මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යටගිය දවසේ දෑස ගියා ඉගිළී
එදා මහ වැස්සක් ඇදන් වැටෙන වෙලාවේ ..ඔයා තෙමයි කියලා බයට... කිසිම අව්වකට වැස්සකට මම ඉහලන්නේ නැති කුඩේ එලියට ඇදගත්තු මම ඔයාව ඒ කුඩේ යට හංගන්න හැදූ හැටි ඔයාට අමතක ඇති.ඒත් ඒ කුඩේ ඇදල අරන් අකුලපු ඔයා තෙමි තෙමී යමු කිව්වම,ඒ දගකාර හිනාවට වශී උනු මම,එලියට ගත්තු කුඩේ ඒ වේගයෙන්ම ඇතුලට දාගෙන,පිස්සුවෙන් වගේ වැස්සේ තෙමුනු හැටි මට අද වගේ මතකයි. වැස්ස ලාවට තුරල් වේගෙන එනකොට ඈත අහසේ පායපු දේදුන්න පෙන්නල හිනා උනු ඔයාගේ හුරතල් මූණ ඇස් වහගත්තම අදටත් මට මවාගන්න පුලුවන්.ඔයාට අමතක උනාට,ඔයා නොදැක්ක උනාට,මම බලාන හිටියේ දේදුන්න දිහා නෙමෙයි, ඊට වඩා එලියට දිලිසෙන ඔයාගේ ඔය ඇස් දෙක දිහාව.දේදුන්න දිහා මිස මගේ දිහා බලාන නොහිටි ඔයා ඒක දකින්න නැතුව ඇති.
මතකද ...
මතකද ඔයාට ...
අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමං තලේ
මගෙත් එක්ක එහෙම ගියා ඔයාම ... මම බලාගෙන ඉදිද්දි තවත් කෙනෙක් එක්ක අත්වැල් පටලගෙන ගිය අපූරුව? ඔයාට මතකද ඒ යන දිහාව මම පාරේ අයිනේ ඉදන් බලාගෙන හිටපු හැටි?දකින්න නැතුව ඇති මාව.ඔයාගේ ඇස් දෙක තිබුනේ එයාගේ මූනෙම විතරනේ.. මගේ ඇස් වලින් ආපු කඳුලු,එක දිගට හෝ හෝ ගාල ගලාගෙන ආපු කඳුලු වැස්සත් එක්කම සේදිලා ගියා.ඔයාටත් මුලු ලෝකෙටත් හොරෙන්. ඔයා කියනවා නේද එදා එකට ගිය අපි අද දෙමංසලේ යනවා කියලා.කවුද ඒ තීරනය ගත්තේ?කව්ද දෙමංසලේ යන්න තීරනය කලේ..? මමද ඔයාද? ඔයා බලපොරොත්තු උනේ ඔයා ඔයාගේ අලුත් කෙනා එක්ක යද්දි මමත් ඒ පාරෙම ඔයාගේ පිටිපස්සෙන් එයි කියලද?මම එහෙමත් ආව..ඒත් ඔයාට එක විනාඩියක් තිබුනද පිටිපස්සෙන් එන මම දිහා හැරිලා බලන්න.ඔයාගේ ගමන ඔයා ගියා.දෙමංසල තෝරගත්තු ඔයාම අද කියනවා එදා එකට ගිය දෙන්නා අද දෙමංසලේ යනවලු .... කවුද වැරදි .. ?
රිය ඇතුළේ උණුසුම ඔබට දිදී
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහි වී
අපේ සබඳකම් නෑ රිය සක දන්නේ
ඇත්ත... මම මගේ තඩි වාහනෙන් එබිලා පාරේ අයිනේ ඉන්න ඔයා දිහා බැලුවා. දෑස පියාගෙන ආයෙම අහක බලාගත්තා.. ඔයා ඒක දැක්කා..ඒ ගැන ලෝකෙට කියන්න,ඔයා ඔයාගේ කථාව කවි පද පේලියකට හැරෙව්වා.ඒත්..එක තත්පරයක් හිතුවද මම ඇයි එහෙම කලේ කියලා..ඇයි මම අහක බලාගත්තේ කියලා.නෑ..ඔයා හිතුවේ නෑ.ඔයා ඔයා කල හැමදේම සාධාරණීකරනය කරලා ඔයාගේ දුක කියලා සිංදුවක් ලිව්වා.හරි සරලයි නේද ජීවිතේ එහෙම බැලුවම ... ?
මම කියන්නම්... අහගන්න ...
වාහනේ කවුලුවෙන් එබිලා බැලුවේ ඔයාගේ මූන දකින්න.අවුරුදු ගනනාවකට පස්සෙ අහම්බෙන් දැකපු,මම හැම අගලක්ම දැනගෙන හිටි මූන දකින්නයි එබිලා බැලුවේ.ඒත් එතන එහා පැත්තේ ඔයගේ අතේ එල්ලිලා හිටපු කෙනාගේ මූණ දකින්න මට උවමනාවක් තිබුනේ නෑ.අන්න ඒකයි ඇස් දෙක වහගත්තේ.
රිය ඇතුලේ හරිම උණුසුමයි කියලා නේද හිතුවේ. ඔයාගේ උරහිසේ ඔලුව තියාගෙන ඉදිද්දි දැනුනු උණුසුම මගේ ජීවිතකාලෙටම මට ආයෙම කවමදාකවත් දැනුනේ නෑ.රියෙන් බැහැලා ඒ මල් වැස්සේ ආයෙම ඔයත් එක්ක තෙමෙන්න තිබුන නම් මට ඇත්ත උණුසුම දැනේවි.කවදාවත් මාව හරියට නොදැකපු ඔයා කොහොම මගේ සිතිවිලි තේරුම් ගන්නද....
මඩ ඉහුනා නේද මගේ වාහනෙන්. දකින්න ඇති නේද මම නෙමෙයි වාහනේ පැදගෙන ගියේ කියලා. මාව සින්නකර විකුනපු මගේ ශරීරයේ භාරකාරයා වාහනේ සුක්කානම අල්ලගෙන හිටි බව පේන්න ඇති නේද... මම ඒ වාහනේ ඇතුලේ කූඩු කරගෙන ගිය සුරතල් සතෙක් විතරයි...
අපේ සබඳකම් රිය සක දන්නේ කොහොමද .... ඔයාවත් දැනගෙන නොහිටි අපේ බැඳීම රබර් වලින් හදපු ටයර් එකක් කොහොම දැනගෙන ඉන්නද ... ?
ඔයාගේ සිංදුව හැමෝම ඇහුවා.මඩ ඉහගෙන ඉගිල්ලුනු මට මුලු ලෝකයක්ම සාප කලා,බැන්න,අපහාස කලා. සතුටින් ඉන්න,ඔයා නිදහස්...... ඒත් මම.