අට හැවිරිදි පාසල් දැරියක් දූෂණය කොට ගෙල සිරකර මරා දැමීමේ හදකම්පා කරවන පුවතක් අක්මීමන ජනබල ගම්මානයෙන් වාර්තා වේ. මේ තිරිසන් ක්‍රියාවට ගොදුරුව මියගොස් ඇත්තේ අක්මීමන කුරුඳුවත්ත ශ්‍රී සුමංගල විද්‍යාලයේ තුන්වැනි
වසරේ ඉගෙනුම ලැබූ දේමුනි පූජනී අසන්තා ලංකාතිලක ද සොයිසා දියණියයි. ඇයගේ ඝාතනය සිදුව ඇත්තේ පෙරේදා (16දා) පස්වරුවේ බවට සැක කරයි. මරා දමා තිබූ දැරියගේ මළ සිරුර නිවෙස අසල මහෙදාළ ඇළට නුදුරින් පිහිටි තේ වගාකර තිබූ ඉඩමක තේ පඳුරු අස්සේ තිබී අක්මීමන පොලිසිය විසින් ප්‍රදේශවාසීන් සමඟ එක්ව පෙරේදා සවස සොයා ගන්නා ලදී. මළ සිරුර සොයාගන්නා විට දැරිය ඇඳ සිටි සුදු පැහැති යට ඇඳුම ගැලවී එහි ලේ පැල්ලම් තිබූ බව පොලිසිය කියයි. ඒ වන විට දැරියගේ ගෙලෙහි ලණුවක් තිබී ඇත. දැරිය දූෂණය කොට ලණු පොටකින් ගෙල සිරකොට මරා දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
දැරිය තම වැඩිමහල් සහෝදරියත් සමඟ පාසල් ගොස් පෙරේදා (16දා) පස්වරුවේ නිවෙසට පැමිණ ඇත. ෙදාළොස් හැවිරිදි වැඩිමහල් සහෝදරිය තම නැඟණිය නිවෙසේ සිටියදී උපකාරක පන්තියකට ගොස් ඇත. මව උදෑසන තේ වත්තක දලු කැඩීම සඳහා පිටත්ව ගොස් තිබේ. මේ නිසා නිවෙසේ සිට ඇත්තේ දැරිය පමණි. පෙදරේරුවකු වන දැරියගේ පියා රැකියාවට ගොස් සිට ඇත.
මව පස්වරුවේ නිවෙසට එන විට බාල දැරිය නිවෙසේ සිට නැත. ඒ වන විට වෙලාව පස්වරු 5.15ට පමණ වන්නට ඇත. මව රසාජංලී දැරියට චූටි මැණිකේ කියා කෑ ගසා ඇතත්, නොපැමිණීම නිසා දැරියගේ අතුරුදන් වීම ගැන මව අක්මීමන පොලිසියට පැමිණිලි කොට ඇත. ඒ පස්වරු 6.30ට පමණය. පසුව පොලිස් නිලධාරීන් හා ගම්වාසීන් එක්ව දැරිය සොයා ඇති අතර ඇගේ මළ සිරුර තේ පඳුරු යට තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබීය.
ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් ගුණෙන්ද්‍ර කුමාර මුණසිංහ මහතා ඊයේ (17දා) අලුයම සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය කළ අතර ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.සී.පී. පෙරේරා මහතාද ඒ සඳහා සහභාගි විය. මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දැරියගේ දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එනු ලැබීය.
දැරිය මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අක්මීමන පොලිසිය මඟින් ඊයේ (17දා) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු විසි අට හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙකි. මොහු දැරියගේ නිවෙස ආසන්නයේ නිවෙසක තනිවම පදිංචිව සිට ඇත. ඔහු විසින් දැරිය දූෂණයට ලක්කොට ඇගේ ගෙල මිරිකා මරා දමා ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ඝාතකයා දැරියගේ ගෙල මිරිකා මරා දැමීමෙන් පසු දැරිය මියගියාද කියා සැක සිතී දැරියගේ ගෙල ලණුවකින් සිරකොට තේ පඳුර යටට ගෙනැවිත් දමා ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඝාතනයේ රස පරීක්ෂණ කටයුතු සඳහා රොනී නමැති පොලිස් නිල සුනඛයාද සිද්ධිය වූ ස්ථානයට ඊයේ (17දා) පෙරවරුවේ ගෙනැවිත් තිබිණි.
එම නිල සුනඛයා ඝාතකයාගේ නිවෙසට ගොස් ඔහු නිදා සිටි ඇඳ ළඟ නතර වී ඇත. සැකකරුගෙන් අක්මීමන පොලිසිය තවදුරටත් ප්‍රශ්න කරගෙන යයි.