෙපා.."


    "ඇයි ඔයා එකපාරටම එහෙම වෙනස් වුණේ..?"


    "හේතු තියෙනවා අයියේ.. මං, ඔයා ගැන හිතන් හිටියෙ හරිම අමුතු විදියට.. ඒත් එදා සිද්ධියෙන් ඔයා මගේ පැත්තට කතා කලාම, මට මහා පුදුම හැගීමක් දැනුණා ඔයා ගැන.. ඔයාගෙ කතාව මට විශ්වාස කරන්නත් බැරිවුණා.."


    ෂර්ට් එක ගලවලා දාලා බැනියම පිටින්ම අයියා මගේ ඉස්සරහ පුටුවෙ වාඩි උනා..


    "ඒක ඉබේම වෙච්ච දෙයක් බන්ටි.. ඇත්තටම මමවත් හිතුවෙ නෑ මගේ හිතේ ඔයා ගැන ඒ තරම් කැක්කුමක් තියෙයි කියලා.. ඒත් අම්මා ඉස්සරහ ඔයා අසරණ උනාම.. මට, ඔයා ගැන ආවෙ පුදුම දුකක්.. ඇත්තමයි බන්ටි.. ඔයා, අම්මගෙත් නොවී, තාත්තගෙත් නොවී මේ ගෙදර හැදුනත් ඒ වෙලාවෙ මං ඔයාගෙ පැත්තට කතා කරනවා.. ඒක මගේ හදවත ඇතුළෙ තියෙන දෙයක්.. ඒක කවදාවත් වෙනස් වෙන්නෑ.. මං ඔයාට අසාධාරණයක් වෙන්න දේනනෙත් නෑ.. ඔයා මගේ මල්ලිනේ.."


    අයියා කියවන් යන දේවල් වලින් මගේ හිතට දැනුණෙ පුදුමාකාර සැහැල්ලුවක්.. ඇත්තටම මිනිස්සු මොන වගේද කියලා තේරුම් ගන්න, ඒ ගොල්ලන්ගෙ හදවතට එබිලා බලන්න ඕන.. එතකොට හුගාක් ප්‍රශ්න ඉබේම නිරාකරණය වෙනවා..


    "මං ඔයා ගැන හිතන් හිටියට වැඩිය ඔයා හුගාක් හොදයි අයියේ.. මං ගැන ඔහොම හිතනවට තැන්ක්යූ.. දැන් ඉතිං ම කියමුකො බලන්න.. ඔයාට ආදරේ කරන කට්ටිය ගැන.."


    කතාව ආයෙත් මං පුරුදු ට්‍රැක් එකට ගත්තා.. නැතුව බෑනේ අප්පා.. අඩු ගානෙ මේ මනුස්සයට කැමති කෙල්ල කවුද කියලවත් දැනගතෑකිනේ..


    "ඔයත් දන්න කෙනෙක් බන්ටි.."


    "මං දන්න කෙනෙක්..?"


    "ඔව්.. ඔයාගෙ ගජ යාලුවෙක්.. ඒත් ම එයාට කැමති නෑ.. එයා මට කොයි තරම් කැමති උනත්.."


    "කවුද..?"


    ගෑනු පරා‍ණෙ කවුද කියලා කියන්න, අයියා කතාව කියන්න පටන් ගන්නත් කලින්ම මං දන්නවා.. ඒත් ඉතිං මෙයාගෙ කටින්ම අහගන්නෙක ඇගට සනීපයිනේ..


    "ඔයා කාටවත්ම කියන්නෑ නේද..?"


    අම්මපා මෙන්න මේ වෙලාවට තමයි, මේකා කොයි තරම් හොද උනත්, මට කුඩුකේඩු වැඩ කරන්න හිතෙන්නේ.. මෙච්චර ගැරන්ට් කරලා තියෙද්දිත්, මූ මගේ චරිත සහතිකේමනේ ඉල්ලන්නේ.. කොහෙන් අරගෙන දෙන්නද මන්දා..


    "ඔයාට පිස්සුද..? අනික මං කාට කියන්නද..?"


    "වෙන කවුරුත් නෙමෙයි බන්ටි.. පල්ලෙහා ගෙදර මොරීන්.."


    "මොනවා.. අපේ මේ මොරීන් අක්කා.. ඔයාට ට්‍රයි..?"


    කතන්දරේ මේ දැන් ඇහුවා වගේ, පුදුම වෙලා මං ඇහුවා..


    "ඔව් බන්ටි.. ඔව්.. ඔයාට මතකද දැනට මාස ගානකට කලින් මං ඔයාට බැන්නා, කෙල්ලො මට සෙට් කරන්න හදනවා කියලා.. අර ඔයත් මගෙත් එක්ක හරි හරියට රණ්ඩු උනේ.. ඔයා මට හොදටම බැන්නේ.."


    "ඉතිං..?"


    "බලන් ගියාම ඒ හැමදේම කරලා තියෙන්නෙ මොරීන්.. ඔයාගෙ ඒකට ඇති සම්බන්ධයක් නෑ කියලා මං පස්සෙ තේරුම් ගත්තා.. කොහොම උනත් මට මොරීන්ගෙන් ටිකක් කරදරයි.. වෙලාවක මං ඉන්නෙ එයාට හොදවයින් දෙකක් කියන්න.. ගෑනියෙක් උනා නම් ඒ විදියට ඉන්න එපාද නේද..?"


    මේ ප්‍රශ්න වලට නම් බන්ටිට දෙන්න තරම් හොද උත්තරයක් තිබුණෙ නෑ.. මොරීන් අක්කා, හතර කොනේම කැත නැතුව ජරාව ගාගෙන කියලා මං තේරුම් ගත්තා.. ඒ කොහොම උනත් කළ යුතු හොදම දේ එයා කරලා තිබ්බා.. ඒ තමයි, එයා අයියට ට්‍රයි කරන එක අයියට අගවලා තියෙන එක.. ඒකම මදිද දෙයියනේ.. නොබැද ඉන්නකොට අහල ගියත් මැදෑ කියන්නෙ නිකන්ද..?



    "හරි.. ඔය ඔක්කොම පැත්තකින් තියමුකො අයියේ.. ඔයාට තේරෙන විදියට මොරීන් අක්කගෙ තියෙන අඩුපාඩු මොනවද..? එයා, ඔයාට වැඩිය වයසින් වැඩිද..?"


    "වයසින් වැඩිද..? ඇයි ඔයා එහෙම ඇහුවේ..? මොරීන් මගේ වයසේ.. අපි දෙන්නා කලින් වයි.එම්.බී.ඒ එකේ ක්ලාසුත් ගියා.."


    හුටා.. ඒකත් එහෙමද..? බලන් ගියාම මොරීන් අක්කට ඒ තරම් වයසක් නෑනේ.. මමනේ එයාට පුත්තලම් බූරුවො පහ හයක් විතර වයසයි කියලා හිතුවේ..


    "එහෙනම් මොකක්ද ප්‍රශ්නේ..?"


    "මංදා.. මට තේරෙන්නෑ.. එයා නිකං හරියට තොරම්බල් කරත්තයක් වගේ.. ඒ මදිවට හුගාක් මහතයි.."


    ප්‍රශ්නෙ තියේනනෙ ඔය දෙක නම්, අපේ මොරීන් අක්කා දිනුම්නේ අප්පා.. මං හිතන් හිටියෙ මේකට අපේ මොරීන් අක්කව වහ කදුරු වගෙ ඇති කියලනේ.. බලන් ගියාම එච්චරම අවුලක් නෑනේ.. හැබැයි ඉතිං මුගේ මූණ බලාගන්න, මොරීන් අක්කා පෙරලපු බාල්දි ගැන මේකා දැනගෙන හිටියා නම්, ඒ පැත්තට හැරිලා නිදාගන්නෙවත් නෑ.. ඒක මට ඉන්ෂුරන්ස් එකටත් වැඩිය ෂුවර්..


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-03.jpg


    03.png


    පහුවෙනිදා උදේම ගෙදර අය එහෙට මෙහෙට වෙනකන් ඉදලා මං ෆෝන් එක ළගට කිට්ටු කරා.. දැන් මොකක් හරි හොර වැඩක් කරන්න කලින් කරාට වැඩිය හුගාක් අමාරුයි.. අර වෙච්ච සිද්ධියෙන් ප්සසෙ ගෙදර හැමෝගෙම අති විශේෂ අවධානය යොමුවෙලා තිබ්බෙ මට.. සමහරවිට මං මොකක් හරි බාල්දියක් පෙරල ගනී කියලා එයාලා හිතන්න ඇති..

    "හෙලෝ.."

    එහා පැත්තෙන් එක රින්ග් එකක්වත් යන්න හම්බවුණේ නෑ.. මට නෙත්මිගෙ කටහඩ ඇහුණා.. ලොකු පුතා කිච්ච වගේ මගේ කටහඩ ඇහිච්ච ගමන් බැණගෙන බැණගෙන යයිද මංදා.. අදහන දෙයියෙක් සිහි කරගන්න හිතුවත් එක දෙයියෙක්වත් මගේ මතකෙට ආවෙ නෑ..

    "මං රන්දික කතා කරන්නේ.."

    "කවුද රන්දික කියන්නේ..?"

    නෙත්මි හැරෙන තැපෑලෙන් ඇහුවා.. හප්පට සිරි.. ඒකෙ තියෙන ගනකම.. මේ මොකක්ද බං මේ..? මෙයාට මාව එච්චරටම අමතක වෙලාද..?

    "දැන් මාස ගානකට කලින් ටොරින්ටන් පාක් එක ළගදි ඔයත්තෙක්ක මරාගන්න හැදුවා නේද, ටිකක් දඩබ්බර තාලෙ කොල්ලෙක්..?"

    "ඔව්.. ඔව්.. මට මතකයි ඒකව.. ඉතිං..?"

    "ආ.. ඔය මතක් වෙලා තියෙන්නේ.. ආන්න ඌ තමයි මේ කතා කරන්නේ.."

    "ආ.. ඒ ඌද කතා කරන්නේ..? ඌට මොකද දන්නෑ දැන් සතියක් විතර තිස්සෙ උනේ..?"

    ෂිහ්.. බලන්න අප්පා.. මේ ගෑනු ළමයි කතා කරන කැත.. කවුරු හරි අහන් හිටියොත් මගේ පිරිමි කමට මොකද වෙන්නේ..?

    "අයියෝ.. ඔයා ඒකවත් දන්නැද්ද..? හැබැයි ඉතිං ඌට මොකද වුණේ කියලා කියන්න කලින්, මං, ඔයා කවදු කියලා දැනගන්න ඕන.."

    "ආ.. මමද..? මම තමයි අර නැහැදිච්ච කොල්ලා එක්ක ටොරින්ටන් පාක් එකේදි රණ්ඩු වුණ අහිංසක කෙල්ල.."

    "අම්මපා.. මං මේක කාටවත් කියන්නෑ.. හැබෑට ඒ නැහැදිච්ච කොල්ලා කවුද ඔයාගේ..?"

    "මගේ නම් කවුරුවත් නෙමෙයි.. හැබැයි මං ඒකව හම්බවෙන කල් ඉන්නෙ දෙක තුනක් තඩිබාන්න.."

    "හරි.. හරි.. එහෙනම් ඔයා තඩිබාන්නකෝ.. මං ෆෝන් එක තියනවා.."

    නෙත්මිට වචනයක්වත් කියන්න නොදී මං ෆෝන් එක තිබ්බා.. ඒ තිබ්බෙ මගේ හිතට ආපු පුංචි සැයක් නිසා.. මගේ පිටිපස්සෙ කවුරු හරි ගැවසෙනවා වගේ හැගීමක් මේ ෆෝන් කතන්දරේ මැද හරියෙදිම මට ඇහුණා.. තත්පරේට දෙකට මං ආපහු කෑම කාමරේ ළගට ආවෙ ඒකයි.. ආයෙ ඉතිං බන්ටිට දැනිච්ච දෙයක් වරදින්න බෑනේ.. ඔය ඉන්නෙ දිලිසි දිලිසි..

    "මොකද අක්කෙ මෙතන කරන්නේ..?"

    "මුකුත් නෑ.."

    "මුකුත් නැතිවෙන්න බෑනේ.. ඔයා මගේ කතාව අහන් හිටියා නේද..? ෂිහ්.. ඇයි අප්පා ඔහොම සවුත්තු වැඩ කරන්නේ..?"

    "නෑ.. මං මේ බැලුවෙ මෙච්චර උදේන් කීයටවත් නැගිටින්නෙ නැති ඔයා, මේ තරම් උදේන් නැගිටගෙන, මේ තරම් උනන්දුවෙන් කතා කරන්නෙ කාටද කියලා.. ඇත්තටම බන්ටි.. ඔයා කාටද කතා කරේ..? මට නිකං ඇහුණා නැහැදිච්ච කොල්ලෙක් ගැන කතාවක්.."

    "කොල්ලෙක් නෙමෙයි අක්කේ.. නැහැදිච්ච කෙල්ලෙක් ගැන.."

    "ආ.. හරි.. හරි.. ඔයා අර මට දවසක් කිව්වේ, ඔයාගෙ පස්සෙන් කෙල්ලෙක් එනවා.. ලියුම්ම අසූ ගානක් ඔයාට දීලා තියෙනවා කියලා.. ඒ කෙල්ල නේද..? ඇයි අනේ බන්ටි ඔයාට මතක නැද්ද..? අර, අම්මා වෙනුවට බේබි නැන්දා එක්කරං ගියේ..? ඒ ළමයව හම්බ වෙන්න නේද..?"

    හුටා.. මං එහෙම කතාවක් කිව්වද..? මං ඩිංගක් අතීතය සිහිපත් කරලා බැලුවා.. ඔව්නෙ දෙයියනේ.. මං එහෙම අලුගුත්තේරු ප්‍රකාශයක් කරලා තියෙනවනේ.. දැන් මොකද කරන්නේ..?

    "ඔව්.. ඔව්.. එහෙම එකක් උනා තමයි.. ඒවා ඉවරවෙලා කොයි තරම් කල්ද අක්කේ..? අනික ඒකෙයි මේකෙයි කිසිම සම්බන්ධයක් නෑ.."

    "කමක් නෑ.. ඒක ඉවර නම් දැන් ප්‍රශ්නෙකුත් නෑනේ.. ඔයා දැන් පිණිමුතුගෙ ප්‍රශ්නෙට මොකද කරන්නේ..?"

    මේ නම් මහ අවමංගල සභාවක්ම තමයි.. තියෙන්නෙම මහ නොහොඹිනා ප්‍රශ්න..

    "කවුද අක්කෙ පිණීමුතු කියන්නේ..?"

    "ආ.. ඔයා, එයාට කියන්නෙ නෙත්මි කියලනේ.. මට ඒක අමතක උනා.."

    දැන් නම් මේ නම් දෙකේ පටලැවිල්ල හුගාක් වැඩියි.. නම් දෙකෙන් එකක්, ස්ථීර වශයෙන්ම බන්ටිට තෝර ගන්න වෙනවා.. එක්කො නම් වල මුල් අකුරයි, අන්තිම අකුරයි එකතු කරලා 'නෙතූ' කියලවත් කියන්න වෙනවා.. ඔව් අප්පා.. කවුරු කරත් ඒක සෑහෙන්න හොද යෝජනාවක්..

    "පහුගිය දවස්වල වෙච්ච ප්‍රශ්නත් එක්ක, ඒක ටිකක් යට ගියා අක්කේ.. අපි තව දවස් ටිකක් යන්න දීලා බලමු.."

    "කොහොමටත් පරක්කු කරන්න නම් එපා බන්ටි.. මං කැමති නෑ ඔයා, පිණිමුතුව රවට්ටනවට.. එයා ඇත්තටම හුගාක් හොද ගෑණු ළමයෙක්.. එයාගෙ හිතට කෙනෙක්ව ඇල්ලුවොත්, පිණීමුතු පණ වුණත් දෙයි.."

    අම්මපා.. එහනෙම් වෙලාවක ඉලල්ල බලන්න ඕන.. බන්ටිටත් පණ ඩිංගක් දේවිද කියලා.. මොකද දැන් බන්ටිගෙ පණ ගිහිල්ලා ඉන්නේ..

    ****************************

    තවත් පැයක් විතර ගෙවිලා යද්දි ගෙදර සද්ද බද්ද සියල්ලම නිරවුල් උනා.. ඒ කියන්නෙ හැමෝම තමන්ගෙ දෛනික රාජකාරි කටයුතුවලට ගිහිල්ලා කියනෙකනේ.. මේ වෙලාවෙ ගේ ඇතුළෙ ඉන්නෙ බේබි නැන්දා විතරක් හින්දා අවුලක් නෑ.. මාත්, නොනගතේ වෙලාවෙ, තරහකාරයෙක්ගෙ ගෙදරට යනවා වගේ ටෙලිෆෝන් එක ලගට ළංවෙලා, නෙත්මිගෙ ගෙදර නම්බර් එක ඩයල් කරා.. අම්මපා රින්ග් යන්වවත් මට ඇහුණෙ නෑ.. එයා පැත්තෙන් හිටු කියලා ෆෝන් එක ඉස්සුවා..

    "රන්දික නේද..?"

    නෙත්මිගෙ කටහඩේ තිබ්බෙ, මොකක්දෝ අදුරු දුකක හෙවනැල්ලක් මට ඒ වචන දෙකෙන් දැනුණා.. ඒක හින්දමද මංදා මට හිතපු තරම් ඉක්මනට කතා කරගන්න බැරිවුණා..

    "දෙයියන්ගෙ නාමෙට ඔයා කතා කරන්න.. ෆෝන් එක තියන්නෙපා.. ඔයා රන්දික නේද..?"

    නෙත්මිගෙ වචනවල පිරිලා තිබ්බ දුක, ඒ පාර නම් අඩුවක් නැතුවම මට දැනුණා.. දෙයියනේ කෙල්ල අඩනවවත්ද..? නැත්නම් මට මේ දැනෙන හැටිද..?

    "ඇ.. ඇයි නෙත්මි මේ..? ඇ.. ඇයි ඔයා අවුල්වෙලා..?"

    "ඇ.. ඇයි රන්දික ඔයා මට මෙහෙම කරන්නේ..? ඔ.. ඔයා ෆෝන් එක තිබ්බට පස්සෙ මං මෙච්චර වෙලා ෆෝන් එක ළගට වෙලා බලන් හිටියා.. ආයෙ කොයි වෙලාවෙ හරි ඔයා ගනීවි කියලා.. මට ඔයත්තෙක්ක ටිකක් කතා කරන්නෝන.."

    දෙයියන්ට ඔප්පු වේචචාවි.. ඒ කියන්නෙ විනාඩි හතලිස්පහක් විතර නෙත්මි ෆෝන් එක ළගට වෙලා බලාගෙන ඉදලද..? ඔව් වෙන්නැති අප්පා.. ඒකනේ රින්ග්ස් යන්න කලින්ම ඉස්සුවේ.. බලන් ගියාම ගෑනු ළමයිත් මහ පුදුම වැඩනේ කරන්නේ..

    "අතේ තිබ්බ සල්ලි ඉවර උනා නෙත්මි.. ඒකයි.. දැන් අයෙත් එළියට ගිහිල්ලා යාලුවෙක්ගෙන් ඉල්ලගෙනයි ආවේ.."

    "දෙ.. දෙයියනේ.. මං ඔයා ගැන හිතුවෙ කොයි තරම් වැරදි විදියටද.. අ.. අනේ මට ඔතන නම්බර් එක කියන්න.. මං.. මං ඔතෙන්ට ගන්නම්.. ප්ලීස් රන්දික.."

    නෙත්මිගෙ ඒ වචනත් එක්ක මගෙ හිතට මං ගැනම ආවෙ ලොකු තරහක්.. 'මොන තරම් පහත් වැඩක්ද බන්ටි උඹ කරන්නේ..? මේ තරම් අහිංසක කෙල්ලෙක් රවට්ටන්නේ ඇයි..? උඹ මොනවද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ..? උඹ ගැන ඇත්ත, ඇයි උඹ මේ කෙල්ලට නොකියන්නේ..?' මගේ හිත මගෙන් අහද්දි මට කරන්න දෙයක් තිබුණෙ නෑ..

    "නෑ.. නෑ.. නෑ.. මං ගාව සල්ලි තියෙනවා.. ඔයා ඒක ප්‍රශ්නයක් කරගන්නෙපා.."

    "ඇ.. ඇයි රන්දික ඔයා මාව ඔහොම පැත්තකට තල්ලු කරලා දාන්නේ..? අර මුලින් ඔයා ළග තිබ්බ හොද කෝ..? මට ඔයා හම්බවෙන්න ඕන.. එතකොට මං මේ හැමදේම බේරගන්නම්.."

    කෙල්ලො, ඔරොප්පුවෙන්ම ඉන්නවා නම් හොදයි කියලා මට එකපාරටම හිතුණා.. මොකද උං සංවේදී වෙන්න ගියාම, අපි සංවේදී වෙලා යනවා මල පැනලම..

    "ඔ.. ඔයාට කියන දේ ඇහෙනවද රන්දික..?"

    "ඔව්.. කියන්න ඇහෙනවා.."

    "ඔයා ඕනෙවට එපාවට නේද මගෙත් එක්ක කතා කරන්නේ.."

    "නෑ.. නෙත්මි එහෙම එකක් නෑ.."

    "ඔයා අම්මව බලන්න ගියාද..?"

    'මොන අම්මද..?' කියලා මහා සද්දෙට අහන්න ගිහින් මං සද්දෙ වහගත්තා.. තව ඩිංගක් එහෙට මෙහෙට උනා නම් බඩුම තමයි..

    "වෙලාවක් ලැබුණෙ නෑ නෙත්මි.."

    "මට ඒ ගැනත් ඔයා එක්ක කතා කරන්න තියෙනවා.. ඔ.. ඔයාට අද මාව මීට් වෙන්න පුළුවන්ද..? මට තව කියන්න විශේෂ දෙයකුත් තියෙනවා.. ඔයාට දෙන්න දේකුත් තියෙනවා.."

    "මොනවද නෙත්මි..?"

    "වැඩි විස්තර පසුවට.. දහයට විතර ජෝයි බෝට් එක ගාවට එන්න පුළුවන්ද..?"

    "සිම්පල්නේ.. මං එන්නම්.. ඒක නෙමේ.."

    කතාව දිගට ගෙනියන්න හැදුවත් නෙත්මි ෆෝන් එක තියන සද්දෙ, මට ඇහුණා.. මොකක්ද බං ඒ උනේ..? මං මගෙන් අහගත්තා.. හරියට නිකං මගේ කණ පුරෝලා පාරක් දුන්නාවගේ වැඩක්නේ එයා කරේ.. අම්මපා මේ ගෑනු ළමයිත් වෙනස් වෙන්නෙ හරියට හුළග වගේ කියලා කියපු එකාගෙ කටේ වැනිලා අයිස්ක්‍රීම් එකක්වත් ඔබන්න ඕන.. මුලින් නෙත්මි කතා කෙරුවෙ කොහොමද..? නිකං අඩන වොයිස් එකෙන්.. හරියට නිකං මෙච්චර දවසක් මං කතා කරනකල් බලන් හිටියා වගේ..

    ඇත්තටම නෙත්මිගෙ වචනවල තිබ්බ පරස්පරේ ගැන නුවර ටවුන් එකට එනකල්ම මං කල්පනා කලා.. මුලින්ම එයා කතා කරේ මගෙත් එක්ක ජෝක් එකට.. මං එකපාරටම ෆෝන් එක තිබ්බහම ඒ ජෝක් එක ඉවරයි.. ඊගාවට තමයි දුක හිතෙන හරිය.. අඩන බබාගෙ කටහඩින් එයා කිව්වෙ මං කතා කරනකල් නොකා නොබී හුස්ම ගන්නැතුව හිටියා කියලා.. අම්මපා.. හුස්ම ගන්නෙත් නැතුව හිටියා කියලා කිව්වද..? නෑ.. නෑ.. නෑ.. ඒක මේ බන්ටි අතින් දාලනේ.. හුස්ම ගන්නැතුව හිටියා නම් මට කතා කරන්න නෙත්මි කෙනෙක් ඉතුරු වෙනවද අප්පා..?

    ජෝයි බෝට් එක පැත්තට එද්දි ඈතදිම මං නෙත්මිව දැක්කා.. ඒ මූණෙ පිරිලා තියෙන නොසන්සුන්කම එයා ළගට ළංවෙද්දි මට හොදට පෙනුණා.. ඒත් පුංචි හිනාවක් ඒ තොල්පෙති අතරෙ තිබුණා..

    "ඇති යාංතන්.. මං හිතුවෙ එන එකකුත් නෑ කියලා.. ඇත්තට ඔයා කොහෙද රන්දික හිටියේ..? හදිසියකටවත් ඔයාව කන්ටැක්ට් කරගන්න විදියක් මට නෑනේ.."

    මාව දැකපු ගමන් එයා පේමන්ට් එකෙන් පහළට බැහැලා මගේ අතින් අල්ල ගත්තා.. වැව රුමෙ සුළගෙ තිබ්බ සීතලටත් වැඩිය සීතලක්, මගේ අතට වගෙම හිතටත් දැනුණා.. වළලු දාපු අතකින් නිකං හරි අල්ලන් ඉන්නවා නම්, ගණිතයට තියෙන ආසාවත් නැති කරගන්නවා කියලා 'පයිතගරසුත්' මේ ළගදි කියලා තිබුණා.. ඒත් බන්ටිගෙ අතින් ඇල්ලුවා කියලා, බන්ටිට නැති කරගන්න දෙයක් නෑනේ..

    "ඔයාට මොකද වුණේ රන්දික..? ඔයා ඇයි මට ෆෝන් කරේ නැත්තේ..? එදා ශලනිව බලන්න ගියාට පස්සෙ ඔයා මාව අමතක කරලා දැම්මෙ ඇයි..?"

    ප්‍රශ්න කෝච්චියයි.. මොනවට උත්තර දෙන්නද මංදා.. හිතේ තිබ්බ හැම සිතුවිල්ලක්ම පැත්තකින් තියලා මට නෙත්මිගෙ ඇස් දිහා බලන්න හිතුණා..

    "මං ඔයාව අමතක කලේ නෑ නෙත්මි.."

    "නැත්තෙ නෑ.. ඔයා ඒ දේ හොදම විදියට කලා.. ඇයි රන්දික ඔයා ඒ විදියට හැසිරෙන්නේ..? ඔයාට ඕන ඔයාගෙ වැඩේ කරගෙන ඉවර වෙලා, හැමදේම අමතක කරන්නද..?"

    "මගේ වැඩේ කරගෙන..? මොකක්ද මගේ වැඩේ..?"

    මෙච්චර වෙලා චැලියෙ වාඩිවෙලා ඉදපු මං සීට් එකෙන් උඩට ඉස්සුනා.. යකෝ.. මොන කුඩුකේඩු කතාවක්ද මේ..? මං ජීවිතේටවත් ඔහොම කුප්ප වැඩ කරලා නෑ..

    "ඇ.. ඇයි ශලනිව හම්බවෙන්න ගියපු එක..? ඊට පස්සෙ ඉතිං මං ඕන නෑනේ.. දැන් ශලනිගෙ ගෙදර තියෙන තැනත් දන්නවනේ.. අඩු ගානෙ එදා මං ගෙදර ගියාදවත් කියලා ඔයා බැලුවද රන්දික..? ඔයා කොයි තරම් හොද කෙනෙක් කියලද මං හිතන් හිටියේ.. මට කියන්න.. මට කියන්න ඔයා ඊට පස්සෙ කීපාරක් ශලනිව හම්බවෙන්න ගියාද..?"

    නෙත්මි මුලින් මුලින් කියපු දේවල් හුගාක් ඇත්ත උනත්, පස්සෙ කිව්වෙ නම් අහස පොළව උහුලන්නැති කතාවක්.. වෙන වෙලාවක නම් බන්ටිට ඔහොම කතාවක් කිව්වා නම් මෙතන අවමගුලක් තමයි.. ඒත්.. මෙතන මොකක්දෝ හේතුවකට, මට හීනි දුකක් දැනුණා මිසක වෙන අඩුපාඩුවක් උනේ නෑ..

    "මං හම්බවෙන්න ගියපු ශලනියෙක් නෑ.."

    "බොරු කියන්නෙපා රන්දික.. ඔයා ශලනි හම්බ වුණු හන්දා තමයි මාව අමතක කරේ.. අපේ යාලුකම සත පහක්වත් වටින්නෙ නැති විදියට පයින් ගහලා පැත්තකට දැම්මේ.. ගෑනු ළමයෙක් එන ගමනක්ද මං එදා ඔයා එක්ක ආවේ.. ආ.. අනික ඒ වගේ පාලු පැත්තකට.. මං ඔයාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරලයි අවේ.."

    "දැන් ඒ විශ්වාසෙට මොකද වෙලා තියෙන්නේ..?"

    "ඔයාම ඒක විනාශ කරලා දාලා ඉවරයි රන්දික.."

    "ඔයා, ඔය කතා කරන විදියට මගේ ඔලුවත් රිදෙනවා.. ඇත්තමයි.. මං අද ආවෙ ඔයා එක්ක රණ්ඩු වෙන්න නෙමෙයි.. ඔයා, ඔය හිතන විදියට, මං ඔයාගෙ විශ්වාසෙ කඩලත් නෑ.. පහුගිය දවස්වල මට කරදර ටිකක් උනා.. ඒත් ඉතිං එවා උනා කියලා ඔයා පලි නෑනේ නේද..? ඇත්තටම මගෙන් වැරැද්දක් උනා නම් මට සමාවෙන්න.. ඔයාට මං ෆෝන් නොකර හිටියෙ, ඔයත්තෙක්ක තරහකටවත්, ගුණමකුකමකටවත් නෙමෙයි.."

    "ගුණමකුකමකට..?"

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "ඔව්.. ඔවා චාමික එක්ක කියලා තිබුණා මං මහා ගුණමකුවෙක් කියලා.. හැබැයි මං ඒ වචනෙ තේරුම නම් දන්නෑ.. සමහර විට උදව්වක් කරගෙන මුල අමතක කරන අයට කියන්නෙ ඒ වගේ නමක් වෙන්නැති නේද..? ඒත් මං තාම මුල අමතක කරලා නම් නෑ.."

    "දෙ.. දෙයියනේ.. චාමික ඒක ඔයත්තෙක්ක කිව්වද..? හරිම නරකයි.."

    "නෑ.. නෑ.. නෑ.. ඒක ඔයාට කියන්න හොද නම්, චාමික ඒක මට කීමේ කිසිම වැරැද්දක් නෑ.. ඔයා ඒ නම කිව්වෙ මටනේ.. මීට පස්සෙ ඒ නමෙන්ම කතා කරන්න.. වෙන අනන් මනන් නම් ඕන නෑ.."

    "ම.. මං චාමිකත් එක්ක බලාගන්නම්.. ඉ.. ඉන්නකෝ මං චාමිකට හොද වැඩ් කරනවා.."

    "ඌට කරන්න දෙයක් නෑ.. ඌ මගෙ යාලුවා.. මට වැරැද්දක් වෙනවා දකින්න ඌ කැමති නෑ.. ඇත්තටම තිබ්බ කරදර අස්සෙ, මං ඔයාට කතා කලොත්, ඌ මට, ඔයාව හම්බවුණා කියලා කිව්ව හන්දා.. නැත්නම් තව ටිකක් කල් ගිහිල්ලයි මං ඔයාට කතා කරන්න හිටියේ.."

    "ඒ කියන්නෙ චාමික ඔයාට මං කතා කරා, හම්බ වුණා කියලා කිව්වෙ නැත්නම්, ඔයා මට කතා කරන්නෑ.."

    නෙත්මිගෙ රෝස පාට මූණ, දැන් ලා රතු පාටකට හැරිලා තිබුණා.. දැන් නම් හරියට හොදට ඉදුණු පීචස් ගෙඩියක් නරක් වුණා වගේ.. කෙල්ල එන්න එන්නම හොදටම අවුල් වෙනවා කියලා මට තේරුණා.. මොනව වුණත් මේ කතාව අරන් ගිය දුර ටිකක් වැඩියි කියලා මට නිකමට වගේ හිතුණා.. තව ටිකකින් මේ කෙල්ල අඩයිද දන්නෑ..

    "මගෙත් එක්ක රණ්ඩුවෙන්න හදන්නෙපා නෙත්මි.. බලන්න මිනිස්සුත් අපි දිහා බල බල යනවා.. සවුත්තුවට වගේ.. ටිකක් හිනාවෙලා කතා කරන්නකෝ.."

    මගේ කතාවට නෙත්මි වටපිට බැලුවා.. ඔන්න ඒ පාරද මංදා එයාට හොද සිහිය ආවේ.. ඇස් දෙක උස්සලා නෙත්මි කෙලින්ම මං දිහා බැලුවා..

    "හරි.. මෙතන මිනිස්සුත් අපි දිහා බලනවනේ.. එහෙනම් මාව කතා කරන්න පුළුවන් තැනකට එක්ක යන්න.."

    නෙත්මි, එකපාරටම ගගක් ගලනවා වගේ කියාගෙන යද්දි මගේ හිතට මොකක්දෝ උනා.. දෙයියනේ.. මේ කෙල්ල මොනවද මේ කරන්න යන්නේ..? මට කිසිම දෙයක් හිතාගන්න බැරිවුණා.. අනික ඒ මූණ දකිද්දි, එයා කරන්නෙ විහිලුවක් නෙමෙයි කියලා මට තේරුණා.. මං කොහෙද නෙත්මිව අරන් යන්නේ..?

    "ක.. කතා කරන්න පුළුවන් තැනකට කිව්වේ..?"

    "ඔයාට මගෙත් එක්ක මෙතන කතා කර කර ඉන්න ලැජ්ජ නම් මාව වෙන තැනකට එක්ක යන්න.. මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන.. ඒකයි.."

    මූණ පුරවලා කනේ පාරක් ගැහුවා වගේ කතාවක් නෙත්මි කිව්වේ.. මෙයා අද මාව හම්බවෙන්න ආවෙ.. එක්කො උඹ..! එහෙමත් නැත්නම් ඒත් උඹ..! කියලා හිතාගෙනද මංදා.. එහෙම නැත්නම් අද ඇදෙන් බැස්සෙ ඇදේ විට්ටම පැත්තෙන්ද දන්නෑ.. ඒත් අප්පා කාගනේද මං එහෙම අහන්නේ..?

    "මට ඔයා එක්ක මෙතන කතා කරන්න ලැජ්ජ නෑ නෙත්මි.. ඇයි ඔයා එහෙම පටු විදියට හිතන්නේ..? මං කිව්වෙ රණ්ඩු වෙන්නෙපා කියලා නේද..? ඇයි පුංචි වචනයක් අල්ලගෙන මාව රිද්දන්නේ..?"

    මං කියපු දේ අදහාගන්න බැරුව වගේ එයා මං දිහා බැලුවා.. ඒ රෝස පාට මූණ පුරාම පිරිලා තිබ්බෙ තරහක්ද, දුකක්ද, කලකිරීමක්ද කියලා මට තේරුම් ගන්න බැරිවුණා..

    "ම.. මං ඔයාව රිද්දනවා.. මං.. මං.. ඔයාව රිද්දනවා.. ඇ.. ඇයි ඔයා ඔහොම කතා කරන්නේ..? ඔයානේ දැකපු දවසෙ ඉදලා මාව රිද්දුවේ.. හ්..ග්.. ඊට පස්සෙ මාව අමතක කරලා දාලා ශලනිව බලන්න ගියේ ඔයානේ.."

    අම්මපා.. මෙන්න මේ වෙලාවට තමයි කියන්නෙ.. නයි කයිද සැමන් ටින් කියලා.. මොන අවනඩුවක්ද මේ..? කොහේ තියෙන කුන්ඩවාලිද මංදා මගේ එකවුන්ට එකට මේ බැරවෙන්නේ.. මේ නුවර පළාතෙ මං වගෙ තවත් එකෙක් ඉන්නවද මංදා.. බලන් ඉදලා බෑ.. තවත් බලන් හිටියොත් මේක මහ කක්ක කේස් එකක් වෙනවා.. ඇයි අප්පා.ඤ. එන්න එන්නම ව්‍යාකූල වෙනවා මිසක ශෝකාකූලවත් වෙන්නෑනේ ඩිංගක් අඩන්න..

    "මෙන්න මේක ටිකක් අල්ලගන්න.."

    කතන්දර හැම එකක්ම පැත්තකට දාලා, මං නෙත්මි දිහා බැලුවා.. එයා පුදුම වෙලා වගේ මං දිහා බැලුවේ, මේ ගුණමකුවා මොනවද කරන්න යන්නෙ කියලා හිතාගන්න බැරිව වගේ..

    "ඇ.. ඇයි බයික් එක උඩට ගන්නේ..?"

    හැන්ඩ්ල් එකෙන්, පේමන්ට් එක උඩට බයික් එක අදින ගමන් නෙත්මි ආයෙත් මගේ මූණට එබුණා.. ඒ දිලිසෙන ඇස්වල කදුළු පිරිලා තියෙනවා මං දැක්කෙ එතකොට..

    "වළාකුලු බැම්මෙන් පහළට දාන්න.. මුගෙන් හරි කරදරයි.."

    කලු වළාවකින් හද මෑත් වෙනවා වගේ, නෝක්කාඩු මූණ මැද්දෙන් ලස්සන හිනාවක්, නෙත්මිගෙ මූණෙන් මතුවුණා.. ඔය තියෙන්නේ.. ඔන්න ඔය වගේ හිනාවෙලා ඉන්නවා නම්, බන්ටි ජීවිතේ උනත් දෙන්නම්කෝ.. මෙච්චර වෙලා කෙල්ල හිනා නොවී හිටියේ, හරියට නිකං මාළිගාව ඉස්සරහ ඉන්න ට්‍රැෆික් රාළහාමි, හිනාවුණොත් දඩ කොලයක් ලියයි කියලා වගේ..

    "හ්ම්.. එන්න.. මෙතනින් වාඩිවෙමු.."

    චැලිය බැම්ම අයිනට හේත්තු කරලා, ඊට එහායින් තිබ්බ බංකු කෑල්ලෙ මං වාඩිවුණා.. නෙත්මි මගේ ළගට ආවා උනත්, එයා වාඩිවුණේ නෑ.. කොහොමටත් නෙත්මි මගේ උරහිස ගානට උසයි.. හිටගෙන ඉන්නෙ මට වැඩිය උස යන්නද දන්නෑ..

    "නෑ.. මෙහෙම හොදයි.."

    කැපිල්ලට වගේ කියන ගමන් එයා මගේ මූණ මැදට එබුණා.. කදුළු පිරිලා තියෙන හන්දද මංදා ඒ ලස්සන ඇස් මං දැක්කෙ බොද වෙලා වගේ..

    "හරි.. හැම ප්‍රශ්නයක්ම පැත්තකින් තියලා, මාව හම්බවෙන්න ඕන කියලා කිව්වෙ ඇයි කියලා මට කියන්න.."

    "මං දන්නෑ.."

    කටත් උල් කරගෙන, හරියට ආදරේ හිතෙන ඉරියව්වකින් එයා තවත් ටිකක් මගේ දිහාට ලංවුණා..

    "දන්නෑ කියන්නේ..ඔයා කිව්වෙ, මට කියන්න විශේෂ දෙයක් තියෙනවා.. තව දෙන්න දේකුත් තියෙනවා කියලා.."

    "මං එහෙම කිව්වද රන්දික..?"

    කෙල්ල හදන්නෙ හැමදේම පැත්තකින් තියලා මාව බයිට් කරන්න කියලා මට තේරුණා.. ඔයාට, මාව අල්ලන්න බෑ කෙල්ලේ.. මේ බන්ටිට ඕවා හොදට තෙරෙනවා..

    "ආ.. එහෙනම් ඒක මගේ හිතේ තිබ්බ දෙයක් වෙන්නැති.. ඔයා, මට මොනවා හරි දෙයක් දෙනවා කියලා.. සමහර විට මං මාර හීනයක් දකින්න ඇති.. ඔයා ඒ දෙන දේත් අරගෙන මං වලාකුලු බැම්මෙන් පල්ලෙහාට පනිනවා කියලා.."

    "නරකයා.. නරක කතා කියන්නෙපා.."

    "නරකයා නෙමෙයි.. ගුණමකුවා කියන්න.. ඒක හොදට මැචින්.."

    "ඇත්තමයි.. ඔයා නම් මහ පුදුම රණ්ඩු කෙක්කක්.. මට නම් හිතාගන්න බෑ.. ඔයා කොහොම වචන අල්ලගෙන රණ්ඩු වෙනවද කියලා.. අනේ අපි ඕක නවත්තමු.. මට නම් ඔයත්තෙක්ක රණ්ඩු වෙන්න බෑ.."

    අන්න හරි.. ඔහොම එනවා නම්, මොනවද අප්පේ කරන්න බැරි.. හැබැයි ඉතිං බන්ටි කියලා කියන්නෙ, වලි නම් වලි.. සාමෙ නම් ඒත් වලි තමයි.. ඒත් ඉතිං.. මේ දිලිසෙන ඇස් තියෙන බෝනික්කි එක්ක සාමෙට හරි රණ්ඩු කරන්නෙ කොහොමද දෙයියනේ.. එතැන ඉදලා විනාඩි ගානක් යනකල් මායි, නෙත්මියි මූණින් මූණ බලාගෙන හිටියා මිසක වචනයක්වත් කතා කලේ නෑ.. ටික වෙලාවක් ගිහිල්ලා ඒ නිහැඩියාව ඉස්සෙල්ලම බින්දෙ නෙත්මිමයි..

    "ඔයා දන්නවද මං ඔයාට ගෙනාවෙ මොනවද කියලා..?"

    'දෙන්න දේකුත් තියෙනවා' කියලා කිව්වට ඒ මොකක්ද කියලා කියන අදහස මගේ හිතේ ඩිංගක්වත් තිබ්බෙ නෑ..

    "ඔව්.."

    "මොකක්ද..?"

    නෙත්මිගෙ දිලිසෙන ඇස් දෙක ලොකු උනා.. දැන් ඒ ඇස් වල තිබ්බ කදුළු වියැකිලා ගිහින්..

    "ලොසින්ජ්ර් බෝල දෙකක්.."

    "ඇත්තමයි.. ඔයාට නම් රිදෙන්න පාරක් දෙන්න ඕන.. ඔයා හිතන්නෙ, මං ඔයාව මෙච්චර අමාරුවෙන් හම්බවුණේ ලොසින්ජරයක් දෙන්න කියලද..?"

    "ආ.. එහෙම එකක් නෙමෙයිද..?"

    "ඔයා ඔය හදන්නෙ මාව කේන්ති ගස්සන්න.. ඒත් මං මේ වෙලාවෙ ඕවට අහුවෙන්නෑ.. ඇත්තටම මං මේක ඔයාට දෙන්නෙ, මගේ ආත්මාර්ථකාමීකමට කියලා ඔයාට හිතෙන්න පුලුවන්.. ඒත් ඒ ආත්මාර්ථකාමී කමත්තෙක්කම, මගේ හිතට ලොකු සැනසීමක් ලැබෙනවා.. මේක ඔයා ළග තිබුණාම.."

    ඒ මොකක්ද අප්පෙ ඒ..? මං දහ අතෙත් කල්පනා කරලා විසි අතෙත් කල්පනා කලත්, නෙත්මි මට දෙන්න යන්නෙ මොකක්ද කියලා මට හිතාගන්න බැරිවුණා.. එයාගෙ කරේ දාලා තිබ්බ රෝස පාට බෑග් එකෙ ෂිපර් එක ඇරලා නෙත්මි මට ටිකක් විතර ලොකු පෙට්ටියක් එළියට ගත්තා..

    "මං ඔයාට ඉස් ඉස්සෙල්ලාම දෙන දේ තමයි මේ.."

    නෙත්මිගෙ අතේ තිබ්බ පෙට්ටිය මගේ අතේ තිබ්බහම හිතේ තිබ්බ හැම සංකාවක්ම නැතිවෙලා ගියා.. රුපියල් ශත වලින් මනිනවා නම්, ඒකෙ වටිනාකම රුපියල් විසිදාහක් විතර වෙනවා කියලා මට හිතුණා.. බොක්ස් එක ඇරලා ඒකෙ ඇතුළෙ තිබ්බ නවීන පන්නයේ හෑන්ඩ්ෆෝන් එක මං අතට ගත්තා.. ඇත්තටම ඒ වෙලාවෙ, මගේ අත විතරක් නෙමෙයි හිතත් වෙව්ලුවා.. දෙයියනේ.. ඇයි මේ කෙල්ල මේ වගේ දෙයක් කරේ..? මාව නෙත්මිට මේ තරම් වටිනවද..?

    "ඇ.. ඇයි නෙත්මි මේ..?"

    "මුකුත් හිතන්නෙපා රන්දික.. මගේ මුළු හදවතින්ම මං ඔයාට දෙන ප්‍රසන්ට් එකක් මේක.. මේ ෆෝන් එක ඔයාලෙ ළග තියෙනකොට මට ඕන වෙලාවක ඔයාට කතා කරන්න පුළුවන්නේ.. ඒක කොයි තරම් දෙයක්ද රන්දික..

    "මේ තරම් වටින දෙයක් මට දෙන්න, ඔයාට මාව විශ්වාසද නෙත්මි..?"

    "ඕව්.. මට ඔයාව විශ්වාසයි.. ඒ විශ්වාසෙ හින්දම තමයි මං මේක ඔයාට දුන්නේ.. දැන් ඔයාට බෑ, මට කතා නොකර ඉන්න.. තේරුණාද..? මං මේකට සිම් එකකුත් දාලයි තියෙන්නේ.. මගේ ෆෝන් නම්බර් එකට ගන්න කෝල් සේරම චාර්ජ් ෆ්‍රී වෙන විදියට තමයි මං ඔය පැකේජ් එක සෙට්ල් කරේ.. දැන් ඔයාට මාව මගෑරලා ඉන්න බෑ තේරුණාද..?"

    නෙත්මි දිගින් දිගටම කියාගෙන යන දේවල්වලට කියන්න තරමෙ දෙයක් මට තිබ්බෙ නෑ.. මට දැනුණෙ එකම දේ, නිකං හරියට කැලෑ සතෙක්ව යකඩ කූඩුවක හිරවුණාම දැනෙන හැගීම්වලට සමාන දෙයක් විතරයි.. නෙත්මි මෙනා තරම් ආදරේකින්, මේ ප්‍රසන්ට් එක මට දුන්නත්, ඒකෙන් මගේ තියෙන නිදහසත් නැතිවෙනවා කියනෙක මට තේරුණා.. ඇත්තටම ඒ දේම මං කැමති වුණේ නෑ.. ඒත්.. ඒ විත්තිය නෙත්මිට පෙන්නන්න මං ඉක්මන් වුණෙත් නෑ..

    "තෑන්ක්ස් නෙත්මි.."

    "ඇයි රන්දික ඔයා මට තෑන්ක්ස් කරන්නේ..? ඇත්තමයි ඔයා ගැන මේ දවස් දෙක තුනෙත් මට ආරංචියක් ලැබුණෙ නැත්නම් මං හිතන් හිටියේ, බේබි නැන්දා හම්බවෙන්න.."

    "බේබි නැන්දා හම්බවෙන්න..?"

    "ඔව්.. ඔයා ඉන්න තැනක් අහගන්න.. ඇත්තමයි.. මේ ගෙවිච්ච දවස්වල මගේ හිත මොන තරම් කරදරයක් වින්දද කියලා දන්නෙ මං විතරයි.. ඔයාට එහෙම දැනුණෙ නැද්ද රන්දික..?"

    උත්තර දීගන්න බැරි ප්‍රශ්න ගෑනු ළමයි අහනවට බන්ටි කොහොමත් අකමැතියි.. ඒත් නෙත්මිගෙ හිත රිද්දන්න බැරි කමට මං සද්දෙ වහලා හිටියා.. මොකද මගෙන් කට කැඩිච්ච වචනයක් දෙකක් පිටවුනොත් එයා අනිවා අඩනවා කියලා මට තේරුණා..

    "ඇ.. ඇයි රන්දික ඔයා කතා නොකරන්නේ..? මගෙත් එක්ක ඔයා මේ ඉන්නෙ අකමැත්තෙන්ද..?"

    "නෑ නෙත්මි.. එහෙම දෙයක් නෑ.. ඔයා ඔය අහන දේවල් වලට මොනවද කියන්නෙ කියලයි මං කල්පනා කලේ.. ඔයා ඔය හිතන විදියෙ කිසිම දෙයක් මගේ හිතේ නෑ.."

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "එහෙනම් මොන විදියෙ දේවල්ද ඔයාගෙ හිතේ තියෙන්නේ..? ඇත්තමයි.. තනියෙන් කල්පනා කරනකොට මට හුගාක් දේවල් ඔයා ගැන හිතෙනවා.. ඔයා ඉන්නෙ කොහේද..? ඔයාට හරියට කන්න බම්බවෙනවද..? ඔයාට ජීවත්වෙන්න සල්ලි තියෙනවද..? ඔය වගේ හුගාක් දේවල්.. ඔයාගෙ ජීවිතේ ඔයාට ප්‍රශ්න තියෙනවා නම් ඒවා මට කියන්නෙ නැත්තෙ ඇයි රන්දික..?"

    "මං ගැන ඔහොම හිතනවට ඔයාට හුගාක් පින්.. ඇත්තටම ඔයා හුගාක් හොදයි.. ඒත් ඔයා හිතන තරම් ලොකු ප්‍රශන්යක් මට නෑ.. මං හුගාක් රිලැක්ස් එකේ ජීවත් වෙනවා.."

    නෙත්මි, මං ගැන මොන තරම් දුරට හිතනවද කියලා දැනුනාම මට පුදුමත් හිතුණා.. කෙල්ලොත් ඇත්තටම මාරයි.. එයාලාට දෙයක් කරන්න හිතුණොත් කට්ට කාගෙන ඒකෙ උපරිමේටම යනවා.. එතෙන්දි තමන්ට වෙන ලාභ අලාභ ගැන බලන්නෑ.. ඒ වගේ දේකට හොදම උදාහරණය තමයි මොරීන් අක්කයි, නෙත්මියි..

    "හොදයි.. මං ඔයාව විශ්වාස කරනවා.. හැබැයි.. මට මෙන්න මේ දේටත් උත්තරයක් දෙන්න ඕන.."

    "ඒ මොකක්ද..?"

    "ඔයා එක පාරක්වත් පහුගිය දවස්වල ශලනිව හම්බවෙන්න ගියේ නැද්ද..?"

    මෙච්චර වෙලා හොදට කතා කරලා ඉවර වෙලා වෙත්මි ආයෙත් පිස්සන් කොටුවෙ, ලොකුම පිස්සගෙ චරිතෙ රගපානන් හදනවා.. ඕකනේ අප්පා කරන්න බැරි.. මට කවදද දෙයියනේ ශලනි හම්බවුණේ..

    "මං ඉස්සෙල්ලත් කිව්වනේ නෑ කියලා.."

    මං කොහොම කිව්වත් එයාගෙ මූණෙ තියෙන අවිශ්වාසය නැති කරන්න මට බැරිවුණා.. සැකය කියන දේ හරි අපූරුවට ඒ දිලිසෙන ඇස් උඩ රැදිලා තිබුණා..

    "එතකොට කවුද ශලනිව හම්බවෙන්න ගිහින් තිබුණේ..?"

    "මං දන්නෙ කොහොමද..? මං පහුගිය දවස් ටිකේම හිටියෙ ගේ ඇතුලට වෙලා.. අඩු ගානෙ මං මිදුලටවත් බැස්සෙ නෑ.. ඔන්න අද තමා ඔයාව හම්බවෙන්න එළියට ආවේ.."

    එකම ප්‍රශ්නෙ, හතර වටේට කරකව කරකව නෙත්මි අහන විදියෙන් නම් මෙතන මොකක් හරි අවමගුලක් තියෙන පාටයි.. ඒත් ඉතිං පාංශුකූලෙ දෙන් කලින්වත්, වෙලා තියෙන දේ හරියට කියපංකො දෙයියනේ..

    "ඒක නම් මට පිළිගන්න වෙනාවා.. මොකද පහුවුණු දවස්වල, ඔයාව මං ටවුන් එකේදිවත් දැක්කෙ නෑනේ.."

    ඒත් ඉතිං ටවුමෙ දැක්කෙ නැති එකටත් වැඩිය ප්‍රශ්නයක් මගේ හිතේ තිබුණා.. ඒ අද උනේ නිරෝෂි කතා කරලා කියපුවා, නෙත්මිට කියනවද නැද්ද කියලා හිතාගන්න බැරිව.. කිව්වොත් එයා අහයි, නිරෝෂි මොකද බින්දුට නොකියා මට දේවල් කියන්නෙ කියලා.. බින්දු නේද අහයි එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්.. ඉතිං දීපංකො උත්තර..

    "ඔයාගෙ කතාවෙන් මට තේරෙන්නෙ, ඔයාට ශලනිව විනාඩි පහකට හරි මීට් වෙලා ඇති කියලා.. එහෙම නේද..? එතකොට එයාද කිව්වෙ මං එයාව මීට් වෙන්න ආව කියලා.."

    "මට, ශලනිව හම්බවුණේ නෑ.. එයා මට ෆෝන් කරා.."

    නෙත්මි කියන දේවල් වලින් හෙදාට තියෙන ඔලුවත් නරක් වෙනවා.. හම්බවුණේ නෑල්ලු.. ෆෝන් කරාලු.. මොනවද මන්දා..

    "එහෙනම් ඔයා එයාට ආයෙත් ෆෝන් කරලා කියන්න මායි, ඔයයි ඉක්මනටම එනවා කියලා එයාව මුණ ගැහෙන්න.. ඒ වගේම ඔයාට කියන්න විශේෂ ආරංචියකුත් තියෙනවා.."

    "විශේෂ ආරංචියක්..?"

    "ඔ.. ඔව්.. නිරෝෂි ගැන.. ඇයි ශලනි කතා කරපු වෙලාවෙ ඔයා ඒ ගැන කිව්වෙ නැද්ද..?"

    නෙත්මි පුදුම වෙලා වගෙ මං දිහා බලන් හිටියා.. ඒත් ඒ ඇයි කියලා මට තේරුණේ නෑ..

    "ඇ.. ඇයි රන්දික මං ශලනිට ඒ ගැන කියන්නේ..?"

    "ඔයා ශලනිගෙ හොද යාලුවෙක් හින්දා.. ඔයාම නේ මට කිව්වෙ ශලනි හොද ළමයෙක් කියලා.."

    "ඒ ඔක්කොම ඇත්ත දෙයියනේ.. ඒත් දැන් තත්වෙ වෙනස් වෙලානේ.."

    "ඒ කිව්වේ..?"

    "මේ හැමදේම මැද්දට ඔයා ඇවිල්ලනේ.. අනේ ඔයාට බැරිද රන්දික මේ හැමදෙයින්ම ඈත්වෙලා, පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න.. ඔයා මේවට ගෑවෙන්නෙ ඇයි..?"

    නෙත්මි කියන්නෙ කොයි තරම් හොද ගෑනු ළමයෙක් උනත්, ඒ කතා කරපු වචනවල තිබ්බෙ නම් පැහැදිලි ඉරිසියාව මං අදුනගත්තා.. තව දුරටත් මේ කතාව ඇදගෙන ගියොත් මටයි, නේතමිටයි වෙන්නෙ නිකාං රණ්ඩුවෙන්න කියලා මට තේරුණා..

    "යාලුවෙක් ඉල්ලපු උදව්වකට මට බෑ කියන්න බෑනේ නෙත්මි.."

    "ඉතිං මේක ඉල්ලුවෙ බින්දු නෙමෙයිනේ.. නිරෝෂිනේ.."

    "ඒක තමයි මාත් කියන්නේ.."

    "ඒ කියන්නෙ නිරෝෂි ඔයාගෙ හොද යාළුවෙක්ද..?"

    "හොද යාලුවෙක්ද නැද්ද කියලා කියන්න මං දන්නෑ.. මේ කතාවෙ මුල ඉදලම මං බැහැලා වැඩ කලේ බින්දු වෙනුවෙන්.. ඒ කතාව ඔයා අයන්නෙ ඉදලම දන්නවා.. ඒක ඉවර කරන්න තියෙන්නෙ තව බොහොම ඩිංගයි.. අන්න ඒ ඩිංග ඉවර වෙනකන් ඔයා, මාව අවිශ්වාස නොකර ඉන්න.."

    "මං.. මං ඔයාව අවිශ්වාස කරේ නෑ රන්දික.. නිරෝෂි ඔයාගෙ යාලුවෙක් කියලා කිව්වම මට හුගාක් දුක හිතුණා.. ඔයාට හැම යාලුවෙක් වෙනුවෙන්ම වෙන් කරන්න වෙලාව තිබුණා.. මං වෙනුවෙන්, අපේ යාලුකම වෙනුවෙන් එක විනාඩියක් කෝල් එකක් ගන්න ඔයාට බැරි උනානේ.."

    ඔන්න.. ඔන්න ඉතිං.. ආයතේ පරණ තැටියම වදින්න ගන්නවා.. අම්මපල්ල දැන්නම් මට මේ චැලියත් එක්කම ඇත්තටම වලාකුළු බැම්මෙන් පහළට පනින්න හිතෙනවා.. මොන අවනඩුවක්ද මේ..?

    "ප්ලීස් නෙත්මි.. ඔයා ඔය කියන දේවල් වලින් මගේ ඔලුවත්තෙක්ක රිදෙනවා.. දැන්වත් ඕක නවත්තන්නකෝ.. අපි දැන් හම්බවුණ වෙලාවෙ ඉදලම ඔය ගැනනේ කතා කලේ.. ගෙදර ගියාම අපි දෙන්නටම හිතෙයි අපරාදෙ නිකං ගෙවිච්ච කාලය කියලා.. අපිට කොයි තරම් සතුටින් ඉන්න තිබුණද කියලා.."

    මං කිව්ව දේට නෙත්මි වචනයක්වත් කිව්වෙ නෑ.. එයාගෙ මූණ ලොකු කල්පනාවකින් වැහිලා තිබුණා.. කොච්චර උණත් මට කෙල්ල ගැන ලොකු දුකක් ඇතිවුණා.. පේන්න තියෙන රෝග ලක්ෂන අනුව නම් කෙල්ල මට පැලෙන්න ආදරෙයි.. ඒත් ඒකට ඉස්සරහයින් යාලුකම කියලා සරුවාංගලයක් එල්ලගෙන රටේ නැති ඒවා කියවනවා.. ඒක හන්දා අර ආදරේ කියන ලස්සන දේ මට පේන්නෑ.. ඒ වගේම මට හිතෙන්නෙත් නෑ.. ඔන්න බන්ටිට දැනෙන විදිය..


    Mathusambandai.gif

     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Ela ela machan. Man meka pandara indan kiyawanne umbe blog eke. Ikmanatama ithuru tikath dapan deyiyo :P

    Man me kathawata waha watila inne.
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    Menna ෴♥ ඒ මගේ මලයි 3 ♥෴ book 3 & 4



    rep ekak denna :rolleyes:
    crazybuddy
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    උබ තමයි මේක පටන් ගත්තේ..උබම මේක ඉවර කරපන් මේකෙන්ම..අපි උබත් එක්ක ඉන්නවා...එක පාරට කියෙඋවම මේකේ ආතල් එක යනවා.එකක් කියවල ඊලග එක දානකන් කීපාරක් ත්‍රෙඩ් එකට එනවද දවසට.:no::no::no::no::no: