දිනය: 2023 මාර්තු 28
එක් සමයකදී මිත්‍යාවක් ලෙස සලකන ලද, වර්තමානයේදී විද්‍යාත්මකව ඔප්පු කර ඇති, කලාතුරකින් දැකගැනීමට ලැබෙන සංසිද්ධියක් ලෙස හිරු බැසයන මෙහොතේදී ආකාසයෙහි දක්නට ලැබෙන අසාමාන්‍ය කොළ පැහැති දීප්තියන් හැදින්විය හැකිය. ඉංග්‍රීසි භාෂාවෙන් "Green Flash" යනුවෙන් හදුන්වන මෙම අපූරු සංසිද්ධියක් කැමරා කාචයෙහි සටහන් වූ අවස්ථාවක් පහත දැක්වෙන ඡායාරූපය මගින් නිරූපණය වේ. පෘථිවි වායුගෝලයෙහි එකිනෙකට වෙනස් වූ උන්නතාංශයන්ගෙන් (altitude) පිහිටා ඇති වායුගෝලීය ස්ථරයන් මගින් එකිනෙකට වෙනස් ආකාරයෙන් සූර්යයාගේ ඉහළ කොටසේ සිට පැමිණෙන ආලෝක කිරණයන් වර්තනය (refraction) කර එම ආලෝක කිරණයන් වර්ණයන් විසුරුවා හැරීම හේතුවෙන් හිරු බැසයමින් පවතින මොහොතකදී සූර්යයාට මදක් ඉහළින් සිහින් තීරුවක් ලෙස මෙවැනි කොළ පැහැති දිලිසුමක් හටගන්නා අයුරු නිරීක්ශනය කළ හැකිය.
නමුත් පහත දැක්වෙන ඡායාරූපයෙන් නිරූපිත, හිරු බැස යන මෙහොතේ හටගත් කොළ පැහැති දිලිසුම වඩා විශේෂත්වයක් හා අසාමාන්‍ය බවක් ගැනීමට හේතු වී ඇත්තේ, මෙහි දිස්වන කොළ පැහැ දිලිසුම එක් තීරුවක් ලෙස නොව තීරු කීපයක් ආකාරයෙන් හටගෙන තිබීමයි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දිනක, හිරු බැසයන මොහොතකදී දිස්වූ මෙම අපූරු සංසිද්ධිය කැමරා කාචයට හසුකර ගෙන ඇත්තේ චීලී රාජ්‍යයේ උතුරු කොටසට අයත් "Coquimbo" නම් පරිපාලන කොට්ඨාසයෙහි වූ පොළව මට්ටමේ සිට මීටර 2207 ක් (අඩි 7241) වැනි ඉහළ උන්නතාංශයකින් යුක්ත වූ ප්‍රදේශයක ඉදිකර තිබෙන "Cerro Tololo Inter-American Observatory" නම් වූ අභ්‍යවකාශ නිරීක්ශනාගාරයට අයත් භූමි භාගයේ සිටය. මෙම කොළ පැහැති දිලිසුමට අමතරව, පෘථිවියෙහි වූ එකිනෙකට වෙනස් උෂ්ණත්වයන් පවතින වායුගෝලීය ස්ථරයන්ට ඔබ්බෙන් දිස්වන සූර්යයාගේ ස්වරූපය ද මෙම ස්ථරයන් මගින් සිදුකරන සූර්යාලෝකයෙහි වර්තනය හේතුවෙන් විකෘති ස්වරූපයක් ගෙන ඇති ආකාරය ද මෙහිදී දැකගත හැකිය. මෙම අපූරු කොළ පැහැති දිලිසුම හටගැනීමෙන් මොහොතකට පසුව එය නිරීක්ශනය කිරීමට අවස්ථාව ලද "T. Slovinský" සහ "P. Horálek" යන තාරකා විද්‍යා ඡායාරූප ශිල්පීන් දෙදෙනා විසින් මෙම මනරම් අවස්ථාව තම කැමරා කාචයන්ගේ මෙලෙස සටහන් කරගෙන තිබේ.
Image Credit & Copyright: T. Slovinský & P. Horálek (IoP Opava); CTIO, NOIRLab, NSF, AURA
