අතිතයේ බරණැස් නුවර සුමන නම් සිටුවරයෙක් විය. ඔහු දිනපතා දුගි මගී යාචකාදීන්ට මහා දානයක් දෙයි. ඔහු ඇසුරු කර ජිවත් වන අන්නභාර නම් දුගියෙක් විය. පසේ බුදුහු විශේෂයෙන් දුගියන්ට අනුකම්පා කරන්නෝය. එක් දවසක් උපරිට්ඨ නම් පසේ බුදුන් වහන්සේ ගන්ධමාදන පර්වතයෙහි නිරෝධ සම්පත්තියට සම වැඳි සිට ඉන් නැගිට අනුග්රහ කළ යුත්තකු විමසන්නාහූ අන්නභාර නම් දුගියා දැක ඔහුට අනුග්රහ කරනු පිණිස ඔහු වනයෙහි සිට සිය නිවසට එන වේලාවෙහි පා සියුරු ගෙන අහසින් වැඩම කර ග්රාමද්වාරයේ අන්නභාර එන පෙරමඟ සිටි සේක. දුගි අන්නභාර හිස් පාත්රයෙන් සිටි පසේබුදුන් දැක, උන්වහන්සේට වැඳ ‘ස්වාමිනි, භික්ෂාව ලද සේක් දැ’ යි විචාළේ ය. ‘ලබන්නෙමි, මහපිනැතිය’ යි පසේ බුදුහු වදාළහ. එකල්හි අන්නභාර ‘ස්වාමිනි, මොහොතකට මෙහිම වැඩ සිටිනු මැනව’ යි කියා වේගයෙන් ගෙට ගොස් බිරිය අමතා ‘මගේ බත් පංගුව ඇතිදැ’ යි අසා ‘ඇතැය’ යි කී කල්හි වහා ගොස් පසේ බුදුන් වහන්සේගේ පාත්රය ගෙනවුත් භාර්යා අමතා: සොඳුර, අපට පෙර පින් මඳ බවින් දිළඳුව සිටින්නට වී ඇත. අපට දෙනු කැමැත්ත ඇති වූ දාට දෙන්නට දෙයක් නැති වෙයි. දෙන්නට දෙයක් ඇතිදාට ප්රතිග්රාහකයකු නොලැබෙයි, අද මට උපරිට්ඨ පසේ බුදුන් වහන්සේ හමුවූහ. මාගේ බත් පංගුව මේ පාත්රයට බෙදා දෙව’ යි කීය. නුවණැති බිරිය ‘සිය සැමියාගේ දානයට තමාද කොටස් කාරියක විය යුතුය’ යි සිතා තමාගේ බත් පංගුවද ඒ පාත්රයට බෙදා දුන්නී ය. අන්නභාර පසේ බුදුන් වහන්සේ වෙත පාත්රය ගෙන ගොස් පිළිගන්වා ‘ස්වාමිනි, මේ පිනෙන් මම මේ දුප්පත් ජිවිකාවෙන් මිදෙම්වා’ යි කීය. ‘පින්වත එසේම වේවා’ යි පසේ බුදුන් වහන්සේ වදාළහ. ඉක්බිත් අන්නභාර ඔහුගේ උතුරු සළුව බිම අතුරා, ‘මෙහි වැඩ සිට වළදනු මැනව’ යි කීය. පසේ බුදුන් වහන්සේ එහි වැඩ සිට අහාර වැළදු සේක. දන් වැළදු පසු අන්නභාර පසේ බුදුන් වහන්සේට පාත්රය සොදා ගැනිමට වතුර ද සකයා දිණ. අවසානයේ පසේ බුදුන් වහන්සේ පසේ බුදුවරුන්ගේ සිරිත පරිදි
‘ඉච්ජතං පත්ථිතං තුය්හං - ඛිප්පමේව සමිජ්ඣතු
සබ්බෙ පූරෙන්තු සංකප්පා - චන්දො පණ්ණරසී යථා’
යි අනුමෝදනා කොට මඟම පිළිපන් සේක. එකල්හි සුමන සිටුගේ ඡත්රයෙහි වෙසෙන දෙවියා ඒ දානය දැක,
‘ අහෝ දානං පරමදානං උපරිට්ඨෙ සුප්පතිට්ඨිතං - යි තුන්වරක් කියා සාධුකාර දිණ. එකල්හි සුමන සිටු ඔහුගේ සාධුකාරය තමාගේ දානය ගැන දුන් සාධු කාරයකැයි සිතා ‘කිමෙක් ද මෙතෙක් කල් මා දන් දෙනවා නුඹ නුදුටුවෙහි දැ’ යි කී ය. ‘සිටුතුමනි, මම ඔබගේ දානයට සාධුකාර දුන්නේ නො වෙමි. අන්නභාර විසින් උපරිට්ඨ පසේ බුදුන්ට දුන් දානයට පැහැදි සාධුකාර දුනිමි’ යි දෙවියා කීය. එබස් අසා සුමන සිටු ‘මෙය කෙතරම් පුදුමයක් ද මෙතෙක් දන් දුන් මට එක දවසකුත් දෙවියන් ලවා සාධුකාර දෙවන්නට නොපිළිවන් විය. මා නිසා ජිවත් වන මේ අන්නභාරට සුදුසු ප්රතිග්රහකයකු ලැබිමෙන් එක් පිණ්ඩපාත දානයකින්ම දෙවියන් ලවා සාධුකාර දිය හැකි විය. දෙවියන් පවා සාධු කාර දුන් ඒ දානය එසේ මෙසේ එකක් නොවිය හැකිය. එය මහා පිනක් විය යුතුය. සුදුසු දෙයක් කර අන්නභාර සතුටුකරවා ඒ දානයත් මා අයත් කර ගත යුතුය’ යි සිතුවේ ය. ‘අහෝ තණ්හාවක සැටි , අපමන සම්පත් ඇතුව සිට බොහෝ පින් කරමින් සිට ඒවා මදිවි දුප්පතාගේ පිනත් අයත් කර ගන්නට මේ සිටුතුමා සිතී ය.
ඉක්බිති සිටුතුමා අන්නභාර ගෙන්වා, ‘අද නුඔ යම් කිසිවකුට දානය දුන්නෙහි දැ’ යි ඇසිය. ’ මම අද උපරිට්ඨ පසේ බුදුන් වහන්සේට මාගේ බත් පංගුව දුනිමි’යි කීය. පින් මිලයට ගැනිමේ විකිණිමේ සිරිතක් පෙර ලොව පැවතුණි. දැනුදු ඇතැම් ප්රදේශ වල ඒ සිරිත පවතිනවා විය හැකි ය. ඒ සිරිත පරිදි සිටුතුමා ‘නුඹ දුන් දානය කහවණුවක් ගෙන මට දෙව’ යි කී ය. අන්නභාර ‘නොදෙමි’ යි කීය. සිටුතුමා ක්රමයෙන් මිළ වැඩි කොට ඉල්ලිය. දහසකටද නොදෙන බව අන්නභාර කීය. එසේ නම් දහසක් ගෙන මට පින් දෙව’ යි සිටුතුමා කීය. ‘එසේ කිරිමත් සුදුසුද නුසුදුසු ද කියා මම නොදනිමි. පසේ බුදුන් වහන්සේගෙන් අසා, එසේ කිරිම සුදුසු නම් පින් දෙමි’ යි සිතා ඔහු පසේ බුදුන් වහන්සේ වෙත ගොස් වැඳ ‘ ස්වාමිනි, සුමන සිටු, නුඹ වහන්සේට දුන් දානයේ පින් දහසක් දී මගෙන් ඉල්ලයි, ඔහුට පින් දෙම් ද නො දෙම් දැ’ යි විචාළේය. එකල්හි පසේ බුදුන් වහන්සේ වදාරන සේක් ‘පින්වත, නුඹට උපමාවක් කියමි, ගෙවල් සියයක් ඇති ගමක එක් ගෙයක පහනක් දැල්වෙයි, සෙස්සෝ තෙල් ගැල්වූ පහන් තිර ගෙනවුත් ඒ පහනින් දල්වාගෙන යති, කිමෙක් දරෑ එයින් පළමු පහනේ එළිය ඇතිවේ දරෑ නැතිවේ ද?’ යි වදාළ සේක. අන්නභාර, හිමියනි පළමු පහනේ එළිය තිබුණාටත් වඩා වැඩි වේ ය’ යි කී ය. ‘පින්වත එමෙන් කැඳ සැන්දන් බත් සැන්දක් වුවද දී එයින් ලැබෙන පින අනුනට දුන හොත් එයින් තමාගේ පින වැඩිවෙන්නේ ය, නුඹ එක පිණ්ඩපාතයක් දුන්නෙහි ය, සුමන සිටුට පින් දෙන කල්හි පින්ඩපාත දාන දෙකක් වන්නේ ය. ඉන් එකක් සුමන සිටුට හිමි වේ. අනික නුඹටම හිමිවේ.
හෙතෙම පසේ බුදුන් වැඳ සුමන සිටු වෙත ගොස් ‘පිණ්ඩපාත දානයේ පින් ගනු මැනව’ යි කීය. ‘එසේ නම් කහවනු දහස ගන්න’ යි සුමන සිටු කී ය. ‘මම පිණ්ඩපාතය නො විකුණමි. ඔබට සැදැහැයෙන් පින් දෙමි’ යි අන්නභාර කී ය. ‘පින්වත, නුඹ මට සැදැහැයෙන් පින්දෙව, මම ඔබගේ ගුණයට පුජාවක් වශයෙන් දහසක් දෙමි, එය ගනු මැනව’ යි සුමන සිටු කී ය. ‘එසේ වේවා’ කියා අන්නාභර කහවනු දහස පිළිගත්තේ ය. ඉක්බිති සුමන සිටු ‘පින්වත, දැන් නුඔට මහන්සි වි වැඩ කරන්නට උවමනා නැත. වීදියේ ගෙයක් සාදා ගෙන සුවසේ වැසය කරව, එසේ වෙසෙන කල්හි නුඔට යම් අඩුවක් වුවහොත් එය මගෙන් ගනුව’ යි කී ය.
සුමන සිටු රාජ සේවයටද යන්නේ ය. රජගෙට යන කල්හි වෙනදා සුමන සිටු අන්නභාර කැදවා ගෙන නොයන මුත් එදින අන්නභාරද කැඳවා ගෙන රජු වෙත ගියේ ය. අන්නභාරගේ පින් බලය නිසා එදා රජු සිටු දෙස නොබලා අන්නභාර දෙසම බැලූවේ ය. ‘දෙවියන් වහන්ස, නුඹ වහන්සේ මේ මිනිසා දෙස මෙතරම් බලන්නේ කිමිදැ, යි සිටු කී ය.’ මොහු පෙර දැක නැති බැවිනැ’ යි රජු කීය. දේවයන් වහන්ස, මේ මිනිසා බැලිය යුත්තෙක්ම ය’යි සිටු කීය. ‘බැලිමට තරම් වන මොහුගේ ගුණය කවරේ දැ’ යි රජු කී ය. ‘මහරජාණෙනි, මොහු අද තමාගේ බත් පංගුව තමා නොකා උපරිට්ඨ පසේ බුදුන්ට දුන් බැවින් මගෙන් කහවනු දහසක් පුජා ලැබිය’ යි සිටු කී ය. ‘මොහුගේ නම කුමක් ද?’ මොහුගේ නම අන්නභාර ය’ යි සිටු කීය. නුඹ අතින් මොහු දහසක් ලද නිසා මගෙන් ද දහසක් ලැබිමට නිසි ය. මම ද මොහුට පුජාවක් කරමි’ යි කියා රජුද ඔහුට දහසක් දිණ.
ඉක්බිති රජතුමා ඔහුට ගෙයක් සදා දිමට නියම කෙළෙන් මිනිස්සු ඔහු උදෙසා බිමක් සුද්ද කරන්නට පටන් ගත්හ. එහි උදලූ පහර ගසන ගසන තැන නිදන් සැළි විය. ඒ බව රජුට දැන් වූ කල්හි රජතුමා ඒ නිදන් සාරා ගොඩ ගන්නට අණ කළේ ය. සාරත් සාරත් නිධාන පොළොවෙහි ගැලෙන්නට විය. එකකුදු මතු කළ නොහැකි විය. ඒ බව රජුට දැන් වු කල්හි රජතුමා ‘එසේ නම් අන්නභාරගේ වචනයෙන් සාරව්’ යයි කී ය. ‘අන්නභාරගේ වචනයෙන් ය’ කියා සාරන්නට පටන් ගත් කල්හි උදලූ පහර දෙන දෙන තැන හතු පිපුනාක් මෙන් නිදන් මතු වන්නට විය. ඒ ධනරාශීය ගෙනැවිත් රජු සමිපයේ ගොඩ ගැසු හ. රජතුමා ඇමතියන් රැස් කරවා ‘ මේ නුවර මෙතෙක් ධනය අනිකකුට ඇති දැ’ යි විචාළේ ය. ‘නැත දේවයන් වහන්සය’ යි ඇමතියෝ කීහ. එසේ නම් ‘අන්නභාර මේ නුවර දනසිටු වේවා ’ යි කියා ඔහුට රජතුමා සිටු තනතුර දුන්නේ ය. ඔහු එතැන් පටන් නොයෙක් පින්කම් කොට මරණින් මතු දෙව්ලොව උපන්නේ ය.
සූවිසි මහ ගුණය
මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහ නාහිමි
