මේ ප්‍රශ්නේ පිටින් පේනවාට වඩා බැරෑරුම් දෙයක්. කැලෑ සත්තු පිටරට පටවන්න බැහැ. කිසිම රටක් නිරෝධායන සහතිකයක් නැතිව වෙනත් රටකින් සතෙක් ගෙන ඒමට අවසර දෙන්නේ නැහැ. කිසිම නිරෝධායන සහතිකයක් නැති කැලෑ සත්තු දහස් ගණනක් හෝ ලක්ෂ ගණනක් පිටරට පටවනවා කියන කියමනේ කිසිම තේරුමක් නැහැ.
ඊළඟට මේ කිසිම සතෙක් හේතුවක් නැතිව මරන්නේ නැහැ. සතුන්ගේ ගහනය වැඩි උනාම උන්ට කන්න බොන්න නැතිවෙනවා. එතකොට උන්ට සිදු වෙන්නේ අනේක දුක් විඳලා, මාස ගානක් තිස්සේ බොහොම දුක්ඛදායක මරණයකට ගොදුරු වෙන්නයි.
ලෝකයේ විශාලතම කැලෑ ඔටු ගහනය ඉන්නේ ඔස්ට්‍රේලියාවෙයි. ඔටුවන් ඔස්ට්‍රේලියාවට ආවේනික සතෙකු නොවන අතර(ඉන්දියාවෙන්, ඇෆ්ගනිස්ථානයෙන් හා අරාබියෙන් බඩු ප්‍රවාහනයට හා කාන්තාරයේ ගමන් යාමට ගෙන ආ සතුන් ) කිසිම විලෝපිකයෙකු නැති නිසා වර්තමානයේ ඔවුන්ගේ ගහනය ලක්ෂ 3 - 7.5 අතර යැයි සැලකෙනවා. හැම වසරකදීම හෝ දෙකකදීම කැලෑ සත්ත්ව වර්ග හැම එකක්ම වාගේ (මාළුවන් /කුරුල්ලන් පවා ) යම් යම් ආකාරයකට ගණනය කරනවා. ඒවායේ ප්‍රතිඵල අනුව ඒ ඒ සතුන් මැරීමට බලපත්‍ර ලබා දෙනවා, එහෙම නැතිනම් ඔවුන් ආරක්ෂා කිරීමට නීති පනවනවා. උදාහරනෙකට කියනවානම් යම් මාළු වර්ගයක් අඩු බව පෙනෙනවානම් ඔවුන් ඇල්ලීම තහනම් කරනවා, වටු කුරුල්ලන් අඩු නම් duck season (වටුවන් මැරීමේ කාලය) අඩු කරනවා, එහෙම නැතිනම් සම්පුර්ණයෙන්ම අහෝසි කරනවා. ඔටුවන් ඔවුන් ජීවත් වන පරිසරයට ඉතාම හානිකර සත්ත්ව කොට්ඨාශයක්. මේ කියන ඔටුවන් මැරීමට හේතුවත් ඔවුන් බොහෝ දුරබැහැර හුදකලා isolated communities වලට කරන හානියයි.
කලින් කලට හාවන් (හාවුන් බිලියන ගණනක් වෛරස් යොදා මැරුවා) කැන්ගරුවන්, පමණක් නොවෙයි, ඉතාම අහිංසක සතෙකු වන කෝලා බෙයා පවා ගහනය පාලනය කිරීම සඳහා ඝාතනය කිරීමට සිදු වෙනවා. මාංශ භක්ෂක සතුන් ඇත්තේම නැති (ඩින්ගෝ, තස්මේනියන් ඩෙවිල්, වල් පූසන්, නරියන් සහ තවත් කුඩා සතුන් කිහිප වර්ගයක් හැරුන කොට ) ඕස්ට්‍රේලියාවේ ස්වාභාවිකව සත්ත්ව ගහනය පාලනය වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා සත්ත්ව ගහනය පාලනයට මානව මැදිහත්වීමක් නොකොළොත් මේ සතුන් ලක්ෂ ගණනින් මියයාම වලක්වන්න බැහැ
ඒ වගේම මේ ලැව් ගිනි වලින් ගෙවල් දොරවල් විනාශ වීම මහා ලොකු විනාශයක්, කරදරයක්, ඒක අවිවාදිතයි. නමුත්, ජීවිත හානියක් හෝ තුවාල වීමක් නැතිව දේපොළ පමණක් විනාශ වීම වෙස් වලා ගත් ආශිර්වාදයක් ලෙස සලකන පුද්ගලයින් බොහොමයක් ඉන්නා බවත් , ඒවා සියල්ලම රක්ෂණය කර ඇති බැවින් සම්පූර්ණ රක්ෂණ මුදල ඉතාම කෙටි කලකින් ලබාගෙන පරණ ගෙවල්, බඩු මුට්ටු වෙනුවට සම්පුර්ණයෙන්ම අලුත් නිවසක් හදා ගැනීමට ඔවුන් වාසනාවන්ත වන බවත් කියන්න කැමතියි. ලැව් ගිණි හොඳ දෙයක් කියලා එයින් මම අදහස් නොකරන බවත් කිව යුතුයි.