මහාසෑයේ ධාතු ගර්භය කරවීම.
ගෞතම බුදු සසුනෙහි පහන් වූ සිත් ඇති දුටුගැමුණු රාජතුමා ගේ ආයාචනය පරිදි වැඩමකොට වදාළ සංඝරත්නය සතියක් මුළුල්ලේ රජතුමාගෙන් දන්පැන් පිළිගැනීමට ඉවසා වදාළ සේක. රජතුමා චෛත්‍යස්ථානය පිහිටන හාත්පස සහ අට තැනෙක්හි මණ්ඩප තනවා මහාදන් පැවැත්වූයේ ය.
අනතුරුව දුටුගැමුණු මහ නිරිඳාණන් මහා සෑයේ කටයුතු ආරම්භ කිරීම පිණිස සුදුසු වඩුවන් සොයන්නේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් බැල්ම හෙලන ලද මහ නැණවත් වඩුවෙක් රන්තලියක් ජලයෙන් පුරවාගෙන රජු ඉදිරියට පැමිණියේ ය. අතින් දිය ස්වල්පයක් ගෙන ඒදිය පිටට ගැසූ කල්හි රන්තලියේ පිරවූ ජලය මතින් සුවිසල් පලිඟු ගෝලයක් බඳු මහා දියබුබුලක් පැණ නැංගේ ය. ’පින්වත් දේවයන් වහන්ස, මෙබඳු සුන්දරසෝභා ඇති චෛත්‍ය ගර්භයක් කරන්නෙමිය එම වඩුතුමා පැවසූ කල්හී නරේන්ද්‍ර තෙමේ අතිශයින්ම සතුටට පත් වූයේ ය.
සැදැහෙන් ඔද වැඩී ගිය සිත් ඇති නරේන්ද්‍ර තෙමේ මා මිනිසුන් නොපෙලවා ගඩොල් ගෙන එන්නේ කෙසේදැයි සිත සිතා සිටින කල්හි ඒ ඒදිනයට වුවමනා සියළු ගඩොල් දේවානුභාවයෙන් මහාසෑයේ දොරටු සතර අසලට ගොඩගැසෙන්නේය. මේ දේවානුභාවය දුටු දුටුගැමුණු නිරිඳුන් අතිශයින්ම සන්තෝෂයෙන් යුක්ත වුයේ ය. මෙහි කිසි කටයුත්තක් නොමිලේ නොකල යුතු යැයි දැනුම් දෙන ලද්දේ ය. ඒඒදොරටුවෙහි සොලොස්ලක්ෂය බැගින් රන්කහවනු ද බොහෝ වස්ත්‍රාභරණයන් ද ප්‍රණීත වූ ආහාර පානයන් ද සුවඳ විලවුන් වර්ගයන් ද මුව සුවඳ කරවන්නා වූ ඛෙහෙත් වර්ගයන් ද තබ්බවා චෛත්‍ය කර්මාන්තය කරවන්නා වූ සියල්ලන්ටම අනුකූල පරිද්දෙන් ගන්නට සැලැස්වූයේ ය.
මහා චෛත්‍ය කරවනු ලබන කල්හි ඒ සඳහා වෙහෙස මහන්සි වූ සියදහස් සංඛ්‍යාත අනේක ජනයා පහන් සිතිවිලි උපදවා ගනිමින් බොහෝ පින් රැස් කර ගත්තාහු ය. බුදු රජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගත් පිවිතුරු ශ්‍රද්ධාව හේතුවෙන් සුගතියේ උපදින්නේ යැයි දන්නා වූ සැදැහැවත් ජනයා සතුටු සිතින් පින්කම් කරන්නාහු ය.
මෙම ස්ථුපය වඩාත් සවිමත් වීම පිණිස මහා චෛත්‍යස්ථානයෙහි ගඩොලින් නිමවන ලද ප්‍රධාන මල් ආසන තුනම සෘද්ධි සම්පන්න වූ රහතන් වහන්සේලා විසින් පොළොව සමකොට ගිල්ලවන ලද්දේ ය. මේ ආකාරයෙන් වාර නවයක් තුලදීම සෘද්ධිමත් රහතන් වහන්සේලා විසින් පිහිටුවා වන්දනා කොට ’ස්වාමීනී, පුෂ්පාසනයෝ පොළොවේ ගිලෙන්නාහු ය. තනවන ලද සියල්ල පොළොවේ ගිලෙන්නාහු ය. මෙයට හේතුව කවරේදැයි විචාරන කල්හි පින්වත් මහරජාණෙනි, තථාගතයන් වහන්සේගේ ධාතුන් පිහිටුවන මහාසෑය නොගිලෙනු පිණිස සෘද්ධිමත් භික්ෂුන් විසින් මෙය කරන ලද්දේ ය. ඒගැන සංකා නොඋපදවා චෛත්‍ය කර්මාන්තය කළ මැනවැයි වදාළ සේක.
එය අසා චිත්තප්‍රසන්න වූ රජතුමා චෛත්‍ය කර්මාන්තය කරවන්නට පටන් ගත්තේ ය. එකල්හී භික්ෂු සංඝයා වහන්සේ උත්තර සුමන යන සෘද්ධිමත් සාමණේරයන් වහන්සේලා දෙනම කැඳවා ’එම්බා ආයුෂ්මතුනි, මහාසෑයෙහි දාගැබ පිණිස මේඝ වර්ණ පාෂාණයන් ගෙන එනු මැනවැය වදාළ සේක. එකල්හී ඒදෙදෙනා වහන්සේ උතුරුකුරු දිවයිනට වැඩම කොට අසු රියන් දිග පළල ඇති මණ්ඩලාකාර වූ මනා පැහැයෙන් යුතු පාෂාණයන් ගෙන වැඩියාහුය. සෘද්ධිමත් රහතන් වහන්සේලා මල් ආසන මත එක් ගලක් තැන්පත් කළ සේක. ගල් සතරක් සතර පසින් සවි කළ සේක.
සාසනමාමක වූ දුටුගැමුණු නිරිඳාණෝ ස්වර්ණමාලී මහා චෛත්‍ය ගර්භය මතු දක්වන ආකාරයෙන් අලංකාර කරවන ලද්දාහුය. එම ධාතු ගර්භය මධ්‍යයෙහි රනින් නිමවූ සුවිසල් බෝධි වෘක්ෂයක් කරවන ලද්දේ ය. ගර්භය මුදුනේ හිරු මඩල ද, සඳු මඩල ද, තාරකා පන්තීන් ද කරවන ලද්දේය. එම බෝධින් වහන්සේ ගේ නැගෙනහිරින් ප්‍රභාෂ්වර වූ ස්වර්ණමය බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරවන ලද්දේය. ඒපිළිම වහන්සේට සුදු සේසත් දරන්නා වූ මහබඹුගේ රුව ද කරවන ලද්දේය. විජයුත්තරා නම් වූ ශංඛය අතැති සක් දෙවිඳුගේ රුව ද කරවන ලද්දේ ය. රන් වන් වීණාවක් ගත් අතින් යුතු පංචසිඛ නම් වූ දිව්‍ය ගාන්ධර්වයා ගේ රුව ද නාටිකාංගනාවන් සහිත වූ මහාකාල නම් නාගරාජයා ගේ රුව ද කරවන ලද්දේ ය. ඇතුපිට නැගී සිටින අත්දහසක් ඇති වසවත් මරු බිම්බරක් සේනා සහිතව පලා යන රුව ද කරවන ලද්දේය.
සහම්පතී බ්‍රහ්මරාජයා ප්‍රථම ධර්ම දේශනාවට ඇරයුම් කරන රුව ද කරවන ලද්දේ ය. දම්සක් පැවතුම් සුත්‍ර දේශනාව වදාන අයුරු ද කරවන ලද්දේය. යසකුල පුත්‍රයා ගේ උතුම් පැවිදි බව ද භද්දවග්ගිය කුමාරවරුන් ගේ උතුම් පැවිදි බව ද මෙම සසුනෙහි ප්‍රථම රහතන් වහන්සේලා ගේ රූපයන් ද කරවන ලද්දේ ය. බිම්බිසාර නිරිඳුන් තෙරුවන් සරණ යන අයුරු ද, වේළුවනාරාමය පිළිගන්නා අයුරු ද, රජගහ නුවරට වඩිනා අයුරු ද කරවන ලද්දේය. සැරියුත් මුගලන් මහා කස්සප, අනුරුද්ධ මහාචුන්ද, මහාකච්චායන, සෝණ, කිම්බල, භද්දිය, ආනන්ද ආදී අසු මහ රහතන් වහන්සේලාගේ රූපයෝ ද කරවන ලද්දාහු ය.
රුවන් සක්මන ද කරවන ලද්දාහු ය. රාහුල කුමරුගේ හා නන්ද කුමරුගේ පැවිදි බව ද කරවන ලද්දාහු ය. දෙව්රම් වෙහෙර පිළිගැනීම ද ගන්ධබ්බ වෘක්ෂ මූලයේ ප්‍රාතිහාර්ය පෑම ද දෙව්ලොව වැඩම කිරීම ද දේවාරෝහන ප්‍රාතිහාර්යය ද මහා සමය සූත්‍ර දේශනාව ද රාහුලෝවාද සුත්‍ර දේශනාව ද මහා මංගල සුත්‍ර දේශනාව ද ධනපාල සමාගමය ද, අංගුලිමාල දමනය ද, ආලවක දමනය ද, අපලාල දමනය ද, බාවරී බ්‍රහ්මණයා ගේ ශිෂ්‍යයන් වන අජිත,මෛත්‍රිය ආදී පිරිස් තථාගත ශ්‍රාවකත්වයට පැමිණෙන පාරායන සමාගමය ද කරවන ලද්දාහු ය.
එමෙන් ම ආයුසංස්කාරය අත් හැරීම, චුන්දකම්මාර පුත්‍රගේ අවසන් දන් පිළිගැනීම ද පුක්කුස මල්ල රජදරුවන්ගේ වස්ත්‍ර පිළිගැනීම, ආනන්ද තෙරුන් වහන්සේ විසින් පැන් පිළිගැන්වීම සහ කුසිනාරා නුවර යමක සල් රුක් සෙවනේ උතුර දෙසට හිසලා තනවන ලද යහනේ සැතපී පිරිනිවනට වඩිනා රුව ද කරවන ලද්දාහු ය. දෙවි මිනිසුන්ගේ විලාපය ද මහාකස්සප මහරහතන් වහන්සේ සම්බුදු සිරිපා වන්දනා කිරීම ද සඳුන් දර සැයේ ගිනි ඇවිලීම ද, සල් මල් පිපී සුවඳ හැමීම ද, ද්‍රෝණ නම් බ්‍රාහ්මණයා විසින් ධාතු ඛෙදා දීම ද කරවන ලද්දේ ය.
එමෙන් ම වෙස්සන්තර ජාතකය ද තුසිත දෙව් ලොව සන්තුසිත දෙව් කුමරු ලෙස වාසය කිරීම ද, මහාමායා දේවිය කුස පිළිසිඳ ගැනීම ද, බෝසත් උපත ද, යශෝධරා සමග වන විවාහ මංගල්‍යය ද, මහා අභිනිෂ්ක්‍රමණය ද, දුෂ්කරක්‍රියාව ද සුජාතා සිටු දියණිය ගේ කිරිපිඩු පූජාව ද, මාර පරාජය ද, කරවන ලද්දාහු ය. දෙව් ලොව වසන්නා වූ තිස් තුන් දිව්‍ය කුමරුවෝ ද, දෙතිසක් දිව්‍ය කුමරියෝ ද, අටවිසි යක් සෙනෙවියෝ ද, අනේක වූ දෙවි දේවතාවෝ ද කරවන ලද්දාහු ය. පුන් කලස් ඔසවා ගත් දෙවි දේවතාවෝ ද, තූර්ය වාදන කරන්නා වු දෙවි දේවාතාවෝ ද, සරසන ලද කැඩපත අතින් ගත් දෙවි දේවතාවෝ ද, මාලා දාමයන් අතින් ගත් දෙවි දේවතාවෝ ද, ධජ පතාකයන් අතින් ඔසවා ගත් දෙවි දේවතාවෝ ද කරවන ලද්දාහු ය.
එමෙන්ම ගෞතම බුදු සසුන පවත්නා තාක් කල් දැල්වී දිලෙන්නා වූ සුවඳ තෙල් පිරි පහන් කරවන ලද්දේ ය. සුවඳ හමන සඳුන් තවරන ලද්දේ ය. චෛත්‍ය ගර්භය ආලෝකමත් වීම පිණිස එළිය දෙන මැණික් වර්ග ද ගොඩ ගසන ලද්දේ ය. මෙසේ සියලූ රූපයෝ ඝන රනින් ම කරන ලද්දාහු ය. අභිඥලාභී මහාප්‍රඥා වූ ඉන්ද්‍රගුප්ත මහ රහතන්වහන්සේ ගේ අධීක්ෂණය යටතේ චෛත්‍ය කර්මාන්තය මැනැවින් සම්පූර්ණ වූයේ ය. රජුන්ගේ රාජ සෘද්ධිය ද, දෙවියන්ගේ දේව සෘද්ධිය ද, රහතුන්ගේ ආර්ය සෘද්ධිය ද එකට කැටි වූ ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේ ගේ ධාතු ගර්භය මෙලෙසින් පිහිටුවන ලද්දේ ය.
ධාතු තැන්පත් කිරීම
තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ මහා ස්ථුපය කරවන්නා වූ දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ මේ අයුරින් ධාතු ගර්භයේ කර්මාන්ත නිමා කරවා භික්ෂු සංඝයා වන්දනා කොට ’පින්වත් ස්වාමීන් වහන්ස, මහත් ශ්‍රද්ධාවෙන් යුතු මා විසින් මහා සෑයෙහි ධාතු ගර්භයෙහි සියළු කර්මාන්තයෝ සම්පූර්ණ කරන ලද්දාහු ය. ඉතින් ස්වාමීනී හෙට දවසෙහි දී ධාතු නිදන් කරන්නෙමි. ඒසඳහා ධාතුන් වහන්සේලා කෙසේ ලබන්නේ දැයි නුඹ වහන්සේලා දන්නා සේක්වායි දැනුම් දී සිටියේ ය.
එකල්හී භික්ෂු සංඝයා විසින් ධාතුන් වහන්සේලා ලබා ගැනීමට සුදුසු භික්ෂුව වශයෙන් ෂඩ් අභිඥාලාභී සෝණුත්තර නම් රහතන් වහන්සේ ගේ නම යෝජනා කරන ලද්දාහු ය. ඒසෝණුත්තර නම් රහතන් වහන්සේ ධාතුන් වහන්සේලා රැගෙන ඒමේ සුදුසුකම් ලැබුවේ කෙසේ ද යත් ඒඅතීත ප්‍රවෘත්තිය මේ අයුරින් දත යුත්තේ ය.
අපගේ ස්වාමී වූ ලෝකනාථ වූ ජිනේන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ ලෝවැස්සන් ගේ හිත සුව පිණිස දනව් සැරි සරා වඩින කල්හී ගංගා නදීතෙර වාසී වූ නන්දුත්තර නම් තරුණයෙක් බුදු රජුන් කෙරෙහි ප්‍රසන්න වූයේ ය. හෙතෙමේ නිරන්තරයෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා නිමන්ත්‍රණය කොට දන් වළඳවන්නේ ය. ඉක්බිති ශාස්තෘන් වහන්සේ ප්‍රයාගප්‍රතිස්ඨාන නම් වූ ගංතොටින් සංඝයා සමග නැව් නැගි සේක. එසේ නැව් නැග ගංඟා නදියේ වඩිනා සේක. එකල්හී මහා සෘද්ධිමත් භද්දජි නම් මහරහතන් වහන්සේ ගංඟා නදියේ මැද ජලය කැළඹුන තැනක් දැක තමන් ගේ පෙර භවය සිහිකොට භික්ෂු සංඝයා හට මේ වචන පවසන ලද්දේ ය.
’පින්වත් ආයුෂ්මතුන් වහන්ස, මම් වනාහී එක්තරා යුගයක දී මහාපනාද නම් රජකෙනෙක්ව සිටියෙමි. එකල්හි මා විසින් වාසය කරන ලද විසිපස් යොදුන් රන් වන් ප්‍රසාදය දැන් මේ ගඟ දිය තුල ඇත්තේ ය. ඒප්‍රාසාදය කරා පැමිණෙන නදී ජලය ඝට්ඨනය වීම නිසා මෙතැන්හි දිය පැකිළීම වන්නේ ය. එකල්හී ඇතැම් භික්ෂුන් වහන්සේලා එය නොපිළිගෙන ශාස්තෘන් වහන්සේට සැල කලාහුය. එවිට සර්වඥයන් වහන්සේ ’පින්වත් භික්ෂුව, දැන් ඔබ මේ සංඝයා ගේ සැකය දුරු කළ යුතු යැයි වදාළ කල්හී භද්දජි මහරහතන් වහන්සේ විසින් මෙබඳු ප්‍රාතිහාර්යයක් කරන ලද්දේය. එනම් උන්වහන්සේ අහසට පැන නැඟි සේක. අහස් තලයෙහි පළඟක් බැඳ වැඩ සිටි සේක. අනතුරුව සියුම් අතක් දිගුකොට බඹ ලොව පිහිටි සිළුමිණි සෑය තම අත මත තබාගෙන නැවත එය රැස්වූ ජනයාට ද, සංඝයාට ද දැක්වූ සේක. යලි එය බඹ ලොව තිබූ තැනම තැන්පත් කළ සේක. ඉක්බිති භද්දජි මහරහතන් වහන්සේ ගංඟා නම් ගඟ දිය මත සක්මන් කොට මහපට ඇඟිල්ලෙන් ප්‍රාසාදයෙහි කොත් කැරැල්ල පටලවාගෙන එය ජලයෙන් ඔසවා උඩට මතුකොට නැවතත් ඉතා සෙමින් ජලයේ බැස්සවූ සේක.
මෙම ප්‍රාතිහාර්යය දුටු නන්දුත්තර නම් තරුණයා අතිශයින් ම පුදුමයට පත් වී ’අහෝ ` රහතුන් වහන්සේලාගේ ගුණ ආශ්චර්ය්‍යයි. මාගේ ශාස්තෘන් වහන්සේ ගේ ගුණය අතිශයින්ම ආශ්චර්ය්‍යයි. මට ද මා කරන ලද්දා වූ මේ පුණ්‍යාණුභාවයෙන් මෙවැනි ආකාරයෙන් සෘද්ධියෙන් යුතුව ධාතුන් වහන්සේලා ගෙන ඒ මට හැකියාව ලැබේවා යැයි දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්තේ ය. ඒනන්දුත්තර තරුණයා ලංකාද්වීපයේ උපත ලබා සෝණුත්තර නමින් පැවිදිව උපසම්පදාවෙන් සොළොස් වසක් ඇත්තේ වී නමුත් උන්වහන්සේට ධාතුන් වහන්සේලා රැගෙන ඒමේ පින ඇති බව සංඝයා වහන්සේ දැන ගත් සේක. සංඝයා වහන්සේ ’ආයුෂ්මත් සෝණුත්තරය, ස්වර්ණමාලි මහාසෑයේ නිදන් කිරීම පිණිස ධාතුන් වහන්සේලා රැගෙන එනු මැනැව යි වදාළ කල්හි ’ස්වාමීනී, මම ධාතුන් වහන්සේලා කොයින් රැගෙන එම්ද විචාරණ ලද්දේ ය. එවිට භික්ෂු සංඝයා වහන්සේ මෙසේ වදාළ සේක. ’ආයුෂ්මත් සෝණුත්තරය, පිරිනිවන් මංචකයේ සැතපී වැඩ හුන්නා වු අපගේ ශාස්තෘ වූ ලෝකනාථ සර්වඥරාජෝත්තමයන් වහන්සේ ලෝසතුන් ගේ යහපත උදෙසා සක්දෙව් රජාණන් හට මෙසේ වදාරණ සේක පින්වත් දේවේන්ද්‍රය, පිරිනිවන් පෑමෙන් පසු තථාගත ශරීරයෙහි ධාතුන් වහන්සේලා ද්‍රෝණ අටක් ඉතිරි වන්නේය. එයින් එක් ද්‍රෝණ යක් රාම ග්‍රාමයෙහි කෝලිය රජුන් විසින් සත්කාර කරනු ලබන්නේය. එය නාලොවට ලැඛෙන්නේය. නාරජවරුන් විසින් පුදනු ලබන්නේය. ඉක්බිති තථාගතයන් වහන්සේ උදෙසා ලංකාද්වීපයේ කරවනු ලබන්නා වූ මහාස්ථුපයෙහි නිධානය පිණිස වන්නේය.