Answered Interview tips for future SEs

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,275
    3,908
    113
    සම්මුඛ පරීක්ෂණයකට ගියාම අහන පළමුවෙනීම සහ වැදගත්ම ප්‍රශ්නේ තමා අපේ උන්දෙලා නාගෙන, අනාගෙන හත්පොළේ ගා ගන්නේ.. ඒ තමා, "So, tell me something about yourself."

    මේ ප්‍රශ්නේ අහන්නේ සාකච්ඡාව ආරම්භ කරන්නම විතරක් නෙමෙයි. මේකට ඔබ උත්තර දෙන විදියෙන් ඔබ අවධානය යොමු කරන්නේ මොනාටද, යොමු නොකරන්නේ මොනාටද කියන දේ පැහැදිලිව මැනෙනවා.. ඒ නිසා මෙන්න මේ ටික මතක තියාගන්න..

    මේ ප්‍රශ්නෙට උත්තරේ විදියට,

    1. අපට ඔබේ පවුලේ හත්මුතු පරම්පරාවක විස්තර අවශ්‍ය නෑ. ඒ නිසා ඔබේ පරම්පරාව සහ එහි ඉතිහාසය අපට කියන්න එපා. "සද්ද විද්ද පළඟ පතිරන්නැහැලාගෙ අහවල් මුදියන්සේලාගේ අහවල් ආරච්චිගේ...." ආදී වශයෙන් ඔබේ සම්පූර්ණ නම කියන්න මහන්සි වෙන්න එපා, අපිට දැනටමත් ඒක CV එකෙන් බලාගත්තැකි. මුල්නමයි වාසගමයි (නැත්නම් නම් දෙකක්) කිව්වම හොඳටෝම ඇති.. ඒ වගේම ඔබේ ගෙදර තාප්පේ පාට, ඔබේ නැන්දගේ දුව ගිය සුමානේ කසාද බැන්දද, ඔබේ සුරතල් බල්ලගෙ නම, ඌ ඊයේ රෑට කෑවද නැද්ද, මේවත් අපිට වැඩක් නෑ.

    2. හීනමානික වෙන්න එපා. තමන් තමන්වම අවතක්සේරු කරගැනීම ("I know I'm not very talented") තමා ඉන්ටවීව් එකකදී, ඉන්ටවීව් කරන මනුස්සයා අහන්න අකැමතිම දේ. දවසේ වැඩ කෝටියක් තියාගෙන ඒ මනුස්සයා ඔබත් එක්ක කතාකරන්න විනාඩි පහළවක් වෙන්කරගන්නේ, ඔබෙන් වටිනා දෙයක්, බලාපොරොත්තු සහගත දෙයක්, හොඳ දෙයක් අහන්න බලාපොරොත්තුවෙන්.. ඔබට ඔබව වටින්නේ නැත්නම් මොන කෙහෙල්මලකටද අපිට ඔබව පඩියක් දීල තියාගන්න වටින්නේ?

    3. අධිමානික වෙන්නත් එපා. ඔබ තමා ලෝකෙ ලොකුම ඩයල් එක වගේ හැසිරෙන්න එපා. (එහෙම වෙන්න ඇති; ඒ වුණත් ජොබ් එක ඉල්ලන්නේ ඔබ නේ.) අන්‍යොන්‍ය ගරුත්වය තියාගන්න දන්නේ නැත්නම් ඉන්ටවීව් කාමරේ දොරෙන් ඇතුළට නේන තරමට හොඳයි (මොකද ඔබේ වෙලාව ඉතුරුයි).

    එහෙනම් මොනවද කියන්න ඕනේ?

    1. කියන්න ඔබේ නම. ඔබේ පදිංචිය, පාසැල, වගේ සරල පුද්ගලික විස්තර ටිකකින් කතාව පටන් ගත්තට කමක් නෑ. හැබැයි ඔබේ ගෙදෙට්ට ඊයේ තීන්ත ගෑවද නැද්ද කියන එක අපිට වැදගත් නෑ. ඒ නිසා ඔබ ගැන මුකුත්ම නොදන්නා කෙනෙකුට සරල දේවල් ටිකක් කිව්වම ඇති.

    2. කියන්න ඔබේ අධ්‍යාපනය ගැන. සරලව වාක්‍ය තුන හතරකින්, ඒ ඇති. ඊළඟට කියන්න ඔබ මොනාද මෙතෙක් කරල තියෙන දේවල්: පුද්ගලික ජීවිතේ එපා. අධ්‍යාපනය සහ වෘත්තීය අංශවලින්. පම්පෝරි ගහන්න එපා, හැබැයි ඔබ ඇත්තටම වටිනා දෙයක් කරල තියෙනවා නම්, "නිහතමානී ආඩම්බරයකින් යුතුව" ඒ දේ කියන්න.

    3. ඔබේ අනාගත ඉලක්කය කියන්න. මේ ගැන හිතන්න ඕනේ ඔබ ජොබ් එකට ඉල්ලුම් කරන්නත් කලින් ඉඳන්. ඔබ යන්න හදන ඉලක්කය, දැනට ඔබ ඉල්ලුම් කරන රස්සාවට ගැළපෙන්නේ නැත්නම්, එතනම ගැටළුවක් තියෙනවා. ඒ ඉලක්කය, දැන් ඔබ ඉල්ලන රස්සාවට ගැළපෙනවා නම්, ගොඩක් හොඳයි. නැත්නම්, ඊළඟට අනිවාර්යයෙන්ම ඔබෙන් අහයි ඒ නොගැළපීම ගැන: දෙන්න උත්තර සූදානම් කරගෙන යන්න (ඒක එච්චර අමාරු නෑ, මේ කියන්නේ පුද්ගලික අත්දැකීමෙන්). හැබැයි පච නෙමෙයි, අවංක උත්තර.

    වැදගත්ම දේ: පච නම් ගහන්න එපා. මොකද ඔබ ඉන්ටවීව් එකේදී කියන දේවල්, ඔබ ඒ ආයතනයේ ඉන්නා තුරා ඒ මිනිස්සුන්ට මතක තියෙනවා.

    සරලව ආයෙම කියනව නම්, මෙන්න මේ කාරණා තුනට හරියට උත්තර දෙන්න:

    1. මම කවුද?
    2. මම මෙතෙක් මොනවද කළේ?
    3. මගේ අනාගත ඉලක්කය මොකක්ද?

    Chameera Jeewantha Dedduwage ගෙන්