තඩියාගේ නුවරඑලිය සංචාරය...

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තඩියාගේ නුවරඑලිය සංචාරය...

    තඩියාගේ නුවරඑලිය සංචාරය...

    තඩියා යනු අපේ හැම එකාගේම දුක සැප හොයා බැලූ අපි කාගේත් හිත හොඳ යාලුවෙක්ය... තඩියා යනු අපි ඌට හුරතලේට ඌ නැති ස්ථාන වලදී ඌ ව ආමන්ත්‍රණය කරනා නම විනා ඌ ඉන්නා තැන භාවිතා කරන නම නොවේය... තඩියා ජීවිතයෙන් වැඩි කාලයක් උන්නේ කුවේට් රාජ්‍යයේය.. නිවාඩුවට ලංකාවට එන තඩියා ගෙදර උන්නේ නිදාගන්න වෙලාවට පමණය... දවල් කාලයේ ගමේ ඇවිදින තඩියා හවස් වෙනකොට කව්රු හෝ සමග බෝතලයක් වටේ සෙට් වෙන්නේය. තඩියා මත් වතුර බීමට පෙරේතයෙක් නොවේය.. එත් නිවාඩුවට ලංකාවට එන තඩියා මත් වතුර බිව්වේ තිබහට වගේය ... එයට හේතුවනම් කුවේටයේ මිතුරන් සමග සෙට් වෙනා හැම වතාවකම හැම දවසකම කසිප්පු බොන්නට සිදු උන හිතේ අමාරුව මකාගන්නටය... තඩියා සහ කුවේට් මිතුරන් කුවේටයේදී බොන්නේ කසිප්පු බව තඩියලා ප්‍රසිද්දියේ නොකීවාට අපි එව්වා දන්නවාය ... එත් එව්වා අපි දන්නා බව කව්රුත් කුවේට් කට්ටියට කියන්නේද නැත... නිවාඩුවට ගමට එන තඩියා කන බොන කොයි වෙලාවෙත් අපිව අමතක කරේද නැත... මන්ද තඩියාට තනියම කා බී පුරුද්දක් නැත... මොකාගේ ගෙදරට ගියත් කෙලින්ම කුස්සියට ගොස් බත් කොතක් බෙදාගෙනවිත් වටේ ඉන්න අනික් උන්ටත් අනා කවා ඌත් බඩ පැලෙන්න කෑම උගේ සිරිතය...ඉඳහිට හෝ දෙව්ලොව පැත්තේ කරක් ගැසීමට අවස්තාවක් ලැබුනත් කවදාවත් තඩියා තනියම එහි යන්නේද නැත... යන්නට කැමති උන් කවදාවත් තඩියා මග දමා දෙව්ලොව ගියේද නැත ... එහෙව් ගුණ ඇති තඩියා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොක්කේ යාලුවෙක්ය...

    තඩියාගේ සොමි නිවාඩුව ජොලියෙන් ගෙවීගෙන යද්දී එක්තරා දවසක රටබීම බෝතලයක් කරටියේ සිට අඩිය දක්වා ධාවනය වෙද්දී තඩියාගේ සුරතල් සිතේ ඇතිවුණු බලවත් ආසාවක් අපි හමුවේ තැබුවේය... කුවේටයේ අධික රස්නයෙන් වසර ගානක් දුක් විඳි වාඩුව ගන්නට තඩියාව නුවර එලි එක්කයන මෙන් තඩියා ඉල්ලා සිටින්නේය... ඉල්ලීම කෙලින්ම ඉදිරිපත් වෙන්නේ අපගේ අතිජාත මිත්‍ර රවියා (තැන්පත්) සහ මා වෙතය... නුවර එලි කෙසේ වෙතත් මාව එංගලන්තයට එක්ක පලයන් කිවත් අපි තඩියාව එහි රැගෙන යා යුතුය ... දුක සැප දෙකේදීම කාලාන්තරයක් එකා මෙන් සිටි එකාගේ ආසාවක් උවමනාවක් ඉස්ට සිද්ධ කර දිය යුතුමය. එසේ කරන්නට නොහැකි උවහොත් එය යාළුකමක් නොවේය...එත් උද්ගතවී ඇති බලවත්ම ප්‍රශ්නය යන්නේ මොකේද යන්නය... එකල මා සතුවූ කැලිෆෝනියා රථය පුර්ණකාලීන භූමිතෙල් වලින් ධාවනය වූ බැවින් නුවර එලි යාමට තරම් එහි එන්ජිමේ සෞක්‍ය තත්වය හොඳ මදිය... රවියා සතු අලුත්ම අලුත් සුපර් සැලුනය රැයක් දවාලක් නැතුව සුද්දන්ට රට පෙන්වන උන්ගේම පවුලේ කොම්පැනියක සුද්දන් අදිනවාය. සුද්දන්ට රට පෙන්වන මුවාවෙන් කෙරෙන්නේ සුද්දාට සුද්දය දීමය... සුද්දා උගේ රටට ගොස් ගෙදර යාමට ටැක්සියකට දීමටවත් මුදලක් මුන් සුද්දාට ඉතුරු කරන්නේ නැත. එව්වා මෙතනට අදාළ නැත... අදාළ වන්නේ කෙසේ හෝ තඩියා නුවර එලි රැගෙන යාමය..


    රාත්‍රිය හෙමි හෙමින් මෝරද්දී , තඩියාගේ නුවර එලි ගමනේ වාහන ප්‍රශ්නයට සැබෑවක් කල නොහැකි ගනයේ ප්‍රවාහන යෝජනා එකිනෙක ප්‍රතික්ෂේප වෙද්දී , රට බීම බෝතලය සීරුවට ගමනාන්තයට ලං වෙමින් තිබුනේය... බොන්නට කියා සෙට් උනාට මම ඔතනට යන්නේ බොන්නට වඩා කන්නට බලාගෙනය... ඒ බව කාලයක් තිස්සේ දන්නා කියන අපේ වඳුරු රැල බොන බෝතලය විවුර්ත කරන්නටත් මත්තෙන් වෙනත් පින්ගානක් ගෙන්වා කන්නට තියන බයිට් වලින් මාගේ කොටස කලින්ම වෙන් කර දෙන්නේය...බිව්වද නැතිද වෙනත් අන්ශුවකුදු බයිට් කෑල්ලක් අයේ නම් උන්ගේ කොටසින් මට ලබා දෙන්නෙම නැත...අද වෙද්දී මස් මාංශ සියල්ලෙන්ම වැළකී සිටිනා මම ඒ වෙද්දී අපා දෙපා සුවුපා යන ඕනෑම එකෙකුගේ මස් කෑමට අතිමහත් පෙරේත කමක් තිබුණු බවනම් මුසාවක් නොවේය... මාගේ බයිට් සලාකය ඉවරවීගෙන එන විට උල් පිහියක් වැනි කැපෙන ආයුධයක් උන් එකෙකු ඇත නිතර රැඳෙන්නේ මාගෙන් උන්ගේ බයිට් එක ආරක්ෂා කරගනු පිණිසය...මගේ බයිට් සලාකය අහවර වී මුන්ගේ බයිට් එකෙන් කෑල්ලක් දෙකක් කන්නේ කෙසේදැයි සිතමින් අහස පොලෝ ගැටලන කල්පනාවක මා සිටිනා අතරතුර ගමනාන්තය එඩිට් කල හැකිනම් වාහනයක් ලබාදිය හැකි බවට රවියාගෙන් ධනාත්මක යෝජනාවක් ඉදිරිපත් වුනේය... ඒ නම් කතරගම වැනි කඳු නගින්නේ බහින්නේ නැති ගමනාන්තයක් සඳහා රවියාගේ ලොකු අයියා සතු පරණ පොලිස් ජීප් රථය ලබාගත හැකි බවය...

    අද කාලයේ එවුන් එව්වට කියන්නේ 4DR5 කියා උනාට රවියාගේ ගමේ ලොකු උන්නැහේලා මේ වාහනය හඳුනන්නේ පරණ පොලිස් ජීප් එකක් කිව්වොත් පමණය. රවියාගේ ලොකු අයියාට මේ කියනා ජීප් රථය නීතියානුකුලව අයිති වී තිබුනාට උන්ගේ පවුලේ කොලු ගැටවු සියල්ලන්ටම මේ වාහනය ජනසතු වී තිබුනේ ඉබේටමය... දැන් වාහනය කතරගම යාමටනම් සුවර්ය... එත් ඉතින් බුදු සුවර් නැතිය.. ඒ වාහනය ගේන්නේ රවියා නිසාය... වාහන සම්භන්ධයෙන් රවියා බුදු සුවර් කිරීමට නොහැකිය... රවියලාගේ ටුවරිස්ට් කොම්පැනියෙන් අත මිට බර සුද්දන් දෙදෙනෙක් රවියාගේ වාහනයට ලැබුනොත් රවියා අපිව අමතක කර දමා සුද්දන් දෙදෙනා සුද්ද කිරීමට යනවා බුදු සුවර්ය... ඒ වාගේ පජාති වැඩ ඊට පෙරද කීප වතාවක් රවියා අපිට කර ඇත්තේය...ඒ කාලයේ එව්වා බලු වැඩ වාගේ පෙනුනාට අද දවසේ එව්වා ගැන හිතලා බැලු විට හිතෙන්නේ රස්සාව පළමු කොට කරගත යුතු බවය... එදා රවියා වැරදි කාරයකු සේ පෙනුනාට හොඳට හිතලා බැලූ විට එදා රවියා වැරදි නැත...

    නුවර එලිය පෙනෙන නොපෙනෙන තරම් දුරට යන්නට වාහනයක් ලැබී තිබියදීත් තඩියා මට කතරගම එපා මට නුවර එළිම යන්නට ඕන කියා නාහෙන් අඬන්නේය... වැඩි හරියක්ම අඬන්නේ තඩියා නොවේය, උගේ උගුරෙන් පහලට ගිය රට බීම බෝතලයය... පරණ පොලිස් ජීප් එකෙන් නුවර එලි යාමට බැරි හේතුව විදිහට රවියා ඉදිරිපත් කරන්නේ ජීප් රථයේ බ්රේක් මදි කමය... මගේ බ්රේක් නැති කැලිෆෝනියා රථයෙන් හැටට හැටේ පාගන මට බ්රේක් ටිකක් අඩු වාහනයකින් තඩියා නුවර එලි රැගෙන යාම සිම්පල් වැඩක්ය... එක්තරා දවසක මාගේ කැලිෆෝනියාවේ කොහේදෝ ගමනක් ගිය අපේ මිත්‍ර බඩ තඩියා ගමන ගිහින් ඇවිත් මට කීවේ මෝටර් රථ ධාවන සූර මයිකල් ෂුමාකර් ඇවිත් එලෙව්වත් කැලිෆෝනියා රථයේ මා යන යැම් යාමට ෂුමාකර්ටත් බැරි බවය. බඩ තඩියා යනු තඩියා වාගේම ඊට වඩා ටිකක් තඩි ඒ හා සමානව තඩි බඩගෙඩියක් තිබෙනා අපේ බොක්කේ ෆිට් එකක්ය . ඌ මේ කතාවට සම්භන්ධ වෙන්නේ තව පස්සේය ... බඩ තඩියාගෙන් එහෙව් සම්මාන සහතික දිනා ඇති මාගේ රියදුරු කුසලතාවය බ්රේක් මදි ජීප් රථයෙන් තඩියා නුවරඑළි රැගෙන යාමට හොඳටම ප්‍රමාණවත්ය...මේ සියල්ලටම සාපේක්ෂව මේසය යටින් තඩියාට පයින් ඇන මම ඉඟියෙන් කීවේ කතරගම යන්නට ජීප් එක ගෙන්නගනින් මම තෝව නුවර එලි එක්ක යන්නම් කියාය... ගොනා සේ එය තේරුම් ගත් තඩි එල වස්සා යන්තම් කතරගම යන්නට පමණක් ජීප් රථය රැගෙන ඒමට රවියා කැමති කරගත්තේ කතරගමින් එහාට එක අඟලක්වත් යන්නේ නැති බවට රවියාගේ පොරොන්දු පත්තරයට එකඟ වීමෙන් අනතුරුවය... එත් ඉතින් රවියා සමග ජීප් රථය දකිනකම් ගමනනම් බුදු සුවර් නැතිය...


    දැන් කතරගම වරහන් ඇතුලේ නුවර එලි ගමන ස්ථිරය...දින වකවානු ද ස්ථිරය...දැන් සිදුවන්නේ ගමනට සහභාගී වන්නන්ගේ අයදුම්පත් කැඳවීමය ...මිත්‍ර සමාගමේ නිත්‍ය සාමාජිකයින් ගමන යාමට අනිවාර්ය වෙනවාය. ඉහත නම ලියවුනු බඩ තඩියා සහ අපගේ බොක්කේ ෆිට් එක බතලයා කතාවට එන්ටර් වන්නේය දැන්ය ... ගමන් ගැන සෑම මුලික සාකච්චා වටයකදීම එම ස්ථානයේ බතලයා හිටි නමුත් කිසිම වෙලාවක බතලයා කටේ කෙල බිම දැම්මේ නැතිය... කසාය බිව් ගොළුවෙකු සේ බතලයා ඇඹරෙමින් නිහඬවම උන්නේය ..බතලයාට ගමන යන්නට හොඳටෝම උවමනාය... එත් බතලයා කියන්නේ ගමන යන දවසට හෙඩ් ඔෆිසියේ මීටින් එකක් තියනවා කියාය... ගාල්ලේ රස්සාව කරත් ඔය කියනා මීටින් එකට සහභාගී වෙන්නට සතියෙන් දවස් තුන හතරක් බතලයාට කොළඹ යන්නට සිදුවෙනවාය... සමහර දවස්වල එකම දවසේ උදේ මීටිමට කොළඹ යන බතලයා එදාම හවසත් ඒ මීටිමටම කොළඹ යන්නේය...බතලයා එදා හිතන් ඉන්නට ඇත්තේ මීටීම තියෙන්නේ කොහේදැයි අපි දන්නේ නැහැ කියාය... ඔය කියනා කාලයේ බතලයා තරම් ගාල්ල කොළඹ ගිය AC බස් එකක්වත් ලංකාවේ තිබෙන්නට විදිහක් නැතිය... බතලයාගේ පොරොන්දුවනම් මීටිමට සහභාගී වී කෙලින්ම කතරගමට එන්නම් කියාය... බතලයා ඒ කාලයෙනම් කිව්වොත් දෙයක් කරනවාය... පොරොන්දුවක් කඩ කරන්නේම නැතිය... ඒ හින්දා බතලයා කතරගමට එන එක බුදු සුවර්ය... එත් බතලයා ඔය කියනා හෙඩ් ඔෆිසියේ තිබෙනා මීටිමට සහභාගී වී සිටිනා වෙලාවක කව්රු හෝ දුරකතනයෙන් මේ ගැන ඇහුවොත් බතලයා දෙන්නේ අමුතු උත්තරය... උඹ කතරගම යන්න එනවද මචන් කියලා ඇහුවාම ඌ දුරකතනයෙන් කියන්නේ හරි හරි මහත්තය මම බඩු ගාලේ බ්‍රාන්ච් එකට එවල තියෙන්නේ අද ඉන්වොයිස් කරලා හෙට උදේට අනිවාර්යෙන් ෂොප් එකට එවන්නම් චෙක් එක ගන්න මම පස්සේ දවසක එන්නම් වැනි අන්ද බුත කතාය... එහෙම උත්තරයක් ලැබුණු වහාම අපේ එවුන් දුරකථනය විසන්දි කරනවාය... මොකද හෙඩ් ඔෆිස් එකේ මීටිමට කතරගම කතාව යන්තම් හෝ ඇහුනොත් බතලයාට ඇඩ්රස් නැතිවෙන්නම කන්න වෙනවාය... හතරවෙනි සිල් පදය සිය දහස් වතාවක් කඩලා හරි බතලයා තනි කකුලෙන් හරි කතරගමට එනවා බුදු සුවර්ය... ඒ බතලයාගේ හැටිය... ඒ කාලේ කිව්වොත් දෙයක් කරනවාය....එදත් අදත් හැම එකාම බොක්කෙන්ම එකා වගේය ... එත් ජීප් එක සමග රවියා දකිනකම් ගමන බුදු සුවර් නැතිය... ඒ රවියාගේ හැටිය....

    බඩ තඩියා ගමන ගැන සැහෙන්න උනන්දුය... ඌට එදත් අදත් තිබෙන්නේ එකම ප්‍රශ්නයය... බඩ තඩියාට හෙඩ් ඔෆිසියේ මීටින් ඇත්තේ නැත... බඩ තඩියාට ඔෆිසියක් නොතිබුනාට හෙඩ් ඉන්නේ ගෙදරය... ඌට එදත් අදත් යාලුවෙක් එක්ක කොහේ හෝ ෆන් එකක් ගන්නට යන්නට හදන හැම වෙලාවකම හරහට සිටින්නේ ගෙදර ඉන්නා හෙඩ් ය. හෙඩ් ගේ ක්‍රියාකලාපය වසර ගානනාවක් හොඳින් අද්යයනය කර ඇති බඩ තඩියා ගමනක් යන්නට ප්ලෑන් එක ගහන්නේ මාසෙකට දෙකකට තුනකට කලින්ය... එව්වට බඩ තඩියා හරික දක්ෂයෙක්ය... බඩ තඩියා කොයිතරම් නුල් සුත්තර කාරයෙක් උනත් නුල ඇඹරීමට සහයට තව එකෙක් උවමනාය...එදා මෙදා තුර බඩ තඩියාගේ නුල් ඇඹරීමට මා තරම් දක්ෂ සගයෙක් ඌටනම් ලබන ආත්මයේවත් හමුවන්නේ නැත... අපි දෙදෙනා එකතුවී අඹරනා ලද නුල් සුත්තර කවදාවත් හත්පොලේ ගාගෙන නැත්තේය... බඩ තඩියාගේ ගෙදර හෙඩ් ෂර්ලොක් හොම්ස්ලා කුලියට ගෙනවිත් අපි පස්සේ දැම්මත් බඩ තඩියා හා මා කවදාවත් අඹරන ලද නුල් සුත්තරයේ නුල් කොනකවත් ෂර්ලොක් හොම්ස්ලාට අහුවෙන්නට අපි ඉඩ නොතැබුවෝය ... එව්වා අපේ දක්සකම්ය...බඩ තඩියා හා මාගේ ෆිට් එක එදත් අදත් එක හා සමානය... බඩ තඩියා කොයිතරම් වාසනාවන්තදැයි කියනවානම් බඩ තඩියාගේ තඩි බොරු හෙඩ් ගේ අතටම නොන්ඩි වන්නට ගොස් හැමදාම අනු නවයෙන් බේරෙන්නේය...

    බඩ තඩියා මේ ගමනටත් ආදේශ කරේ ඒ කියනා නුල් සුත්තරයක්මය... ඉතාමත් කෙටි කාලීන සැලසුමක් උවද බඩ තඩියාගේ ගමන් සැලසුම සාර්ථකය... ප්‍රශ්නයනම් ඊට මාස කීපයකට ඉහතදී අඹරා ගොතන ලද තවත් නුල් සුත්තරයක් අපේ ගමනට පසුවදා සැලසුමට යෙදවීමය. ඒ නම් තවත් ඥාති නඩයක් සමග කතරගම යාමටය... බඩ තඩියා බෙල්ල නැතත් කඳ ෆයිට් ජාතියේ එකෙක්ය. හෙට බෙල්ල ගහල ගියත් අද පොරොන්දු වූ දේ කරනවාය...ඌ ගේ එකම බලවත් ඉල්ලීම කියනා තැනට පොරොන්දු වූ වෙලාවට පමිනේනතෙක් දුරකථන ඇමතුම් දීමෙන් වැළකී සිටිනා ලෙසය...අපේ එවුන් එව්වා අකුරටම ඉටුකලෝය ... දැන් බඩ තඩියාගේ සැලසුම අපි එක්ක පාර්ට් ටයිම් කතරගම ගොස් ඥාති නඩය සමග පහුවදා ෆුල් ටයිම් කතරගම යාමය... නිකම් ඉන්න අපිට අහල ගියත් මගුල් කියන්න වාගේ බඩ තඩියා ගමන යන්න නොඑනවාට වඩා දවසක් හෝ අපි එක්ක කා බී නටා බස් එකේ නැග ගෙදර ඒම අපිටද සොමිය... ඌටද සොමිය... දැන් නිත්‍ය සාමාජිකයින් ගමනට ලෑස්තිය. තුන්දෙනෙක් ෆුල් ටයිම් ගමන යනවාය. දෙන්නෙක් පාර්ට් ටයිම් ගමන යනවාය. ඒ දෙන්නගෙන් බතලයා නයිට් ශිෆ්ට් පාර්ට් ටයිම්ය.. බඩ තඩියා මෝර්නින් ශිෆ්ට් පාර්ට් ටයිම්ය... එත් ගමන රවියා සමග ජීප් රථය දකිනකම් ගමන බුදු ෂුවර් නැතිය... ඒ රවියාගේ හැටිය...

    තඩියාගේ නිවාඩුවේ හැම දවසක්ම ආතල් පහට ගතවේගෙන ගියේය. තඩියා එක මොහොතක්වත් ගෙදර උන්නේම නැත. තඩියා දකින හැම මොහොතකම උගේ අම්මා ඇහුවේ ඇයි ළමයෝ එක මොහොතක් ගෙදර ඉන්නේ නැත්තේ කියාය... වැරදිලා හෝ තඩියා හොයන්නට අපි උගේ ගෙදරට ගියොත් තඩියා ගේ මවු තුමිය කියන්නේ අනේ මන්දන්නේ නැහැ දරුවෝ උදේට ගෙදරින් යනවා රැට නිදාගන්න වෙලාවට එනවා කියාය...

    ටිකෙන් ටික කතරගම වරහන් ඇතුලේ නුවරඑළි යන දවස උදා උනේය... නුවරඑළි පොරොන්දුව රහස් මාතෘකාවක් වශයෙන් හොරෙන් කතාබහ කලේ තඩියා මා සමග පමණය...සියයට පනහට වඩා අවිස්වාස කටයුතුව පැවති රවියා සහ ජීප් රථය ගමන යන දවසට කලින් දවසේ කොළඹ සිට ගමට ආවාය...දැන්නම් ගමන බුදු සුවර්ය...

    ගමන උදෑසනින්ම පිටත්වෙන්නට සියල්ල සුදානම්ය... එකා මෙන් ගමන එකට පිටත් වන්නේ රවියා, තඩියා සහ මම පමණය... බඩ තඩියා ගමනට එකතු වෙන්නේ මගින්ය.. ඒ උගේ වෑන් රථය අතරමග දන්නා අඳුනන ගෙදරක කාටත් නොපෙනෙනා විදිහට හන්ගලාය... බඩ තඩියාගේ හෙඩ්ගේ නිරන්තර ෂර්ලොක් හෝම්ස් පරීක්ෂණ දිවා රෑ නැතිව බඩ තඩියා පස්සේ ක්‍රියාත්මක වෙන බැවින් නොසිටියයුතු වෙලාවක , නොසිටියයුතු තැනක බඩ තඩියාගේ වාහනය තිබී හසු උවහොත් අපේ එකාට ඇඩ්රස් නැතිවෙන්න කන්න වෙනවාය... ඒ ජාතියේ පාට තිබුණු වාහන ඒ පළාතේම තිබුනේ දෙකක් බැවින් වැරදීමක් වෙන වාහනයක් වෙන්න ඇති කියන්න කොහෙත්ම විදිහක් නැතිය... මාගේ කැලිෆෝනියාව වාගේම උගේ වාහනයද හැඳුනුම්පත වාගේය ... කිසිම හොර ගමනක් යන්නට බැරිය... කව්රු හෝ එකෙක් දකිනවාමය...

    දෙයියන්ගේ පිහිටෙන් බුදුන්ගේ සරණින් අපි ඔන්න ගමන යන්නට පිටත් වෙන්නට ලැහැස්තිය... ඉතිහාසයේ හැමදාමත් ගමන් ගියා සේ එදත් අදත් රියදුරා මමය... ඒ මගේ කරුමයමය... පරණ පොලිස් ජීප් රථය පන ගන්වා ඉදිරියට ගෙන නිකමට මෙන් බ්රේක් පෑගු මට දැනුන දේ කියන්නට ලියන්නට වචනනම් නැත්තේය... දෙයියෝ බුදුන් පල්ලා ජීප් රථයේ බ්රේක් නම් කඳුලක්වත් නැත්තේය... බ්රේක් පැඩලය හතර වතාවක් එක වර වේගයෙන් පැගුවොත් ඉදිරිපස එක රෝදයක් බ්රේක් වදින්නේය. එත් යන්තම් සන්තම්ය... අනික් රෝද තුනනම් බ්රේක් කියනා කෙනෙක් දන්නෙම නැත... ඒ කියන්නේ මේ කියනා අගනා පරණ පොලිස් ජීප් රථයේ බ්රේක් යනු කස්තුරි වැනි දුර්ලභ ජාතියක්මය... එත් දැන් ගමන යා යුතුය... ප්‍රශ්නයනම් දුරදිග නොබලා තඩියා වෙත මා විසින් දුන්නාවූ පොරොන්දුවය... එත් අඩුම තරමේ කතරගමටවත් යා යුතුය... එත් කතරගමට තියා ගෙදර මිදුලේ එහා මෙහා කරන්නවත් මේ මගුලේ බ්රේක් ඇත්තෙම නැත්තේය... බෙල්ල නැතත් කඳ ෆයිට් එවුන් වූ හැම එකාම හෙට මලත් අද ගමන යනවාමය... නොගියොත් තඩියා පපුව පැලී මැරෙනවා බුදු සුවර්ය ... නැතිනම් මුගේ දුක නිවෙනා තුරු අපි මැරෙනා තුරු මුගේ තඩි අත පය වලින් ගුටි කන්නට සිදුවෙනවාය... දැන් කරන්නට තිබෙන්නේ ගෙදර හිටියොත් තෝ නසී ගමන ගියොත් තෝන නසී හන්දා ගමන ගිහින් මැරෙන එකය... හිතේ ගින්දර කොයිතරම් තිබුනත් පෙට්ටියෙන් ගෙදර එන්නට සිද්ද උනත් අපි එකා මෙන් ගමන යන්නට පිටත් උනෝය ...

    කලින් කතාකරගත්තා සේම බඩ තඩි එකා කියපු තැනින් වාහනයට ගොඩ උනේය... ඒ නිකම් නොවේය... මෙතෙක් වෙලා ජීප් රථයේ ඉදිරිපස අසුනේ ජැන්ඩි පහට ඉඳගෙන ආ රවියා උස්සා පසුපස අසුනට විසිකරලාය... බඩ තඩියා ඉදිරිපස අසුනේ වාඩිවූ පසු පොලිස් කාරයෙක්වත් වාහනය නවත්වන්නේ නැතිය... නවත්වන්නට හිතුනත් බඩ තඩියා දැක්ක ගමන් පොලිස් කාරයා අහක බලාගන්නවාය...ඒ මුගේ තඩි පෙනුම පොලිස් කාරයෙකුගේ උනත් හදවත ගැහෙනා වාර ගණන ටිකක් එහා මෙහා කරනා පෙනුමක් වීමය... කොහොමත් බඩාට එක ආසනයක් මදිය... බඩ තඩියා AC බසයක ඩබල් සීට් එකක වාඩි උනොත් කොන්දොස්තර ඌ ට ටිකට් දෙකක්ම දෙනවාය... ඒ ඌ වාඩිවූ පසු අනෙක් ආසනයේ තව එකෙකුට තියා දෙක වසරේ පුංචි එකෙකුටවත් වාඩි වෙන්නට ඉඩ මදි බැවින්ය... බඩ තඩියාගෙන් අපට සිදුවූ එකම කරදරය නම් පැයකට වරක් ගෙදර ඉන්නා හෙඩ්ගෙන් ලැබෙන්නා වූ දුරකථන ඇමතුම් එන වෙලාවට ඉන්නා තැන කුමක් උවත් මහා පාර මැද හෝ ජීප් රථයේ එන්ජිම නවත්වා අපි සියල්ල මීයන් මෙන් සීරුවට නොකර සද්ද සිටිය යුතුය... දුරකථන ඇමතුම අතරතුර ගෙදර ඉන්න හෙඩ් තැන වැඩි වශයෙන්ම සවන් යොමු කරන්නේ වටපිටාවේ ඇසෙන ශබ්ද වලටය...ඒ ඇසෙන ශබ්ද වලින් මූ ඉන්න තැන භූ විෂමතාවය අකුරටම නිර්මාණය කරගැනීමේ ඥානයක් ඒ වෙද්දීම බඩ තඩියා ගේ හෙඩ් තැන ලබා සිටියේය...

    ගාල්ල පසුකර මාතරට ලං වේගෙන එනවිට දැන් දැන් ජීප් රථය මට හුරු පුරුදුය... නවත්වන්න ඕනා තැනට හැතැක්ම බාගයකට වාගේ කලින් බ්රේක් පැඩලය පම්ප් කරන්න පටන් ගත්තාම මට නවත්වන්න ඕනා තැන පසුකර හැතැක්ම කාලක් වාගේ ඉදිරියට ගොස් ජීප් රථය නතරවෙනවාය... කාලය , දුර , සහ වේගය යන සාධක තුන මා විසින්ම නිර්මාණය කරගත් සමීකරණයකට ආදේශකොට නියම ස්ථානයේ ජීප් රථය නවත්වාගන්නට දැන් දැන් මට හැකි වෙනවාය... මේ අතරතුට ජීප් රථයේ පසුපස කොටස ඕපන් බාර් එකක් වාගේය ... එක එක ජාතියේ බෝතල් කැඩෙනවා වාගේම ඒ සැනින්ම ඉවරවෙනවාය... මට එව්වා තහනම්ය... මට භාරදී තිබෙන්නේ බෙල්ල ගහල යන වැඩක් බැවින් මට බොන්නට මුන් දෙන්නේ වතුර සහ පැණි බීම පමණය... එත් වෙනදාට වඩා ටිකක් වැඩියෙන් බයිට් කන්නට ඉඩ දෙනවාය... ඒ සියලු කර්තව්‍යන් අතර තඩියා එක එක ආකාරයෙන් මට ඉඟි කර පවසන්නේ නුවරඑළි පොරොන්දුව ඉටුකරපන් කියාය...වෙන වාහනයක මෙන් හැටට හැටේ පාගන්නට බැරිය... මේ මගුලේ පාගලා ගියොත් ගෙදර එන්නට වෙන්නේ මිනී අදින කාර් එකක දිගා වෙලාය...

    හිතෙන හිතෙන තැන්වල නවත්වමින් හිතෙන හිතෙන තැන්වලින් කමින් බොමින් අපි හතරදෙනා පැමිණි ඒ අසිරිමත් විනෝද චාරිකාවේ එක බොක්කේ සගයෙකු අපෙන් සමුගන්න මොහොත දැන් දැන් ළඟය...බඩ තඩියා වීරවිලෙන් බැස බසයකින් නැවත ගමරට බලා යන්නේය...ඒ මොහොත හරිම දුක් සහගතය... හෙඩාට බොරු කප්පරක් කියා හෝ අපි සමග මෙවන් ෆන් එකක් ගන්නට එන්නේ ඌ අපේ බොක්කේ එකෙකු නිසාය... හැම යාලුවාම එහෙම කරන්නේ නැතිය... මෙව්වා සංසාරෙන් ගෙනා යාලුකම්ය...බස් නැවතුමක් නැති තැනකදී ඉදිරියෙන් ආ කොළඹ බලා යන බස්රථයක් අතදමා වීරවිල හන්දියෙන් නතර කරගත්තේ මමය... බස් රථය නවත්වනා තුරු බඩ තඩි එකා උන්නේ මාව ඇරලන්න ආ එකෙකු ලෙසය.. ගමන යන්නේ බඩ තඩියා බව දැනගත්තොත් ඩ්‍රයිවරයා බසය නවත්වන්නේ නැත.. හේතුවනම් බඩ තඩි එකා බසයේ දාගත් කල තව මිනිසුන් හතරදෙනෙකුට යන ඉඩ මුට අහිරෙන හින්දාය ... මේ සියල්ල සිදුවෙද්දී රවියා ජීප් රථයේ පිටුපස ගොරෝද්දේ අදිමින් නිදිය... ඒ බීලා හින්දා නොවේය... නිදි මරාගෙන සුද්දන්ට රට පෙන්වන්ට ගොහිල්ලාය.

    අපි වීරවිලෙන් බඩ තඩියා බසයේ දමන විට හවස පහ පසුවී තිබෙන්නට ඇත්තේය. රවියා කන පැලෙන්න නිදිය. දැන් අපි දෙදෙනාගේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කෙරෙන වෙලාවය.. වීරවිලෙන් වමට ගියොත් නුවර එලි යන්නට පුළුවන...දකුණට ගියොත් කතරගම යන්නට පුළුවන්... තඩියා ට අවැසි වන්නේ මැරෙන්න හෝ නුවර එලි යාමටය... එය ඉටුකරදිය යුතුය... ඒ වූ උවමනාව සුළුපටු නොවන බැවින් සියලු දෙවිදේවතාවුන් සිහිකොට මගේ සුක්කානම වීරවිලෙන් වමට හරවුනේය.... අලුතෙන් ඉපදුනාක් මෙන් පරණ පොලිස් ජීප් රථය තමුන්ගේ ජීවිතයේ පළමු වතාවට නුවරඑලි බලා සැර දමා ඉගිලුනේය...දැන් තඩියා මට පන දෙන්නට මෙන්ය... මට අවැසි සියලු දෑ අතට පයටය... වෙනදා මෙන් දුම්වැටියේ භාගය දෙන්නේ නැත, දෙන්නේ අලුතෙන් ඒකකය, එකත් පත්තු කරලාමය... බ්රේක් කඳුලක් නැති ජීප් රථය තණමල්විල පහු වූ පසු වැල්ලවායටම හැටට හැටේ ඉගිලුනා කීවොත් නිවැරදිය... සුදිය වැඩි වූ කල මටත් තඩියාටත් රථයේ බ්රේක් නැති බව සමහර වෙලාවට අමතක වෙන්නේය... මතක් වූ විගස සැර බාල කෙරෙන ජීප් රථය යලිත් ටික වෙලාවකින් අපිටත් නොදැනීම වේගය අසූව පනින්නේය... රවියා මෙව්වා දන්නේ නැත ඌ තද නින්දේය...

    රථය වැල්ලවාය පහු කරමින් හෙමින් සීරුවට කන්ද නගින්නට පටන්ගත්තේය... එත් රවියා අහරෙනවිට අපි ජයග්‍රාහී ලෙස රාවනා ඇල්ලත් පහුකරලා හුඟක් වෙලාය...රවියා ඇහැරී අන්ද මන්ද වී වට පිට බැලුවත් පරිසරයේ කළුවර බව ඌ ටිකක් අන්ද මන්ද බවට පත්කළේය... මේ යන්නේ කතරගම නොවේ යන්න අවබෝධ වීමට මේ පාරේ සතියට කිහිප වතාවක් නුවරඑලි යන රවියාට මහා වෙලාවක් ගියේ නැත්තේය. එතැන් පටන් ගමන් අජපල්ය ... රවියා නා නා ප්‍රකාර දේවල් කියමින් අපේ ගමන නවත්වන්නට වෙර දරන්නේය... තඩියා ඒ කියනා හැම දේටම මට ඇඟිල්ලෙන් එන උඹ යමන් කියන්නා වාගේ අතින් සන් කරන්නේය... මම කවදාවත් යන්නට ආ ගමන නොගොස් මගින් හැරී එන එකෙක් නොවේය... ඒ කාලයේ වොයිස් රේකොඩින් කරන්නට පුළුවන් ජංගම දුරකථන අපිට තිබුනේ නැති බැවින් රවියාගේ බැරි අමාරු කම් රෙකොර්ඩ් කරගන්නට විදිහක් තිබුනේ නැතිය. එව්වා ඒ කාලයේ තිබුනානම් අද වෙද්දී එව්වා ෆේස් බුකියේ පලවී බොහෝ කල් වෙන්නට ඉඩ තිබුනේය...දැන් දැන් රවියා ගසන්නේ අමුතු තුරුම්පුය... ඉදිරියට හමුවෙන හැම නගරයක් පසුවෙද්දිම ඌ කියන්නේ නුවර එලි යන්නම ඕන නැහැ බන් මේ පැත්තෙන් කාමරයක් අරන් අද රෑ මෙහෙ ඉමු කියලාය... බණ්ඩාරවෙල ලංවෙද්දි රවියා කියන්නේ ඌ දන්නා අඳුරන ගෙස්ට් ගවුසියක් බණ්ඩාරවෙල නගරයේ ඇති බැවින් අද රෑ එහෙ ඉඳිමු කියාය... එව්වා සියල්ල වම් කනින් අසා දකුණු කනින් පිට කර අපි දෙදෙනා උත්සහ දරන්නේ මද්යම රාත්‍රිය පසුවන්නට පෙර නුවරඑලියට ලඟා වීමටය... බණ්ඩාරවෙල පහු වූ පසු රවියාගේ ඊළඟ දන්නා අඳුරන තානායම තියෙන්නේ වැලිමඩ කියනවාය... අද රෑ එහෙ ඉමු කියනවාය...රවියාගේ මේ දුක් මුසු කතා අතරේ හෙමින් හෙමින් කන්ද නගින ජීප් රථය කිසිම අපහසුවකින් තොරව අපිව නුවර එලියට රැගෙන යන බවනම් සක් සුදක් සේ පැහැදිය, එත් ජීවිතය කොයිවෙලේද කියා සුවර් එකක් ඇත්තෙම නැති තරම්ය...

    වැලිමඩ පහුකරමින් ඉදිරියට ඇදෙන පරණ පොලිස් ජීප් රථය නුවර එලි නොගොස් නොනවතින බව දත් රවියා දැන් කියන්නේ වෙන කතාවක්ය... මාසෙට විසි තිස් වතාවක් සුද්දන්ට නුවරඑළි පෙන්වන්නට නුවරඑළි එන රවියා දැන් කියන්නේ නුවර එළියේ ගියාම ඌට පීනස හා හතිය හැදෙනවා කියාය... අපිත් එක්ක ජීප් එකේ නුවර එලි ගියාම හතිය හැදෙන පීනස හැදෙන රවියාට සුද්දන් එක්ක ගියාම ඒ කියනා ලෙඩ නොහැදෙන්නේ ඇයිද කියන්න අපි දන්නේ නැත... එව්වා දන්නේ ඌ පමණය... කවුරු මොනා කීවත් තඩියා සහ මම මද්යම රාත්‍රිය පසුවී පැයක් ගතවෙන්නට මත්තෙන් නුවරඑළිය ටවුමට යහපත් උනෝය ... රවියා ඇරෙන්න මම, තඩියා සහ ජීප් රථයේ සෞක්‍ය තත්වය ඉතාමත් යහපත්ය. . රවියා ඉන්නේ අඬාගත් ගමන්මය . එව්වා අපිට අදාළ නැත්තේය... දැන් තඩියා ට හරි සන්තෝසය ... උගේ උවමනාව ඉෂ්ට සිද්දවී අහවරය... එත් මේ වෙලාවේ කාමර කුලියට දෙන එවුන් මර නින්දේය... දැන් ඉතින් නිදාගන්නට වෙන්නේ ජීප් රතයේමය ... නයිට් කඩයකින් බඩට යමක් දාගත් අපි ජීප් රථයේම නිදාගන්නට උනේය... රවියා අඬු කඳුළින්ම බඩගින්නෙම දොයිය බබා උනේය...තඩියා සහ මමද ඉතුරු වී තිබුණු රට බීම බෝතලයකින් දෙකක් දාගෙන ජීප් රථයේම ඇලට් එකක් දැම්මෝය ... පොරොන්දුව ඉටු කරන ලද සන්තෝසයට කුවේට් හෝටලයේ තඩි තුවායක් මට පෙරවන්නට දුන් තඩියා සීතලේම ඇලට් උනේය... රවියා නිදාගත්තාද නිදි වගේ උන්නද කියා අපි දන්නේද නැත...




     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉතාමත් කර්කශ වූ සීතලෙන් හිරිහැර විඳි නින්දකින් අනතුරුව පාන්දර අවදි වූ අපි ළඟ පිහිටි හෝටලයකින් කිරි කොපි කෝප්පයක් බී දැන් කල්පනා කරන්නේ ඊළඟට මොකද කරන්නේ කියාය ... ගමෙන් ඩීසල් පුරවන ලද ඩීසල් ටැංකිය කොහේ යන්නටත් කලින් පුරවාගත යුතුය... ලොකු අයියාගේ පරණ පොලිස් ජීප් රථයේ ඩීසල් මීටරය තියා මෙලෝ මල දානයක් වැඩ කරන්නේ නැතිය... ඉස්ටාර්ට් වෙනවාට අමතරව වැඩ කරන යමක් තියෙනවානම් ඒ හෙඩ් ලයිට් දෙක පමණය... අවුරුදු දහයකට වඩා එහා ගිය මතකය මාගේ දශමයටම නිවැරදි අතර එදා ජීප් රථයට නුවර එළියෙන් ටැංකිය පිරෙන්නම ඩීසල් වැදුනේ රුපියල් හයසිය පනහකටය... ඩීසල් පුරවා ගත් අපි දැන් පිවිසෙන්නේ ගමනේ භයානකම කාර්යයටය... ඒ නම් කන්ද බැසීමටය... පනනම් තැන අග පිනි බින්දු වන්නේ කියා කව්දෝ කෙනෙක් කියා තිබුනා සත්තම සත්තය...ජීවිතය තුනක් මගේ දකුණු කකුල යටය... දන්නා කියන ශිල්ප සියල්ලම පාවිච්චි කරමින් නුවර එළියෙන් පහලට ජීප් රථය ධාවනය වන්නට වන්නේය... ඒ අතර රවියාට මතක් වෙන්නේ නුවර එළියේ සිටිනා අපේ පරණ ගජ මිතුරෙක්ය...ඌ ඉන්නේ හක්ගල මල් වත්තට පොඩ්ඩක් උඩට වෙන්නට කඳු ගැටයක් පහල පාරෙන් හැරිලා ගියාමය...

    ඒ ගමන පරණ පොලිස් ජීප් රථයේ කට්ටිය යන්නේ සම්පතයා හොයාගෙනය... අපි එහෙට යනකොට සම්පතයා උගේ අල පාත්තියට පෝර දමන්නට ගොහිල්ලාය ... ඉතාමත් ආගන්තුක සත්කාර ලැදි සම්පතයාගේ බිරිඳ වහා ගොස් සම්පතයා ගෙදරට කැන්දාගෙන ආවේය... කවදත් හිත හොඳ සම්පතයා උණු උණු පාන් ගෙනවිත් අපිට ඉතාමත් රසවත් උදේ ආහාරයක් පිළියෙළ කර දුන්නේ කිසිම ලෝභ කමක් නැතුවය...උදේ ආහාරයෙන් පසුව සතුටු සාමීචියේ යෙදෙන අතර අපි නැවත කතරගම යන බව දැනගත් සම්පතයා හනික ලැහැස්ති වන්නේ අපි සමග කතරගම ඒමටය ... මීට කලින් මාගේ දකුණු කකුල යට තිබුනේ ජීවිත තුනක්ය... දැන් හතරක්ය.. එයින් එකෙක් එක දරු පියෙක්ය... ඒ නම් සම්පත්ය...පරණ පොලිස් ජීප් රථයේ බ්රේක් තත්වය දන්නේනම් සම්පතයා අපි එක්ක කතරගම යන්න එන්නේනම් නැත... උගේ බිරින්දෑ ඒ බව දන්නේනම් ඌ අපි සමග එවන්නේද නැත...


    දන්නා කියන ශිල්ප සියල්ල සීරු මාරුවට දක්වමින් බොහොම සීරුවට පරණ පොලින් ජීප් රථය කඳු පාර පහලට ධාවනය වන්නේය... කට්ටියම පාරේ අයිනක තිබුණු සීතල් දිය පාරකින් හොඳහැටි ස්නානය කලෝය ...මේ කියනා ස්ථානයේ ගත් චායාරුපයක් තඩියා ළඟ තිබුණු බව මට යන්තමට වාගේ මතකය ... බතලයා කතරගමට ඇවිත් රස්තියාදු වන්නට මත්තෙන් පරණ පොලිස් ජීප් රථය කතරගමට යායුතුය... බඩ තඩියා ද උගේ ඥාති නඩය සමග කතරගම බලා එනවාය... හැමගේම බලාපොරොත්තුව අද රෑට අමතක නොවෙන සොමියක් දම්මන්නටය...


    වැල්ලවාය දක්වා බොහොම ශාන්තව තැන්පත්ව දන්නා කියන ශිල්ප සියල්ලම භාවිතා කරමින් ධාවනය වූ ජීප් රථයේ රියදුරු අසුන නොසිතු වෙලාවක තඩියා ආක්‍රමණය කළේය... යමක් බඩට දාගන්නට කඩයක් ළඟ නැවැත්වූ පරණ පොලිස් ජීප් එක දැන් ධාවනය වන්නේ තඩියා ගේ විධානයටය... රියදුරා තඩියා ය , සහයට රියදුරා සම්පත්යාය...ගමන බොහොම වේගවත්ය... තඩියා ට රිය පැදවීමට බලපත්‍රයක්ද නැතිය, බ්රේක් ඇත්තේද නැතිය ... එත් ගමන අසූව පැනලාය ... බුත්තල පාරේ වාහන සෙනග නැති උනත් පාරට අලියෙක් පැන්නොත් අලියාට ඇඩ්රස් නැතිවෙනවාය... එදා බුත්තල පාරට අලියෙක් පැන්නා නම් පරණ පොලිස් ජීප් රථය සමග අලියාගේ පින්තුරයක් පත්තරේ වැටෙනවා සුවර්ය... ඒ නම් ජීප් රථයක ගැටී අලියෙක් මරුට යන හෙඩිම යටතේය... පසුපස ඇති ඔයයි මමයි කියනා තාලයේ මුනට මුණ බලා වාඩිවෙන ආසන දෙකේ මුනට මුණ බලාගෙන ඉන්න මා සහ රවියා බිරාන්තවී බලා සිටින්නේ ජීප් රථය කොහේ හෝ කුඩු පට්ටම් වී නවතින තෙක්ය... ඒ අතරේ රවියා මා දිහා බලන්නේ තොට සාදු වැඩේ කියන්න වගේය ... කතරගම දෙවියන්ගේ පිහිටෙන් තඩියා සෙල්ලකතරගම ලන්වෙද්දී වේගය අඩුකර හෙමින් ගමනින් යන්නට පටන්ගත් නිසා මගේ රුදිර ගමනාගමනය ටිකක් යහපත් අතට හැරුනේය... සෙල්ල පසුකරමින් අසූවේ වේගයෙන් රථය පදෙව්වේනම් මා භයටම ජීප් රථය තුලම වලකජ්ජ ගහනවා නියතමය...

    අපි හතරකට්ටුව කතරගමට යහපත් වෙනවිට බඩ තඩියා ප්‍රමුක ඥාති බස් රථයක පිරිවර කතරගම නවාතැනක නවාතැන් ගෙන අවසන්ය. අපිත් එල වස්සන් සේ ඒ ආසන්නයේම නවාතැනක් කුලියට ගැනීම අප මුළු ගමනේම කල එකම සහ තඩිම ගොන්කමය... දැන් එව්වා සිදුවී හමාරය... දැන් එව්වාට පසුතැවීම කිසිම පලක් නැති වැඩක් වන්නේය...අපට රාත්‍රී කෑම වේල බඩ තඩියා ගේ ඥාති හිතවතුන්ගේන්ය... ඒ කාපු බත් පතේ නය එදා රෑ එලිවෙනතුරුම ගෙවන්නට සිදු උනාය... මේ අතරේ වෙච්චි පොරොන්දුව අකුරටම ඉටුකළ බතලයා කොළඹ මීටීම අහවර වී කතරගමට සැපත්වී උන්නේය... ඒ බොක්කේ ෆිට් එක නිසාය... වෙන යාළුවන් එහෙම කටු කාගෙන බොරු ලක්ස ගණනින් කියාගෙන දුරුකතර ගෙවාගෙන යාළුවන් බලන්නට එන්නේ නැත... මේ අපේ මිතුරුකමේ හැටිය... බොක්කේ ෆිට් එක කියන්නේ එයමය...

    බඩ තඩියා ගේ ඥාති මිත්‍ර නඩයෙන් රාත්‍රී ආහාරය වළඳා නවාතැනට ආ අපි නැවත එතනටම එන තෙක් තවත් දෙදෙනෙක් මග බලා උන්නෝය... ඒ වෙන කව්රුත් නොවේය... තඩි ඇල්සේසන් පොලිස් බල්ලන් දෙදෙනෙක් එකවර දමා ෂපාන් එකට නෑවිය හැකි තරම් තඩි දොදොල් තාච්චි දෙකක ඉදෙන්නට ලැහැස්තියෙන් පසුවන කිරියා තාච්චි දෙකය...ඒ කිරියා තාච්චි දෙක මතක්වෙන හැම මොහොතකම අදත් ඇඟේ මයිල් කෙලින් වෙන්නේය... මොකද අපි එකෙක්වත් උපන් තේකට ඒ තරම් ලොකු පරිප්පු නැවක් බාලානම් නැත්තේය...

    බඩ තඩියාගේ නඩය කතරගම ඇවිත් තියෙන්නේ කිරි දානයක් දෙන්නටය... අපි එව්වා කලින් දන්නේ නැතිය... දන්නවානම් උන් ඉන්නා පලාතකවත් යන්නේ නැතිය... දැන් ඉතින් කරන්නට දෙයක් ඇත්තෙම නැතිය ... කාපු බත් පතට හරියන්නට කිරියා හැඳි ගාන්නට සිද්දවෙනවාය...අපි කිරියා හදන තැනට යහපත් වී සුළු වෙලාවකින් බඩ තඩියා ගේ නඩයේ සිටි කොල්ලන් එකා දෙන්න කිරි ඉදෙනා තැනින් මරුවෙන්නට ගත්තෝය... දැන් ඉතින් කිරියා හදන්නට ඉතිරිව ඉන්නේ පරණ පොලිස් ජීප් නඩය හා මග යන්නට පන නැති වයසක උන්දලා දෙතුන් දෙනෙකුය... කොල්ලන් උනත් අපි බල්ලන් නොවෙන බැවින් මේ වයසක උන්දලා ට කිරියා හැඳිගාන්නට දමා මාරුවන්නට විදියක් ඇත්තෙම නැත්තේය... උන්දලාට කිරියා හැඳිගාන්නට තබා දොදොල් පත්ත උස්සා ගැනීමටවත් පණක් ඇත්තේ නැතිය..රාත්‍රී දහය එකොළහ උනේය... එකොළහ දොළහ උනේය....දොළහ එක උනේය ... මෙසේ කාලය ගෙවී උදෑසන පහමාර වෙනතුරුම අපි කට්ටිය කිරි හැඳිගෑවෝය ...කිරියා හැඳිගාන එක සෙල්ලම් වැඩක් නොවේය... එව්වා දන්නේ එව්වා කරපු එවුන් විතරය...

    කිරියා සංග්‍රාමයෙන් හෙම්බත්වූ අපි පැය කිහිපයක් දොයිය බබාලා වී දහයට පමණ නවාතැනින් පිටත් උනෝය ... ඒ වනවිටත් බඩ තඩියා ප්‍රමුක ඥාති නඩය පැදුරටත් නොකියා මාරුවී ගිහිල්ලාය .... අඩුම තරමේ කිරියා හැඳි ගෑ අපිට උදේට කන්නට කිරියා කෑල්ලක්වත් තියා කිරිබත් කෑල්ලක්වත් නොතබා උන් සියල්ලෝම දිරාමාරුවෙලාය... එව්වා මහා අසික්කිත වැඩය ... කරපු ගොන්කම් ඇතුන් ලව්වාවත් අද්දවන්නට නොහැකිය ...සියලු දුක් වේදනා අමතක වෙන්නට රටබීමකින් සප්පායම් වූ අපි පළමුව කරේ සම්පතයාව නුවරඑළි බසයකට නැංවීමය ... අපි හින්දා ඌටත් පරිප්පු නැවක් බාන්නට සිදුඋනේය ...

    පරණ පොලි ජීප් රථය දැන් සීරුවට ධාවනය වන්නේ යාල බලාය ... තිස්ස යටාල වෙහෙර ඉදිරිපිටදී එකවර යමක් දුටු රවියා ඕක හරෝපන්... ඕක හරෝපන් ඔතන පාරෙන් ඇතුලට හරෝපන් කියා මර හඬ තලන්නේය... මේ මගුලේ බ්රේක් නැති බව රවියාට අමතකය... බ්රේක් තිබුනත් ඉස්සරහට යන වාහනය හිටි හැටියේ එහෙම අංශක අනුවේ වංගුවක් හැරවීමට මේක නයිට් රයිඩර් වර්ගයේ එකක් නොවේය...නයිට් රයිඩරයේ මයිකල් නයිට් උනත් එහෙම අංශක අනුවට කාරෙක හරෝපන් කියා කිට් ට කිව්වොත් කිට් කාරයා මයිකලයා ට කුණුහරුපෙන් බැන නිකම් ඉන්න එකක් නැත, නයිට් රයිඩරයේ වහලය ඇර මයිකලයා උඩින් එලියට විසික් කරනවාය...දැන් හරවන්නට විදිහක් නැත... ඉස්සරහට එන්නේ රවියාගේ සුපර් සැලුනයය ... රියදුරු අසුනේ ඉන්නේ රවියාගේ ලොකු අයියාය ... ලොකු අයියා පන මෙන් රකිනා සහ පරෙස්සමට කිරිබත්ගොඩ ගෙදර මිදුලේ ගාල් කර ඇති යයි සිතා සිටිනා ජීප් රථය කොල්ලන් රැලක් සමග තිස්සමහාරාමේය... ජීප් රථය දුටු ලොකු අයියා ඉහලට ඇදගත් හුස්ම ටික පහලට දැම්මේ සැලුනයේ පසුපස අසුනේ සිටිනා සුද්දන් දෙදෙනා මතක් වෙලාය... ජීප් රථය තිස්සේදී දුටු නිසා යන්තම් ඉහලට ඇදගත් හුස්ම ටික පහලට දැමුවත් නුවර එළියේදී ජීප් රථය දැක්කානම් ඉහලට ඇදගත් හුස්ම ටික පහලට දමන්නේම නැති වන්නට ඉඩ තිබුනේය .... නියම මහත්මා ගති ඇති ලොකු අයියා අපිට තියා රවියාටවත් වචනයක් කිව්වේ නැතිය...ලොකු අයියා රටේ ප්‍රසිද්ද මනුස්සයෙක්ය ...ඒ වාගේම බොහොම නිවුණු ගතිගුණ අත්තෙක්ය...

    අපි මේ යන්නේ යාල කැලයේ සතුන් බැලීමට නොවේය... යාල කැලයේ සතුන්ට ඊටත් අන්ත වස්සන් හතරදෙනෙකු පෙන්වීමටය... රැයක් එළිවෙනතුරු අනුන්ගේ නඩයක කිරියා හැඳි ගෑ අපිට වස්සන් යයි ආමන්ත්‍රණය කිරීම වස්සන් වෙත කෙරෙනා වූ අපහාසයක්ම වන්නේමය...දැන් එව්වා සිදුවී හමාරය... එව්වා සියල්ල අමතක කල අපි සියල්ල යාල කැලයේ ඇතුලේ කරක් ගසද්දී පරණ පොලිස් ජීප් රථය අපිට අජුත ගනයේ පරිප්පුවක් බෙදුවේය...

    ඒ නම් කැලය මැදදී ජීප් රථයේ අක්සිලේටර් කේබලය දෙකට මැදින් කැඩී යාමය...අක්සිලේටර් කේබලය නැතුව වාහනයක් ඉදිරියට ධාවනය කිරීමට නොහැකිය... වාහනය ඉදිරියට යන්නේ අක්සිලේටරය පෑගුවාමය ...කේබලය කැඩුන අක්සිලේටරය පෑගුවාට වාහනය ඉස්සරහට යන්නට සැර දමන්නේ නැත...ඕනෙනම් යනවා කියා හිතාගෙන සොමියට පාගන්නට පුලුවනිය ... එත් වාහනය යන්නේ නැත්තේය... දැන් ඉතින් ගමන අහවරය... කිරියා හැඳි ගෑ පින පහුවදාම පලදී ඇත්තේය...

    මාගේ දැනුමේ ප්‍රමාණයට අනුව ලනු කැබැල්ලක් සොයාගතහොත් කැලයෙන් එලියට යාමට මගක් පාදාගන්නට පිළිවන,, එත් යාල කැලයේ සතුන් ලනු අඹරන්නේ නැත... එත් දන්නා කියන සියලු උපක්‍රම පාවිච්චි කරපු රවියා සෆාරි යන ජීප් රථයකින් වයර් කැබැල්ලක් ඉල්ලගත්තේය... වයරය ඩීසල් පොම්පයේ ගැටගැසූ පසු ජීප් රථය ඇතුලට අනික් කොන ඇදගනීමට වයරය දිග මදිය... වෙන කරන්නට දෙයක් නැත ... කරන්නට තිබෙනා එකම දෙයනම් රවියාට රථය පදවන්නට දී මම දකුණු පැත්තේ මඩ පුවරුව උඩ වාඩිවී අක්සිලේටරය ඇදීමය...

    දැන් ජීප් රථය හෙමි හෙමින් ඉදිරියට යන්නේය...රිඅදුරු අසුනේ රවියාය... රථයෙන් එළියේ මඩ පුවරුව උඩ මම වාඩිවෙලා අක්සිලේටය අදිනවාය... ඉඳහිට හමුවෙනා සෆාරි ජීප් රථයක යන සුද්දන් හෝ අපේ එවුන් හිතන්නේ මට කාලා තෙල වැඩිවෙලා මැරෙන්න හදනවා කියාය... එත් අපිට වෙච්චි සන්තැසිය දන්නේ අපි පමණය... රවියා අතේ සුක්කානම තිබුනාට රථය යන්නේ මට උවමනා වේගයෙන්ය ... රවියාට තිබෙන්නේ පාරේ හරි පැත්තෙන් රථය පැදවීම පමණය... අතරමගදී අහම්බෙන් දුටු ලනු කැබැල්ලක් අහුලාගත් අපි වයර් කැබැල්ලට ලනුව ගැටගසා මට ස්ථාන මාරුවීමක් සාදාගැනීමට හැකි වූ බැවින් ඉදිරි අසුනේම වාඩිවීමට වාසනාව පෑදිණි ...දැන් අපි දෙන්නා ඉදිරිපස අසුනේ හවුලේ රථය පදවනවාය... මම අක්සිලේටර් අංශයේ වැඩ සියල්ල අකුරට ක්‍රියාවේ යොදවන අතර රවියා සුක්කනම් අංශයේ වැඩ අකුරට ක්‍රියාත්මක කරවීම නිසා යන්තම් සන්තම් තිස්සමහාරාමයේ ගරාජයකට රථය රැගෙන ඒමට අපිට හැකි වුනෝය ...

    ගරාජයේ එකා අපිව තුට්ටුවකට ගණන් ගත්තෙම නැතිය... හවස් වෙලා හදල දෙන්නම් කියා කියන්නෝය... අපිට හවස් වෙනකම් මෙතන තපින්නට වෙලාවක් නැත... ජීප් කටුව හදාගන්නා ආකාරය මම දන්නා නමුත් ප්‍රශ්නය අවශ්‍ය උපකරණ නැතිකමය... ගරාජයේ එකා උගේ උපකරණ පාවිච්චි කර පුලුවනිනම් හදාගන්නා ලෙස දන්වුයෙන් වහාම රුපියල් දහයක් දී ත්‍රිරෝද රථ කේබලයක් ගෙනවිත් කෙබලයට දමා ගෙදර යාමට අටවා ගැනීමට මට ගතවුයේ විනාඩි දහයකටත් වඩා අඩු කාලයක් වන්නට ඇත..... දැන් මට මේ පරණ පොලිස් ජීප් රථයේ තොවිලය හොඳටෝම ඇති වෙලාය.. ප්‍රශ්නය වන්නේ බ්රේක් නැති වාහනය පදවන්නට දෙන්නට සුවර් එකෙක් නැතිකමය... එළිවෙනතුරු හැඳිගාපු කිරියා තාච්චි දෙකේ පිනට මාගේ මොලයට පහල වූ කදිම අදහසක් මම ක්‍රියාවට නංවන්නේ මේ අතරය....ඒ නම් අලුත් අක්සිලේටර් කේබලය බුරුලට තියා තද කිරීමය...එහෙම කලවිට රථය වේගයෙන් පදවන්නට බැරිය... වේගයෙන් පදවන්නට බැරි රථය කව්රු එලෙව්වත් කමක් නැතිය... හැප්පුනත් මැරෙන්නේ නැතිය...

    රථය අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව ගම රට බලා පිටත්වූ අපිට තිස්ස වැව බන්ට් එක අසල දන්නා කියන මුහුණු කීපයක් දැක විමසා බැලුකල හමුවන්නේ අපි ලව්වා බත් පිඟානට එළිවෙනතුරු කිරියා හැදවූ බඩ තඩියා ප්‍රමුක නඩයයි.. කට්ටියම හරිම සන්තෝසයෙන් දවල් ආහාරය භුක්ති වින්දිනවාය ... අපේ බඩ තඩියා ට දැන් නඩයේ හෙන තැනක් තිබෙනවාය... ඒ උගේ ගොන් යාළුවන් ලව්වා එළිවෙනතුරු කිරියා හැදූවූ නිසාය...එවන් උදව්වක් කල ගොන් වස්සන් හතරදෙනාට උන් දවලට බත් ටිකක් කන්න එන්න කියා වත් කීවේ නැතිය... එව්වා සිංහලයාගේ ගති පුරුදුය... එත් උන් එව්වා දන්නා කියන එවුන් ජාතියක් වෙන්නට විදිහක් නැත්තේය...එව්වා දැන උගෙන උන්නානම් අපි කෑවත් නැතත් එදා අපිට කන්නට කියනවාය...බඩ තඩියා නම් හෙන බත් කොතක් ගිලිමින් උන්නේය... එක පැත්තකින් බලනා කල අපිට කන්නට තියා උන්ට කන්නටවත් බත් ටිකක් බඩ තඩියා ඉතුරු කරන්නට විදිහක් නැත...බඩ තඩියා යනු මුළු නඩේටම දවස් දෙක තුනකට කන්නට ගෙනා මාළු හට්ටිය එකවර කා දමනා ජාතියේ එකෙක්ය... එහෙව් එකෙකුට කන්නට බොන්නට දෙන නඩයකට අපිට කන්නට දෙන්නට වැඩිපුර යමක් තිබෙන්නට විදිහක් නැතිය...


    තිස්සෙන් ජීප් රථය පැදවීමට ලැබෙන්නේ අලුත්ම රියදුරෙකුටය...ඒ නම් බතලයාය... බතලයා හා හා පුරා කියා රෝද හතරක් පදවන්නේ අදය... බතලයාට පැදවීමේ කලාව අල්ලාගැනීමට වැඩි වෙලාවක් ගියේ නැතිය.. බතලයා දැන් රථය වැඩ දමා එලවන්නේය.. එත් උපරිම වේගය යා හැක්කේ 40 ක් පමණිය... ඒ හින්දා මට කිසිම භයක් දැනෙන්නේ නැතිය ... කිරියා හැදු අමාරුව යන්නට ටිකක් දොයිය බබා වන්නට පුලුවනිය... බතලයා ගමට එනතුරුම රථය සීරුවට පැදවූ අතර සහයට රියදුරු වසයෙන් වැඩි කාලයක් ඉදිරි අසුන හිමිවුයේ මටය...බතලයාටත් බඩ තඩියාටත් පොදු වූ එකම ලක්ෂණය නම් සමහරක් දුරකථන අමතුන් පැමිණෙන විට කිසිම අණක් ගුණක් නැතිව පාර මැද හෝ වාහනය නවත්වා එන්ජිම නවත්වා අපිට මුකවාඩම් දැම්ම දුරකතනයට පිළිතුරැ දීමය... වටින්නම දෙයනම් එවන් තත්ත්වයක් යටතේ කෙසේ හෝ ගමනට සහභාගී වීමය... ඒ බොක්කේ ෆිට් එක නිසාය..

    රවියා හා තඩියා ඇති පදමට නිදාගත්තෝය...සියල්ල වන්නේ අපිටම බැවින් ගම පෙනී පෙනීම පරණ පොලිස් ජීප් රථයේ පසුපස රෝදයේ හුලන් ගියේ අපිටම අරියාදුවට වන්නට ඇතිය ... සියලු භාදක නිමවා රෝද මාරු කර ගම රට එනවිට රාත්‍රී දෙක පසුවී තිබුනේය... තඩියා ගේ නුවර එලිය ගමන එලෙසින් නිමා උනත් රවියාට සහ රවියලාගේ පවුලේ කොල්ලන් කුරුට්ටන්ට ඒ ගමනින් වාසියක් සිදුවුයේය... ඒ නම් ඒ තරම් දුරක් යා හැකි ජීප් රථය කෙසේ හෝ බ්රේක් හදා ගොඩ ගැනීමට කව්රුත් දායක වීමය... රවියාගේ අක්කාගේ පුතුන් දෙදෙනා සහ ඔවුන්ගේ මිතුරන්ට එදා සිට රවියා වීරයෙක්ය... ඒ නම් බ්රේක් කඳුලක් නැති ජීප් රථයෙන් නුවර එලි ගොස් කිසිදු අනතුරක් උපද්‍රවයක් නැතුව ගෙදර ආ නිසාය... එත් නුවර එලියට යනතුරුත් ගිහින් එනතුරුත් රවියා බයෙන් බිරාන්ත වී උන් අයුරු දන්නේ අපි පමණය...එව්වා අපි කාටවත් කියන්නට යන්නේ නැතිය ...

    මේක කියවන උඹලා මෙතන ඉන්න එවුන්ට නම් ගම් ආදේස කොරන්නට එපාය... මේ ගමන ආගිය එවුන්ගේ බිරින්දෑ වරුනුත් මෙව්වා කියවනවාය... නම් ගම් කෙලින්ම දැම්මොත් මුන්ට ඇඩ්රස් නැතිවෙන්නට කන්න වෙනවාය... ඒ තරමට අපේ එවුන්ගේ පෙර වැරදි ෆයිල් වල පිරිලාය... මෙව්වා කියවා මල පන්නාගෙන සුදු වෑන් වලින් මාව හොයන්නට එපාය... ඒ මම මෙව්වා ලිව්වේ කිසිම අමනාපයකින් තරහකින් නොවන නිසාය ... මෙවන් කාලයක් අපිට තිබුනා කියා අමතක වන නිසාය... ආයේ එව්වා කරන්නට වෙන්නේ ලබන ආත්මයේ වන්නට පුලුවනිය... මතු ආත්මයක උනත් මිතුරන් ලැබෙනවානම් ලැබිය යුත්තේ උඹලා වැනි බොක්කේ මිතුරන්ය...එත් කිරිනම් මතු කිසිම ආත්මයක හැඳිගාන්නට හතුරෙකුටවත් සිදුවන්නට එපාය..


    ගිය නොගිය ට්‍රිප් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1587654

    පාසල් සමයේ රස කතා
    http://www.elakiri.com/forum/showthread.php?t=1548483
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජොනී බට්ට;16857990 said:
    උබට උණු සිරා සිද්දියක්ද? පට්ට ඕයි ......:D:D:D:D:D

    ඔව් බන් මේකේ සියලුම සිදුවීම් 100 % සත්‍යම තමයි..
     

    ASR

    Active member
  • Feb 21, 2007
    742
    244
    43
    කට්ටිය නියම ෆන් එකක්ෙන අරන් තිෙයන්ෙන
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)
    අඩෝව් පිස්සු හැදෙනවා බන් ,,,
    උබේ මේ කතාව කියවලා අපේ සෙට් එකත් එක්ක ගිය ට්‍රිප් දෙක තුනක් මතක්වෙලා ඇහැට කළුත් ඉනුවා බන් ..
    අපේ සෙට් එකේ හිටපු එවුන්ගෙන් ගොඩක් එවුන් අද රටේත් නැහැ
    එකෙක් ජිවතුන් අතරත් නැහැ බන් ..
    සත්‍ය මුහුනදිමකටක ඇරෙන්න මේ වගේ කතාවක් බොක්කෙන්ම ලියන්න බැහැ බන්
    උබ ලියන එක ලියලා තියනවා බන් ,,ආයෙ කියන්න වචන නැහැ .....
    බොහෝම ස්තුතියි මචං ......
    +16 දෙන්න තියෙන්නේ මෙච්චරයි බන් ....:(
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    පට්ටේටම ලියල තියනවා..හරියට නිකන් මාත් ට්‍රිප් එකේ ගියපු එකෙක්ගේ හැගීම ආවා...:yes::yes:
    පට්ට ආතල් එකක් තියෙන්න ඇත්තේ එදා...:lol::lol: