ලෙමී සියල්ල දුටුවේය. කැබය සහ තෙල් ටැංකිය V හැඩයට නැවී යනුද, ඉන්පසු එ් දෙක දෙකට කැඩී යනුද, ටැංකිය පෙරලී යනුද, ඊට පසු තත්පරයකට දෙකකට පසු කැබයද පෙරලී යනුද, අවසානයේදී තෙල් ටැංකිය පැලී පුපුරා යනුද ඔහු දුටුවේය. ගිනි බෝලයක් ආකාශයට පැන නැගී ගිය අතර, තෙල් පැහැති කාලවර්ණ දුම් කුළුණක් අහස කරා දිව යන්නට පටන්ගත්තේය. කැබය ටැංකිය පසු කරමින් පෙරලී පෙරලී ගියේය. එහි සිලින්ඩයරක් වැනි හැඩය හදුනාගත නොහැකි දුඹුරු පැහැති යකඩ ගුලියක් බවට පරිවර්ථනය විය. එහි පැලී ගිය තැන් වලින් මතුවුනු ලෝහමය උල් සහ කොකු මතු පිටට, රත් වූ හිරු රැස් වැටී දිලිසුම් දුනි.
කැබය එහි නෞබාරය (Cargo) වූ ටැංකියට සහ දුම් කුළුණට අඩි අසූවක් පමන දුරින් බිම පතිත වූයේ, එහි රියදුරු කවුළුව අහසට හැරී යන සේය. මේ වන විට වින්ස් තමා විසින් මාර්ගය මත සෑදූ රෝද පහරවල් දිගේ ආපසු දුවමින් සිටියේය. ඔහු කැබයෙහි ඇද වී ගිය කවුළුව තුලින් එසවීමට තැත් දරන රූපය දැකගති. එහි මුහුන ඔහු දෙසට හැරීනි. එහෙත් එය මුහුනක් නොවූ අතර, එය රුධිරය තැවරුනු වෙස් මුහුණක් විය. ඩ්‍රයිවර් තැන ජනේලය තුලින් තම ඉගටිය දක්වා එසවී, අනතුරුව ආපසු කැබය තුලට ඇදවැටුනේය. හිරු රැසින් දැවුනු හස්තය--ටෑටූවකින් යුතු වූ එම අත--, සබ්මැරීනයක දිගු පාරිදර්ශක දුරේක්ෂයක් මෙන් අහසට දිගු වෙලාය. එහි අත්ල, මැණික් කටුව අසලින් නැවී එහාට මෙහාට එල්ලෙමින් තිබිනි.
වින්ස් දුවමින් පැමින ලෙමීගේ බයිකය අසල නතර වූයේ, හුස්මක් කටක් ගැනීමට වෙහෙසෙමිනි. මොහොතකට ඔහු සිතුවේ තමා සිහිමූර්ජා වනු ඇතැයි කියාය. එහෙත් ඔහු ඉදිරියට නැවී තම දෑත් තම දනිස් වලට ගසා පහතට නැවුනු විට, ඔහුට මද සහනයක් දැනිනි.
"උඹ ඌට වැඩේ දුන්නා, කැප්ටන්." ලෙමීගේ කටහඩ උද්වේගයෙන් කර්කශව ගොසිනි.
"කෝකටත් ඒක ෂුවර් කරගන්න එක හොදයි," වින්ස් කීයේය. එහෙත් එම පාරිදර්ශක අත සහ එහි අන්තයෙන් පහලට එල්ලෙන අත්ල මගින්, එසේ කිරීමට අවශ්‍යතාවක් නැති බවට පැහැදිලි විය.
"මොකෑ බැරි?" ලෙමී පැවසුවේය. "මට කොහොමත් හුජ්ජා පාරක් දාන්නත් ඕන"
"උඹ ඌට පන තිබුනත් නැතත්, උගෙ ඇගට පයිප්පෙ අරිනව එහෙම නෙමෙයි" වින්ස් කියා සිටියේය.
මෙවිට ලග එන එන්ජිමක ගෙරවීමක් ඇසී ගියේය: රේස් ගේ හාර්ලිය. හේ බයිකයේ පසුපස රෝදය මාර්ගය මත ලිස්සා හරිමින් ආටෝප සහගතව බයිකය නැවතූ අතර, ඉන්පසු එන්ජිම නවතා දමා හාර්ලියෙන් බැසගත්තේය. ඔහුගේ මුහුන දුහුවිල්ලෙන් නෑවී තිබුනද, එය ප්‍රීතියෙන් සහ ජයග්‍රාහී හැගීමෙන් බැබලෙමින් තිබිනි. ඒ, රේස්ගේ මුහුනෙහි එබදු පෙනුමක්, ඔහුට අවුරුදු දොලසක වසයකින් පසු වින්ස් දැකගත් පලමු වතාව විය.. වසර දොලහේදී රේස් කුණු-පාරක යතුරු පැදි තරගයක් (dirt-track race)දිනා තිබිනි. ඒ වින්ස් ඔහුට තනා දුන් කුඩා පාරකය (quarter-midget). ඔහු ධාවනය කර තිබුනේ බලය වැඩි කල ස්ට්රැටොන් එන්ජිමකින් යුතු කහවන් ටෝපීඩෝ මෝටර් සයිකලයකි. කොටු සහිත කොඩිය පසු කරමින් ඔහු තරගය ජයගැනීමෙන් පසුව, කොළුවා බයිකයෙන් ඉවතට පැන දුවමින් පැමිනියේ, හරියටම රේස් ගේ මුහුනේ මේ දැන් ඇති පෙනුමෙන් යුතුවය.
රේස් වින්ස් වටා තම දෑත් වීසි කරමින් ඔහුව වැලද ගත්තේය. "අපි දිනුවා! අපි දිනුවා, තාත්තේ! අපි උගේ හු** පස්ස තෙල් දාලා බැද්දා!
මොහොතක් ගතවන තෙක්, රේස්ට තමාව එසේ වැලද ගෙන සිටීමට වින්ස් ඉඩ හැරියේය. මන්දයත්, අවසන් වරට ඔහු තමාව එසේ වැලද ගෙන තිබුනේ ඉතා දුර අතීත කාලයකදී වූ හෙයිනි. තවද, මේ ඔහුගේ නරක් වූ පුත්‍රයාගේ වඩා යහපත් ස්වාභාවය වූ හෙයිනි. සෑම කෙනෙකුටම යහපත් පැත්තක් ඇත. වින්ස්ගේ මේ වයසේදී පවා, ඔහු අසා සහ දැක තිබුනු දෑ එසේම තිබෙද්දීත්, ඔහු එය එසේ යැයි විශ්වාස කලේය. ඉතින්, ඔහු එම වැළද ගැනීමට මද වේලාවක් ඉඩ දුන්නේ, තම පුත්‍රයාගේ සිරුරේ උණුසුම රස විදිමිනි. එමෙන්ම ඔහු එම දුර්ලභ හැගුම තම මතකයේ තබා ගැනීමට තමාටම පොරොන්දුවක් දුන්නේය..
ඊළග මොහොතේදී ඔහු රේස්ගේ පපුවට තම දෑත් තබා ඔහුව ඉවතට තල්ලු කොට දැමීය--වේගයෙන්. රේස් පිටුපසට විසි වී ගිය අතර, ඔහුගේ සර්ප සමින් සෑදූ බූට් වලින් යුතු පාද පැටලී ගොස් ඔහු වැටෙන්නට ගියේය. ඔහුගේ මුහුනේ තිබූ ආදරය සහ ජයග්රහණයෙන් පිරුණු පෙනුම අතුරුදන්ව යාමට පටන් ගත්තේය. . . .