මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා
පෙනෙනවා දකිනවා කියනා ඒවා
මොනවද අම්මෙ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා
මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද
ඒවා මොළොක් බව තේරෙනවා මටද
එළියක් කියා මොකවත් හෙම තියෙනවද
මට තේරුම් ගන්ට අම්මේ බැරි මොකද
උණුසුම දැනේ දහවල මට රැයට වඩා
වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා
මට නොදැනෙන්නෙ මා කණ කොලුවෙකිලු කුඩා
ලොකු වෙන කොට දැනේවිද මම අසමි හඬා
ඇඟිලි තුඩට මල් පෙති වල ඇති මෙළෙක
මට දැනෙනවා එය අල්ලන හැම විටෙක
පාට කියා ඇත්නම් ගතියක් මලෙක
අම්මේ අත නොගෑවෙන එක තමයි දුක
ලස්සන කියන දේ නැහැයට වත් කනට
මගේ දිවට හරි මගෙ අත පය වලට
නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට
ඉවසා ගෙන ඉන්න අම්මේ බැරිය මට
ඇයි අම්මේ අඬන්නේ මේ කඳුලු සලා
මට දැනෙනවා යයි මගෙ අත් දිගට ගලා
නාඬන් අම්මෙ නාඬන් මම විහිළු කළා
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා