දරුවෙකු නිදා සිටින විට, ඒ අසල කැරකෙන මදුරුවෙක් දකින මව ඒ මදුරුවා දෂ්ට කිරීමෙන් දරුවාට අනර්ථයක් සිදුවේ යැයි සිතා එම මදුරුවා මරුවහොත්, ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ එම මදුරුවා මැරුව මවට පමණි. නමුත් මේ මදුරුවා මැරුවේ දරුවා නිසා උවත් එම දරුවාට එයින් ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ. එසේ දරුවාට ප්‍රාණඝාත අකුසලය සිදු නොවන්නේ, මා වෙනුවෙන් මේ සතා මරන්න යයි අණ කිරීමක් හෝ, මා නිසා මේ සතා මැරුවොත් හොඳා යයි චේතනාවක් නො නොමැති බැවිනි.
මස් මාංශ පිළිබඳවද මේ කාරණය මේ ආකාරයෙන් ම වේ. මස් අනුභව කරණ අය වෙනුවෙන් මැරුවද, ඒ අනුභව කරණ අය විසින් අණ කිරීමක් හෝ අවම වශයෙන් මා වෙනුවෙන් මේ සතා මරන්නේ නම් හොදයයි චේතනාවක් හෝ නොමැති නම්, අනුභව කරන්නාට හෝ මිලදී ගන්නාට ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.
එපමණක් නොවේ අද ශාකමය ආහාර නිපදවිමේදීද ඇති විශාල වශයෙන් කෘමි නාශක භාවිතා වනවා. ඒ නිසා බත් කටක් කන්නත් බොහෝ සතුන්ගේ ජිවිත අහිමි වන බව දන ගැනීම වැදගත් වෙනවා. මස් කෑමෙන් වක්‍රාකාරව ප්‍රාණඝාත අකුසලය සිදුවෙනවා යයි සිතනා අය,බත් කටක් කැවත් ප්‍රාණඝාත අකුසලය සිදුවෙන්න පුලුවන්ද යන කාරණයත් විමසීම වටිනවා.
මස් මාංශ අනුභව කරන්නාට සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි ද? මේ පිළිබඳව කතා කිරීමට පෙර සත්වයා යනු කවරේදැයි විමසා බැලීම සුදුසු වේ. සියලුම සත්වයන් සෑදී ඇත්තේ නාම රූප කොටස් දෙකින් වේ. මෙය නැවත රුප, වේදනා, සංඥා, සංකාර, විඥාන ලෙස බෙදිය හැක. (මේ එක එක අංගයන් උපාදාන ස්කන්ධ ලෙස දැක්වේ. ඒ පිළිබඳව වෙනත් අවස්ථාවක විමසා බලමු.)
රුප කොටස නැවත ආපෝ, තේජෝ, වායෝ, පඨවි, අවකාශ ලෙස බෙදිය හැක. (මෙය නැවතද රුප කලාප ලෙස බෙදිය හැකි වුවද මේ අවස්ථාවට මේ ප්‍රමාණවත් වේ)
යම් සත්වයකු මරණයට පත්වන විට මෙම නාම රුප දෙක බෙදී යයි, එම අවස්ථාවේදී නාම කොටස නැතිවී යන අතර සතරමහා ධාතුන්ගෙන් සකස් වූ රුප කොටස පමණක් ඉතිරි වේ.
එනම් මස් මාංශ යනු මෙසේ නාම කොටස නැතිවූ, සතරමහා ධාතුන්ගෙන් සකස් වූ රුප කොටසක් පමණි. එහිද ශාකමය ආහාරයකද වෙනසක් නැත, දෙකේම ඇත්තේ සතරමහා ධාතුන්ගෙන් සකස් වූ, සුළු කාලෙකින් කුණුවී විනාශ වී යන කොටසක් පමණි.
කරුණු කාරනා එසේ හෙයින් සතුන් වෙත මෛත්‍රිය පහල කිරීමට සතරමහා ධාතුන්ගෙන් සකස් වූ ආහාරයක් බලපෑම් සිදු කරනවා යයි සිතීම මිත්‍යාවක්. මෛත්‍රිය පහල කරගත යුත්තේ සිතෙහි මිස ආහාරයෙහි නෙවේ. එමෙන්ම මෛත්‍රිය පහල කල යුත්තේද සත්වයන් හට මිස මළකුණු කෙරෙහි නොවේ. මස් කැබැල්ලට, කරවල, උම්බලකඩ කැබැල්ලට මෛත්‍රිය පහල කරණ බොහෝ දෙනෙක් ජිවත් වන සතුන් වෙත මෛත්‍රිය පහල කරන්නේ නැහැ. අතේ වහන මදුරුවා සතෙක් බව හිතන්න. ඌ චප්ප කර දැමීමෙන් නම් අනිවාර්යයෙන්ම ප්‍රාණඝාත අකුසලය සිදුවන අතර, ඔබගේ මෛත්‍රිය නැති වෙනවා. සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය ඇත්නම් මදුරුවෙක්, කුබියෙක් හෝ මරණයට පත්කරන්න බැහැ.
ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවේ ද?
ශිලය ගැන බුදුරජානන් වහන්සේ තරම් දන්නා තවත් කෙනෙක් නැහැ. එතරම් ශිලය ගැන දන්නා බුදුරජාණන් වහන්සේ ගිහියන්ට පනවා ඇති නිත්‍ය ශිලය වන්නේ පංච ශීලයයි. එයට අමතරව උපෝසථ අෂ්ඨාංග ශිලය සහ ගිහි දස ශිලය පනවා තිබෙනවා. මින් එකම සිල් පදයකවත් මස් මාංශ කෑමෙන් වැලකීම නම් සිල් පදයක් දක්වලා නැහැ. ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා නම් උන් වහන්සේ අනිවාර්යයෙන්ම එලෙස වූ සිල් පදයක් පනවනවා.
බුදුරජාණන් වහන්සේ පැනවූ සිල්පද ඉවත් කිරිමටත්, නොපැනවූ සිල්පද පැනවීමටත් කිසිවෙකු උත්සාහ කරනවානම්, එය බුදු රජාණන් වහන්සේ ඉක්මවා යාමක් ලෙස දකින්න වෙනවා. මේ ගැන කතා කිරීමේදී අපි සලකා බලන්න ඕන දෙයක් තමයි නිඝන්ථ නාථ පුත්‍ර සහ ඔහුගේ අනුගාමිකයන්. ඔවුන් ශාකමය ආහාර පමණක් ගනිමින් සියලු සතුන් වෙත මෛත්‍රිය පහල කරනවා කියපු කොටසක්. නමුත් ඔහු බුදුරජාණන් වහන්සේ කෙරෙහි කොතරම් ද්වේෂයකින් කටයුතු කලාද කියන කාරණය ඉතාම් ප්‍රචලිත දෙයක්. ඉතින් ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා නම් ඔහුට ඒ ආකාර ද්වේශ සහගත තත්වයන් ඇතිවන්නට හැකියාවක් නැහැ.
තවද මේ කරුණ ගැන සැලකීමේදී අපි විමසා බලන්න ඕන සුත්‍රයක් තමයි මහා සිහනාද සුත්‍රය. මෙහිදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දුෂ්කරක්‍රියා කාලය ගැන සැරියුත් මහා රහතන් වහන්සේට පවසමින් කියා සිටිනවා එම දුෂ්කරක්‍රියා කාලය තුල තමන් වහන්සේ ආහාරය ගත්
ආකාරය ගැන. එසේ පවසමින් උන් වහන්සේ පැහැදිලි කරනවා එසේ ආහාරය නිසා තමන්ට කිසිම විශේෂිත වූ අධිගමනයක් නොලැබූ බව.
මේ කරුණු කාරණා සැලකීමෙන් පෙනීයන්නේ ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා යන කරුණ මිත්‍යාවක් බවත්, යමෙක් එය එලෙස වෙයි සිතා එම මත අතනොහැර හිටීම සීලබ්බත පරාමාස ලෙස හඳුන්වන වැරදි වෘතයන් ට අයත් බවයි. එයද එකල සීල විසුද්ධිය වෙනුවෙන ඇතැම් අය පැවැත් වූ ගෝ වෘත, අජ වෘත, සුනඛ වෘත වැනිම වෘතයක් බවයි.
බුදුරජාණන් වහන්සේ මස් මාංශ අනුමත කල අවස්ථා තිබේද?
බුදුරජාණන් වහන්සේ මස් මාංශ අනුමත කල අවස්ථා බොහොමයක් විනය පිටකයට අයිති වන මහාවග්ග පාලියේ භේසජ්ජකන්ධ වග්ගය පරිශිලයන කිරීමෙන් සොයා ගත හැකියි. එහි එක්තරා අවස්ථාවකදී, අමනුෂ්‍ය දෝෂයකදී ආතුරයාට අමු මස් කෑමට හෝ අමු ලේ බිමට සිදුවුවහොත් එය අනුමත කරමි කියා දක්වා ඇත. වැඩි විතර මේ ග්රන්ථයන් පරිශීලනය කිරීමෙන් ලබා ගන්න.
බුදුරජාණන් වහන්සේ මස් මාංශ වාරණය කර නැතිද?
බුදුරජාණන් වහන්සේ මස් මාංශ වර්ග දහයක් අනුභව කිරීම තහනම් කර ඇති බව ද මහාවග්ග පාලියේ භේසජ්ජකන්ධය ඇසුරෙන් සොයාගන්න පුළුවන්. පහත තියෙන්නේ ඒ මස් වර්ග දහය.
1. මිනි මස්
2. අලි මස්
3. අශ්ව මස්
4. බලු මස්
5. සර්ප මස්
6. සිංහ මස්
7. ව්යාඝ්ර මස්
8. දිවි මස්
9. වලස් මස්
10 තරස් මස් (සමහර තැනෙක මෙය කරබානා වලසා යනුවෙන් සඳහන් කරයි)
බුදුරජාණන් වහන්සේලාගේ වක්රාකාර දේශනා විලාශයක් නැත. ධර්මයේ ගුණ ගැන කියවෙන ස්වාක්ඛාත ගුණයේ තේරුම වන්නේද, මුල මැද අග පිරිසිඳු, සැගවුන අරුත් නැති, අර්ථ ව්‍යංජන සහිත... ආදී වශයෙනි. එසේ හෙයින් මස් වර්ග 10ක් පමණක් තහනම් කිරීමෙන් පැහැදිලි වන්නේද අනිකුත් මස් මාංශ අනුභවයට තහනමක් නැති බවය. මේ වර්ග 10 තහනම් කලේද විටින් විට යම් යම් හේතුන් මත වේ.
බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකය
මෙය නම් සැක නොකළ යුතුම කාරණයකි. උන්වහන්සේලා ආහාරය අනුභව කරනුයේ එය ආහාරයක් වශයෙන් පමණක් සලකාගෙන මිස, අප මෙන් රස තෘෂ්ණාවෙන් නොවේ. එම අවස්ථවේදී උන් වහන්සේලාට එම
ආහාරයේ ඇත්තේ ධාතු සමුහයක් පමණි. මේ බව ආහාර අනුභවයට පෙර භික්ෂුන් වහන්සේලාට ඒ ආහාරය පිළිබඳව ප්රත්යවේක්ෂා කල යුතු අන්දම ගැන පනවා ඇති අයුරු සලකා බැලීමෙන් පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ මස් මාංශ පිළිගත් බව පිළිබඳව කියවන ජිවක සුත්‍රය සීහ සේනාපති ගේ දානය ගැන බොහෝ විට අසන්නට ලැබෙනවා. මේ ඒ වැනි තවත් අවස්ථාවක්, එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කුටාඝාර ශාලාවෙහි වැඩ වසන කල, සොවහන් පලයෙහි පිහිටි උග්ග නම් ගෘහ පතියා බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝයා වෙනුවෙන් දානයක් සකස් කරලා එම දානය පිලිගන්න්වන අවස්ථාවේදී මෙලෙස ප්‍රකාශ කරනවා.
"ස්වාමිනි මා විසින් ඔබ වහන්සේ ගෙන්ම අසන ලද ධර්ම කරුණක් තියෙනවා, ඒ තමයි තමන් මනාප දේ දන් දෙන තැනැත්තා මනාප දෙයම ලබන්නේය" යන්නයි එබැවින් භාග්‍යවතුන් වහන්ස මනාප දේම ලබනු පිණිස මට මනාප දේම සහිතව මේ දානය පිළියෙළ කරණ ලද්දේය. ඔය විදිහට කියන මේ උග්ග ගෘහ පතියා ඒ දේවල් වල නම් කිය කියා මේ දානය පුජා කරනවා. මෙහෙම් පුජා කරණ අතෙරේ දී "භාග්‍යවතුන් වහන්ස, මම ඩෙබර පල මුසු කල ඌරු මසට ඉතා මනාපයි, එබැවින් භාග්‍යවතුන් වහන්ස මා කෙරේ අනුකම්පා කර මේ ඩෙබර පල මුසු කල ඌරු මස පිළිගන්නා සේක්වා" භාග්‍යවතුන් වහන්ස ඔහු කෙරෙහි අනුකම්පා උපදවා පිළිගත් සේක. මෙය අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රයේ සඳහන් කරුණක්.
මස් මාංශ අනුභවය මෙන්ම ආහාරය අකුසලයක් වන අයුරු?
භාග්‍යවතුන් වහන්සේ දේශනා කල මේ ශ්‍රී සද්ධර්මය අප භාවිතා කල යුත්තේ අපහේ සිතේ ඇතිවන ලෝභ, ද්වේශ මෝහ යන අකුසල මුලයන් දුරුවන ආකාරයට බව අපි දන්නවා. මස් මාංශ අනුභවය ඉතා ගිජු කමින් සිදුකරණ විට ඒ රසය වෙනුවෙන් පහල වන්න වූ ලෝභ සහගත සිතුවිලි නිසා අනිවාර්යයෙන්ම අකුසල් සිදුවෙනවා. මස් මාංශ පමණක් නොවේ ශාකමය ආහාර සඳහා උවත් අධික ගිජු බවක් දක්වනවා නම් එතනදිත් පහල වන්නේ අකුසල් මුලයක් වන ලෝභ සහ ගත සිතුවිලි. එබැවින් මොනයම් හෝ ආහාරයක් ගැනීමේ දී ඒ ගැන අධික ලෙස ගිජු නොවී එම ආහාරය ගැනීම ඉතා වැඩදායක වෙනවා. එමෙන්ම ආහාරය ගැනීමට පෙර එම ආහාරය ගැන තමන්ට හැකි පමණින් ප්රත්යවේක්ෂා කිරීමක් කරන්න
" මා මේ ආහාරය ගන්නේ රස විදීමට නොවේ, ශරීරය වර්ධනය කිරීමට නොවේ, ජවය පිනිස නොවේ, ඇති වූ කුස ගින්න නිවා ගැනීම පිණිසත්, කාය ජිවිත දෙක ආරක්ෂා කර ගෙන මේ ලද ජිවිතයෙදී ධර්මය අවබෝධ කිරීම පිණිසත් පමණයි. මේ ආහාරය පඨවි, ආපෝ, තේජෝ, වයෝ යන සතරමහා ධාතුන්ගෙන් සැදුනක්. ශරීරයට ඇතුල් වී සැනෙන් මේ ආහාරය අපවිත්‍ර බවට පත් වන්නක් .."
ඔය ආකාර වූ ප්රත්යවේක්ෂා කිරීමක් භික්ෂුන් වහන්සේලා ට අනිවාර්යය කර ඇති නමුත්, ගිහියන්ට උවත් මෙහෙම හිතන්න පුලුවන්නම් ඕනෑම නීරස ආහාරයක් ඉතාම පහසුවෙන්, සතුටෙන් අනුභව කරන්න පුළුවන්. ආහාරයක රස විදීම කිසිසේත්ම නොකළ යුත්තක් යැයි වරදවා වටහා නොගන්න. ඔබ ගන්නා ආහාරය උපරිම ආකාරයෙන් රස විදින්න, නමුත් ඒ රසයට ගිජු නොවීමට උත්සාහ කරන්න. ආහාර අනුභවයේදී අකුසල් සිදුවන තවත් අවස්ථාවක් තමයි එම ආහාරයේ රසය මද වීම, ලුණු ඇඹුල් අඩු වැඩි වීම වැනි අවස්ථාවන් හීදී ඇතිවන ද්වේශය. මෙයත් ආහාරය නිසා අකුසල් සිදුවන අවස්ථාවක්. ඉහත දැක්වූ ආකාරයට ආහාරය ගැන නුවණින් සලකා ආහාර ගැනීමට හැකිනම්, ආහාරය නිසා ඇතිවන අකුසල් සහගත සිතිවිලි නැති කරගන්න පුළුවන්. මේ ආකාරය හැකිනම් එක දවසක් ආහාරය පිලිබදව නුවණින් මෙනෙහි කරලා බලන්න. මේ ධර්මය තමන්ම අත් දකින්න ඕන දෙයක් එහි අසිරිමත් භාවය එයයි.