සෝලර් වලින් මේ වෙනකොට මෙගාවොට් 600 ක් ලැබෙනවා. බෝර්ඩ් එකේ ප්ලෑන් එක තිබිලා තියෙන්නේ මෙගාවොට් 160 සොලර් වලින් ගන්න.
දැන් වෙලා තියෙන්නේ නිවාඩු දවස් වලට සමහර වෙලාවට පද්ධතිය මෙගාවොට් 900 වගේ වෙනවා. සෝලර් 600 ක් එනව. ඉතින් පද්ධතිය අසමතුලිතයි. දුර්වල වෙනවා. 2024 ජුලි ඉදන් සෝලර් ඒකකයක් රු 26 කරෙත් ඒ නිසා.
බැටරි පද්ධතියක් සකස් කරගෙන යන්න ප්ලෑන් කරලා තියෙන්නේ ක්‍රමයෙන්. එතකොට හරි යයි. ඒවා දීර්ඝ කාලින ජනන සැලැස්මේ කොටස්.
සමහර රටවල නං නිවාස මට්ටමේම යම් උපකරණ සවි කරලා නිපදවන සෝලර් විදුලි බලයෙන් යම් කොටසක් පද්ධතියට එක් නොකර ඉන්න පාලනය සිදු කරනවා.
'
මේ පිළිබඳව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සංස්කාරක බුද්ධික විජේවර්ධන මහතා පැවසූයේ මෙවැන්නකි.
විදුලිය නිෂ්පාදනයේදී විදුලිබල මණඩලයෙන් ලබා දෙන සැපයුම වගේම සූර්ය පැනල මගිනුත් විදුලි සැපයුම් ලබා දෙනවා. පවතින කාලගුණය එක්ක සූර්ය පැනල මගින් ලබා දෙන සැපයුම වෙනස් වෙනවා. සූර්ය පැනල මගින් වැඩි සැපයුමක් ලබෙන විට විදුලිබල මණ්ඩලයෙන් ලබා දෙන සැපයුම අඩුවෙන නිසා විදුලිය සපයන බලාගාර ප්‍රමාණය, යන්ත්‍ර ප්‍රමාණය අඩු වෙනවා. එහෙම අවස්ථා පද්ධතියේ සමතුලිතතාවට බාධාවක් වෙන්න පුළුවන්. පද්ධතියේ ස්ථායිතා දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න අවශ්‍ය සැලසුම් අපි ළඟ නෑ. අපි ඒ සැලසුම් ඉක්මනට හදන්න ඕන.
අපි දිගුකාලීන ජනන සැලැස්ම නිර්මාණය කරද්දී සැලසුම් කළේ සූර්ය පැනල මගින් මෙගාවොට් 160 ක ධාරිතාවක් ලබා ගන්න. එලෙස ලබා දෙන ධාරිතාවට ගෙවීම් කරනවා. ඒ ගෙවීමේ අනුපාතය තීරණය කරන්නේ මුදල් අමාත්‍යංශය. 2022 වසරේ ආර්ථික අර්බුදය කාලේ ඩොලර් හුවමාරු අනුපාතිකය රුපියල් 365 වගේ ඉහළ ගියා. පොලී අනුපාතයත් සියයට 20 ක් වගේ ලොකු ගාණකින් වැඩි වුණා. ඒ කාලේ රුපියල් 37 ක මුදලක් ගෙවන්න අනුමත කළා. සූර්ය පැනල්වලට රුපියල් 37 ක් වගේ ලොකු මුදලක් ගෙවන නිසා නිවෙස්වල සූර්ය පැනල් සවි කිරීම ලාබ ලැබිය හැකි දෙයක් බවට පත් වුණා. ඒ නිසා සූර්ය පැනල් සවි කිරීම විශාල වශයෙන් සිදු කළා.
අපි මෙගාවොට් 160ක් බලාපොරොත්තු වුණාට අපිට මෙගාවොට් 600ක් ලැබුණා. එහෙත් ඊට පස්සේ රට යථා තත්වයට පත් වෙද්දී ඩොලර් අනුපාතය පොලී අනුපාතය අඩු වුණා. 2024 ජූලි තමයි නැවත සූර්ය පැනල් සඳහා කරන ගෙවීම රුපියල් 26 දක්වා අඩු වුණේ. අපි 2025 ටත් සැලසුම් කළේ අවශ්‍ය ධාරිතාව මෙගාවොට් 160 ක්. මේ ලැබෙන වැඩි ධාරිතාව පාලනය කරන්න අවශ්‍ය බැට්රි පද්ධතියක් නිර්මාණය කරන්න අපි සැලසුම් කළේ 2026 වසරේ. 2024 වසරේ ඔක්තෝබර් මාසය වෙද්දි අපිට තේරුණා පද්ධතියේ යම් අසමතුලිතතාවක් මේ වැඩි ධාරිතාව නිසා නිර්මාණය වෙන බව. එහෙත් ඒක හැම වෙලාවෙම නෙමෙයි සුවිශේෂ අවස්ථාවලදී. අපි ඒක අත්දැක්කා ජනාධිපතිවරණයේදී. ජනාධිපතිවරණයෙන් පසු දිනයේදී ඇඳිරි නීතිය එක්ක පද්ධතියේ මුළු ධාරිතාව මෙගාවොට් 870ක් වගේ අඩු වුණා. දවල් කාලයේ එච්චර අඩුවීමක් මෑත කාලයේදී වෙලාම නෑ. ලෝඩ් එක අඩු වුණාම පද්ධතියේ ස්ථායීභාවය අඩු වෙනවා. සාමාන්‍ය හොඳට හිරු රශ්මිය තියෙන දවසකට මෙගාවොට් 1400 ක් වගේ ප්‍රමාණයක් තමයි විදුලිබල මණඩලය මගින් සපයන්න ඕන. වලාකුළු බර දවසක් වුණොත් මෙගාවොට් 1800 ත් 2000 ත් ආසන්න ගණක් විදුලිබල මණ්ඩලයෙන් දෙන්න ඕන.
ඉරිදා දිනවලත් මේක සාමාන්‍යයෙන් වෙන්න පුළුවන්. මොකද ඉරිදා දවසට කර්මාන්ත ශාලා ආදී වාණිජ ක්ෂේත්‍රය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා රටට ඕන කරන විදුලි ධාරිතාව අඩුයි ඉරිදා දවසට. ඉරිදා දවස හොඳට අව්ව තියෙන දවසක් වුණොත් සූර්ය පැනල මගින් ලැබෙන ධාරිතාව වැඩි වෙනවා. එතකොට පද්ධතියේ ඉල්ලුම අඩුවෙලා ලැබෙන බලශක්තිය වැඩි වුණාම පද්ධතිය අස්ථාවර වෙනවා. මේ වගේ වෙලාවක මොනව හරි පොඩි සිදුවීමක් වුණොත් ඒක විදුලිය බිඳ වැටෙන්න බලපානවා. තදින් අකුණු ගහන එක වුණත් ඇති විදුලිය බිඳ වැටෙන්න.
ගතවූ ඉරිදා දිනයෙත් මේ ගැටලුව ආවා. එහෙත් ඒක පාලනය කරගන්න පුළුවන් වුණා. එහෙත් මේ ඉරිදා තත්වය පාලනය කරගන්න අපිට බැරි වුණා. මොකද පද්ධතියේ ස්ථායිභාවය හොඳටම දුර්වල වෙලා තිබ්බේ. පානදුර උපබලාගාරයේ වඳුරෙක් වැදීම සිදුවීමෙන් තමයි විදුලිය විසන්ධි වුණේ. ඉරිදා දවසක් නිසා තමයි එහෙම වුණේ. සතියේ දවසක් වුණා නම් විදුලිය බිඳ වැටෙන්නේ නෑ. එක සිදුවීමක් වුණාම ඒක සිදුවීම් දාමයක් වෙලා සම්පූර්ණ පද්ධතියට බලපානවා. මොකද මේ විදුලිය ලබා දීම එකම ජාලයක්. ඒ නිසා තමයි පානදුරේ සිදුවීමෙන් රටේම විදුලිය නැති වුණේ. මේ විදුලි බිඳ වැටීමෙන් සිදුවුණු පාඩුව අඩුයි ඉරිදා දවසක් නිසා. එහෙත් තවම නිසි ගණනයක් කරලා නෑ. සතියෙ දවසකට වඩා පාඩුව අඩුයි.
සාමාන්‍යයෙන් කෙළවරපිටිය, කැලණිතිස්ස, ලක්ෂපාණ වගේ විදුලිය ලබාදෙන බලාගාර ගොඩක් අපේ රටේ තියෙනවා. එහෙත් ඒවා කැඩුණා කියලා රටේ විදුලියට ගැටලුවක් වෙන්නේ නෑ. අපි ඒක අනිත් බලාගාරවලින් පියවනවා. නොරොච්චෝලෙත් එක ප්ලාන්ට් එකක් කැඩුණා කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. නොරොච්චෝලේ කියන්නේ මෙගා වොට් 300 බලාගාර 3 ක්. එක්කොම මෙගාවොට් 900ක්. මෙගාවොට් 300 කිව්වට 270 ක් වගේ තමයි සපයන්නේ. ඉතුරු 30 ප්ලාන්ට් එකේ ක්‍රියාකාරීත්වයට වැය වෙනවා. මේ දිනවල රටට මෙගාවොට් 810ක් වගේ අහිමි වෙලා තියෙනවා.
රාත්‍රී කාලයේ 8 ත් 10 ත් අතර තමයි විදුලියට උපරිම ඉල්ලුම තියෙන්නේ. නොරොච්චෝලෙන් ලැබෙන මෙගාවොට් 810 නැතුව අපිට විදුලිය ලබා දෙන්න බෑ. ගිය සතියේ මෙගාවොට් 2600ක් 2700 අතර අවශ්‍යතාවක් තිබ්බා. අර මෙගාවොට් 810 අඩු වුණාම මෙගාවොට් 2600ක් 2700ක් දෙන්න අපිට බෑ. ඒ හේතුව නිසා තමයි විදුලිය කළමනාකරණය කරන්න යම් යම් ප්‍රදේශවලට විදුලිය කප්පාදු කරන්න වෙන්නේ. තව දවස් තුනක් වගේ විදුලිය කප්පාදු කරන්න වෙනවා.
මේ ප්‍රශ්නේ තදින්ම බලපාන්නේ ජනවාරි පෙබරවාරි මාසවලට තමයි. මොකද ඒ මාස දෙකේ සීතල වැඩි නිසා වායු සමීකරණ සහ විදුලි පංකා භාවිතය අඩුයි. ඉරිදා දවසට කොහොමත් අඩුයි. මාර්තු මාසේ වෙද්දි උෂ්ණත්වය වැඩිවෙන නිසා මේ ගැටලුව අඩු වෙනවා.
සූර්ය පැනල මගින් ලැබෙන විදුලිය අපි සැලසුම් කළාට වඩා ලැබෙන එක මේකට හේතුව වුණාට මේකට බලපාන ගැටලුව වුණේ වැඩි ධාරිතාව කළමනාකරණය කරන්න අවශ්‍ය දත්ත පද්ධතියක් නොමැති වීම. එම දත්ත පද්ධතිය අපි සැලසුම් කළේ 2026 වසරට. 2026 දත්ත පද්ධතිය හදන්න සැලසුම් කරාට මේ වෙද්දී ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ලබාගෙන 2026 ට පෙර එම දත්ත පද්ධතිය හදන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ගැටලුව විසඳෙයි.'