‘කාර් පාර්ක්’ එකට දවසින් දවස අලුත් මෝටර් රථ එකතු වෙන්නේ බලාගෙන ඉන්න ගමන්. හැබැයි ඒ එකතුවෙන හැම මෝටර් රථයක්ම මේ රටේ කුමන හෝ පුද්ගලයෙක් පාවිච්චි කරනවා කියන එක නම් අපි දන්නවා. අන්න ඒ අයටත් කාර් ගැන දැන කියා ගන්න කැමැති අය ගැනත් හිතලා මෙදා පාර ‘ටොයොටා කොරොල්ලා’ එක ගැන කියන්න අපි හිතුවා. මොන දේ වුණත් තාමත් ජපනා හපනා කියනවා වගේ ටොයොටා ඉතිහාසයත් ජපානයටම දිවයන එක නවත්වන්න බැහැ.
කලින් කලට ලෝකයේ බොහෝ නිෂ්පාදන සිදුකරන අතරතුර ජපානය ගැන අභිමානයෙන් වැඩකළ කෙනෙක් ‘සකිචි ටොයොඩෝ’. හැම මොහොතකම ඔහු විශ්වාස කළේ ජපනුන්ගේ දෑත් වලින් නිෂ්පාදනයක් නිර්මාණය විය යුතුයි යන්නයි. ඒ නිසාම ඔහු වචනය වගේම ක්‍රියාවත් ඔප්පු කරමින් සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන රෙදි වියන යන්ත්‍රයක් නිර්මාණය කරනවා.
ඔහු කළ ඒ නිර්මාණය ටොයොටා කර්මාන්තයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා. ඒ නිසයි තවදුරටත් නිෂ්පාදන කාර්යයේ යෙදෙන සකිචි ටොයොඩා තම ආදරණීය පුතණුවන් ‘කිචිරෝ ටොයොඩාට’ මෝටර් රථ නිෂ්පාදනයට අවශ්‍ය දැනුම ලබා දෙන්න උනන්දු වෙන්නේ. ඒ කිචිරෝ තුළින් අනාගතයේ මහා කර්මාන්තකරුවකු දැකපු නිසා.
තාත්තාගේ බලාපොරොත්තුව සනාථ කරමින් ලබා ගත් දැනුමත් එක්ක විවිධ අත්හදා බැලීම් කරන කිචිරෝ 1930 දී මෝටර් රථයකට අවශ්‍ය තාක්ෂණය සොයා ගන්නවා. අවුරුදු දෙකක උත්සහයත් එක්ක විසිදෙනෙකුගේ පමණ මහන්සියෙන් ඔවුන් කරන පළමු නිෂ්පාදනය වූයේ A1 කාණ්ඩ මෝටර් රථයයි. ෙම්ත් සමඟ 1933 දී ‘ටොයොඩා’ මෝටර් රථ සමාගම ඔහු ආරම්භ කරනවා. ආරම්භයේදීම ‘ටොයොඩා’ පවුලේ නමින් සිය නිෂ්පාදන කළ අතරම 1936 සැප්තැම්බර් මස අලුත් නමක් සොයන්න ඔවුන් උත්සාහ කළා. පොදු ජනයාගේම හිතසුව පිණිස සිදුකරන නිෂ්පාදනයක් නිසාම කිචිරෝ පවුලේ උදවියත් එක්ක අපූරු යෝජනාවකට එළැඹුණා. අලුත් නමක් ලෝගෝවක් වෙනුවෙන් මහජනයා අතර තරගයක් ආරම්භ කළා. විසිහත්දහසක නිර්මාණ අතරින් ඔවුන් සොයාගත් නාමය වුණේ ‘ටොයොටා’ යි. ජපන් ක්‍රමයේ ටොයොටා යන්න අක්ෂර අටකින් හැදින්වූවා. අංක අට වාසනාව ගෙනෙන අංකයක් ලෙස ජපනුන් අතර ඇති විශ්වාසය නිසාම ටොයොටා මෝටර් රථ සමාගම ලෙස 1937 දී ලියාපදිංචි වෙන්න ගන්නවා.
මේ විදිහට ටොයොටා මෝටර් රථයේ ඉතිහාසය ගැන අපි ඉදිරියේදි තවත් ලිපි ඔස්සේ විටින් විට කතා කරමු. අද අපි කාර් පාක් එකට එන ටොයොටා කොරොල්ලා ගැන කතා කරනවා කිව්වා. ටොයොටා මුලින්ම ලංකාවට ගෙන්වන කාලය ගත්තොත් මුල් කාලයේ ‘පෲඩන් වර්ක්’ සමාගම හිටියත් ජපානයේ ටොයොටා ටෘෂුෂෝ ආයතනයේ නිල හිමිකාරිත්වයන් සමඟ 1995 දි පටන් සම්පූර්ණ ටොයොටා වාහන ගෙන්වීමේ අයිතිය පැවරුණෙ ටොයොටා ලංකා පෞද්ගලික සමාගමටයි.
අද ලියාපදිංචි නොකළ බ්‍රෑන්ඩ් නිව් ටොයොටා මෝටර් රථ ගෙන්වීමේ බලය සියයට සියයක් ම පැවැරී ඇත්තේ ටොයොටා ලංකා පෞද්ගලික සමාගමටයි.
මේ සමගම ලංකාවේ ටොයොටා මෝටර් රථය ජනප්‍රියත්වයත් එක්කම 1998 දී දෙසැම්බර් මස පොදු මහජනයාගේ අවශ්‍යතා සපුරාලන අලෙවිය, සේවාව හා අමතර කොටස් එක්තැන් වූ ආයතනයක් ලෙස ටොයොටා ලංකා සමාගම වත්තල නගරයෙදි ආරම්භ කෙරෙනවා.
1995 දී එතෙක් මෙතෙක් ලෝකයේ වැඩිම අලෙවියක් තියෙන මෝටර් රථය ලංකාවට ගෙනෙනවා. ඒ ටොයොටා කොරොල්ලා. ටොයොටා කොරොල්ලා මුලින්ම ජපානය හඳුන්වා දෙන්නේ 1966 දී. ලෝකයේ රටවල් අතර ඉතාම හොඳින් අලෙවි වන වාහනය ලෙස ටොයොටා කොරොල්ලා අදටත් ලෝකයේ අංක එකේ රැඳී ඉන්නවා.
2013 ජූලි මාසය වනවිට පරම්පරා එකොළහක් පසු කරමින් මිලියන හතළිහකට අධික ටොයොටා කොරොල්ලා මෝටර් රථ පමණක් ලොව පුරා බෙදී ගොස් අවසන්. එදා මෙදා තුර ලංකාවට ගෙන්වූ ටොයොටා කොරොල්ලා මෝටර් රථ අතර ටර්ෂල්, E 90 කොරොල්ලා, AE 100, 110, 121, 141 කොරොල්ලා කාණ්ඩ අප අතර බෙදී ගොස් අවසන්. හැබැයි මේ අතරට 161 කාණ්ඩයේ නවතම කොරොල්ලා මෝටර් රථයත් තවත් නොබෝ දිනකින් ඔබ අප අතරට එකතු වෙන්න සූදානම්.
1995 දී ලංකාවට එක ටොයොටා කොරොල්ලා මෝටර් ථයක වටිනාකම වුණේ රුපියල් ලක්ෂ 13 ක්. එහෙත් අද නවීන පන්නයේ වෙළෙඳ පොළට එන ටොයොටා කොරොල්ලා නවතම කාණ්ඩයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 80ටත් වැඩි මිලකට අලෙවි වෙනවා.
දිනෙන් දින එකතුවන නවතම තාක්ෂණයත් සමඟ වෙළෙඳ පොළ මෙන් ම ජනතා ආකර්ෂණය දිනාගත් කිචිරෝ ටොයොඩාගේ ටොයොටා මෝටර් රථ අද ලෝකයේ අංක එකේ නාමය බවට පත්ව අවසන්. 1894 ජුනි 11 ජපානයේ උපත ලද කිචිරෝ තම ආදරණීය පියාගේ සිහිනය සැබෑ කරමින් මෝටර් රථ නිෂ්පාදනයේ දැවැන්ත පෙරැළියක් කරමින් 1952 මාර්තු මස 27 දා සදහටම ජීවිතයෙන් සමුගෙන යන්නේ මෝටර් රථ නිෂ්පාදනයේ යුගයක් නිර්මාණය කළ යුග පුරුෂයකු විදිහටයි.
- වසන්ත ජයසිංහ ආරච්චිගේ / Silumina
Last edited:







+