BIO_WEAPONS_වරෙන්_කොලුවො

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ
BIO_WEAPONS_වරෙන්_කොලුවො

ජීවවිද්‍යාත්මක සමූලඝාතක අවි
Biological Weapons


aZoyzFV.jpg



මුලින්ම අපි නිර්වචනය කරගනිමු ජීවවිද්‍යාත්මක සමූලඝාතක අවි කියන්නේ මොනවාද කියා.

“සංග්‍රාමෝපාය ලෙස, විවිධ හදිසි රෝගාබාධ තත්වයන් ඇතිකිරීමෙන් හෝ ක්ෂුද්‍රජීවී බලපෑම් සහ/හෝ, ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය විකෘතිකරණයෙන්, මිනිසා ප්‍රමුඛ ජීවීන්ගේ පැවැත්ම කෙරෙහි මහා පරිමාණයෙන් එල්ල කෙරෙන බලපෑම් හේතුකොටගෙන, මරණය හෝ තදබල අසාධ්‍ය තත්වයක් ඇති කරන්නාවූ, උපක්‍රමිකව යොදවන ජීවවිද්‍යාත්මක ක්‍රියාවලීන්, ජීව විද්‍යාත්මක අවි වශයෙන් හැඳින්වේ”.

ටිකක් බරපතලයි නේද නිර්වචනය? දෙතුන් වරක් කියවලා බලන්න. එතකොට පැහැදිලි වෙනවා. එහෙම නැත්නම් මෙහෙම හිතන්න.

යුද්ධයකට පැටලුන රටක ඉන්න මිනිස්සුන්ව ලෙඩ කරවලා, හදිසි අසනීප තත්වයන්ට ලක් කරලා, මිනිසුන්ව මරා දමන හෝ තදබල අසාධ්‍ය තත්වයට පත්කරන, විෂබීජ පතුරවන උපකරණ හෝ උපක්‍රම තමයි, ජීවවිද්‍යාත්මක අවි කියන්නේ.

දැන් හරි නේද? තව ඉදිරියට කතාකරගෙන යමුකෝ, තවත් පැහැදිලි වෙන්ඩ.

යුද කටයුතු වලදී මේ ජීවවිද්‍යාත්මක අවි සහිත සටන් හඳුන්වන්නේ Biological Warfare (කෙටි යෙදුම BW) යනුවෙන්. මොනවද ඉතිං ජීවවිද්‍යාත්මක අවි වලට දාන පතරොම්? පතරොම් තමයි, මිනිස් ජීවිතයට අතිශයින් හානිකර භයානක බැක්ටීරියා වර්ග, වෛරස් වර්ග, පුස් වර්ග, සහ තවත් එවැනි ජෛවමය ක්‍රියාකාරීත්වයෙන් යුත් ද්‍රව්‍ය. මේවා මගින් සොල්දාදුවන් සහ සාමාන්‍ය ජනතාව මරාදැමීම/අඩපන කිරීම/රෝගාබාධ නිසා යුද පිටියෙන් ඉවත්වීමට සැළැස්වීම/ තමයි මේ අවි යෙදවීමේ පරමාර්ථය. ඒ තත්වය යුද්ධය පවතින රටක මහජනතාවටත් එලෙසම බලපානවා. එතකොට මොකද වෙන්නේ. යුද්ධ කරන්න කවුරුවත් නැති නිසා යුද්ධය පරදිනවා. ජීවවිද්‍යාත්මක අවි වලට සෑහෙන ඉතිහාසයක් තියනවා. ක්‍රිස්තු පූර්ව 600 තරම් ඈත අතීතයේදී පවා බෝවන රෝග විෂබීජ සතුරු ප්‍රදේශවල පැතිරවීම සිදුවී තිබෙනවා. දෙවැනි ලෝක යුද සමයේදීත් ජීවවිද්‍යාත්මක ප්‍රහාර සැලසුම් සහ පර්යේෂණ ලෝකය පුරාම පාහේ සිදුවී තිබෙනවා.

FbQaIz7.png

- ජීවවිද්‍යාත්මක අවි මේ තරම් භයානක ඇයි?

පළමුවැනි හේතුව ඒවා ඇහැට පෙනෙන්නේ නැහැ, ගඳ/සුවඳක් නැහැ. පෙනෙනවා නම් හෝ ගඳ සුවඳක් දැනෙනවානම්, දුවලා හරි බේරෙන්න පුළුවන්නේ. දෙවනුව ඒවා සාමාන්‍ය බෝම්බයක් හෝ වෙඩි උණ්ඩයක් මෙන් මේ දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සිරුරට ඇතුළුවී පැය/දින ගණනාවකට පස්සෙයි රෝග ලක්ෂණ මතුවෙන්නේ. එතකොට ‘පෙරහැර ගිහිල්ලා ඉවරයි’. බේරාගන්නට බැහැ. මෙහෙම හිතන්න, අපිත් එක්ක වෙළඳ ගනුදෙනු කරන රටක් තියනවා. අපි ඒ රටට කියනවා, ‘ඔයාලගේ රටට වඩා, අහවල් රටේ බඩු (බඩු කිව්වේ බඩු) හොඳයි. මීට පස්සේ අපි එහෙන් බඩු ගන්නවා, ඔයාලගේ ඒවා එපා’ කියලා. ඊළඟට ඒ රට මොකද කරන්නේ? ඒ රට බොහොම බලගතු රටක්නම්, ‘එහෙමද පුතෝ, හරි එහෙනම් බලාගම්මු’ කියලා, එයාලගේ ගුවන් යානයකින්, අපේ රටට ඉහල අහසේ, අපි මීට කලින් කවදාවත් ගොදුරු වෙලා නැති, මහා භයානක, මාරක, වසංගත රෝග බෝ කරන විෂබීජ, පතුරවලා දාන්න පුළුවන්. ගුවන් යානය, වෙන වැඩකට අපේ රටට එන විදිහට ඇවිත්, අර බලු වැඩෙත් කරලා යනඑක, නිකම් කජු කනවා වගේ වැඩක්. (කවුද දන්නේ දැනුත් එහෙම වෙනවද කියලා. ඔය වරින්වර අපේ රටේ මතුවන්නේ මීට කලින් අහලා නැති එක එක විදිහේ උණ රෝග) ජීවවිද්‍යාත්මක අවි එතරම් භයානකයි.

ගාලු මුවදොර පිටියේ පැවැත්වෙනවා මහා සංගීත සංදර්ශනයක්. අපි ඔව්වට යන්නේ නැති නිසා බේරෙනවා :D) මේ සංදර්ශනය බලන්න රටේ හැම පළාතකින්ම වගේ සෙනග එනවා. අපේ හතුරෙක්, වාතය ඔස්සේ පැතිරෙන මාරක වෛරසයක් අඩංගු (කෑම පෙට්ටියක් වැනි) භාජනයක් ගෙනත්, අර සෙනග මැදට දාලා යනවා. කවුරුහරි මේක ඇරලා බැලුවම මොකුත් නෑ. අල්ලලා විසිකරනවා. නමුත් අර වෛරසය, ප්‍රසංගය බලන්න ආව අයගේ සිරුරට ඇතුළුවෙලා, මුළු රටපුරා යනවා. සමහරවිට මෙතෙක් අපේ රටේ නොතිබුන මාරක වසංගතයකින්, දහස් ගණනක් මියයනවා. රටේ ආර්ථිකය කඩාවැටීමට පවා එවැනිදේ බලපානවා.

මගේ පරම හතුරෙක් ඒ සංදර්ශනය බලන්න එනබව මම දැනගන්නවා. මම යොදවනවා කාන්තාවක්. ඇගේ අතේ තියනවා මුද්දක්. ඒ මුද්දේ තියනවා සියුම් තුඩක්. ඒ තුඩ සර්පයකුගේ විෂ දළයක් වගේ. ඒ තුළ තියෙන්නේ, මාරාන්තික, ජීවවිද්‍යාත්මක විෂබීජ. මේ කාන්තාව අර මගේ සතුරා ලඟින් යන ගමන්, වැටෙන්න ගියා වගේ ඔහුගේ ඇඟේ හැපෙන ගමන්, අර තුඩෙන් සීරීමක් කරනවා. කාන්තාවක් එහෙම වැටෙන්න යනකොට පැනලානේ අපි (මමත් ඇතුළුව) අල්ලන්නේ. මගේ සතුරා දිනකින්/දෙකකින්/තුනකින් ඉවරයි.

ජීවවිද්‍යාත්මක ද්‍රව්‍ය පාවිච්චි කළ අවස්ථා පිලිබඳ සංක්ෂිප්තයක් මෙතනින් බලන්න.

ජීවවිද්‍යාත්මක අවි ප්‍රහාරයන්ට ලක්වුනොත් ඇතිවන ප්‍රතිඵල පෙන්වන පින්තූර කීපයක් පළ කරනවා පහළින්. මා ඉතාම කණගාටු වෙනවා මේ පින්තූර නිසා ඔබතුළ යම් කම්පනයක් ඇතිවනවා නම්.

Y94wBz4.jpg


vp6g3YZ.jpg


vmcfTEi.jpg


දැන් ඔබට ජීවවිද්‍යාත්මක අවි ගැන යම් අවබෝධයක් ලැබෙන්නට ඇති. ඒ නිසා අපි මීළඟට සළකා බලමු රසායනික අවි ගැන.


රසායනික සමූලඝාතක අවි
Chemical Weapon


FTdJfK0.jpg

මෙහිදීත් අපි මුලින්ම රසායනික අවියක් කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරගැනීම හොඳයි නේද?

“මිනිස් සිරුරට සහ අනෙකුත් සත්වයන්ට හානිකර සහ මාරාන්තික හානි පමුණුවන රසායනික මූලද්‍රව්‍යයක්, හෝ සම්මිශ්‍රණයක්, බෝම්බයක් ලෙස හෝ උණ්ඩයක් ලෙස හෝ වෙනත් ප්‍රක්ෂිප්ත උපකරණයක් ලෙස පාවිච්චි කළහැකි උපක්‍රමයකින් ප්‍රචාලනය කිරීමේ උපකරණය රසායනික අවියක් ලෙස සැළකේ”

අර ජීවවිද්‍යාත්මක අවි නිර්වචනය තරම් අමාරු නැහැ නේද? හරි හරි, කෝකටත් මම ගැටපද විවරණයක් කරන්නම්කො. මෙන්න මෙහෙමයි.

අපේ ඇඟේ ගෑවීමෙන්, ආඝ්‍රාණය වීමෙන්, වැනි ක්‍රමවලින් අපේ ශරීරයට හානි පමුණුවන රසායනික ද්‍රව්‍ය තියනවනේ, ඇසිඩ් වගේ දේවල් ගෑවුනොත් පිච්චෙනවා. සමහර වායුවර්ග ආඝ්‍රාණය වුනොත් මැරෙන්න/සිහිනැතිවෙන්න ඉඩ තියනවා. එවැනි වායුව සහිත බෝම්බයක් පිරිසක් මැදට පතිත කෙරුවොත්, මහා විනාශයක් සිදුවෙනවා. සයනයිඩ් වගේ දෙයක් නොදැනුවත්ව කැවුනොත් මැරෙනවා. සයනයිඩ් වගේ දෙයක් වෙඩි උණ්ඩයක තවරලා වෙඩි තිබ්බොත් මැරෙන්නේ උණ්ඩයෙන් නොවෙන්න පුළුවන්. උණ්ඩය අපේ සිරුරේ ගෑවී හූරාගෙන ගියාම ඇති. එතනින් සයනයිඩ් විස ශරීර ගතවෙලා මැරෙනවා. අන්න ඒවගේ ප්‍රහාර තමයි රසායනික අවි ප්‍රහාර වෙන්නේ.

ඉහත ජීව විද්‍යාත්මක අවි ප්‍රහාරයක් යෙදවීමට අර කාන්තාව ප්‍රයෝජනයට ගත්තා වගේ උදාහරණයක් කියන්නම්.

මගේ ළඟ තියනවා පිරිමි අය පාවිච්චි කරන අර ලොකු කුඩයක්. ඒකෙ අග තියනවනේ අර කූරක්. (කුඩේ ඉහළගත්තම අහසට යොමුවෙන්නේ) මම, මගේ හතුරා අසලින් යනගමන්, ඒ කූරෙන් ඔහුව සූරාගෙන යනවා, අත්වැරදීමක් වූ ලෙසට. ඒ කූරෙන් රසායනික ද්‍රව්‍යයක් නිකුත් කරන්න පුළුවන්. ඒ සඳහා අදාළ ස්විච් එක තියෙන්නේ කුඩ මිටේ. කොහොමද වැඩේ?

ලෝකයේ අතීතයේදී පාවිච්චිකළ නමුත්, එක්සත් ජාතීනේගේ ප්‍රඥප්ති අනුව අද පාවිච්චි කරන්න තහනම්, උණ්ඩ වර්ගයක් තියනවා, ‘ඩම් ඩම් බුලට් – Dum Dum Bullet’ කියලා.

(1870 දී පමණ, එවකට ඉන්දියාව පාලනය කළ, බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින්, ඉන්දියාවේ කල්කටා නගරය ආසන්න, ‘ඩම් ඩම්’ කියන ප්‍රදේශයේදී තමයි, මේවා මුලින්ම නිපදවා තිබෙන්නේ. ඒ නිසයි ඒ නම ලැබී තියෙන්නේ)

ඒවා ක්‍රම කීපයකට හදනවා. තහනම් වර්ගය හදන්නේ මෙහෙමයි. සාමාන්‍ය රයිෆල් පතරොමක් අරගෙන එහි තුඩ හෙවත් තුවක්කුවෙන් පිටවී යන උණ්ඩය කොටස යකඩ කපන කියතකින් කුරුස හැඩේට කපනවා. සියුම් පැළීමක් විතරයි. ඒ තුලට සයනයිඩ් වැනි දෙයක් දාලා වෙඩි තියනවා. සීරිලා ගියත් ඇති. මරණය ස්ථිරයි. ඊට අමතරව පතරොමේ තුඩ ඇතුළට කුහරයක් වගේ හදන ක්‍රම සහ ඉලක්කයට වැදුනම තුඩ විසිරී හානිය වැඩි කරන ක්‍රමත් තියනවා. ඒවා තහනම් නැහැ.

1sfi3Nk.jpg

සමූල ඝාතක අවි ලෙස සැළකෙන රසායනික අවි මීට වඩා බරපතළයි. මම දෙන්නම් ලැයිස්තුවක්. ඒක කියවලා බැලුවම තේරෙයි, රසායනික අවි වලට යෙදිය හැකි රසායන වර්ග, කොච්චර තියනවද කියලා.

මෙන්න ලැයිස්තුව.

කඳුළු ගෑස් වර්ග – Tear agents
වමනය ඇතිකරන රසායන – Vomiting agents
දුර්ගන්ධය ඇති කරන රසායන – Malodorants
අඩපණ කරවන රසායන – Incapacitating agent
මානසික තත්වය වෙනස් කරවන රසායන – Psychological agents
සම මතුපිට බිබිලි හෝ දියපට්ට ඇති කරන රසායන වර්ග – Blister agents & Vesicants
සිරුරේ රුධිර සංසරණය අවුල් කරන රසායන – Blood agents
සම මතුපිට දැවෙන සුළු තත්වයක් ඇති කරන රසායන – Urticants
හුස්ම හිරකරවන රසායන – Choking agents
ස්නායු පද්ධතිය අක්‍රිය කරවන රසායන – Nerve agents

මේ සෑම වර්ගයකටම අයත් උප වර්ග කිරීම් රාශියක් තියනවා. ඒවා ඉතා දීර්ඝ විස්තර නිසා මෙහි ඇතුලත් කරන්නේ නැහැ. රසායනික අවි ප්‍රහාර වලට ලක්වූ අයගේ පින්තූර කීපයක් පහත දක්වනවා. නැවතත් අවධාරණය කරනවා මේවා දැකීමෙන් ඔබට ඇතිවන කම්පනය ගැන මා කණගාටු වෙන බව.

vimq4It.jpg


lCNMaLE.jpg


dbWAUHg.jpg


සිරියාවට චෝදනා තිබෙනවා, විරුද්ධව සටන් කරුවන්ට එරෙහිව රසායනික අවි එල්ල කරනවා කියා. එය සත්‍යයක් බව ඔප්පුවී තිබෙනවා. ඒ වගේමයි ඉරානය දෙසටත් දැන් දැන් ඇමරිකාව ප්‍රමුඛ රටවල් කීපයක් එක්ව එක්සත් ජාතීන්ගේ අවධානය යොමුකරවා තිබනවා. න්‍යෂ්ටික අවි නිපදවීමට ඉඩ ඇතිබව ප්‍රකාශ කරමින්. ඉරානය තවත් ඉරාකයක් වෙයිද දන්නේ නැහැ. උතුරු කොරියාව පාරම්බෑවාට දෙඤ්ඤං බැටේ කියලා, තවම ‘සීන් එකට ඇන්ටර්’ වුනේ නැහැ. අපි වගේ සොක්කන්ට තියෙන්නේ පඬුරක් ගැටගහන්ඩ විතරයි. මෙහාටනම් ඔව්වා එන්ඩ එපා කියලා.

2f4Z7Gq.jpg

න්‍යෂ්ටික අවි වලින් බේරෙන්න බැරි වුනත්, ජීවවිද්‍යාත්මක සහ රසායනික අවි වලින් සිදුවන හානිය අවම කරගතහැකි ඇඳුම් සහ ස්වසන උපකරණ සකස්කර තිබෙනවා. නමුත් ඒවා ඇඳගෙන සටන් කිරීමනම් සොල්දාදුවකුට එතරම් පහසු නැහැ.

iz4o4Zu.jpg

සංග්‍රාමයකදී, තුවක්කු බෝම්බ ආදිය පාවිච්චි කරමින් ගහගැනීම වෙනම දෙයක්. නමුත්. ජීවවිද්‍යාත්මක අවි, රසායනික අවි, පාවිච්චි කිරීම නොමිනිස් ක්‍රියාවක් ලෙසයි සැළකෙන්නේ. ඒ නිසා අද ලෝකයේ කිසිම රටකට අයිතියක් නැහැ ජීවවිද්‍යාත්මක හෝ රසායනිය හෝ අවි නිපදවීමට, ළඟ තබාගැනීමට හෝ පාවිච්චි කිරීමට තහනම් කරමින් විවිධ ප්‍රඥප්ති පනවා තිබෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මොනවද කරලා තියෙන්නේ?

සමූල ඝාතක අවි ලෝකයෙන් තුරන් කිරීම සඳහා ක්‍රියාකරන්නේ එක්සත් ජාතීන්ගේ අවිහරණ කටයුතු පිලිබඳ කාර්යාලයයි. United Nations Office for Disarmament Affairs = UNODA. මේ මගින් අතීතයේ සිට විවිධ ප්‍රඥප්ති රාශියක් පනවා තිබෙනවා සමූල ඝාතක අවි පිළිබඳව. නමුත් අවාසනාවකට මෙන් ඒ ප්‍රඥප්ති වලට එකඟවූ සමහර රටවල් රහසිගතව සමූලඝාතක අවි නිපදවීම, ගබඩා කිරීම, පර්යේෂණ පැවැත්වීම සිදුකරනවා. එමෙන්ම සමූල ඝාතක අවි තියන ලෝකයේ සමහර රටවල් මේ ප්‍රඥප්ති වලට අත්සන් තබා නැහැ.

මතක තබා ගන්න මහා පරිමාණ න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුනොත්, ලෝකය කියා දෙයක් ඉතුරුවෙන එකක් නැතිබව. අප වැනි කුඩා රටවලට පුළුවන් සමූල ඝාතක අවි ප්‍රතික්ෂේප කරන රටවල තියන, සමූල ඝාතක අවි නිපදවීම සඳහා ගතහැකි මූලද්‍රව්‍ය, එවැනි කටයුතු කරන රටවලට නොවිකුණා සිටීමට හා අපේ බාල පරපුර මේ පිළිබඳව ඉතා පුළුල් ලෙස දැනුවත් කිරීමට කවදා හෝ ඔවුන්වත් මේ දුෂ්ඨ ලෝකය පිවිතුරු ලෝකයක් කරයි එවිට.


~අවි ගත්තෝ අවියෙන්ම නැසෙති~


මූළාශ්‍ර:-

විචාරකගේ අඩවිය
http://en.wikipedia.org/wiki/Weapon_of_mass_destruction
http://en.wikipedia.org/wiki/Nuclear_weapon
http://en.wikipedia.org/wiki/Biological_warfare
http://en.wikipedia.org/wiki/Chemical_warfare
http://www.un.org/disarmament/
 
Last edited:
වැදගත් ලිපියක්..

පොඩි නිවැරැදි කිරීමක්...මේ පින්තූරෙන් පෙන්නන්නේ වසූරිය (smallpox) ආසාදිත කෙනෙක්. පැපොල කියන්නෙ chickenpox.

වසූරිය රෝග කාරකය variola minor virus, variola major virus (සුලභ මෙන්ම බරපතලම ආකාරය)
පැපොල රෝග කාරකය varicella zoster virus (VZE)


sAkaRad.png
 
  • Like
Reactions: ramesh_jaya

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ
වැදගත් ලිපියක්..

පොඩි නිවැරැදි කිරීමක්...මේ පින්තූරෙන් පෙන්නන්නේ වසූරිය (smallpox) ආසාදිත කෙනෙක්. පැපොල කියන්නෙ chickenpox.

වසූරිය රෝග කාරකය variola minor virus, variola major virus (සුලභ මෙන්ම බරපතලම ආකාරය)
පැපොල රෝග කාරකය varicella zoster virus (VZE)

dEWCql0.jpg



ස්තුති...නිවැරදි කළා මචං