On line අධ්‍යාපනය ප්‍රායෝගිකද? ( දෙවන කොටස)

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    On line අධ්‍යාපනය ප්‍රායෝගිකද? ( දෙවන කොටස)
    - උපුටා ගැනීමක්

    නාගරික සමාජයේ තත්ත්වය

    ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ පාසල්වල තත්ත්වය එසේ වෙද්දී ඇතැම් නාගරික පාසල්වල ෆේස්බුක් පිටු හරහා ගුරුවර ගුරුවරියන් පාසලේ දී ම මෙන් පෙනී සිට සජීවී ලෙස උගන්වන ආකාරය ද දැකගත හැකි විය. විවිධ පන්ති, විවිධ විෂයන් පාසලේ දීම මෙන් එම ගුරුවර ගුරුවරියන් විසින් පුවරු මත ලියමින් ඔන්ලයින් උගන්වන ආකාරය පිළිබඳ සතුටු විය හැකිය. ඒ ඇතැම් පාසල් ඒවා ක්‍රමානුකූලව සැලසුම්සහගතව සහ දරුවන්ගේ උනන්දුව ඇතිවන ආකාරයේ ගුණාත්මක මට්ටමකින් සිදුකරන බව පෙනෙන්නට තිබේ. ඒවා ඉතා ධනාත්මක දේ ලෙස පෙනුනත් ඒ මට්ටමට ළඟාවිය හැකි දරුවන් දෙමාපියන් ගුරුවරු සිටින්නේ සීමිත පිරිසක් පමණි, එවන් සමාජ ආර්ථික පසුබිමක් තිබෙන්නේ සීමිත පිරිසකට පමණි.

    ලර්න් ඒෂියා ආයතනය මගින් කරන ලද සමීක්ෂණයකට අනුව මෙරට අවු. 18ට අඩු දරුවන් සිටින පවුල් අතුරින් අන්තර්ජාල පහසුකම් තිබෙන්නේ 34%කට පමණක් වන අතර ඉන් ද වැඩි ප්‍රතිශතය අන්තර්ජාලය භාවිත කරන්නේ ස්මාට් ජංගම දුරකථන හරහා ය. එයට අනුව 66%කට ම අන්තර්ජාල පහසුකම් නැත. වසංගත තත්ත්වයත් සමග හදිසියේම මෙන් දුරස්ථ හා අන්තර්ජාල අධ්‍යාපන ක්‍රමයකට පෙළඹවීම සිදුවන්නේ ඒ සම්බන්ධව කිසිදු සූදානමකින් තොරව ය. මේ කාර්යය සිදුකරන පිරිස පවා මෙවැනි ඉගැන්වීමේ ක්‍රමවේදයක් සඳහා නිසි පුහුණුවක් ලබාගෙන නැත. එය ආරම්භ වන්නේ ඒ හරහා අධ්‍යාපන ඉලක්ක සපුරා ගන්නා ආකාරයත් දරුවාට ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය දරුවන් ආකර්ෂණය කරගත හැකි ආකාරයටත් සිදුකිරීම සම්බන්ධයෙන් හෝ කිසිදු පුහුණුවක් හෝ දැනීමක් නොමැති තත්ත්වයක් තුළ ය. සැලසුම් රහිතව මෙවන් ක්ෂණික ක්‍රමවේදවලට යෑම මත විවිධ සමාජ ගැටලු ද නිර්මාණය වීමට ඉඩකඩ ද තිබිය හැකිය. මේ වන විට තාක්ෂණික පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් මෘදුකාංග සමාගමක් වන මයික්‍රොසොෆ්ට් ආයතනය සමග ගිවිසුමක් අත්සන් කළ බවත් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ තිබෙන පාසල් 3093කට වසර පහක් නොමිලේ තාක්ෂණ විසඳුම් පද්ධතියක් ලබාදීමට ඒ අය එකඟ වූ බවත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණි. ටෙලිකොම් හා ඩයලොග් සමාගම් සමග ද එවැනි ගිවිසුම්වලට එළැඹීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කර තිබෙන්නේ ය. මේ ක්‍රමවේදයන් ස්ථාපිත කිරීමටත් ඒවාට වෙනත් ගැටලුකාරී තත්ත්වයන් ඇති නොවන ආකාරයට අනුගත වීමටත් සියලු පාසල්වලට එම පහසුකම් ස්ථාපිත කිරීමටත් යම් කාලයක් මෙන්ම විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇත. කෙසේ හෝ එය සිදුකිරීමට පියවර ගැනීම යහපත් වුව ද කිසිදු සූදානමකින් තොරව ඒවා ක්‍රියාත්මක කිරීමට පෙළඹවීම හරහා නම් යහපත් ප්‍රතිඵල ලැබේ යැයි උපකල්පනය කළ නොහැකි ය.

    පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයකු වන කැලුම් එදිරිසිංහ මහතා මෙම අධ්‍යාපන ක්‍රමයේ ප්‍රායෝගික භාවිතාව සම්බන්ධයෙන් පැවසුවේ මෙලෙස ය. “මුලින්ම වට්ස්ඇප් වැනි ක්‍රම හරහා ගුරුවරු ළමයින්ට පැවරුම්, සටහන් යැවීම පටන් ගත්තා. නමුත් ඒවාට ළමයි සියලුදෙනා යොමු කරවා ගන්නත් ටිකක් අපහසු වුණා. මොකද තොරතුරු තිබුණේ ඉස්කෝලවල නිසා ඒවා ගන්න යන්න හැකියාවක් තිබුණේත් නෑ. මාස එකහමාරක් වගේ ඉඳලා මේ ඔන්ලයින් වැඩසටහන් කෙරුණත් දැනටත් හතළිහක් පමණ ඉන්න සමහර පන්තිවල ඒවාට සම්බන්ධවෙලා ඉන්නෙ ළමයි තිහක් වගේ ප්‍රමාණයක්. ඔක්කොම ළමයි සම්බන්ධවෙලා නැති නිසා අපිට සම්පූර්ණ පාඩමක් කරන්නත් බැහැ. එහෙම කළත් ඒ පාඩමෙන් යම් ප්‍රමාණයක් ළමයින්ට ලැබිලා නැහැ. අනෙක මුල් කාලයේ ඇඳිරි නීතිය එක්ක ඬේටා එහෙම සපයා ගන්න ළමයින්ට සහ ගුරුවරුන්ටත් ගොඩක් වෙලාවට හැකියාවක් තිබුණේ නැහැ. තාමත් විවිධ ගැටලු නිසා ඒ හැකියාවන් නැති ළමයි ඉන්නවා. මේකේ ලොකු සාර්ථකත්වයක් නැහැ. ළමයි නිකන් ඉන්න එක වළක්වාගන්න හැරෙන්න පාසලක දී අපි ලබාදෙන අධ්‍යාපනය හා සමාන අධ්‍යාපනයක් නම් එතැන දී ලැබෙනවා අඩුයි. මේ ක්‍රමය අනුව ගොඩක් වෙලාවට වෙන්නේ කිසියම් සටහනක් හෝ පැවරුමක් හරහා පාඩම ආවරණය කිරීමක්. ගුරුවරයා සජීවීව උගන්වනවා වගේ ළමයින්ට හැඟීමක් එනවා ද කියන එකත් ප්‍රශ්නයක්. ගුරුවරයා උගන්වද්දී ඒ දිහා බලාගෙන ළමයා ඉගෙන ගැනීමේ දී තියෙන අවධානය ම මේ ක්‍රමවේදය හරහා එනවා ද කියන ප්‍රශ්නය තියනවා. පන්තියේ උගන්වද්දී ප්‍රශ්නයක් මතු වුණා නම් ඒක එවෙලේම අහනවා. ඒ වගේම ලැප් එකක් භාවිත කරන්න හැමෝටම පහසුකමක් නැති නිසා ෆෝන්වලින් ඒ පැවරුම් ආදිය කියවීමේ අපහසුතාත් තියනවා. ඒ නිසා ළමයිත් මේකට එතරම් කැමැත්තක් දැක්වීම අඩු බව පෙනෙනවා.” වට්ස්ඇප් ගෲප් සෑදීම හරහා විවිධ ගැටලු මතුවේ යැයි තිබෙන මතිමතාන්තර හේතුවෙන් මුල් කාලයේ දෙමාපියන් ද ඊට එතරම් කැමැත්තක් නොදැක්වූ බවත් එවැනි කිසියම් ගැටලුවක් මතු වුවහොත් ඒවායේ වගකීම ද තිබෙන බැවින් නිරන්තරයෙන් එම ගෲප් සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු වීම ද එක් අතකට පීඩනයක් බවට පත් ව තිබෙන බව ද ඔහු පැවසුවේ ය.

    ඔන්ලයින් ක්‍රමයට ටියුෂන් පන්ති පවත්වාගෙන යන ඇතැම් ගුරුවරු මෙම තත්ත්වය ඇතිවීමට පෙර අය කළ මුදලම අය කිරීමට කටයුතු කරන බවත් එම මුදල් බැංකුවට ගෙවා රිසිට්පතේ ඡායාරූපයක් යැවිය යුතු ආකාරයේ ක්‍රමවේද ක්‍රියාත්මක වන බවත් කැලුම් එදිරිසිංහ මහතා පැවසුවේ ය. “ගෙවීම් කරලා නැත්නම් ඒ ඔන්ලයින් ගෲප් එකෙන් ඉවත් කරනවා, ඒ වගේම ඒ වැඩසටහන් ෂෙයා කරන්න බැහැ වගේ නීතිරීතිත් දාලා තියනවා. ඒ වගේම සමහර සොෆ්ට් වෙයාර් ආයතනත් මේ වෙලාවේ ටියුෂන් කරන ආයතනවලට මේ වගේ ඔන්ලයින් වැඩසටහන් හදලා දෙන්න අහනවා. එවැනි ව්‍යාපාරත් මේ එක්ක මතුවේගෙන එනවා.”
     
    Last edited: