මේ තියෙන්නේ මම මකබාස් ආර්කිටෙක්ට්ස් පෝස්ට් එකට දැනට වසර කිහිපයකට කලින් දැමූ පිළිතුරක්.
1980 තරම් ඈත කාලෙක මගේ පුංචි අම්මා අලුතෙන් ගෙයක් හැදුවා. බාප්පා පිටරට රැකියාවක් කරන බැවින් මාත් හැකි හැම විටකම ගිහින් සොයා බැලුවා . ඉතාම ඉස්තරම් විදියට ආර්කිටෙක් ඩිසයින් එකකට හදාපු (වහලය දක්වා බිත්ති බැඳපු )ගෙදර වහලේ ගහන්න බාස් කෙනෙක් හොයලා දෙන්න කියලා මට කිව්වා . අපේ ගමේ ඉන්න බොහොම පරණ තාලේ, කොන්ඩේ බැඳපු, සරම් අඳින බාස් කෙනෙක් ව මම එහාට එක්කගෙන ගියා. පුංචි අම්මාත් ඒ බාස්ව දන්නවා . එයා(බාස්) ප්ලෑන් එක බලලා මට පැහැදිලි කරලා දුන්නා, මේ වහලේ මේ ප්ලෑන් එකට අනුව ගහන්න බැහැයි කියලා.
මම සිවිල් ඉංජිනියරින් දන්නේ නැති උනාට ඉංජිනියරින් ඩ්රෝවින් දන්නා(එවකට මිකැනිකල් ඉගෙන ගනිමින් සිටි නිසා ) නිසා මටත් තේරුනා මේ මනුස්සයා කියන දේ හරි බව . එවලේ එතන හිටපු සුපවයිසර් මේ බාස් දිහා බැලුවෙම මෝඩයෙක්, ගොඩයෙක් දිහා බලන විදියටමයි. ඉංගිරිසි අකුරක්වත් බැරි උනාට ප්ලෑන් එක බලලා මේ මිනිහා කියපු දේ ඒ සුපවයිසර් ගනං ගත්තේවත් නැහැ. තවදුරටත් බිත්ති බඳින්නේ නැතිව දැනට බැඳපු බිත්ති සමහරක් කඩලා වෙනස් කලොත් විතරක් වහලේ ගහලා දෙන්නම් කියපුවාම ඒ සුපවයිසර් කිව්වේ "පිස්සුද බාස් උන්නැහේ ?? මම තමයි අපේ ආකිටෙක් මහත්තයාගේ බිල්ඩින් බොහොමයක් බලාගන්නේ, අපි වෙන බාස් කෙනෙකුට කියලා වැඩේ කරගන්නම් , බාස් උන්නැහේ කරදර වෙන්න එපා" කියලයි.
පුංචි අම්මාට ඕවා ගැන තේරුමක් නැති උනාට ඉංගිරිස් කතාකරන නමේ අගට ටයිටල් තියන ආකිටෙක් ට විරුද්ධව යන්න හැකියාවක් තිබුනේ නැහැ . අපි ආපහු එනකොට ඒ බාස් මට කිව්වේ අපරාදේ පුංචි නෝනගේ සල්ලි. මට දුක ඒ ගැනයි කියලා .
පුංචි අම්මා මේ කතාව ආකියාට කිව්වාම වහලේ ගහන්න කොන්ත්රාත් කාරයෙක් ආකිටෙක්ම හොයලා දුන්නා . මෑන් වහලෙන් බාගයක් ගහන කොට අර කියාපු ප්රශ්නේ මතු උනා .
ඊට පස්සේ ආකිටෙක් ඇවිල්ලා මේ බිත්තිය කඩලා, මේ බිත්තිය උස්සලා මෙහෙම මෙහෙම කරමු කියනකොට පුංචි එයාට කිව්වලු "අර සරම අඳින කොන්ඩේ බඳින ගොඩේ බාස් මේක මේ විදියට කරන්න වෙන බව කිව්වේ ප්ලෑන් එක අතට අරගෙන විනාඩියක් යන්නත් කලින්" කියලා. ආකියා වචනයක්වත් කිව්වේ නැතිලු. අර සුපවයිසර් කියන එකා ඊට පස්සේ කවදාවත් මට මුහුණ දුන්නේත් නැහැ. මම ඈත එනකොට උගේ මෝටර් සයිකලේට නැගලා මාරු වෙනවා .