මාර්තු 02 ත් 06 ත් අතර දිනෙක පාර්ලිමේන්තුව ස්ථිරවම විසුරුවනවා
මාර්තු 02 ත් මාර්තු 06 ත් අතර දිනක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව ස්ථිර වශයෙන්ම විසුරුවා හරින බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මනින් මහා මැතිවරණයකට යෑම රජයේ අපේක්ෂාව බවද ඇමැතිවරයා කීවේය.
නාරාහේන්පිට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේදී ඊයේ (18දා* පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව කීවේය.
අප ඉදිරි මැතිවරණයේදී ස්ථිර වශයෙන්ම පොහොට්ටුව ලකුණ යටතේ තරග කරන බවද, එම ලකුණ සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් අනෙකුත් දේශපාලන පක්ෂවලට මතු වී නැති බවද ලක්ෂ්මන් යාපා රාජ්‍ය ඇමැතිවරයා කීවේය.
එක්සත් ජාතික පක්ෂයේ තිබෙන බෙදීම සහ කැඞීම නිසා අපට තුනෙන් දෙකට වැඩි බලයක් හෝ ඊට ආසන්න බලයක් ලබා ගන්න පුළුවන් වෙයි කියා සිතනවා. එක්සත් ජාතික පක්ෂය පසුගිය සතියේ හදවත ගත්තා. ඊට පස්සේ අලියාගෙන් තරග කරනවා කිව්වා. ඊටත් පස්සේ හංසයාට යනවා කිව්වා. ඒ ගැන තවමත් එකඟතාවක් නැහැ. එහෙත් එක දවසක් ඇතුළත සියලූම ප්‍රශ්න විස`දගෙන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස පක්ෂ දහයක පෙරමුණක් එළිදැක්වීමට තම කණ්ඩායම සමත් වී ඇති බව ද ඇමැති ලක්ෂ්මන් යාපා කීවේය.
පක්ෂ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාටත්, සභාපති පදවිය මෛත්‍රිපාල සිරිසේන මහතාටත් සහ මහ ලේකම් පදවිය බැසිල් රාජපක්ෂ මහතාටත් ලබා දීලා. එසේම මේ පක්ෂ දහයටම තනතුරු බෙදී යන ආකාරයට දේශපාලන සන්ධානයක් ගොඩනගා ගැනීමට හැකි වූ බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේය.
ඉදිරි කාලය තුළ බලාපොරොත්තු නොවුණු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ අනුව ඇතැම් එක්සත් ජාතික පාක්ෂිකයින් ඉදිරි මහ මැතිවරණයේ දී පොහොට්ටුවට ජන්දය භාවිත කරයි කියා විශ්වාසයක් තිබෙන බවද රාජ්‍ය ඇමැතිවරයා තවදුරටත් කීවේය.
source

